එන්ජින් ඔයිල් මාරු කිරීම

හැම සර්විස් එකකදීම අනිවාර්යෙන් කෙරෙන දෙයක් තමයි මේ “ඔයිල් මාරු කිරිල්ල”… මේකෙදි කරන්නේ, පරණ වෙච්ච එන්ජින් ඔයිල් එන්ජිමෙන් අයින් කරලා ඒ වෙනුවට අලුත්ම ඔයිල් දාන එක… කලින් ඔයිල් මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 5000ක් දුවලනම් හෝ මාස 6ක් ගිහිල්ල නම් එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන…

එන්ජින් ඔයිල් මාරු කරනවා කියන්නේ ඇත්තටම ලොකු වැඩක් නෙමේ… කරන්න ඕන දේවල් ටික දන්නවානං, උනන්දුව තියෙනවානං, ඕන කෙනෙකුට මේ වැඩේ ගෙදරදීම කරන්න පුළුවන්… ඉතින් දැන් අපි බලමු එන්ජින් ඔයිල් මාරුව ගෙදරදීම කරගන්නේ කොහොමද කියල…

 

අවශ්‍ය ද්‍රව්‍ය…

 

අලුත්ම අලුත් එන්ජීන් ඔයිල් කෑන් එකක්…

මේ තමයි එන්ජිමට දාන අලුත් ඔයිල්… තමන් පාවිච්චි කරන වර්ගයෙන් ලීටර 4 කෑන් එකක් කඩේට ගිහින් අරගන්න… දැන් සමහරු ඉන්නවා තමන්ගේ වාහනේට දාන්න ඕන එන්ජින් ඔයිල් වර්ගය දන්නේ නැති… එහෙම අය වාහනේ මැනුවල් එක බලල දාන්න ඕන එන්ජින් ඔයිල් එක හොයා ගන්න ඕන… මැනුවල් එක නැත්තන් දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන… දන්න කෙනෙකුත් නැත්තන් ඉන්ටෙර්නෙට් එකේ බලල හරි හොයා ගන්න වෙනවා… මොකද දාන්න ඕන ඔයිල් එක දන්නේ නැතුව මේ වැඩේ ඉස්සරහට යන්න අමාරුයි….

 

බොක්ස් ස්පැනර් සෙට් එකක්…

වාහනවල වැඩ කරද්දී මේ බොක්ස් ස්පැනර් ගොඩක් වෙලාවට උවමනා වෙනවා… සල්ලි දීල හොඳ සෙට් එකක් අරන් තියාගත්තට පාඩු නැහැ… බොක්ස් ස්පැනර් දැකල නැති කට්ටියට බලාගන්න පල්ලෙහායින් පින්තුරු ටිකක් දානවා… මේවා ටූල් කඩේකින් ලේසියෙන්ම මිලදී ගන්න පුලුවන්…

ෆ්ලැට් බේසමක්…

මේක අපි පාවිච්චි කරන්නේ පරණ ඔයිල් ටික එකතු කරගන්න… කළු වෙච්ච පරණ ඔයිල් එකතු වෙන හින්ද මේ වැඩේට ගෙදර මුණ හෝදන අලුත් බේසම් ගන්න එපා… ටිකක් පරණ, හිල් නැති, වාහනේ යටට රින්ගවන්න පුළුවන්, ලීටර් 5ක් විතර අල්ලන පළල බේසමක් මේ වැඩේට හොඳයි…

 

රබර් ග්ලවුස් දෙකක්…

පරණ ඔයිල් අතේ ගෑවෙන්න පුළුවන් හින්ද ග්ලවුස් දෙකක් දාගෙනම වැඩේට බහින්න…

 

පිරිසිදු වියලි පුනීලයක්…

මේක ඕන වෙන්නේ අලුත් ඔයිල් දාද්දි.. ඉහිරෙන්නේ නැති වෙන්න ඔයිල් දාන්න පුනිලයක් තිබ්බම ලේසියි…

 

ජැක් එකක් හා ජැක් ස්ටෑන්ඩ්

වාහනේ යටට රිංගන්න ඉඩ මදි නම් විතරයි මේවා ඕන වෙන්නේ… සමහර කාර් තියෙනවා ගොඩක් පාතයි, නැත්තන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි… අන්න ඒ වගේ වාහන වලට නම් මේ ඔයිල් මාරු කරන වැඩේ කරන්න කලින් ජැක් එකක් තියල උස්සන්න වෙනවා… වාහනේ යට හොඳට ඉඩ තියෙනවා නම් මේවා ඕන වෙන්නේ නෑ..
යට රිංගල කරන වැඩක් හින්ද ගොඩක්ම හොඳයි ෆ්ලෝර් ජැක් එකක් හොයාගන්න පුළුවන් නම්… සීසර් ජැක් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ජැක් ස්ටෑන්ඩ් පාවිච්චි කරන්න ඕන… ජැක් ගැහිල්ල නුපුරුදු අය ජැක් ගහන හරිම විදිය ගැන ලියවිච්ච මේ ලිපිය කියවල ඉන්න …

 

බඩු ටික හරිනං අපිට පුළුවන් වැඩේට බහින්න….

 

 

ඔයිල් මාරු කරන විදිය දැනගමු

 

ඔයිල් සම්ප් එක හොයාගන්න….

වාහන එන්ජිමක් ස්ටාර්ට් එකේ තියෙද්දී එන්ජිමේ හැම අහුමුල්ලකටම එන්ජින් ඔයිල් පොම්ප කෙරෙනවා… මේක කරන්නේ පොම්පයකින්… ඔයිල් පම්ප් කියල තමයි ඒ පොම්පෙට කියන්නේ… එන්ජිම නැවත්තුවම ඔය පොම්පෙත් නවතිනවා… එතකොට අර එන්ජිම පුරා පැතිරිලා තියෙන ඔයිල් වලින් කොටසක් නැවත පොම්පය වෙත එනවා… ඒවා එකතු වෙන්නේ ඔයිල් සම්ප් එකට…
අලුත් ඔයිල් දාන්න කලින් අපි එන්ජිමේ තියෙන පරණ ඔයිල් අයින් කරන්න ඕනනේ… එතැනදී අපි කරන්නේ ඔයිල් සම්ප් එකේ එකතු වෙලා තියෙන ඔයිල් ටික අයින් කරන එක තමයි… ඒ හින්ද මේ කෑල්ල තියෙන තැන දැනගෙන ඉන්න එක වැදගත්…
ඔයිල් සම්ප් එක තියෙන්නේ එන්ජිමේ යට… පහත රූපයෙන් වාහන කිහිපයක ඔයිල් සම්ප් පෙන්නලා තියෙනවා…

 

ඩ්රේන් ප්ලග් ( Drain Plug) එක තියෙන තැන හොයාගන්න

සම්ප් එකේ තියෙනවා සාමාන්‍ය අවස්ථාවල වහල තද කරලා තියෙන පිටවුම් දොරටුවක්…. මේකට අපි කියන්නේ ඩ්රෙන් ප්ලග්( Drain Plug ) කියලා… මේක ගැලෙව්වම පරණ ඔයිල් එක සම්ප් එකෙන් එලියට වැක්කෙරෙනව… පහල පින්තුර වලින් ඩ්රෙන් ප්ලග් එක තියෙන තැනයි, ගලවන විදියයි පෙන්නලා තියෙනවා .. හැබැයි මේක තියෙන තැන වාහනෙන් වාහනේට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්… එත් සම්ප් එක හොයාගත්තම ඩ්රේන් ප්ලග් එක හොයාගන්න එක ගොඩක් අමාරු නෑ…

 

වාහනය තැනිතලා පොළවක නවත්වන්න…

ඇයි වාහනය තැනිතලා පොළවක තියන්නේ…? එකට හේතුව තමයි එකක් සම්ප් එකේ තියෙන පරණ ඔයිල් ඔක්කොම එලියට එන්න නම් වාහනය තැනිතලාවක තියෙන්න ඕනි.. අනික තමයි නැවත ඔයිල් දානකොට දාන ඔයිල් ලෙවල් එක නිවැරදිව පෙන්නන්නේ වාහනය තැනිතලා පොළවක තිබ්බම විතරයි…

 

වාහනය විනාඩි 10ක් පමණ ස්ටාර්ට් කරලා තියන්න…

වාහනයේ ඔයිල් එන්ජිම පුරා පැතිරෙනවා කියලා අපි දැන් දන්නවා… මේ ඔයිල් වලින් කොටසයි වාහනය නැවතුනාම සම්ප් එකට එන්නේ…කුඩා ප්‍රමාණයක් තවමත් එන්ජිමේ ඉතිරිවෙලා තනියෙවා..අන්න ඒ ටික ඇරෙන්න සම්ප් එකේ තියෙන ඔක්කොම ඔයිල් ටික ගන්න නම් ඔයිල් රස්නේ පිට එලියට ගන්න ඕනි… ඒ නිසා ඩ්රේන් ප්ලග් එක ගලවන්න කලින් විනාඩි 10ක් පමණ ස්ටාර්ට් එකේ තියන්න…

 

විනාඩි 10 ගියාම වාහනේ නවත්තන්න…

වැරදිලාවත් එන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී ඔයිල් අයින් කරන්න එපා… එන්ජිමේ අවසානය තමයි එහෙම කලොත්…ඒ නිසා වාහනය විනාඩි 10ක් පමණ ස්ටාර්ට් එකේ තබා නැවත්වීම අනිවාර්ය බව මතක තබාගන්න…

 

ඉඩ මදිනම් ජැක් ගහන්න

මීට පස්සේ කෙරෙන වැඩ වලට වාහනේ යටට රිංගන්න වෙනවා… ඒ හින්ද වාහනේ ගොඩක් පාතයි නම් ජැක් එකක් ගහල උස්සන්න ඕන… ජැක් එක ගහන්න ඕන ඩ්රේන් ප්ලග් එක ගාව රෝදේට තමයි… ජැක් එකක් ගහද්දි දැනගන්න ඕන හැමදේම මේ ලිපියේ තියෙනවා…

 

ඩ්රේන් ප්ලග් එක ගලවන්න ..

වාහනේ නවත්තලා ෆ්ලැට් බේසමක් අරන් අර හොයාගත්ත ඩ්‍රේන් ප්ලග් එක යටින් තියන්න…

දැන් රබර් ග්ලවුස් දෙක දාගෙන ඩ්‍රේන් ප්ලග් එක හෙමින් හෙමින් බුරුල් කරන්න… එන්ජිම ස්ටාර්ට් එකේ තිබ්බ නිසා සම්ප් එකත් ටිකක් රත් වෙලා තියෙන්නේ මේ වෙලාවේ… ඒ හින්ද පරිස්සමින් අත පුච්ච ගන්නේ නැතුව ඔය වැඩේ කරන්න…

ප්ලග් එක ගැලවීගෙන එනකොට එක පාරටම ගලවන්න එපා.. ඔයිල් එකපාරටම එලියට එයි එහෙම උනොත්…ප්ලග් එක ගැලවෙන්න ලං වෙනකොට ඉතා සෙමෙන් සෙමෙන් බුරුල් කරලා ප්ලග් එක අතට ගන්න.. ඔය වෙලාවේදී ප්ලග් එක තදින් අල්ලගන්න ඕනි… නැතිනම් අර එලියට එන ඔයිල් එක්කම ප්ලග් එකත් බේසමට වැටෙන්න පුළුවන්…
ඔයිල් ටික ටික එලියට එන්න පටන්ගන්නවා ප්ලග් එක බුරුල් වීගෙන එන අන්තිම ටිකේ.. ප්ලග් එක සම්පුර්ණයෙන්ම ගැලවුනාට පස්සේ ඔයිල් ෆ්ලෝ එක පහතට වැටෙන්න ගන්නවා…

වැටෙන පැත්ත ගැන ටිකක් අවබෝධයෙන් ඉන්න… මොකද ඒ වැටෙන පැත්තට බේසම එහා මෙහා කරන්න වෙයි… ඔයිල් බින්දුවක්වත් බිම වැටෙන්නේ නැතිවෙන්න ඉවසීමෙන් පිළිවෙලට මේ වැඩේ කරන්න…

මෙහෙම විනාඩි 20ක් ව්තර විතර තිබ්බම සම්ප් එකේ තියෙන ඔක්කොම ඔයිල් ටික බේසමට වැටිලා ඉවර වෙනවා..වැටෙන ඔයිල් ප්‍රමාණය වාහනයෙන් වාහනයට වෙනස්… කොහොමත් ඔයිල් ලීටර් 4ට වඩා නම් අඩුයි..

ඩ්රේන් ප්ලග් එක ගලවන හැටි
ඩ්රේන් ප්ලග් එකෙන් ඔයිල් එලියට වැටෙන හැටි

ඩ්රේන් ප්ලග් එක හයි කරන්න…

අලුත් ඔයිල් දාන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම ඩ්‍රේන් ප්ලග් එක හයි කරන්න ඕනි… ඒක කියන්න දෙයක් නෙවෙයිනේ… හැබැයි ඩ්‍රේන් ප්ලග් එක තද කරද්දී අනිවාර්යයෙන්ම ඕනවට වඩා තද නොකරන්න මතක තියාගන්න ඕනි…

යතුරු පාවිච්චි කරන්න එපා… ඩ්රේන් ප්ලග් එකේ හෙඩ් එක ගෙවෙනවා …. රින්ච් එකක් භාවිතා කරන්නත් එපා…. ඩ්රේන් ප්ලග් එක ඕනවට වැඩ තද වෙනවා… කර මුලින් කැඩිලා යන්නත් පුළුවන්…

එතකොට කොහොමද මේක තද කරන්නේ…

මෙන්න මේ වෙලාවේ තමයි බොක්ස් ස්පැනර් ඕන වෙන්නේ… ඩ්රේන් ප්ලග් එක තද කරන්න හා ගලවන්න තියෙන හොඳම හා ආරක්‍ෂිතම ක්‍රමය තමයි බොක්ස් ස්පැනර් පාවිච්චි කරන එක… පළවෙනියටම ඩ්රේන් ප්ලග් එකට හරියට ස්පැනර් කෑල්ල හොයාගන්න ඕන… දැන් මේකට බොක්ස් ස්පැනර් කිට් එකේම එන T හැඩති මිට හයි කරලා අතේ හයියට තද කළා නම් හරි…

 

ඔයිල් ෆිල්ටරේ මාරු කරනවද?

සාමාන්‍යෙන් මේ විදියට ඔයිල් මාරු කරන අවස්ථා එකක් ඇර එකක් ඔයිල් ෆිල්ටරේ මාරු කරන්නත් ඕන… පරණ ඔයිල් අයින් කරලා තියෙන මේ වෙලාවේ ඔයිල් ෆිල්ටරේ මාරු කරන්න පුළුවන්… කරන විදිය විස්තර ඇතුව මෙතනින් බලාගන්න

 

අලුත් ඔයිල් දාන්න

දැන් අපිට පුළුවන් අලුත් ඔයිල් දාන්න… ජැක් එක ගහලනම් මේ වෙලාවේදී ජැක් එක ගලවන්න ඕන… මොකද ඔයිල් ලෙවල් එක බලන්න සමතල මතුපිටක තියෙන එක වැදගත් හින්ද…

අලුත් ඔයිල් දාන්නේ එන්ජිමේ එන්ජින් ඔයිල් දාන තැනින්…  එන්ජින් හෙඩ් එකේ තියෙන ඔයිල් කැප් එක ගලවලා අලුත් ඔයිල් දාන්න පිරිසිදු වියලි පුනීලයක් භාවිතා කරමින්…පහත රුපයේ පෙන්නලා තියෙනව කරන හැටි…

අලුත් ඔයිල් කෑන් එකක් අරගෙන ඔයිල් දාන්න ලෑස්තියි
අලුත් ඔයිල් දාන හැටි

ඔයිල් දාද්දි කෑන් එකේ තියෙන සේරම ඔයිල් එකපාරට දාන්න එපා… පළවෙනියට කෑන් එකෙන් බාගයක් විතර බය නැතුව දාන්න… ඒ කියන්නේ ලීටර් දෙකක්… ඊට පස්සේ ඔයිල් කූර බල බල හෙමින් හෙමින් ලීටර් බාගේ බාගේ දාන්න ඕන… MAX ලෙවල් එකට ලං වෙනකොට ලීටර් කාල කාල වගේ දාන්න… ඔයිල් දාපු ගමන් ලෙවෙල් එක උඩ යන්නේ නැති හින්දා ඔයිල් දාල ටික වෙලාවක් ඉන්න ලෙවල් එක ස්ථාවර වෙනකල්…

එන්ජින් ඔයිල් ඩිප්ස්ටික් එකේ අඩු, වැඩි ලෙවල්

එන්ජිමට දාන්න ඕන ඔයිල් ප්‍රමානය එන්ජිමේ CC ගාන හා නිෂ්පාදකයා මත වෙනස් වෙනවා… සර්විස් එකකදී දාන්න ඕන ප්‍රමාණය හරියටම දාල තියෙන්නේ එන්ජිමේ සර්විස් මැනුවල් එකේ… සර්විස් මැනුවල් එක තියෙනවා නම් බය නැතුව මැනලා කරලා ඒ ප්‍රමාණයට ඔයිල් දාන්න පුළුවන්… හැබැයි අපි ගොඩක් අය ගාව සර්විස් මැනුවල් නැහැනේ.. ඒ හින්ද කලින් විදියට ලෙවල් එක බල බල පරිස්සමින් දාන එක හොඳයි…

අනිත් එක තමයි ඔයිල් කෑන් එකේ තියෙනවා ලීටර් එකෙන් එකට මාර්ක්.. එතකොට ඔබට පුළුවනි කොපමණ ඔයිල් ප්‍රමාණයක් එන්ජිමට දැම්මාද කියලා බලාගන්න….