ඔටෝ ගියර් ගැන ඉගෙන ගනිමු – ප්ලැනටරි ගියර් යුනිට්

ඔටෝ ගියර් ගැන කතා කරන්න පටන් ගත්ත ප්‍රධාන ලිපියේ ඔටෝ ගියර් වල මුලික අංග 3ක් ගැන කතා කළා ඔයාලට මතක ඇති… ඒ කොටස් තුන තමයි ටෝර්ක් කන්වර්ටර් (Torque Converter) එක, ප්ලැනටරි ගියර් යුනිට් (Planatory Gear Unit) එක සහ හයිඩ්‍රොලික් කොන්ට්‍රෝල් යුනිට් (Hydroilic Control Unit) එක…

මතක නැතිනම් මෙතනින් බලල එන්න…

මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය කොටස් 3න් දෙවැනි කොටස ගැන… එහෙම නැතිනම් ප්ලැනටරි ගියර් යුනිට් එක ගැනයි…

 

මොකද්ද මේ ප්ලැනටරි ගියර් යුනිට් එක කියන්නේ…?

ප්ලැනටරි ගියර් යුනිට් එකෙන් තමයි ගියර් රේෂියෝ එක හදල දෙන්නේ… ඒ කියන්නේ අපි ඔටෝ වාහනයක් ඇක්සලරේට් කරද්දී 2, 3, 4 වගේ ගියර් ඔටෝ  මාරුවෙන්නේ මේකෙන් තමයි… ඒ වගේම කන්දක වගේ යද්දී ඔටෝමැටිකලි අඩු ගියර් වලට දාන්නෙත් මේකෙන්ම තමයි…

මොන විදියේ ගියර් සිස්ටම් එකක උනත් දැති රෝද තියෙනවා… ඔය දැති රෝද එක එක විදියට මාරු කරලා තමයි ගියර් මාරු කරන්නේ… මැනුවල් වාහනයක් ගත්තොත් ගියර් මාරු කරන්න ඕන වෙලාව තීරණය කරන්නේ අපි… නමුත් ඔටෝමැටික් වාහනේක ගියර් මාරු කරන වෙලාව තීරණය කරන්න කෙනෙක් නැහැ… ඒ වගේම ගියර් එක මාරු කරන්න කෙනෙකුත් නැහැ… ඒ නිසා ඔටෝමැටික් වාහනේක ගියර් පද්ධතිය පිටින් පහසුවෙන් යාන්ත්‍රිකව පාලනය කරන්න හැකියාව තියෙන්න ඕන… ඔන්න ඔය හැකියාවන් සියල්ල අඩංගු කරලා හදල තියෙන ගියර් යුනිට් එකට තමයි ප්ලැනටරි ගියර් යුනිට් එක කියන්නේ…

ප්ලැනටරි ගියර් යුනිට් එකේ විශේෂත්වය තමයි පහසුවෙන් පිට ඉඳල යාන්ත්‍රිකව ගියර් මාරු කරන්න පුළුවන් වීම… ඉතින් අපි බලමු කොහොමද මේ ප්ලැනටරි ගියර් යුනිට් එක වැඩ කරන්නේ කියල…

 

ප්ලැනටරි ගියර් යුනිට් එකේ තියෙන්නේ මොනවද…?

ප්ලැනටරි යුනිට් එක සමන්විත වෙන ප්‍රධාන අංග තමයි  සන් ගියර් එක, රින්ග් ගියර් එක, ප්ලැනට් ගියර් සහ ප්ලැනට් කැරියර් එක කියන මේවා… අපි බලමු මේවා මොනවද, කොහෙද මේවා තියෙන්නේ කියල… පහත රූපය බලන්න…

ඔය රූපයේ සන් ගියර් එක කියන්නේ ශාෆ්ට් එකත් එක්කම මැද තියෙන ලොකු ගියර් රෝදයට… ඒ වගේම ප්ලැනට් ගියර් කියන්නේ සන් ගියර් එක වටේට තියෙන දැති රෝද තුනට… සෑම ප්ලැනටරි ගියර් එකක්ම එහි අක්ෂය වටා එකතැන කරකැවෙන විදියට තමයි හදලා තියෙන්නේ…

එතකොට රින්ග් ගියර් කියන්නේ අර ප්ලැනට් ගියර් තුනේ දතිරෝද සෙට් වෙලා තියෙන වළල්ලට….

ඒ වගේම ප්ලැනට් කැරියර් එක කියලා කියන්නේ ඔය ප්ලැනට් ගියර් එහෙමත් නැතිනම් අර රින්ග් ගියර් එක වටා තියෙන දැති රෝද තුනේ අක්ෂ එකට එකතුකරලා හයිවෙලා තියෙන රතු පාට කොටස…  රින්ග් ගියර් එකේ ඇතුල් පැත්තේ දැති වලට තමයි ප්ලැනට් ගියර් සෙට් වෙලා තියෙන්නේ… පහල රූප වලින් ඔය කොටස් එකිනෙක හා සම්බන්ධ වෙන හැටි ඔයාලට වෙන් කරලා පෙන්නලා තියෙනවා…

දැන් බලමු මේ උපාංගය වැඩ කරන්නේ කොහොමද කියල… ප්ලැනටරි ගියර් යුනිට් එකක ක්‍රියාකාරිත්වය ටිකක් සංකීර්ණයි… හැබැයි හරියටම තේරුම් ගත්තම ගොඩක් ආස හිතෙන ක්‍රමවේදයක් තමයි මේකේ තියෙන්නේ කියල තේරෙනවා… කොහොම උනත් ප්ලැනටරි ගියර් යුනිට් එක වැඩ කරන හැටි තේරෙන්න නැතුව ඔටෝ ගියර් වැඩ කරන හැටි තේරුම් ගන්නවා නං බොරු… ඒ හින්ද අපි බලමු පුළුවන් තරම් සරලව මේ උපාංගය වැඩ කරන හැටි… ඊට පස්සේ බලමු ඔටෝ ගියර් බොක්ස් එකක මේක පාවිච්චි වෙන්නේ කොහොමද කියල…

 

ප්ලැනටරි ගියර් යුනිට් එක වැඩ කරන හැටි…

ප්ලැනටරි ගියර් යුනිට් එක කියන්නේ යාන්ත්‍රික විද්‍යාවේ අපුරු නිර්මාණයක්… මේක විද්‍යාවේදී හඳුන්වන්නේ ඉන්පුට් දෙකකුයි අවුට්පුට් එකකුයි තියෙන උපාංගයක් හැටියට…

  • ඉන්පුට් දෙක සම්බන්ධ වෙන්නේ රින් ගියර් එකට හා සන් ගියර් එකටයි
  • අවුට්පුට් එක එලියට ගන්නේ ප්ලැනට් කැරියර් එකෙන්

මෙතැනදී ඉන්පුට් කියන්නේ පිටින් බලයක් දීල කරන කරකවීමකට… අවුට්පුට් කියන්නේ ඉතින් එලියට එන සම්ප්‍රයුක්ත කරකැවීම තමයි…

ඒ කියන්නේ ඔය කලින් පින්තුරේ දිහා බලාගෙන හිතන්න අපි එළියේ තියෙන රින් ගියර් එක නවත්තගෙන සන් ගියර් එක කරකවනවා කියල… එතකොට ප්ලැනට් කැරියර් එක කරකැවෙන්න ගන්නවා කියල ඔයාලට තේරෙන්න ඕන…

ඊළඟට හිතන්න මැද සන් ගියර් එක නිශ්චලව තියල වටේ සන් ගියර් එක කරකවනවා කියල… එතකොටත් ප්ලැනට් කැරියර් එක කැරකෙනවා කියන ඔයාලට තේරෙනවා…

දැන් හිතන්න ඔය දෙකම එකට කරකවනවා කියල… එතකොට ප්ලනට් කැරියර් එක, රින් ගියර් එකේ හා සන් ගියර් එකේ වේගවලට අනුරූපව අදාළ වේගයෙන් කැරකෙන්න ගන්නවා කියල ඔයාලට තේරේවි…

ඕක තමයි ප්ලැනටරි ගියර් යුනිට් එකක ක්‍රියාකාරිත්වය සරලවම… ඔය මුලික අවබෝධය එක්ක දැන් අපි මේක වැඩ කරන හැටි ස්ටෙප් බයි ස්ටෙප් බලමු….

පහත රූපය බලන්න ඔය රූපයේ හැටියට ඔබට පේනවා ඇති සන් ගියර් එක,එහි මැද තියෙන ශාෆ්ට් එක සමඟ කරකැවෙනවා කියලා..  මේ වෙලාවේදී අපි රින්ග් ගියර් එක කරක්වෙන්න නොදී අල්ලාගෙන හිටියොත් ප්ලැනට් ගියර් තුන, සන් ගියර් එක වටා සන් ගියර් එක කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට කරකැවෙන බව ඔබට පේනවා ඇති…. මෙහිදී සෑම ප්ලැනට්  ගියරයක්ම අනෙක් ප්ලැනට් ගියර් වලට සාපේක්ෂව පිහිටීම වෙනස් නොවී සන් ගියර් එක වටා කරකවෙන්නේ ප්ලැනට් කැරියර් එක නිසා බව ඔබට වැටහෙන්න ඕන… ප්ලැනට් කැරියර් එක එහි ඇති ලෝහ ප්ලේට් එකට ප්ලැනට් ගියරවල අක්ෂ එකට සම්බන්ධකරගෙන සිටින නිසා තමයි ඒ….

අපි මේ අවස්ථාවට කියන්නේ වෝකින්ග් කියලා…. මෙහිදී ඔබට පේන්න ඕන සන් ගියර් එක කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්ලැනටරි ගියර් කරකවුනත් ප්ලැනට් කැරියර් එක කරකැවෙන්නේ සන් ගියර් එක කරකැවෙන දිශාවටම බව… ඒ වගේම ප්ලැනට් කැරියර් එක එක වටයක් කරකැවීමට සන් ගියර් එක වට ගණනාවක් කරකවියයුතු බව….එනම් සන් ගියර් එක කරකැවීමට ලබාදෙන බලයට වඩා වැඩි බලයක් ප්ලැනට් කැරියර් එක කරකවෙද්දී එයට ලැබෙන බව….

දැන් අපි බලමු කොහොමද මේක ගියර් වලට සම්බන්ධ වෙන්නේ කියල….අපි මුල් ගියරයක යනවා කියන්නේ මෙන්න මේ වගේ අවස්තාවක්..

ගියර් බොක්ස් ඉන්පුට් ශාෆ්ට් එක සන් ගියර් එක කරකැවෙන අක්ෂයටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ….එහිදී වෙන්නේ ගියර් බොක්ස් එකේ අවුට්පුට් ශාෆ්ට් එකට ප්ලැනට් කැරියර් එක හා සම්බන්ධ වෙන එක… ඒ කියන්නේ ක්‍රෑන්ක් ශාෆ්ට් එක පම්ප් ඉම්පෙලර් එක හරහා ටර්බයින් එකෙන් ගියර්බොක්ස් ඉන්පුට් ශාෆ්ට් එක කරකවනවා… ගියර්බොක්ස් ඉන්පුට් ශාෆ්ට් එක සන් ගියර් එක කරකවනවා… රින්ග් ගියර් එක තදින් අල්ලාගෙන සිටිනවිට ඉහත අවස්ථාවේ වගේ ප්ලැනට් කැරියර් එක, සන් ගියර් එක කරකැවෙන දිශාවට එහෙත් ඊට වඩා අඩුවෙගයකින් නමුත් ක්‍රෑන්ක් ශාෆ්ට් එකේ බලයට වඩා වැඩි බලයකින් කරකැවෙනවා… ප්ලැනට් කැරියර් එක කෙලින්ම ගියර්බොක්ස් අවුට්පුට් ශාෆ්ට් එක හරහා රෝදවලට සම්බන්ධවෙලා තියෙන නිසා රෝද කරකවෙන්නේ ක්‍රෑන්ක් ශාෆ්ට් එක කරකැවෙන වේගයට වඩා අඩු නමුත් එහි බලයට ( ටෝර්ක්) එකට වඩා වැඩි බලයකින් (ටෝර්ක් ) එකකින්….

තවත් වෝකින්ග් අවසථාවක් තමයි රින්ග් ගියර් එක කරකවෙද්දී සන් ගියර් එක කරකැවෙන්න නොදී අල්ලාගෙන සිටියහොත් සිදුවන ප්ලැනට් ගියර් වල චලිතය… පහත රූපය බලන්න…

ඔය රූපයේ හැටියට සන් ගියර් එක කරකවෙන්නේ නැහැ…එය කරකැවෙන්න නොදී අල්ලාගෙනයි සිටින්නේ….. එවිට රින්ග් ගියර් එක කරකවෙද්දී සිදුවන්නේ ප්ලැනට් ගියර් තුන රින්ග් ගියර් එක කරකැවෙන දිශාවටම කැරකවීමයි… ඒ වගේම ප්ලැනට් කැරියර් එකත් කැරකවෙන්නේ ඒ දිශාවටමයි….

 

අපි මෙච්චරවෙලා කතා කලේ වෝකින්ග් ගැන… අනිත් කරකැවෙන සෙටප් එක තමයි අයිඩ්ලින්ග් කියන්නේ.. මෙහිදී වෙන්නේ ප්ලැනට් කැරියර් එක කරකැවෙන්න නොදී තදින් අල්ලාගෙන සිටින විට රින්ග් ගියර් එක හෝ සන් ගියර් එක කරකැවෙන අවස්තාව… මෙහිදී සිදුවන්නේ සෑම විටම සන් ගියර් එක කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට රින්ග් ගියර් එක කැරකවීමයි… ඒ කියන්නේ අපි සන් ගියර් එක කැරකුවොත් රින්ග් ගියර් එක ප්‍රතිවිරුද්ධ පැත්තට කරකැවෙන එක… එහෙමත් නැතිනම් අපි රින්ග් ගියර් එක කැරකුවොත් සන් ගියර් එක ප්‍රතිවිරුද්ධ පැත්තට කරකැවෙන එක…. මේකට අපි කියන්නේ අයිඩ්ලින්ග් කියලා…

රිවර්ස් ගියර් එකේදී වෙන්නේ මේදේයි …. මෙහිදී රින්ග් ගියර් එක කෙලින්ම ගියර්බොක්ස් අවුට්පුට් ශාෆ්ට් එක හා සම්බන්ධ වෙනවා… සන් ගියර් එක ක්‍රෑන්ක් ශාෆ්ට් එක හා සම්බන්ධවෙනවා ටෝර්ක් කන්වර්ටර් එක හරහා.. ඒ වගේම ප්ලැනට් කැරියර් එක තදින් අල්ලාගෙන සිටිනවා… මෙහිදී සන් ගියර් එක කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට රින්ග් ගියර් එක කරකැවෙන නිසා රෝදද කරකවෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි.. ඒ කියන්නේ රිවර්ස් එකටයි….

වාහනවල භාවිතාවන ඔටෝ ගියර් බොක්ස් වල ප්ලැනටරි යුනිට් එක මේවගේ සරල නැහැ…සන් ගියර් එකකට වඩා තියෙනවා… ඒ වගේම අනිත් ඒවත් එකකට වඩා තියෙනවා… ඒවා එකිනෙක සම්බන්ධවෙන ආකාරය සංකීර්ණයි.. ඇත්තටම ඒක දැනගැනීම ප්‍රවීණ කාර්මිකයකු නොවන කෙනෙකුට එතරම් වැදගත් වෙන්නේ නැහැ…

අපි කතා කළා ඔබට මතක ඇති රින්ග් ගියර් එක තදින් අල්ලාගැනීම, ප්ලැනට් කැරියර් එක තදින් අල්ලාගැනීම වැනි දේවල්… මේවා කරන්නේ ඔටෝ ගියර් නිසා අපි නෙවෙයි… එතකොට කොහොමද එහෙම තදින් අල්ලාගෙන සිටින්නේ? කොහොමද ඒක තීරණය කරන්නේ ? මෙන්න මේව කරන්න තමයි හයිඩ්‍රොලික් කොන්ට්‍රෝල් යුනිට් එක තියෙන්නේ… ඒක ගැන අපි අපේ ඊළඟ ඔටෝ ගියර් පිටුවෙන් කතා කරනවා… මේක හොඳට තේරුම් අරගත්තට පස්සේ ඒක කියවන්න…

 

https://www.facebook.com/garajeka/