ඇයි අපි වීල් එලයින්මන්ට් කරන්නේ? ඒක ඒ තරම් වැදගත් දෙයක්ද?

වීල් එලයින්මන්ට් කියන්නේ ඉතාම වැදගත් දෙයක්… වීල් එලයින්මන්ට් එක හරියට උනේ නැතිනම් ඔබට ලොකු පාඩු විඳින්න සිද්ද වෙනවා…

ඒවායින් ප්‍රධානම සහ බහුලව සිදුවන පාඩුව තමයි ටයර් අසමානව ගෙවී යාම… ඒ කියන්නේ ටයර් එකේ එක කොටසක් අනිත් කොටස් වලට වඩා ඉතා වේගයෙන් ගෙවීයාම…. පහත රූපයේ තියෙන්නේ අන්න ඒ වගේ අසමානව ගෙවී ගිය ටයර් එකක පින්තූරයක්…

පැත්තක් ගෙවීගිය ටයර් එකක්

වීල් එලයින්මන්ට් එක හරියට නොවීම නිසා සිදුවන අනිත් පාඩු තමයි අපේ වාහනයේ තියෙන සස්පෙන්ෂන් පද්ධතිය ඒ කියන්නේ ෂොක් ඇබ්සෝබර් තියෙන කොටස කැඩීයෑම…..ඒකට හේතුව තමයි වීල් එලයින්මන්ට් එක හරියාකාරව නොවීම නිසා සස්පෙන්ෂන් පද්ධතියට අධික තෙරපුමක් ඇතිවීම…

ඉතින් මෙන්න මේ කරුණු නිසා ඔබ ඔබේ වාහනයේ වීල් එලයින්මන්ට් එක අනිවාර්යයෙන්ම කරගත යුතු වෙනවා… ඒ වගේම එය අපි සර්විස් කරනවා වගේ වරින්වර එය සිදු කිරීමත් අනිවාර්ය වෙනවා… අපි මේ පිටුවෙන් කියන්නේ වීල් එලයින්මන්ට් කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒක කරන්න අවශ්‍ය වෙන්නේ මොනවගේ අවස්ථා වලදීද? කියන ඒවා ගැනයි…

 

වීල් එලයින්මන්ට් ගැන දැනගන්න කලින් රෝද වල පිහිටීම දැනගෙන ඉන්න ඕන…

අපිට හිතෙන්නේ වාහනයක රෝද කරකැවෙනකොට හරියටම ඔක්කොම එක සමාන්තරව පිහිටන විදියට කරකැවෙනවා කියලා නේද? එතකොට එක රෝදයක් ගත්තම ඒ රෝදය ඇදකුද නැතිව කරකැවෙනවා කියලා නේද අපිට හිතෙන්නේ?

එත් එක්කම, අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට, රෝදය වාහනය ගමන් කරන දිශාවට අමතරව හරි මැද්දෙන් දෙපැත්තට කරකැවෙන්න ඕනනේ… ඒකත් ඇදකුද නැතිව කරකැවෙනවා කියලා නේද අපිට හිතෙන්නේ ? 

අපිට එහෙම හිතුනට එහෙම වෙන්නේ නැහැ… රෝද කරකැවෙනකොට හරියටම එක සමාන්තරව රෝද පිහිටන්නේ නැහැ.. ඉතින් ඒ නිසා එක සමාන්තරව රෝද කරකැවෙන්නෙත් නැහැ…. මෙන්න මේ වගේ….

එතකොට එක රෝදයක් ගත්තම ඒ එක රෝදය හරි කෙලින් පොලවට ලම්භකව පිහිටන්නේ නැහැ… ඒ නිසා රෝදය වාහනය ගමන් කරන දිශාවට කරකැවෙනකොට හරි කෙලින් පිහිටලා කරකවෙන්නේ නැහැ… මෙන්න මේ වගේ…

එතකොට අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට රෝදය එක තැන කරකවෙන්නේ ඇද සහිතව…. මෙන්න මේ වගේ…

හරවද්දී රෝදය හරි මැද්දෙන් දෙපැත්තට කැපෙන අවස්ථාවක්
හරවද්දී රෝදය කැපෙන අක්ෂය හරි මැද්දෙන් නැති අවස්ථාවක්

ඉතින් වීල් එලයින්මන්ට් කරනවා කියන්නේ ඔය කිව්ව ඇද ටික ඇරලා අර අපි මුලින් හිතුවා වගේ රෝද ඔක්කොම එක සමාන්තරව පිහිටන විදියට, එක රෝදයක් වාහනය ගමන් කරන දිශාවට පොලවට හරි ලම්භකව කරකැවෙන විදියට, ඒ වගේම රෝදය ස්ටියරින්ග් වීල් එකෙන්  එක තැන කරකවෙද්දී හරි කෙලින් පිහිටලා කරකැවෙන විදියට හදාගන්න එක…

වීල් එලයින්මන්ට් එකේ කරන්නේ ඔන්න ඔය ඇදකුද ටික හදනවා කිව්වට මොනාද ඔය ඇදකුද කියලා හරියටම ඉගෙනගෙන ඉන්න ඕන… පහත විස්තර කරලා තියෙන්නේ වාහනයේ රෝද පිහිටිය යුතු ආකාරය ලබා දෙන මිනුම් තුනක්.. ඔන්න ඔය මිනුම් වලින් අපිට කියන්න පුළුවන් කලින් අපි කිව්ව ඇදකුද ටික ඇතිවෙන්නේ කොහොමද කියලා…

 

වීල් එලයින්මන්ට් එකකදී ගන්න මිනුම්, හා වැරදි නිවැරදි කරන ආකාරය

TOE එහෙමත් නැතිනම් ටෝ එක…

TOE එහෙමත් නැතිනම් ටෝ කියල කියන්නේ අපි වාහනේ ස්ටියරින්ග් වීල් එක හරි කෙලින් තියලා, ඉදිරිපස හෝ පිටුපස තියෙන රෝද යුගලය දෙස උඩ ඉඳලා බලනකොට වාහනයේ ඇතුල් පැත්තට හෝ පිට පැත්තට ඒ ඒ රෝදය හැරවිලා තියෙන ප්‍රමාණයටයි. රෝදය වාහනයේ ඇතුලට හැරවිලා තියෙනවා නම් අපි කියනවා TOE – IN කියලා… රෝදය වාහනයෙන් පිටතට හැරවිලා නම් අපි කියනවා TOE – OUT කියල… සෑම වාහනයකම ඔන්න ඔය කිව්ව ටෝ එක තිබිය යුතු ප්‍රමාණය එක්තරා පරාසයකින් දක්වලා තියෙනවා… උදාහරණයක් හැටියට ටොයෝටා කොරෝනා 1992 වාහන මාදිලියේ ටෝ එක අංශක –0006′ (කලා 6ක්) සිට අංශක 0006′ දක්වා අතර ප්‍රමාණයකින් තිබිය යුතුයි… එහෙම නැතිනම් ටෝ එක අංශක -0006’ට වඩා අඩු නම් අපි කියනවා TOE – IN කියලා ඒ වගේම අංශක 0006” වඩා වැඩිනම් අපි කියනවා TOE – OUT කියලා…

 

CAMBER එහෙමත් නැතිනම් කැම්බර් එක…

CAMBER එහෙමත් නැතිනම් කැම්බර් එක කියලා කියන්නේ අපි වාහනයේ ඉස්සරහ ඉඳන් රෝදය දෙස බලනකොට පොලවට ලම්බකව තියෙන අක්ෂයේ සිට රෝදය ඇල වී තියෙන කෝණයටයි… මේ කෝණය සෑමවිටම මනින්නේ අර කිව්ව පොලවට ලම්බක අක්ෂයේ සිටයි… ඒ නිසා ඒ කෝණය සම විටම සුළු කෝණයක් වෙනවා… පහත රූපය බලන්නකෝ නොතේරෙන දේවල් ගොඩක් රූපය දැක්කාම තේරෙනවා…..

එතකොට ඔබට තේරෙන්න ඕන (ඉහත රූපයේත් තියෙන පරිදි ) රෝදය පොලවට ලම්බක අක්ෂයේ සිට වාහනයේ ඇතුල් පැත්තට අලවෙන්නත් පුළුවන් වගේම වාහනයෙන් පිට පැත්තටත් ඇලවෙන්න පුළුවන් බව… ඔන්න ඔය ඇතුල් පැත්තට රෝදය නැවිලා තියෙනවා නම් අපි කියනවා ඒකට නෙගටිව් කැම්බර් කියලා… ඒ වගේම රෝදය වාහනයෙන් පිට පැත්තට ඇලවෙලා තියෙනවානම් අපි කියනවා පොසිටිව් කැම්බර් කියලා….

කලින් TOE එකේදී අපි කිව්වා වගේම CAMBER එකේදිත් සෑම වාහන මාදිලියකම එහි තිබිය යුතු CAMBER එකේ පරාසයක් තියෙනවා… උදාහරණයක් හැටියට ටොයෝටා කොරෝනා වාහනයේ තිබිය යුතු CAMBER එක –1005′ (අංශක 1යි කලා 5ක්) සිට 0025′ දක්වා වෙනවා… එලයින්මන්ට් එකකදී කරන්නේ ඔන්න ඔය පරාසයෙන් පිටත අගයක CAMBER එක තිබුනොත් එය එම පරාසය තුල ඇති අගයකට ගන්න එක…

 

CASTER එහෙමත් නැතිනම් කැස්ටර් එක….

කැස්ටර් එකට කලින් අපි දැනගන්න ඕන ස්ටියරින්ග් ඇක්සිස් කියන්නේ මොකක්ද කියලා… අපි දන්නවා වාහනයේ ස්ටියරින්ග් වීල් එක කරකවනකොට වාහනයේ ඉදිරිපස රෝද දෙක කරකැවෙන බව.. අන්න ඒ කරකැවෙන අක්ෂයට තමයි අපි කියන්නේ ස්ටියරින්ග් ඇක්සිස් එක කියලා…

ඔන්න ඔය ස්ටියරින්ග් ඇක්සිස් එක දිහා අපි වාහනයේ පැත්තෙන් බලනකොට ඒ ඇක්සිස් එකට  පොලවට ලම්භක අක්ෂයේ ඉඳලා තියෙන කෝණයට තමයි අපි කියන්නේ කැස්ටර් එක කියලා… 

එතකොට TOE සහ CAMBER වගේම CASTER එකේදිත් පොසිටිව් සහ නෙගටිව් කියලා දෙකක් තියෙනවා.. එතකොට පොසිටිව් කැස්ටර් එක කියන්නේ ඔන්න ඔය ස්ටියරින්ග් ඇක්සිස් එක වාහනයේ රියදුරා දෙසට ඇලවී තියේනම් අන්න ඒ අවස්ථාවට.. නෙගටිව් කැස්ටර් කියලා කියන්නේ ස්ටියරින්ග් ඇක්සිස් එක වාහනයෙන් ඉදිසිපසට ඇලවී තියේනම් අන්න ඒ අවස්ථාවට…. පහත රූපය බලන්නකෝ එතකොට නොතේරෙන දේවල් ගොඩක් තේරෙයි….

ඒ වගේම වාහන මාදිලියෙන් මාදිලියට ඔන්න ඔය කිව්ව කැස්ටර් එකේ තිබිය යුතු පරාසයක් තියෙනවා…

උදාහරණයක් හැටියට ටොයෝටා කරීනා රථයේ කැස්ටර් එක -0010′ සිට 1020′ දක්වා අගයක තිබිය යුතු වෙනවා… වීල් එලයින්මන්ට් එකේදී කරන්නේ  කැස්ටර් එක ඔන්න ඔය තිබිය යුතු පරාසයේ අගයකට රෝද වල පිහිටීම ලබා ගැනීමයි….

 

ඇත්තටම මෙහෙම වීල් එලයින්මන්ට් නැති වෙන්නේ ඇයි…

දැන් ඕගොල්ලෝ වීල් අලයින්මන්ට් ගැන සුපිරියටම ඉගෙන ගත්තා… හැබැයි ඉතින් හොඳට තිබ්බ වාහනයක නිකම්ම වීල් අලයින්මන්ට් නැති වෙන්නෙත් නැහැ… එහෙම වෙන්නත් හේතු තියෙනවා…
ගොඩක් වෙලාවට වීල් අලයින්මන්ට් නැති වෙන්නේ රෝදය ආශ්‍රිතව රෙපෙයාර් එකක් කරන්න සිද්ද උනොත් තමයි… උදාහරණ හැටියට කොයිල් ස්ප්‍රින්ග්, CV ජොයින්ට් හෝ ෂොක් වගේ දේවල් අලුතින් දැම්මොත් වීල් අලයින්මන්ට් නැති වෙලා යන්න පුළුවන්…
ඒ වගේම ඔබේ වාහනේ ලෝවර් ආර්ම් එක කැඩුනොත්, එත් වීල් මිස් අලයින්මන්ට් වෙනවා…
මීට අමතරව ඔබේ වාහනේ බෝල් ජොයින්ට් එක ගලවන්න සිද්ද උනොත් එහෙම ඒ වෙලාවටත් රෝද මිස් අලයින්මන්ට් වෙන්න පුළුවන්…
කොහොමහරි රෝදේ ඔය සංවේදී කොටස් අතපත ගෑවෙන විදියේ වැඩක් සිද්ද උනොත් වීල් අලයින්මන්ට් නැති වෙන්න ගොඩක් ඉඩ තියෙනවා….

ඉතින් ඔය කිව්ව කාරනා එක්ක වීල් අලයින්මෙන්ට් චෙක් කරන්න ඕන අවස්ථා ටිකක් අපිට පෙන්නලා දෙන්න පුළුවන්… දැන් බලමු ඒ මොනාද කියලා…

 

වීල් එලයින්මන්ට් කරන්න අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලද ?

මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්…

ඒකට හේතුව තමයි වීල් එලයින්මන්ට් කරන්න ඕන අවස්ථා නොදන්නාකම නිසා ඉතා විශාල පාඩු සිදුවීම… ඒ නිසා පහත අවස්ථා වලදී ඔබ ඔබේ වාහනයේ වීල් එලයින්මන්ට් එක කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා….

  1. සැලකියයුතු අනතුරක් සිදු උනාට පසු…
  2. වාහනයේ ටයර් වල අසමාකර ගෙවියාමක් දකින්නට තිබේනම්…
  3. සෑම කිලෝමීටර් 50000කට වරක්.
  4. ස්ටියරින් හා සස්පෙන්ෂන් පද්ධති වල අලුත්වැඩියාවක් සිදුකළ පසු… උදා: ෂෝක්ඇබ්සෝබර් කොයිල් ස්ප්‍රින් වැනි කොටස්…
  5. CV ජොයින්ට් අලුතින් දැමූ පසු…
  6. බෝල් ජොයින්ට් අලුතින් දැමූ පසු
  7. ලෝවර් ආර්ම් එක හෝ එහි බුෂ් අලුතෙන් දැමූ පසු…