ඔයිල් මාරු කරන්න ලං වෙලාද බලන හැටි

එන්ජින් ඔයිල් චෙක් කරද්දී ගොඩක් දෙනා බලන්නේ ඔයිල් ලෙවල් එක හරිද කියල විතරයි… එහෙම නැත්තන් ඔයිල් අඩු වෙනවද කියල විතරයි… නමුත් එන්ජින් ඔයිල් එකේ තත්වය බලන්නේ ගොඩක් සුළු පිරිසක්…ඔයිල් ලෙවල් එක වගේම ඔයිල් එකේ තත්වයත් එන්ජිමේ ශරීර සෞඛ්‍යට ගොඩක් වැදගත්…

ඔයිල් එකක් ගොඩක් පාවිච්චි වෙද්දී එකේ ඝනත්වය අඩු වෙනවා… ලිස්සා යැවීමේ හැකියාවත් අඩු වෙනවා… දැන් එන්ජින් ඔයිල් එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ එන්ජිමේ චලනය වෙන කොටස් අතරේ ඝර්ෂණ අඩු කරන එකනේ… ලිස්සා යැවීමේ හැකියාව නැති වෙච්ච ඔයිල් එකකට ඔය කාර්යය කරන්න අමාරුයි… ඒක නිසා තත්වය බාල වෙච්ච ඔයිල් එකක් දාගෙන යන එක එන්ජින් ඔයිල් නැතුව යනවා හා සමානවම භයානකයි…

සාමාන්‍යෙන් එන්ජින් ඔයිල් ලෙවල් එක අඩු වෙලා නම් ඩෑෂ්බෝර්ඩ් එකේ ඔයිල් ලයිට් එක පත්තු වෙලා අපිට දන්වනවා… එත් ඔයිල් වල තත්වේ බාල වෙලාද කියල පෙන්වන එලාම් එකක් නැහැ… අන්න එක හින්ද මේක ඔයිල් ලෙවල් අඩුවෙන් දුවනවටත් වඩා භයානකයි…

 

එන්ජින් ඔයිල් එකක තත්වේ බලන්නේ කොහොමද

දැන් අපි බලමු එන්ජින් ඔයිල් එකක තත්වේ බලන්නේ කොහොමද කියල… මේක කරන විදිය නම් හරිම සරලයි…

  • මුලින්ම එන්ජින් ඔයිල් ලෙවල් එක මනින කූර නැත්නම් ඩිප්ස්ටික් එක ඇදල ගන්න…
  • එක පාරක් පිහදලා නැවතත් එන්ජින් ඔයිල් බලන තැනට ඔබන්න….
  • දැන් ඩිප්ස්ටික් එකේ ගෑවිලා තියෙන ඔයිල් ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න…
  • එන්ජින් ඔයිල් එක හොඳ නම් රත්තරන් පාටට දිලිසි දිලිසි තියෙන්න ඕන… ඒ වගේම අල්ලලා බැලුවම තෙල් ගතිය හොදට තේරෙන්න ඕන… ඝනත්වයක් අතට දැනෙන්න ඕන….
  • ඔයිල් එක කලු පාට වෙලා නම් ඒ කියන්නේ ඔයිල් මාරුවක් ඉක්මනට කරගන්න වෙනවා කියන එකයි… තව අල්ලලා බැලුවම වතුර වගේ තියෙනවා නම්, ඝනත්වය අඩු වෙලා නම්, තෙල් ගතිය අඩුයි වගේ තේරෙනවා නම්, ඒ කියන්නෙත් ඉක්මන් සර්විස් එකකට යන්න ඕන කියන එකයි….
රත්තරන් පාටට දිලිසෙන හොඳ එන්ජින් ඔයිල්
කලු ගැහුණු නරක එන්ජින් ඔයිල්

ඔය විදියට බැලුවම ඔයිල් එකේ තත්වය ගැන යම් අදහසක් ගන්න පුළුවන්… තත්වේ ගැන සැකයි නම් ඉක්මනටම ඔයිල් මාරු කිරිල්ලක් කරගන්න එක හොඳයි… ඔයිල් මාරු කරන එක එක්කෝ සර්විස් ස්ටේෂන් එකකින් කරගන්න පුළුවන්… එහෙම නැත්තන් ගෙදරදීම අපිටම කරගන්නත් පුළුවන්… ගෙදරදීම කරන හැටි ගැන අපි මෙතන ලියල තියෙන “ගෙදරදිම වාහනේ සර්විස් කරගන්න හැටි” කියන ලිපිය කියවල හොඳ අවබෝධයක් ගන්න පුලුවන් වේවි…..