එයාර් ෆිල්ටරය සුද්ද කිරීම හා මාරු කිරීම

“එයාර් ෆිල්ටරය” කියල කියන්නේ වාහනේ තියෙන වැදගත්ම අංගයක්… ඇත්තටම මොකද්ද මේ එයාර් ෆිල්ටරෙන් කෙරෙන්නේ…?

අපි දන්නවා එන්ජිමක ඉන්ධන දහනය සිද්ද වෙන්න වාතය ඕන… මේ වාතය එන්ජිම සපයා ගන්නේ පිටතින්… ඒ කියන්නේ, වාහනේ පාරේ යන ගමන් වාහනේ අවට තියෙන වාතය තමයි දහන ක්‍රියාවලියට එන්ජිම ඇතුලට ඇද ගන්නේ… ඉතින් අපි දන්නවා පාරවල් අවට වාතය කොහෙත්ම පිරිසිදු නෑ… දුවිලි, වෙනත් කුඩා අංශු, ලොකු අංශු වගේම පොඩි කෘමි සත්තු උනත් ඔය වාතයේ ඉන්න පුළුවන්… කාපට් නොකරපු ගම්බද පාරවල් වල මේ තත්වය තවත් වැඩියි… ඉතින් ඔය වගේ අපිරිසිදු වෙච්ච වාතයක් එන්ජිමක් වගේ සංකීර්ණ යන්ත්‍රයකට දෙන්න බැරි විත්තිය අපිට හොඳටම තේරෙනවා…

මෙන්න මේ එළියෙන් ගන්න අපිරිසිදු වාතය පිරිසිදු කරලා, පෙරලා එන්ජිමට දෙන ගැජට් එක තමයි “එයාර් ෆිල්ටරය” කියන්නේ… මේක වාහන හැදුව මුල් කාලේ ඉඳලම තියෙන උපාංගයක්… ඒ හින්ද ඕන වාහනේක එයාර් ෆිල්ටර් එකක් අනිවාර්යෙන් තියෙනවා…

කලින් කිව්වා වාගේම එයාර් ෆිල්ටරෙන් තමයි පිටතින් ගන්න වාතය ෆිල්ටර් කරලා එන්ජිමට දෙන්නේ… මෙහෙම පෙරද්දී එළියේ වාතයේ තියෙන කුණු දූවිලි සේරම එයාර් ෆිල්ටරේ රැඳෙනවා… ඒ හින්ද එයාර් ෆිල්ටර් ටික සැරින් සැරේ සුද්ද කරන්න ඕන… නැත්තන් හරියට ෆිල්ටර් වෙන්නේ නැහැ… අන්තිමට සුද්ද කරපු දවසේ ඉඳල කිලෝමීටර් 5000ක් හෝ මාස 6ක් ගියාම එහෙම නැත්තන් හැම රේගියුලර් සර්විස් එකකදීම එයාර් ෆිල්ටර් එක සුද්ද කරන්න ඕන…

හැබැයි හැමදාම මෙහෙම සුද්ද කරලා විතරක් ගොඩ දාන්න බැහැ… කාලයක් එනවා එයාර් ෆිල්ටරේ කොච්චර සුද්ද කලත් වැඩක් ගන්න බැරි විදියට පරණ වෙලා යන… අන්න එදාට මේ එයාර් ෆිල්ටර් එක මාරු කරන්න ඕන… අන්තිමට මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 40000 හෝ අවුරුදු 4ක් ගියාම අනිවාර්යෙන් අලුත් එයාර් ෆිල්ටර් එකක් දාන්නම ඕන…

දැන් මේ එයාර් ෆිල්ටර් මාරු කරන එක මහා අමාරු ලොකු වැඩක්ද…? ගෙදරදී කරගන්න බැරිද…? සර්විස් ස්ටේෂන් එකකට බඩගාන්නම ඕනද..?

ඇත්තටම එයාර් ෆිල්ටර් එකක් මාරු කරනවා කියන්නේ 5 වසරේ ළමයෙක්ට උනත් කරන්න පුළුවන් ඉතාම සරල වැඩක්… වැඩේට ලොකු දැනුමක් ඕන වෙන්නේ නැහැ… හැබැයි ටිකක් පරිස්සමින් කරන්න ඕන… ඉතින් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියල…

 

අවශ්‍ය ද්‍රව්‍ය…

 

අලුත් එයාර් ෆිල්ටර් එකක්

එයාර් ෆිල්ටර් එක මාරු කරනවානම් විතරයි මේක ඕන වෙන්නේ… සුද්ද කරනවා නං ඕන වෙන්නේ නෑ… මේක එක්කෝ වාහන ඒජන්ට් ගෙන් ගන්න පුළුවන්… එහෙම නැත්තන් ස්පෙයාර්පාර්ට් කඩේකට ගිහින් වාහනේ මොඩල් එක කිව්වම ලේසියෙන්ම ගන්න පුළුවන්…

 

හයි ප්‍රෙෂර් එයාර් ගන් එකක්

එයාර් ෆිල්ටර් එක හරියට සුද්ද කරගන්න මේ උපකරණය ඕන වෙනවා… අධික පිඩනයකින් එන හුලන් ධාරාවක් මේවයින් විදිනවා… මේවා සාමාන්‍යෙන් තියෙන්නේ ටයර් කඩවල් වල හා සර්විස් ස්ටේෂන් වල විතරයි… ගෙවල් වල දකින්න ලැබෙනවා අඩුයි… සල්ලි දීල ගන්න යන්නත් එපා… මොකද ගාන ටිකක් වැඩියි, තිස්පන්දාහක් විතර…

කරන්න තියෙන හොඳම දේ ගෙවල් ගාව ටයර් කඩේක හරි සර්විස් ස්ටේෂන් එකක හරි කට්ටිය එක්ක හිතවත් වෙලා ඔය ගැජට් එක පොඩ්ඩකට ඉල්ල ගන්න එක… නැත්තන් පරණ එයාර් ෆිල්ටර් එක අරන් ඔය තැනකට ගිහින් පොඩ්ඩක් සුද්ද කරලා දෙන්න කිවම ඕක අල්ලලා සුද්ද කරලා දෙයි…

 

ටෝච් එකක්

එයාර් ෆිල්ටර් එක පරික්ෂා කරගන්න හොඳට එලිය තියෙන ටෝර්ච් එකක් ඕන වෙනවා…

 

ඔය දේවල් ටික හොයා ගත්තාම වැඩේට බහින්න පුළුවන්… එයාර් ෆිල්ටර් එක සුද්ද කරන එකෙයි මාරු කරන එකෙයි පොඩි වෙනසයි තියෙන්නේ… ඒ හින්දා දෙකම කරන හැටි පල්ලෙහායින් ලියල තියෙනවා….

 

එයාර් ෆිල්ටරේ සුද්ද කරන හැටි හා පරණ වෙලා නම් මාරු කරන හැටි…

 

එයාර් ෆිල්ටර් එක හොයාගන්න…

මොන දේ කරන්නත් කලින් එයාර් ෆිල්ටර් එක හොයාගෙන ඉන්න ඕන… මේකට පළවෙනියට බොනට් එක අරින්න…

එයාර් ෆිල්ටර් එක තියෙන්නේ එන්ජිමට වාතය ගෙනියන බට ලයින් එකට සම්බන්ධ වෙලා… හොඳට වැහිච්ච පෙට්ටියක් ඇතුලේ… බොනට් එක ඇරියම එලියට හොඳට පේන තැනක තමයි ඔය එයාර් ෆිල්ටර් එක තියෙන පෙට්ටිය තියෙන්නේ…

එන්ජිමට වාතය ගෙනියන මහත කළු පාට බට වලට සම්බන්ධ වෙලා ක්ලිප් තියෙන හතරැස් පෙට්ටියක් හැටියට එයාර් ෆිල්ටර් එක තියෙන පෙට්ටිය තියෙනවා… පහල රූපෙන් පෙන්නලා තියෙන්නේ සාමාන්‍යෙන් වාහනේක ඕක තියෙන තැන… විමසිල්ලෙන් බැලුවම හොයාගන්න පොඩ්ඩක්වත් අමාරු නැහැ…

එයාර් ෆිල්ටර් එක තියෙන තැන

 

පෙට්ටිය අරින්න…

එයාර් ෆිල්ටර් එක තියෙන පෙට්ටිය, එහෙම නැත්තන් ෆිල්ටර් එකේ හවුසින් එක හොයා ගත්තම ඊළඟට කරන්න තියෙන්නේ මේ පෙට්ටිය ඇරගන්න එක… සාමාන්‍යෙන් මේ පෙට්ටිය ක්ලිප් වලින් ලොක් කරලා තියෙනවා… ක්ලිප් ටික පරිස්සමින් ඇරගන්න ඕන… ඔය වැඩේට මෙහෙමයි කියල එක විදියක් කියන්න බැහැ… මොකද ක්ලිප් කරලා තියෙන විදිය වාහනෙන් වාහනේට වෙනස්… පොඩ්ඩක් හොඳට බලලා මොලේ පාවිච්චි කරලා ඔය ක්ලිප් ටික ඇරගන්න ඕන… ටූල් මොනවත් පාවිච්චි කරන්න යන්න එපා… අතින් අරින්න පුළුවන්…

ක්ලිප් ටික ගැලෙව්වම ඔය පෙට්ටියේ පියන වගේ තියෙන උඩ බාගේ උස්සන්න පුළුවන් වෙනවා… පෙට්ටියේ උඩ පලුව උස්සල බැලුවම පෙට්ටිය ඇතුලේ එයාර් ෆිල්ටර් එක තියෙනවා පේනවා… එත් එකපාරට මේ පෙට්ටියේ උඩ බාගේ උස්සන්න යන්න එපා… මොකද සමහර වාහනවල ඔය පෙට්ටියේ උඩ කොටසට සෙන්සර් වගේ දේවල් හයි කරලා තියෙන්න පුළුවන්… සමහර වාහන වල වාතය ගෙනියන බට ලයින් එක හයි වෙන්නේ ඔය උඩ කෑල්ලට… එක හින්ද ඉතාම පරිස්සමින් හෙමිට ඔය උඩ පියන උස්සලා පෙට්ටිය ඇතුලේ තියෙන එයාර් ෆිල්ටර් එක එලියට ගන්න ඕන… හැබැයි සමහර වාහන වල නම් ඔය පෙට්ටියේ උඩ පියනට මොනවත් සම්බන්ධ වෙන්නේ නැහැ… එහෙම එකක් නම් කියල ෂුවර් නම් බය නැතිව අරින්න…

 

සුද්ද කරනවා නම් එයාර් ෆිල්ටර් එක සුද්ද කරගන්න…

අලුත් එයාර් ෆිල්ටර් එකක් දාන්න ඕන කිලෝමීටර් 40000කට සැරයක් හෝ අවුරුදු 4කට සැරයක් විතරයි… අනික් සර්විස් වලදී පරණ එක සුද්ද කරලා පාවිච්චි කරන්න පුළුවනි…

මේ සුද්ද කරන වැඩේට කලින් කිව්වා වගේ හයි ප්‍රෙෂර් ගන් එකක් ඕන වෙනවා… ටයර් කඩේකට හරි සර්විස් ස්ටේෂන් එකකට හරි ඔය ගලවපු එයාර් ෆිල්ටර් එක අරගෙන ගිහින් හයි ප්‍රෙෂර් ගන් එක අල්ලලා හොඳට සුද්ද කරගෙන එන්න…

අලුත් එයාර් ෆිල්ටර් එකක් දානවා නම් මේක කරන්න ඕන නැහැ… පරණ එක විසිකරලා දාන්න…

 

එයාර් ෆිල්ටර් එක පරික්ෂා කරන්න ඕන…

සුද්ද කරපු ෆිල්ටර් එක හෝ අලුත් එක උනත් නැවත වාහනේට දාන්න කලින් පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න ඕන…

නිකම්ම බලල එයාර් ෆිල්ටර් එක හොඳද නරකද කියල කියන්න පුළුවන්… ගොඩක් කළු පාට වෙලා දුවිලි බැඳිලා නම් ඒ වගේ එයාර් ෆිල්ටර් එකක් මාරු කරන එක හොඳයි..

එහෙම නැත්නම් ටිකක් හොඳ විදියක් තියෙනවා… ටෝර්ච් එකක් අරගෙන එයාර් ෆිල්ටර් එකේ එක පැත්තකින් ගහල අනික් පැත්තෙන් බලන්න එලිය පේනවද කියල… ෆිල්ටර් වෙන කොටස් වලින් එලිය පෙන්නේ නැත්තන්, එහෙම නැත්තන් ගොඩක් අඩු එළියක් නම් පෙන්නේ ඒ කියන්නේ ඒ ෆිල්ටර් එක සවුත්තු වෙලා කියන එකයි… ෆිල්ටර් එක සවුත්තු වෙලා නම් අලුත් එකක් අනිවාර්යෙන් දාන්න ඕන…

සවුත්තු වෙච්ච ෆිල්ටර් එකක් හා හොඳ ෆිල්ටර් එකක් පල්ලෙහා රූප වලින් පෙන්නලා තියෙනවා…

පරණ වෙච්ච කළු ගැහිච්ච එයාර් ෆිල්ටර් එකක්
අලුත් එයාර් ෆිල්ටර් එකක්

සුද්ද කරපු ෆිල්ටර් එක හෝ අලුත් ෆිල්ටර් එක සවි කරන්න….

මේකේදී ඉතින් කරන්න තියෙන්නේ ඉතාම සරලව අලුත් හෝ සුද්ද කරපු ෆිල්ටර් එක නැවතත් අර පෙට්ටියට දාල පියන වහල ක්ලිප් ටික සවි කරන එක තමයි… ගලොපු විදියටම ඕක හයි කරන්න ඕන ඉතින්…

 

ඔය ටික කලාම ආයෙත් ඔයාගේ එන්ජිමට නිදහසේ හුස්ම ගන්න පිරිසිදු වාතය ලැබෙන්න පටන් ගන්නවා…