එක එක ජාතියේ එන්ජින් ඔයිල් ගැන දන්නවද?

වාහන ගැන අල්පමාත්‍ර දැනුමක් හරි තියෙන ඕන කෙනෙක් දන්න දෙයක් තමයි “එන්ජින් ඔයිල්” කියන්නේ… ඔයාල ජිවිතේ කවදාම හරි එන්ජින් ඔයිල් එන්ජිමට දාල ඇති… එහෙම නැත්තන් අඩුම ගානේ ලෙවල් එක හරි බලල ඇති… මේ දෙකම තාම තනියෙන් කරගෙන නැත්තන් අනිවාර්යෙන්ම මෙන්න මේ ලිපියයි මේ ලිපියයි බලන්න…

වෙළඳපොලේ දකින්න ලැබෙන එන්ජින් ඔයිල් කෑන් කීපයක සමීප රුප තමයි පහලින් පෙන්නලා තියෙන්නේ…

ඔය හැම කෑන් එකකම ඔයාලට පේනවා ඇති අපි රවුම් කරලා පෙන්නලා තියෙනවා යම්කිසි ඉලක්කම් දෙකක අගයක්… 0W – 30, 5W – 40 ආදී වශයෙන් මේ ඉලක්කම් දෙක දකින්න පුළුවන්… එන්ජින් ඔයිල් කියන්නේ සරල මාතෘකාවක් උනාට බොහෝ දෙනෙක්ට මෙන්න මේ ඉලක්කම් දෙකෙන් කියවෙන කතාව ගැන නම් හරි අවබෝධයක් නැහැ… අන්න ඒ හැම අනවබෝධයක්ම සුනුවිසුණු කරලා දාන්න තමයි මේ පිටුව සම්පුර්ණයෙන්ම අපි වෙන් කරන්න හිතුවේ…

ඉතින් අපි බලමු මොනවද මේ එක එක ජාතියේ එන්ජින් ඔයිල් කියල… ඊට කලින් මෙන්න මේ විද්‍යා කතන්දරේ ගැන පොඩ්ඩක් බලන්න…

 

තෙල් වතුර හා දුස්රාවිතාවය

තෙලුයි වතුරයි අතරේ වෙනස මොකද්ද…? ඕගොල්ලෝ කෙලින්ම කියාවි වතුරට වඩා තෙල් උකුයි කියල… දැන් මී පැණි එහෙම ගත්තොත් එහෙම තෙල් වලටත් වඩා උකුයි නේ… අන්න ඒ උකු ගතිය හඳුන්වන්න විද්‍යාවේ භාවිතා කරන වචනය තමයි “දුස්රාවිතාවය” කියන්නේ… හරියටම සිංහලෙන් කිව්වොත් “ද්‍රවයක අනුක මට්ටමේ පවතින ඝර්ෂණ බලයේ විශාලත්වය” තමයි දුස්රාවිතාවයේ අගයෙන් පෙන්වන්නේ….

සරලව කිව්වොත් දුස්රාවිතාවය අඩු නම් උකු ගතිය අඩුයි, දුස්රාවිතාවය වැඩි නම් උකු ගතිය වැඩියි…

දුස්රාවිතාවය වැඩි ද්‍රවයක් ගලන්නේ හෙමින්… යම් ප්‍රදේශයක පැතිරෙන්න යන කාලය වැඩියි දුස්රාවිතාවය වැඩි ද්‍රවයකට… හිතන්නකෝ පැණි බෝතලෙකුයි වතුර බෝතලෙකුයි මේසයක් උඩ හැලුවොත් වෙන දේ… වතුර මුළු මේසේම වහගෙන ඉක්මනට පැතිරෙන අතරේ පැණි බොහොම හෙමීට වක්කරපු තැන විතරක් තියෙනවා….
ඔන්න ඕක තමයි දුස්රාවිතාවය එක්ක ද්‍රවයක හැසිරීමේ ඇතිවෙන මූලික වෙනස්කම….

 

එන්ජින් ඔයිල් එකක දුස්රාවිතාවය

එන්ජින් ඔයිල් කියන්නෙත් ද්‍රවයක්… මෙන්න මේ එන්ජින් ඔයිල් කියන ද්‍රවයේ දුස්රාවිතාවය පෙන්නන්න තමයි අපි අර කලින් කිව්ව ඉලක්කම් දෙක පාවිච්චි කරන්නේ… දැන් ඕගොල්ලෝ බලාවි මෙතන මොකද ඉලක්කම් දෙකක් කියල… මොකද දුස්රාවිතාවය ඉතින් එක අගයකින් පෙන්වන්න පුළුවන් නේ….

ඇත්තටම ඔහොම ඉලක්කම් දෙකකින් එන්ජින් ඔයිල් එකක දුස්රාවිතාවය පෙන්වන එක ලෝක සම්මතයක්… ඉලක්කමක් එක්ක “W” අකුරක් තියෙන පලවෙනි අංකය, සහ ඉලක්කමක් විතරක් තියෙන දෙවැනි අංකයක් ආධාරයෙන් එන්ජින් ඔයිල් එකක දුස්රාවිතාවය සම්මතයක් හැටියට පෙන්වනවා…

ඔය W අකුරෙන් කියවෙන්නේ “Winter” (වින්ටර්) එහෙමත් නැත්නම් සීත කාලය කියන එකයි… සීතල වෙලාවකදී (0C) එන්ජින් ඔයිල් එකේ දුස්රාවිතාවය තමයි W අකුරට කලින් තියෙන ඉලක්කමෙන් පෙන්වන්නේ… අනික් ඉලක්කමෙන් පෙන්වන්නේ 100C දී එහෙම නැත්තන් සෙල්සියස් අංශක සීයේදී අදාළ ඔයිල් එකේ දුස්රාවිතාවය කොච්චරද කියල… ඔන්න ඔය XW – XX කියල දක්වන අගයට එන්ජින් ඔයිල් එකේ ග්‍රේඩ් එක කියල තමයි කියන්නේ…

 

එන්ජින් ඔයිල් වල වෙනස්කම් මොනවද

ඉතින් කලින් ගත්ත දැනුමත් එක්ක අපි එන්ජින් ඔයිල් කීපයක අගයන් සන්සන්දයන කරලා බලමු…

 

උදාහරණයකට ගන්න 0W – 30 හා 5W – 30

මේ ජාති දෙක බැලුවම සෙල්සියස් 100දී දුස්රාවිතාවය සමානයි.. අගය 30යි…

එත් සීතල වේලාවකදී පලවෙනි එකේ දුස්රාවිතාවය ‘0’ හා දෙවැනි එකේ ‘5’ හැටියට තමයි දක්වන්නේ… එතකොට සීතල වෙලාවක එන්ජිම ස්ටාර්ට් කරන්න කලින් පලවෙනි ඔයිල් එකේ උකු ගතිය අඩු අතරේ දෙවැනි එකේ උකු ගතිය පොඩ්ඩක් වැඩියි…

උකු ගතිය අඩු නිසා පලවෙනි ඔයිල් එකට දෙවැනි එකට සාපේක්ෂව එන්ජිම පුරා අඩු කාලයකින් පැතිරෙන්න පුළුවන්… ඒ නිසා සීතල වෙලාවක ස්ටාර්ට් කලාම එන්ජින් ඔයිල් එකේ කාර්යය හොඳටම කරන්නේ පලවෙනි ඔයිල් එක…

ඊට පස්සේ ස්ටාර්ට් කරලා එන්ජිම හීට් උනාට පස්සේ ඔයිල් දෙකම සමාන උකු ගතියට පත් වෙනවා… ඉතින් ඔය 0W වලින් පටන් ගන්න ඔයිල් එක ගොඩක් සීතල ප්‍රදේශවල වාහනවලට යොදන්න හොඳයි කියල කියන්න පුළුවන්…

 

තව උදාහරණයක් ගමු 10W – 30 හා 10W – 40

මේ අගයන් දිහා බලපු ගමන් ඔයාලට පේන්න ඕන සෙල්සියස් අංශක 100 දී පලවෙනි ඔයිල් එකට වඩා දෙවැනි එකේ උකු ගතිය වැඩි බව… ඉතින් මෙහෙම වැඩි උෂ්ණත්වයේදී උකු බව වැඩි වෙන එක ඔයිල් එකකට හොඳද නරකද…

ඇත්තටම වැඩි උෂ්ණත්වයේදී දුස්රාවිතාවයේ අගය ගැන අපිට පොදු අදහසක් දෙන්න බැහැ… මොකද ඒක තනිකරම එන්ජිමේ ස්වභාවය මත බලපාන හින්දා…
මොකද ඔයිල් එකක් වැඩි උෂ්ණත්වයකදී ගොඩක්ම තුනී උකු ගතියෙන් අඩු වෙන්නත් හොඳ නැහැ… මොකද එක නිකන් වතුර දැම්ම වගේ වෙන හින්ද… බලය වැඩි බරසාර කොටස් තියෙන එන්ජිමකට ඒ වගේ වැඩි උෂ්ණත්වයේ තුනී වෙන ඔයිල් හරියන්නේ නැහැ…

ඒ වගේම ගොඩක් උකු වෙන්නත් හොඳ නැහැ… මොකද එතකොට එන්ජිම පුරා තෙල් ඉක්මනට සංක්‍රමණය වෙන්නේ නැහැ… එතකොටත් හරියට ඔයිල් එකේ කාර්යය වෙන්නේ නැහැ…

ඒ හින්ද මේ වැඩි උෂ්ණත්වයේ ඔයිල් එකේ දුස්රාවිතාවය ගැන අපිට හිතල තීරණ ගන්න බැහැ… එන්ජිම ඩිසයින් කරන කොම්පැනිය අදාළ එන්ජිමට දාන්න පුළුවන් හොඳම ඔයිල් එක ගැන පරීක්ෂණ කරලා අපිට කියනවා… අපිට තියෙන්නේ අන්න ඒ අගය පිළිගන්න එක විතරයි…

 

වාහනේට දාන්න ඕන ඔයිල් එක තෝරාගන්නේ කොහොමද

මේක හරිම සරලයි… කලින් කිව්වා වගේ එන්ජිම හදන වාහන කොම්පැනියෙන් අදාළ එන්ජිමට දාන්න ඕන ඔයිල් වර්ගයත් නිර්දේශ කරනවා… වාහන ඔනර්ස් මැනුවල් එකේ දාන්න ඕන ඔයිල් එක අනිවාර්යෙන්ම අර XW – XX නොටෙෂන් එකෙන් බලාගන්න පුළුවන්… ඔයිල් මාරු කරද්දී හරියටම ඒ ඔයිල් එක සල්ලි දීල අරන් දාන්න තමයි තියෙන්නේ…

නමුත් අපි දැකල තියෙනවා ලංකාවේ සර්විස් ස්ටේෂන් වල හිතුමනාපෙට වෙනස් ඔයිල් වර්ග භාවිත කරන අවස්ථා… ලාබය, මිල වගේ සාධක හින්දා එයාල ඒ දේ කරනවා වෙන්න පුළුවන්… හුඟක් වෙලාවට කරන්නේ 0W ඔයිල් වෙනුවට 5W හෝ ඇතැම් වෙලාවට 10W ඔයිල් පවා පාවිච්චි කරන එක… ලංකාව රස්නේ රටක් හින්දා අඩු උෂ්ණත්වයකට ඔයිල් එක පත් වෙන්නේ නැහැ, ඒ හින්දා 0W, 5W මොකක් දැම්මත් එකයි කියන තර්කය තමා ඔවුන් භාවිතා කරන්නේ… ඇත්තම කිව්වොත් ඒ කතාවේ ලොකු වැරද්දක් නැහැ… නමුත් පුළුවන් හැම වෙලාවකම මැනුවල් එකේ තියෙන ඔයිල් එකම පාවිච්චි කරන්න බලන්න…

හැබැයි කොයිම වෙලාවකවත් දෙවැනි ඉලක්කම වෙනස් ඔයිල් නං පාවිච්චි කරන්න එපා… ඒ ඉලක්කමෙන් කියවෙන්නේ එන්ජිම රත් වෙලා තියෙද්දී ඔයිල් එකේ තියෙන්න ඕන දුස්රාවිතා අගයනේ… ඒක වෙනස් එකක් ගත්තොත් වෙන්නේ එන්ජිම වැඩ කරද්දී ඔයාගේ ඔයිල් එක පමණට වඩා තුනී වෙයි… එහෙම නැත්තනම් ඕනවට වඩා උකු වෙයි… මේ දෙකම එන්ජිමකට හොඳ නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ…

 

මේ තනි ඉලක්කමක් විතරක් තියෙන ඔයිල් මොනාද…?

ඉලක්කම් දෙකකින් අඩු හා වැඩි උෂ්ණත්වවල දුස්රාවිතාවය ඔයිල් එකක පෙන්නලා තියෙනවා කිව්වට, ඔයාල දැකල ඇති එක ඉලක්කමක් විතරක් තියෙන ඔයිල් කෑන් කඩේ ගන්න තියෙනවා… SAE – 30, SAE – 50 වගේ තමා ඕව තියෙන්නේ…

මේ තනි ඉලක්කමේ ඔයිල් එකේ ඉලක්කමෙන් කියවෙන්නේ වැඩි උෂ්නත්වයෙදී ඔයිල් එකේ දුස්රාවිතාවය… එහෙම නැත්තන් 100C වලදී දුස්රාවිතාවය… මේ ජාතියේ ඔයිල් අඩු උෂ්ණත්වයේදී දුස්රාවිතාවය අඩු වෙන විදියට හදල නැහැ… ඒ හින්ද සීත කාලවල පාවිච්චියට මේ ඔයිල් සුදුසු වන්නේ නැහැ… ගොඩක්ම පරණ වාහන වලට තමයි මේ ජාතියේ ඔයිල් ආවේ… දැන් පාවිච්චි වෙන ගොඩක් වාහන වලට යොදන්නේ ඉලක්කම් දෙකකින් ග්‍රේඩ් එක පෙන්වන එන්ජින් ඔයිල්ම තමයි…

ඉතින් ඔයිල් එකේ කතාව ඔච්චරයි… අපිට මගහැරුණු මොනවහරි දෙයක් තිබුනා නම්, හෝ ලිපියේ මොකක් හරි වැරද්දක් තිබ්බ නම් අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න… මොකක් හරි අලුතෙන් යමක් දැනගත්තා නම් ලයික් එකක් දාන්න… එතකොට අපි පලකරන හැම පිටුවක් ගැනම ඉක්මනටම දැනුවත් වෙන්න පුළුවන්….