ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙනගනිමු

“ඉග්නිෂන් සිස්ටම් එක කියන්නේ මොකක්ද…..?” කියලා ඇහුවොත් සරලව දෙන්න තියෙන උත්තරේ තමයි, ස්පාර්ක් ප්ලග් හතර සහ  ඩිස්ට්‍රිබියුටර් එක. මේකට ඩෙල්කෝ එක කියලත් සමහරු කියනවා. ඔබේ වාහනය EFI වාහනයක් නම් ඔන්න ඔය ඩිස්ට්‍රිබියුටර් එකට අමතරව ECU එකත් ඉග්නිෂන් සිස්ටම් එකට අයත් වෙනවා… ඊටත් පස්සේ ආපු වාහන එහෙමත් නැතිනම් අනූව අග භාගයේදී ඉඳල එන වාහනවල ඩිස්ට්‍රිබියුටර් එක වෙනුවට තියෙන්නේ ඉග්නිෂන් කොයිල් පැක් එක.. ඒ කියන්නේ ඒ වාහනවල ඉග්නිෂන් සිස්ටම් එකට අයිති වෙන්නේ ස්පාර්ක් ප්ලග් හතර, ඉග්නිෂන් කොයිල් පැක්එක සහ ECU එක.  

 

ඉග්නිෂන් සිස්ටම් එකෙන් මොකක්ද වෙන්නේ?

ඉග්නිෂන් සිස්ටම් එකෙන් වෙන්නේ එන්ජිමේ දහන කුටීරය ඇතුලට කුඩා විදුලි පුලිඟුවක් ලබාදෙන එක… ඔය දෙන විදුලි පුලිඟුව දෙන්න ඕන වෙලාවක් තියෙනවා… ඒ දෙන්න ඕන වෙලාව තමයි පිස්ටන් එකෙන් ඉන්ධන සහ වාතය උපරිම තෙරපීමකට ලක්වෙන වෙලාව…  පහත රූපය අනුව ඔබට පේනවා ඇති පිස්ටනයෙන් උපරිම පීඩනයකට දහන මිශ්‍රණය ලක්වෙන්නේ පිස්ටන් එක උඩටම එන වෙලාවට කියලා… ඔන්න ඔය උඩම ලෙවල් එකට අපි කියන්නේ ටොප් ඩෙඩ් සෙන්ටර් කියලා (Top Dead Center එහෙමත් නැතිනම් කෙටියෙන් TDC).

ටොප් ඩෙඩ් සෙන්ටර් (TDC)

ඔන්න ඔය නිසා තමයි අපි කතාවෙන්නේ ඉග්නිෂන් ටයිමින්ග් එකක් ගැන.. ඒ කියන්නේ හරි වෙලාවට ස්පාර්ක් ප්ලග් එක විදුලි පුලිඟුව සැපයීම… අපි කලින් කිව්වා ඔය වෙලාව වෙන්නේ පිස්ටනයෙන් දහන කුටීරයේ ඉන්ධන සහ වාතය මිශ්‍රණයට උපරිම පීඩනයක් ලබාදෙන වෙලාව කියලා (TDC)…

එතකොට අපි දන්නවා දහන මිශ්‍රණය උපරිම පීඩනයට ලක් වෙලා තියෙන අවස්ථාවේ ඒ කියන්නේ පිස්ටන් එක උඩම ලෙවල් එකට එන අවස්ථාවේ තමයි මිශ්‍රණය දහනය වෙන්න ඕන කියලා… ඊට කලින් හරි පසුව හරි උනොත් එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වීමක් වෙනවා…

හැබැයි ඇත්තටම බැලුවොත් ඔය අවස්ථාවේ නෙවෙයි පුලිඟුව දහන කුටීරයට ලබා දෙන්න ඕනා… පුලිඟුව ස්පාර්ක් ප්ලග් එකෙන් ආපු වෙලාවේම ඉන්ධන දහනය වෙන්නේ නැහැ… ඒකටත් පොඩි වෙලාවක් යනවා… ඔන්න ඔය ගතවන කෙටි වෙලාව නිසා පිස්ටන් එක උඩම ලෙවල් එකට එන වෙලාවේ ස්පාර්ක් ප්ලග් එකෙන් විදුලි පුලිඟුවක් දුන්නොත් පිස්ටන් එක ආපහු පහලට යන වෙලාවක තමයි මිශ්‍රණය දහනය වෙන්නේ… ඒකට හේතුව තමයි ස්පාර්ක් ප්ලග් එකෙන් පුලිඟුව ලබාදෙන වෙලාවේ ඉඳලා ගතවෙන කුඩා කාලය…

ඉතින් ඉහත හේතුව නිසා ස්පාර්ක් ප්ලග් එකෙන් දෙන පුලිඟුව දෙන්න ඕන පිස්ටන් එක එහි උපරිම ලෙවල් එකට යන්න කෙටි වෙලාවකට කලින්… ඔය කෙටි වෙලාව තමයි පුලිඟුව ඇතිවන වෙලාවේ ඉඳලා මිශ්‍රණය දහනයවීම පටන්ගන්න ගතවෙන කාලය….පහත රූපය බලන්න…… පිස්ටන් එක එහි උපරිම ලෙවල් එකට එන්න කලිනුයි ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් කරන්නේ…

අපි ඔන්න ඔය කලින් ස්පාර්ක් කරන එකට කියන්නේ ඉග්නිෂන් ඇඩ්වාන්ස් කරනවා කියල…

ස්පාර්ක් ප්ලග් එන්ජිමට ඕන වෙන්නේ ඇයි කියලා අපි කතා කළා..ඒ වගේම ස්පාර්ක් කරන්න ඕන මොන වේලාවේද කියලත් අපි කතා කළා… ඉතින් දැන් අපිට බලන්න පුළුවන් ස්පාර්ක් ප්ලග් එකෙන් කොහොමද මේ පුලිඟුව උත්පාදනය කරන්නේ කියල…

 

ස්පාර්ක් එකක් ගන්නේ කොහොමද?

ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් එකක් පන්නගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.. මේකෙදී වෙන්නේ හරිම සරල දෙයක්… ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් එකක් පන්නගන්න අපි දැකල තියෙන ස්පාර්ක් ප්ලග් එකේ තුඩේ තියෙන ගැප් එක අතර ඉතා ලොකු වෝල්ටීයතාවයක් හදාගන්න ඕන.. වාහනයක තියෙන උපරිම වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් 12V වගේනේ වෙන්නේ.. ඉතින් කොහොමද ඔය 12V එකෙන් 25000V  වගේ ලොකු එකක් ලබාගන්නේ? ඒක හරිම ලේසි දෙයක්.. කොයිල් දෙකක් තියෙනවා කොයිල් දෙකම එක හරයක් වටා ඔතලා තියෙනවා… එකක වට ගණන වගේ සිය ගුණයක් අනෙක් එකේ වට ගාන…වට ගාන අඩු එකට අපි කියනවා ප්‍රයිමරි කොයිල් ( Primary Coil) කියලා වට ගාන වැඩි එකට කියනවා සෙකන්ඩරි කොයිල් (Secondary Coil) කියලා… Primary Coil එකට 12V සප්ලයි එක දීල තියෙනවා… Secondary Coil එක ස්පාර්ක් ප්ලග් එකට සම්බන්ධ කරලා තියෙනවා… ඊට පස්සේ Primary Coil එකේ 12V සප්ලයි එක ස්විච් එකකින් ටක් ගාල OFF කරලා එවෙලේම ON කරනවා… ඔය විදියට OFF කරලා එවෙලේම ON කලාම Secondary Coil එකේ හැදෙනවා ඉතා විශාල වෝල්ටීයතාවයක්. ඔන්න ඔහොම තමයි ස්පාර්ක් එකක් අපි හදාගන්නේ 12V සප්ලයි එකෙන්… ඉතින් ඔය විදියට හදාගත්ත අධික වෝල්ටීයතාවය ස්පාර්ක් ප්ලග් එකට දෙනවා…

පල්ලෙහා රූපේ බැලුවම ඕක හොඳටම තේරේවි…

 

ඔබට මතක ඇති අපි කිව්වා ඉග්නිෂන් සිස්ටම් එකේ තියෙනවා කියලා බැටරිය, ස්පාර්ක් ප්ලග්, ඩිස්ට්‍රිබියුටර් එක, කොයිල් පැක් එක සහ ECU එක. එක එක වාහනවල තියෙන ටෙක්නොලොජි එක අනුව ඒ ඒ වාහනවල ඉහත කිව්ව ඇතැම් අංග ඉවත් වෙනවා..

පහල ලිපි පෙලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ එක එක ඉග්නිෂන් සිස්ටම් වල තියෙන වෙනස්කම් ගැන… ඔයාලගේ වාහනේ තියෙන ඉග්නිෂන් සිස්ටම් එක හරියටම අඳුරගන්න මේ ලිපි පෙළ ගොඩක් උදව් වේවි…

ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙනගනිමු – මෙකැනිකල් ස්විචින්ග්

ඉග්නිෂන් සිස්ටම් එක ගැන ඉගෙනගනිමු – ඉලෙක්ට්‍රොනික් ස්විචින්ග් හා ESA