අයිඩ්ල් RPM එකේ ප්‍රශ්නයක්ද…?

මේ පිටුවෙන් අපි කියන්න යන්නේ ගොඩක් දෙනෙකු මුහුණපාන ගැටලුවකට.. ඒ තමයි අයිඩ්ල් ස්පීඩ් එකේ ප්‍රශ්න… මොනවාද මේ අයිඩ්ල් ස්පීඩ් එකේ ප්‍රශ්න ?

සමහරු කියනවා පාර්කින්ග් එකේ දාලා එන්ජින් එක ස්ටාර්ට් කරද්දී දිගටම RPM එක 2000 වගේ ලොකු ගානක තියෙනවා අඩු නොවී කියලා… තවත් සමහරු කියනවා වාහනේ ස්ටාර්ට් කරලා ගියර් එකකට දාන්න කලින් RPM එක උඩ පල්ලැහා යනවා කටුව එක තැන තියෙන්නේ නැහැ කියලා… මේ ඔක්කොම අයිඩ්ල් ස්පීඩ් එක එහෙමත් නැතිනම් අයිඩ්ල් RPM එක සම්බන්ධ ගැටළු…

 

මොකක්ද මේ අයිඩ්ල් ස්පීඩ් එක කියලා කියන්නේ  ?

අයිඩ්ල් ස්පීඩ් එක කියලා කියන්නේ වාහනය ගමන් නොකරන අවස්ථාවේදී තියෙන එන්ජින් එකේ RPM එක… RPM කියන එකේ තේරුම Revolutions Per Minute කියන එකයි… ඒ කියන්නේ තත්පරයකදී එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ට් එක කරකැවෙන වට ගන්නට තමයි RPM එක කියලා කියන්නේ…RPM මීටරය ගොඩක් වාහනවල තියෙන අපි කවුරුත් දන්නා එකක්..

අපි මෙහෙම සරලව කිව්වට නිවැරදිවම අයිඩ්ල් ස්පීඩ් එක කීයද කියලා බලාගන්න නම් පහත දේවල් ටික කිරීම අනිවාර්ය වෙනවා…

  • එන්ජිම පනගන්වා එය වැඩකරන සාමාන්‍ය උෂ්ණත්වයට පත්කිරීම…( හීටර් කට්ට මැද හරියට වගේ එන්න ඕන)…
  • වාහනේ A/C එක සම්පුර්ණයෙන්ම ඕෆ් කරලා තියෙන්න ඕන…
  • ( මැනුවල් වාහනයක් නම්) නියුට්‍රල්  හෝ (ඔටෝමැටික් වාහනයක් නම්) P හෝ N ස්ථානවල ගියර් එක ස්ථානගත කිරීම….

ඔන්න ඕවා වෙලා තියෙන්න ඕන හරියටම ඔයාගේ වාහනේ අයිඩ්ල් ස්පීඩ් එක කීයද කියලා දැනගන්න…

 

වාහනයක තියෙන්න ඕන අයිඩ්ල් ස්පීඩ් එක කීයද?

ඕක වෙනස් වෙනවා වාහන මාදිලිය ,එන්ජින් එක .සහ ඔයාගේ වාහනය මැනුවල් ගියර්ද? එහෙමත් නැතිනම් ඔටෝමැටික් ගියර්ද? කියන ඒවා අනුව….

උදාහරණයක් හැටියට අපි ගනිමු 1996 නිෂ්පාදිත ලංකාවේ බහුලව තියෙන ටොයෝටා කොරොල්ලා කාර් එක සහ ටොයෝටා කරීනා කාර් එක… තිබිය යුතු  අයිඩ්ල් RPM වල වෙනස පහත වගුවේ පෙන්නලා තියෙනවා තේරුම්ගන්න පහසුවෙන විදිහට….

     වාහන මාදිලිය  එන්ජින් මාදිලිය    ගියර් බොක්ස් එක   අයිඩ්ල් RPM එක  
ටොයෝටා කොරොල්ලා

         AE100

1500 cc (5A-FE) මැනුවල්       510 ± 50 RPM
ඔටෝමැටික්         700 ± 50 RPM
1800 cc (7A-FE) මැනුවල්       750 ± 50 RPM
ඔටෝමැටික්         750 ± 50 RPM
    ටොයෝටා කරීනා

           AT192

1500 cc (5A-FE) මැනුවල්       650 ± 50 RPM
ඔටෝමැටික්         700 ± 50 RPM
1800 cc (7A-FE) මැනුවල්       550 ± 50 RPM
ඔටෝමැටික්         700 ± 50 RPM

ඉහත දත්ත, නිෂ්පාදිතයාගේ අත්පොතෙන් ( repair manual) එකෙන් ලබාගත් දත්ත… එතකොට ඔබට පේනවා හැම වාහනයකම අයිඩ්ල් ස්පීඩ් එක එකම පරාසයක නොපිහිටන බව… ඒ නිසා ඔබේ වාහනයේ තිබිය යුතු අයිඩ්ල් ස්පීඩ් එක ඔබ දැනගැනීම ඉතා වැදගත්….

 

අයිඩ්ල් ස්පීඩ් එක තිබිය යුතු අගයේ නොතිබීමෙන් වෙන ගැටළු මොනවාද ?

  • ගියර් වැටෙද්දී දැනෙන අපහසුව… අයිඩ්ල් RPM එක තිබිය යුතු අගයේ පවතින්නේ නැතිනම් සිදුවන දෙයක් තමයි ඔය.. අපි ගියර් දානකොට ගැස්සිලා ගියර් එකට වැටෙනවානම් ගොඩක් වෙලාවට අයිඩ්ල් ප්‍රශ්නයක් තමයි… උදාහරණයකට ඔටෝගියර් වාහනයක D එකේ ඉඳලා R එකට වැටෙනකොට ගැස්සිලා වැටෙනවානම් ඒ කියන්නේ අයිඩ්ල් අවුලක් කියන එක….
  • වාහනය බ්‍රේක් කරන ඉද්දී වැඩිපුර බලයක් යොදන්න වෙනවානම් ඒකට හේතුව අයිඩ්ල් ප්‍රශ්නයක් වෙන්න පුළුවනි… අයිඩ්ල් එක හරියට තියෙනවානම් අපිට ඉතා අඩු බලයකින් වාහනය නවත්තන්න පුළුවන් වෙන්න ඕන…
  • වාහනය ඩ්‍රයිව් කරනකොට පාලනය කරන්න අමාරු ගතියක් වගේ දැනෙනවානම්…ඒ කියන්නේ අපි ඇක්සලරේට් කරනකොට ඒකාකාරව වාහනයේ වේගය වැඩි නොවී… වාහනයේ වේගයේ වැඩිවීම එක මොහොතක ඕනාවට වඩා වැඩිවීමත් තවත් මොහොතක අඩුවීමත් සිදුවීම… මේකෙන් වෙන්නේ අපිට වාහනය පාලනය කරන්න අපහසුවෙන එක…

 

අයිඩ්ල් ස්පීඩ් එක හරියට නොතිබීමට හේතු මොනවාද?

  • එන්ජිමේ වැකුම් ලීක් එකක්… අයිඩ්ල් ස්පීඩ් එක බලන විදිය අපි කලින් කිව්වා.. හැබැයි ඔයාගේ වාහනයේ අයිඩ්ල් ස්පීඩ් එක හරිද කියලා බලන්න සමහර වෙලාවට එහෙම බලලා මදි… අයිඩ්ල් ප්‍රශ්නයක් තිබිලත් අයිඩ්ල් එක එහි තිබිය යුතු අගය පෙන්නන්න පුළුවන්.. උදාහරණයකට එන්ජිමේ ඇතිවන වැකුම් ලීක් එකකදී අයිඩ්ල් එක හරියට වැඩකරන්නේ නැතිවෙනවා… හැබැයි මේ වැකුම් ලීක් එක ඔක්සිජන් සෙන්සරය නිසා ECU එකට වැඩිපුර තෙල් සැපයීමෙන්  එන්ජිමේ අයිඩ්ල් ස්පීඩ් එක එහි තිබිය යුතු අගයට පත්වෙනවා… හැබැයි ලෙඩේ එහෙම්මමයි… එතකොට මේ වගේ අවස්ථාවක අපි අයිඩ්ල් ස්පීඩ් එක හරියාකාරව නැහැයි කියලා දැනගන්නේ ඉහත කිව්ව අයිඩ්ල් ස්පීඩ් එක හරියට නොතිබීමෙන් අපිට ඇතිවන ගැටළු ගැන දැනසිටීමෙන්…. එවිටමෙවැනි දෙයක් හේතුවක් විය හැකියැයි සිතා අපිට අවශ්‍ය පියවර ගන්න පුළුවනි…
  • අයිඩ්ල් එයාර් කන්ට්‍රෝල් වෑල්ව් එකේ දෝෂයක්… බහුලවම වෙන දේ තමයි අයිඩ්ල් කන්ට්‍රෝල් වෑල්ව් එකේ වාතය එන්ජිමට එන සිදුර කාබන් බැඳිලා බ්ලොක් වෙන එක.. ඒක කාලයක් එක්ක වෙන දෙයක්…වාහනේ තෙල් ටිකක් වැඩිපුර පිච්චේනවානම් එහෙමත් නැතිනම් එමිෂන් එක ෆේල් නම් මේ විදියට වෑල්ව් සිදුරේ කාබන් බැඳෙන එක ඉක්මනින් වෙනවා.. මේකට වෑල්ව් එක ගලවලා සුද්ද කරන්න වෙනවා… වෙනත් දෝෂ වෙන්න පුළුවන් වෑල්ව් එක හරි ආකාරයෙන් වැඩ නොකිරීම… මේකට වෑල්ව් එක මාරු කරන්න වෙනවා.. හැබැයි මේක නම් වෙන්නේ හරිම කලාතුරකින්….අනිත් වෙන්න පුළුවන් දේ තමයි ECU එකේ හෝ ECU එකයි වෑල්ව් එකයි සම්බන්ධවෙන වයර් එකේ දෝෂයක්… මේකටත් ECU එක මාරු කරන්න වෙනවා… මේකත් කලාතුරකින් වෙන දෙයක්… වයරින්ග් නම් චෙක් කරගන්න පුළුවන් පහසුවෙන්ම දන්නේ නැතිනම් එලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට කියල….

 

අයිඩ්ල් ස්පීඩ් කන්ට්‍රෝල් වෑල්ව් එක මොකක්ද කියලා හරියටම දන්නේ නැතිනම් මෙන්න මේ පිටුව කියවන්න… එතකොට ඔබටම උනත් ඕක චෙක් කරගන්න බැරිවෙන එකක් නෑ…..