ඔක්සිජන් සෙන්සර් එක පරික්ෂා කරන හැටි

ලංකාවේ අලුත් නීතිත් එක්ක හැම වාහනයක්ම වගේ එමිෂන් ටෙස්ට් එකක් කරන්න ඕන… මේකෙදි බලන්නේ පරිසරයට අහිතකර වායු වර්ග එහෙම වාහනයකින් පිටවෙනවද කියලයි… හදිසියෙවත් ඔය එමිෂන් ටෙස්ට් එක ෆේල් උනොත් එහෙම වටපිටේ ඉන්න අය මෙන්න මෙහෙම දේවල් කියනවා ඔයාලට ඇහිලා ඇති….

“ඔක්සිජන් සෙන්සර් එකේ අවුලක් වෙන්න පුළුවන්….”

“ඔක්සිජන් සෙන්සර් එක බැලුවද….?”

ඊට අමතරව එන්ජින් එක අසාමාන්‍ය විදියට හීට් වෙනවා නම්, එහෙමත් නැත්තන් පිකප් මදි වගේ තේරෙනවානං එත් ප්‍රධාන චුදිතයෙක් හැටියට ගොඩක් අය තෝරාගන්නේ මේ ඔක්සිජන් සෙන්සර් එකම තමයි….

ඔය විදියට ජිවිතේ එක පාරක් හරි වාහන පිස්සෙක්ට අහන්න ලැබෙන ප්‍රධාන උපාංගයක් හැටියට ඔක්සිජන් සෙන්සර් එක පෙන්වන්න පුළුවන්… වාහනේ ධාවනය ආරක්ෂාකාරීව උපරිම කාර්යක්ෂමතාවයකින් පවත්වාගන්න ලොකු වැඩ කොටසක් කරන කෙනෙක් තමයි මේ ඔක්සිජන් සෙන්සර් එක කියන්නේ… අද අපි මේ ලිපියෙන් බලන්නේ ඔබේ වාහනේ ඔක්සිජන් සෙන්සර් එක හරියට වැඩ කරනවද කියල ගෙදර ඉඳලම පරික්ෂා කරගන්න විදිය ගැනයි…

 

ඔක්සිජන් සෙන්සර් එක මොනවද කරන්නේ

පරික්ෂා කරන්න කලින් අපි පොඩ්ඩක් බලමු මේ “ඔක්සිජන් සෙන්සර්” එක ඇත්තටම මොනවද කරන්නේ කියල…

“ඔක්සිජන් සෙන්සර්” එකෙන් සරලවම කරන්නේ එන්ජිමෙන් දහනය වෙලා පිටවන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය මනින එක…

ඒකට ඔක්සිජන් සෙන්සර් එක දහනය වෙලා පිටවන වාතය එක්ක ගැටෙන්න ඕන… ඒ හින්ද ඔක්සිජන් සෙන්සර් එක සාමාන්‍යෙන් තියෙන්නේ එග්සොස්ට් මැනිෆෝල්ඩ් එක ඇතුලේ… පිස්ටන් වල ඉඳල එන දහනය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණයේ ඔක්සිජන් ප්‍රතිශතය ඔක්සිජන් සෙන්සර් එකෙන් මනිනවා… ඇත්තටම මෙතැනදී ඔක්සිජන් සෙන්සර් එකෙන් එලියට දෙන්නේ වෝල්ටේජ් එකක්… ඒ වෝල්ටේජ් එක වායු මිශ්‍රණයේ ඔක්සිජන් ප්‍රතිශතයට සමානුපාතිකයි…

ඔහොම ඔක්සිජන් සෙන්සර් එකෙන් මනින පිටවන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය ඊළඟට ECU එකට යනවා… වාහනේ තියෙන කම්පියුටර් එකනේ ECU එක කියන්නේ… ECU එක ඔක්සිජන් සෙන්සර් එකෙන් එන අගය අරගන්නවා… අරගෙන බලනවා තියෙන්න ඕන හරි අගයට ඇවිල්ල තියෙන අගය අඩුද වැඩිද කියල…

පිටවන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය තියෙන්න ඕන ගානට වඩා වැඩි නම්… ඒ කියන්නේ දහනය හරියට වෙලා නැහැ… එහෙම නැත්තන් දහනය වෙන්න ආපු වායු මිශ්‍රණයේ ඉන්ධන ප්‍රතිශතය අඩුයි… ඔහොම දැක්කොත් ECU එක වායු මිශ්‍රණයේ ඉන්ධන ප්‍රතිශතය වැඩි කරන්න කටයුතු කරනවා… ඒ කියන්නේ ඉන්ජෙක්ටර් වලින් පිස්ටන් වලට විදින ඉන්ධන ප්‍රමාණය වැඩි කරනවා…

ඕකේ අනික් පැත්ත උනොත්, ඒ කියන්නේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු නං… එකෙන් කියවෙන්නේ ඇතුලට එන වායු මිශ්‍රණයේ ඉන්ධන ප්‍රතිශතය වැඩියි කියල… එතකොට ECU එක පිස්ටන් වලට යන ඉන්ධන ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරනවා…

ඔක්සිජන් සෙන්සර් එක අවට වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය කියවන හැටි පිටිපස්සේ හරි අපුරු විද්‍යාත්මක සංසිද්ධී පාවිච්චි වෙනවා… වාහන පිස්සෙක් හැටියට ඔයා ඒක දැනගෙන ඉන්නම ඕන… ඔය ඔක්සිජන් සෙන්සර් එක ඇතුලේ වෙන වැඩේ අපි ලස්සනට දිගට මෙන්න මේ ලිපියේ පැහැදිලි කරලා තියෙනවා, අනිවාර්යෙන්ම කියවන්න...

ඇත්තටම අපි ඔක්සිජන් සෙන්සර් එක පරික්ෂා කරන්න ඕන ඇයි…? ඔක්සිජන් සෙන්සර් එකක් පරික්ෂා කරන්න ඕන මොන වගේ වෙලාවටද…? අපි මුලින්ම බලමු ඒ මොනාද කියල….

 

ඔක්සිජන් සෙන්සර් එක පරික්ෂා කරන්න ඕන අවස්ථා

  • එමිෂන් ටෙස්ට් එක ෆේල් නං…
  • ඉස්සර වගේ වාහනේ පිකප් වෙන්නේ නැත්තන්…
  • එන්ජින් එක ඉස්සරට වඩා හීට් වෙනවා නම්….
  • වාහනේ නවත්තල තියෙද්දී RPM එක, එහෙම නැත්තන් අයිඩල් RPM එක වැඩි වෙලා නම්…
  • ඉස්සර තරම් තෙල් කරන්නේ නැත්තන්…

 

ඔන්න ඔය වගේ දේවල් ඔබට අත්දකින්න හම්බවෙනවා නම් ගොඩක් වෙලාවට ප්‍රශ්නේ ඔක්සිජන් සෙන්සර් එකේ වෙන්න ඉඩ තියෙනවා…

හැබයි ඔහොම ඔක්සිජන් සෙන්සර් එකේ ප්‍රශ්නයක් නම් ගොඩක් වෙලාවට එන්ජින් එලාම් එකකිනුත් එක පෙන්නනවා… (එන්ජින් එලාම් කියවන්න දන්නේ නැත්තන් වාහන පිස්සෝ හැටියට ඔයාල ඉඳල වැඩක් නැහැ.. තාම දන්නේ නැත්තන් ඉක්මනට මෙන්න මේ ලිපි පෙළ බලන්න….) එහෙම උනත් සමහර වෙලාවට ඔක්සිජන් සෙන්සර් එකේ ප්‍රශ්නයක් තිබ්බත් එලාම් පෙන්නන්නේ නෑ… ඔක්සිජන් සෙන්සර් එක ගැන සැකයි නම් කරන්න පුළුවන් හොඳම දේ එක පරික්ෂා කරගන්න එක… එලාම් නෑ කියල නිකන් ඉන්න එපා.

ඉතින් අපි බලමු මේ වගේ සැක සහිත ඔක්සිජන් සෙන්සර් එකක් පරික්ෂා කරගන්න හැටි….

මේ පරික්ෂාව කරන හැටි ඇත්තටම වාහනෙන් වාහනේට සුළු සුළු වෙනස්කම් තියනවා… හරියටම කරන විදිය තියෙන්නේ ඉතින් වාහනේ මැනුවල් එකේ තමයි… හැබැයි ලොකුම වෙනස්කම තියෙන්නේ තමන්ගේ වාහනේ තියෙන ඩයග්නොස්ටික් පෝර්ට් එක උඩ… ඒ කියන්නේ ඔබේ වාහනය OBD – 1 එකක් නං ඔක්සිජන් සෙන්සර් එක බලන විදිය OBD – 2 එකක බලන විදියට වඩා සම්පුර්ණයෙන් වෙනස්… (වාහනවල ඩයග්නොස්ටික් පොර්ට් ගැන කතාව හරියටම දන්නේ නැත්තන් ඒ සඳහාම ලියවිච්ච අපේ මේ ලිපි පෙළ බලන්න…)

ඉතින් අපි බලමු OBD-1 හා OBD-2 වාහනව ඔක්සිජන් සෙන්සර් එක පරික්ෂා කරන හැටි වෙන වෙනම….

 

OBD – 1 පෝර්ට් තියෙන වාහන

අවශ්‍ය ද්‍රව්‍ය

ඔසිලස්කෝප් එකක්

ඕන වර්ගයක ඔසිලස්කෝප් එකක් වැඩේට හරියනවා… කඩේ නම් ලක්ෂ ගණන්වලටත් ඔසිලස්කෝප් තියෙනවා… ඒවා ගන්න යන්න එපා… රුපියල් 4500 කට වගේ හොඳ ඩිජිටල් ඔසිලස්කෝප් එකක් ගන්න පුළුවන්…

මිල අධික ඔසිලස්කෝප් එකක්
පහසු මිලට ලබාගන්න පුළුවන් ඔසිලස්කෝප් එකක්

වාහනේ මැනුවල් එක

මේ පරික්ෂාව කරන්න ඔක්සිජන් සෙන්සර් එක ECU එකට ඇවිල්ල වදින තැන අපි දැනගෙන ඉන්න ඕන… මේක එක්කෝ ඉන්ටනෙට් එකෙන් බලන්න පුළුවන්… හැබැයි කරන්න පුළුවන් නිවැරදිම දේ තමයි වාහනේ මැනුවල් එකෙන් මේ ස්ථානය හොයා ගන්න එක…
එත් එක්කම ඔක්සිජන් සෙන්සර් එකෙන් එන්න ඕන නිවැරදි වෝල්ටේජ් එකේ රටාව ඇඳලා තියෙන්නේ මැනුවල් එකේ… ඒ හින්ද අගයන් සංසන්දය කරන්න මැනුවල් එක ඕනෑමයි….

 

කරන විදිය

ECU එක හොයාගන්න

මුලින්ම, කලින් කිව්වා වගේ ඔක්සිජන් සෙන්සර් එකේ ඉඳල එන වයර් ECU එකට සෙට් වෙන තැන හොයාගන්න ඕන… මේකට මුලින්ම ECU එක තියෙන තැන දැනගෙන ඉන්න එපයි…

සාමාන්‍යෙන් ECU එක තියෙන තැන ඔබේ වාහනයේ මැනුවල් එකේ පැහැදිලිව දක්වලා තියෙනවා.. ගොඩක් වාහනවල ECU එක තියෙන්නේ සෙන්ටර් කොන්සෝල් එක ගලෙව්වාම ඒක අස්සේ… තවත් සමහර වාහනවල ග්ලව් කොම්පාර්ට්මන්ට් එක ගැලෙව්වාම එක අස්සේ… තවත් සමහර වාහනවල (Nissan ඇතැම් මාදිලිවල) දකුණු පැත්තේ සීට් එක යට ECU එක පිහිටලා තියෙනවා… මැනුවල් එක නැත්තන් ඉන්ටර්නෙට් එකේ වාහනේ මාදිලිය ගහල ECU එක තියෙන තැන හොයාගන්න ඕන…

ඔක්සිජන් සෙන්සර් එක ECU එකට සෙට් වෙන තැන හා ග්‍රවුන්ඩ් පින් එක හොයාගන්න…

ECU එකේ OX කියල ගහල තියෙන පෝර්ට් එකක් තියෙනවා නං අන්න එක තමයි ගොඩක් වෙලාවට ඔක්සිජන් සෙන්සර් එකේ ඉඳල එන වයර් එක ECU එකට සම්බන්ධ වෙන තැන…
(සමහර වාහන වල මෙතන OX1, OX2 කියල පෝර්ට් දෙකක් තියෙන්නත් ඉඩ තියෙනවා… මෙහෙම තියෙනවා නං ඒ කියන්නේ ඔයාගේ වාහනේ ඔක්සිජන් සෙන්සර් දෙකක් තියෙනවා කියන එකයි… ඔහොම තියෙනවානං එක සෙන්සර් එකෙක් සාමාන්‍යෙන් තියෙන්නේ කැටලිටික් කන්වර්ටර් එකට කලින්… අනිත් එක කැටලිටික් කන්වටර් එකට පස්සේ…. එතකොට දෙකම වෙන වෙනම පරික්ෂා කරන්න ඕන…)

ඊළඟට ECU එකේ ග්‍රවුන්ඩ් පින් එක හොයාගන්න ඕන… සාමාන්‍යෙන් E1 කියල මේක මැනුවල් එකේ පෙන්නලා තියෙනවා… ECU එකේ අදාළ පොර්ට් එක ගාව ගහලත් තියෙනවා…

පල්ලෙහා රූප වලින් පෙන්නන්නෙ ඔය පෝර්ට් දෙක මැනුවල් එකේ හා ECU එකේ තියෙන හැටි…

මැනුවල් එකේ OX පෝර්ට් එක දක්වලා තියෙන හැටි
ECU එකේ OX හා E1 පෝර්ට් තියෙන ස්ථාන

ඔසිලස්කෝප් එක සම්බන්ධ කරන්න

දැන් අපි ECU එකට ඔක්සිජන් සෙන්සර් එක සම්බන්ධ වෙන තැන හොයාගත්තා… දැන් කරන්න තියෙන්නේ මේ පෝර්ට් දෙකට ඔසිලස්කෝප් එක සම්බන්ධ කරලා වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ කොහොමද කියල බලන එකයි… මේකට පොඩි කම්බි කෑල්ලක් හෝ අල්පෙනෙත්තක් අරගෙන් ECU එකේ අදාළ පෝර්ට් එක ඇතුලට ගහන්න ඕන… පල්ලෙහා රූපේ වගේ… ඊළඟට ඒ අල්පෙනෙත්තට හෝ කම්බි කෑල්ලට ඔසිලස්කෝප් එකේ අග්‍ර සම්බන්ධ කරන්න පුළුවන්… ඔසිලස්කෝප් එකේ අග්‍ර දෙක කෙලින්ම ECU එකේ පෝර්ට් එක අස්සට ගහන්න යන්න එපා…
<>

මෙතැනදී OX පෝර්ට් එකට ඔසිලස්කෝප් එකේ ධන අග්‍රයත්, E1 එකට ඔසිලස්කෝප් ග්‍රවුන්ඩ් පින් එකත් සම්බන්ධ කරන්න ඕන..

පහල රූපේ තියෙන්නේ ඔසිලස්කෝප් එක හරියට සවි කරලා තියෙන හැටි….
<>

එන්ජින් එක ස්ටාර්ට් කරන්න, රටාව බලන්න….

දැන් එන්ජින් එක ස්ටාර්ට් කරලා 2500RPM වල මිනිත්තු දෙකක් විතර එක දිගට තියෙන්න අරින්න… RPM එක වෙනස් වෙන්න දෙන්න එපා… මෙහෙම මිනිත්තු දෙකක් විතර ඉඳල RPM එක ඒ ගානෙම තියෙද්දී ඔසිලස්කෝප් එකේ වෝල්ටේජ් එකේ රටාව බලන්න ඕන…

ඔක්සිජන් සෙන්සර් එක හරියට වැඩ කරනවා නම් ඔසිලස්කෝප් එකේ වෝල්ටේජ් එක එකාකරිව ලස්සනට අඩු වැඩි වේවි වෙනස් වෙන රටාවක් පෙන්නන්න ඕන… හරියට කියනවා නම් සයින් වක්‍රයක හැඩයක් තියෙන්න ඕන… පල්ලෙහා රූපෙන් පෙන්නන්නේ හරියට වැඩ කරන ඔක්සිජන් සෙන්සර් එකක් ඔසිලස්කෝප් එකේ මවන රටාව…

<>

මැනුවල් එකත් එක්ක සංසන්දනය කරන්න

ඊළඟට මේ ඔසිලස්කෝප් එකේ පෙන වෝල්ටේජ් රටාව මැනුවල් එකේ තියෙන රටාව එක්ක සංසන්දනය කලොත් ගොඩක් හොඳයි… හරියටම අගයන් තියෙනවද කියල… හැබැයි සාමාන්‍යෙන් නම් ලස්සනට සයින් වක්‍රයක් වගේ එනවා නම් ඔක්සිජන් සෙන්සර් එක හොඳයි කියල කියන්න පුළුවන්…

රටාව වෙනස් නම්, අඩු වැඩි වෙන ලස්සන සයින් වක්‍රයක් එන්නේ නැත්තන් අනිවාර්යෙන්ම නිගමනය කරන්න පුළුවන් ඔක්සිජන් සෙන්සර් එක කැඩිලා කියලා…

ඔච්චරයි OBD-1 වාහනේක ඔක්සිජන් සෙන්සර් එක පරික්ෂා කරද්දී කරන්න තියෙන්නේ…

 

OBD – 2 පෝර්ට් තියෙන වාහන

අවශ්‍ය ද්‍රව්‍ය

ඔසිලස්කෝප් එකක් තියෙන ස්කෑනර් එකක්…

තමන්ගේ වාහනේට ගැලපෙන, ඔසිලස්කෝප් එකක් තියෙන ස්කෑනර් එකක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා… මේවා නම් ටිකක් මිලයි හැබැයි… ඒ හින්ද සල්ලි දීල ගන්නවට වඩා EFI චෙක් කරන තැනකින් ඉල්ලා ගන්න පුළුවන් නම් හොඳයි…

 

කරන ක්‍රමය…

මේක හරිම සරලයි… ස්කෑනර් එක අරගෙන OBD-2 පෝර්ට් එකට ගහල ස්කෑනර් එකේ මෙනු එකෙන් ඔක්සිජන් සෙන්සර් එක සිලෙක්ට් කෙරන්න විතරයි තියෙන්නේ… රටාව ස්කෑනර් එකේම පෙන්නනවා…
<>
මේකෙදිත් බලන්න ඕන ඔය රටාවට සයින් වක්‍රයක් වගේ ලස්සනට අඩු වැඩි වේවි යනවද කියල… එහෙම වෙනවා නම් ඔක්සිජන් සෙන්සර් එකේ කිසි අවුලක් නෑ…

ස්කෑනර් තියෙන හින්දා ඔහොම ගොඩක් සරලව OBD-2 වාහනවල ඔක්සිජන් සෙන්සර් එක පරික්ෂා කරගන්න පුළුවන්…