ඔයිල් ෆිල්ටරය මාරු කරන හැටි

වාහනයක් ගත්තම එක එක ජාතියේ ෆිල්ටර් තියෙනවා… එන්ජින් ඔයිල් ෆිල්ටරය, ෆුවල් ෆිල්ටරය, එයාර් ෆිල්ටරය, කැබින් ෆිල්ටරය සහ ඔටෝ ගියර් ඔයිල් ෆිල්ටරය වගේ ෆිල්ටර් වාහනේක තියෙනවා… කිලෝමීටර් 10000ක් හෝ කලින් සර්විස් එකේ ඉඳල මාස 12ක් ගියාම, එහෙම නැත්තන් හැම රෙගියුලර් සර්විස් එකක් ඇර එකක් අනිවාර්යෙන් මාරු කරන්න ඕන ෆිල්ටරයක් මේ ෆිල්ටර් අතරේ තියෙනවා… ඒ තමයි ඔබ කව්රුත් දන්නා “ඔයිල් ෆිල්ටරය” එහෙම නැත්තන් “එන්ජින් ඔයිල් ෆිල්ටරය”…

ඔයිල් ෆිල්ටරය මාරු කරන්න ඕන එන්ජීන් ඔයිල් මාරු කරන අතරෙදිමයි… පරණ ඔයිල් එන්ජිමෙන් අයින් කලාට පස්සේ ඔයිල් ෆිල්ටරේ මාරු කරන්න ඕන… ඊට පස්සේ තමයි අලුත් ඔයිල් දාන්න ඕන…   ඔයිල් මාරු කරන හැටි ගැන ලියවෙච්ච මේ ලිපියත් මේ එක්කම අනිවාර්යෙන් කියවන්න (කියවල නැත්නම්)…

ඉතින් මේ ඔයිල් ෆිල්ටරේ මාරු කරන එක ලොකු වැඩක්ද…? සර්විස් ස්ටේෂන් වල විතරද කරන්න පුළුවන්…?

ඇත්තම කියනවානං හරියට වැඩේ දැනගත්තම ඔයිල් ෆිල්ටරේ මාරු කරනවා කියන්නේ විනාඩි පහෙන් කරන්න පුළුවන් ටොයිස් වැඩක්… මේ ලිපිය පරිස්සමින් කියෙව්වොත් සර්විස් ස්ටේෂන් එකකට වඩා හොඳට ගෙදරදීම ඔය වැඩේ කරන හැටි දැනගන්න පුළුවන්…

ඔයිල් ෆිල්ටරේ කාර්යභාරය ගැන තාක්ෂණික කරුණු ගොඩක් තියන හොඳ ලිපියකුත් අපි ගාව තියෙනවා… ඒක මෙතනින් බලන්න…

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

අලුත් ඔයිල් ෆිල්ටරයක්

මේ අලුත් ෆිල්ටරේ එක්කෝ සාමාන්‍ය ස්පෙයාර්පාර්ට් කඩේකින් ගන්න පුළුවන්… නැත්තන් වාහනේ ලෝකල් ඒජන්තවරයාගෙන් ගන්න පුළුවන්…

වාහන ඒජන්තවරයාගෙන් ගනිද්දී වාහන නිෂ්පාදකයම හදපු ඔරිජිනල් ෆිල්ටරේ ගන්න පුළුවන්… හැබැයි ඔබ ගන්න ෆිල්ටරය වාහන නිෂ්පාදකයාගේ නොවේ නම්, අනිවාර්යයෙන්ම ෆිල්ටරයේ ඇසුරුමේ ෆිල්ටරය සෙට් වෙන වාහන වල ඔබගේ වාහනය තිබෙන බව තහවුරු කරගන්න ඕන… ඒ වගේම පෙට්‍රල් ද ඩීසල් ද යන කරුණත් සොයා බැලීම අනිවාර්ය වෙනවා…

ඔයිල් ෆිල්ටර් ගත්තම ප්‍රධාන ඩිසයින් දෙකක් තියෙනවා…

පලවෙනි එක තමයි තහඩුමය ලෝහ ආවරණයක් එක්ක එන ෆිල්ටර් වර්ගය…  මේවට කියන්නේ “ස්පින්-ඔන්” ෆිල්ටර් කියල…  වාහනේ තියෙන්නේ මේ ජාතියේ ඔයිල් ෆිල්ටර් එකක් නම් කරන්න තියෙන වැඩ අඩුයි… පරණ එක ගලවල දාල අලුත් එක හයි කරන්න විතරයි තියෙන්නේ…

දෙවැනි වර්ගයේ ඒවායේ එන්නේ ෆිල්ටර් කෑල්ල විතරයි, එහෙම නැත්තන් ෆිල්ටර් කාර්ට්‍රිජ් එක විතරයි… යකඩ හවුසින් එක නැවත නැවත පාවිච්චි කරන විදියට තමයි මේ වර්ගය හදල තියෙන්නේ… මේවට කියන්නේ “කාට්‍රිජ් ෆිල්ටර්” කියල… මේකෙදි කරන්න තියෙන වැඩ ටිකක් වැඩියි… යකඩ හවුසින් එක ගලවල, ඒක ඇතුලේ තියෙන පරණ ෆිල්ටර් එක අයින් කරලා, හවුසින් එක සුද්ද කරල අන්තිමට තමයි අලුත් ෆිල්ටර් එක ඒ හවුසින් එකට දාන්න ඕන…  ඔය ජාති දෙකේ ෆිල්ටර් පල්ලෙහා රූප වල පෙන්නලා තියෙනවා…
සමහර වාහන වලට මේ ෆිල්ටර් වර්ග දෙකම ගහන්න පුළුවන්… සමහර ඒවාට ගහන්න පුළුවන් එක වර්ගයක ෆිල්ටර් විතරයි… කොයිකටත් තමන්ගේ වාහනේ තිබ්බ පරණ ෆිල්ටර් එකේ ජාතියේම අලුත් ෆිල්ටර් එකක් ගන්න එක හොඳයි… වැඩි හොදට ගලවපු පරණ ෆිල්ටරේ හරි, ඒකෙ ෆොටෝ එකක් හරි අරගෙන ගියා නම් රස්තියාදු නොවී වැඩේ එකපාරින් කරගන්න පුළුවන්…

ස්පින්-ඔන් ෆිල්ටර් එකක්
කාර්ට්‍රිජ් ෆිල්ටර් එකක්

 

පරණ ෆිල්ටරේ හිර වෙලානම් ගලවන්න ටූල්ස්

මේවා ඕන වෙන්නේ පරණ ෆිල්ටරේ ගලවන්න බැරුව හිර වෙලානම් විතරයි… “ඔයිල් ෆිල්ටර් රිමුවර්” කියන ටූල් එක මෙතැනදී ඕන වෙන්න පුළුවන්… මේ ඔයිල් ෆිල්ටර් රිමුවර් ටූල් එක එක මාදිලි වලින් තියෙනවා… හැම එකෙක්ම කරන්නේ ඔයිල් ෆිල්ටර් එකේ සමතල පැති වලට හිර වෙලා ගලවන්න ලේසි කරවන එක… පල්ලෙහා රූප වල තියෙනවා ඔය විවිධ වර්ගයේ ඔයිල් ෆිල්ටර් රිමුවර් ටූල්…

 

හයිය දිග මල් ඉස්කුරුප්පු නියනක්…

ගෙදර ඔය කලින් කීව ටූල් මොනවත් නැත්තන් දිග මල් ඉස්කුරුප්පු නියනක්වත් හොයල තියාගන්න ඕන… හැබැයි මේ විදියට ඉස්කුරුප්පු නියෙනෙන් ගලවන්න පුළුවන් අර කලින් කිව්ව හවුසින් එකක් එක්ක එන ජාතියේ ෆිල්ටර් විතරයි… කරන විදිය මේ ලිපියේ පල්ලෙහා කියල තියෙනවා…

 

බඩු ටික හරිනං අපිට පුළුවන් වැඩේට බහින්න….

 

 

ඔයිල් ෆිල්ටරය මාරු කරන්නේ කොහොමද…?

 

ඔයිල් ෆිල්ටර් එක හොයාගන්න…

මාරු කරන්න කලින් ඔය ෆිල්ටරේ තියෙන තැන හොයාගෙන ඉන්න එපැයි.. ගොඩක් වාහනවල ඔයිල් ෆිල්ටරය එන්ජිමට සවි වෙලා තියෙන්නේ එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් එක හරියේ, එන්ජිමේ යට පැත්තේ… බොනට් එක ඇරලා බැලුවට පෙන්නේ නෑ… එන්ජිම යටින් බැලුවාම පේනවා… එන්ජිමට හයි වෙච්ච පොඩි සිලින්ඩරයක් වගේ තමයි මේක තියෙන්නේ… පහළ පින්තූරවල ඔයිල් ෆිල්ටර් එක තියෙන තැන හොඳට පෙන්නලා තියෙනවා…

ඒ වගේම ඔයිල් ෆිල්ටරය එන්ජිමට සවි වෙලා තියෙන තැන හොඳට සීල් වෙලා තමයි තියෙන්නේ .. ඒ නිසා ඔයිල් එතනින් එලියට යන්නේ නැහැ ඇතුලත පීඩනය වැඩි උනත්… මෙහෙම සීල් වෙන්න ෆිල්ටරයේ රබර් වොෂර් එකක් තියෙනවා… මේකට කියන්නේ “ඔයිල් ෆිල්ටර් ගෑස්කට්” කියල… පහත රූපයෙන් පෙන්වන්නේ ඔය ඕ රින්ග් එක..

ඔයිල් ෆිල්ටර් එක තියෙන තැන
රබර් ඕ-රින්ග් එක

පරණ ඔයිල් අයින් කරන්න…

ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න කලින් පරණ ඔයිල් අයින් කරලා ඉන්න ඕන… නැතිනම් ෆිල්ටරය ගලවනකොට එතනින් ඔයිල් ඇවිත් හැම තැනම විසිරෙනවා… එන්ජිමේ තියෙන ඔයිල් අයින් කරන විදිය මේ පිටුවෙන් අපි පෙන්නලා තියෙනවා

 

ඔයිල් ෆිල්ටරේ ගලවන්න…

දැන් කලින් හොයාගත්ත ඔයිල් ෆිල්ටරේ ගලවන්න ඕන… ඔයිල් ෆිල්ටරය එන්ජිමට හයිවෙන්නේ එන්ජිමේ එලියට නෙරා සිටින රවුම් කොටසකට, ත්‍රෙඩ් වලින්… වාමාවර්තව කරකවලා ඔයිල් ෆිල්ටර් එක ගලවන්න පුළුවන්… සාමාන්‍යයෙන් හරියට සවි කරලා තිබුනොත් ඔයිල් ෆිල්ටරය අතේ හයියෙන් ඇල්ලුවම ගැලවෙනවා… එත් සමහර සර්විස් ස්ටේෂන් වල මේක ටූල් වලින් හොලවන්න බැරි වෙන්න තද කරනවා… එතකොට අපිටත් ඔයිල් ෆිල්ටර් රිමුවර් (Oil Filter Remover) ටූල් එකක් දාල තමයි ගලවන්න වෙන්නේ…

හවුසින් එක නැවත පාවිච්චි කරන වර්ගයේ  “කාර්ටිජ් ෆිල්ටර්” එකක් මේ විදියට හිරවෙලා නම් ගලවන්න වෙන්නේ ඔය ටූල් එකක් පාවිච්චියෙන් විතරයි…

ඒත් හවුසින් එකත් එක්ක එන “ස්පින්-ඔන් ෆිල්ටර්” එකක් හිරවෙලා නම් ටූල් එකක් නැතුවත් ගලවන්න පොඩි ලෝකල් විදියක් තියෙනවා… මේ ක්‍රමයේදී කරන්න තියෙන්නේ ඔයිල් ෆිල්ටරයට පැත්තකින් කුඩා සිදුරක් විදලා ඒ සිදුරට ටිකක් හයිය තියෙන මල් ඉස්කුරුප්පු නියනක් ෆිල්ටරය හරහා එහා පැත්තෙන් මතු වෙන විදියට විදින එක.. ඊට පස්සේ ඔය මල් ඉස්කුරුප්පු නියන වාමාවර්තව කරකවන්න තියෙන්නේ…මේ වෙලාවේ ෆිල්ටරයේ ඉතිරිවෙලා තියෙන ඔයිල් ටිකක් එලියට එයි… ඒ ගැන හිතන්න එපා…මල් ඉස්කුරුප්පු නියන ටිකක් මහතට සහ දිගට තියෙන්න ඕනි… පහත රූපය බලන්නකෝ… සිදුර විදින්නේ කොහොමද ඉස්කුරුප්පු නියන ඇතුළු කරන්නේ කොහොමද කියල තේරෙන්න… හැබැයි ඔය විදියට ජීවිතේට හවුසින් එක වෙනම තියෙන ජාතියේ ෆිල්ටර් එකක් ගලවන්න යන්න එපා…

මල් ඉස්කුරුප්පු නියනක් ආධාරයෙන් ඔයිල් ෆිල්ටර් එක ගලවන හැටි

ඔබේ වාහනේ තියෙන්නේ කාර්ට්‍රිජ් ෆිල්ටර් එකක් නම් තවත් පොඩි දෙයක් තියෙනවා දැනගන්න… මේ වර්ගේ සමහර වාහනවල ඔයිල් ෆිල්ටර් එකේ හවුසින් එකේ යට පැත්තේ තියෙනවා පොඩි පියනක්… මේක ඇරලා අපිට පුළුවන් ෆිල්ටරේ අස්සේ හිරවෙලා තියෙන ඔයිල් ටික යවන්න… මේ උපාංගය අපිට දීල තියෙන්නේ ඔයිල් ෆිල්ටර් එක මාරු නොකර ඔයිල් මාරු කරන වෙලාවල් වලදී ෆිල්ටරේ ඇතුලේ හිරවෙලා තියෙන ඔයිල් ටික යවාගන්න ක්‍රමයක් විදියට… ෆිල්ටරේ මාරු කරන වෙලාවල් වලදී මේක ගලවන එක අත්‍යාවශ්‍ය නැහැ…

ගලවනවානම් බොක්ස් ස්පැනර් කිට් එකේ L හැඩති මිට පාවිච්චි කරලා මේ පියන ගලවන්න ඕන… ගලවන විදිය පල්ලෙහා රූප වලින් පෙන්නලා දීල තියෙනවා… මේ පියනට සම්බන්ධ වෙලා වොෂර් එකකුත් තියෙනවා… මේ වොෂර් එකත් සමහර වෙලාවට අලුත් ෆිල්ටරේ එක්ක හම්බ වෙනවා… එහෙම අලුත් වොෂර් එකක් තියෙනවා නම් ඒකත් මාරු කරන්න නැවත පියන සවි කරන්න කලින්…

 

කලින් කිව්ව මොන විදියට හරි පරණ ඔයිල් ෆිල්ටරේ ගලවල ගන්න…

 

අලුත් ඔයිල් ෆිල්ටරේ හයි කරන්න…

දැන් ගන්න අලුත් ඔයිල් ෆිල්ටරය…

හවුසින් එක එක්ක එන “ස්පින්-ඔන්” ෆිල්ටර් එකක් නම් වැඩේ ලේසියි… මුලින්ම පිරිසිදු එන්ජින් ඔයිල් ටිකක් ඇඟිල්ලෙන් අරගෙන අර අලුත් ෆිල්ටරයේ රබර් වොෂර් එකෙයි ත්‍රෙඩ් එකෙයි ගාන්න… ඊට පස්සේ එන්ජිමේ ෆිල්ටරය සවිවන ත්‍රෙඩ් තියෙන කුඩා රවුමට අලුත් ඔයිල් ෆිල්ටරයේ ත්‍රෙඩ් තියෙන කුහරය තබලා හෙමින් දක්ෂිනාවර්තව කරකවන්න… කරකවලා අතේ හයියට හොඳට තද කරන්න… “ස්පින්-ඔන්” ෆිල්ටර් එකක නම් කරන්න ඕන ඔච්චරයි…

කාර්ට්‍රිජ් ෆිල්ටර් එකක් නම් කරන්න වැඩ ටිකක් තියෙනවා… පළවෙනියට පරණ ෆිල්ටර් කෑල්ල එහෙම නැත්තන් කාර්ට්‍රිජ් එක හවුසින් එකෙන් අයින් කරන්න ඕන… එත් එක්කම පරණ රබර් වොෂර් එකත් අයින් කරන්න ඕන… ඊට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන මේ හවුසින් එක හොඳට සුද්ද කරන්න ඕන… හොඳට සුද්ද කරගත්තට පස්සේ අලුත් කාර්ට්‍රිජ් එක අරගෙන හවුසින් එක ඇතුලට දාන්න… අලුත් කාර්ට්‍රිජ් ෆිල්ටර් කඩෙන් ගනිද්දී ඒකත් එක්කම අලුත් රබර් වොෂර් එකකුත් දෙනවා… අන්න ඒ අලුත් වොෂර් එකත් හවුසින් එකේ උඩින් සවි කරන්න ඕන… ඊට පස්සේ කලින් වගේම පිරිසිදු එන්ජින් ඔයිල් ටිකක් ඇඟිල්ලෙන් අරගෙන අර අලුත් ෆිල්ටරයේ රබර් වොෂර් එකෙයි ත්‍රෙඩ් එකෙයි ගාන්න… ඊට පස්සේ කලින් වගේම දක්ෂිනාවර්තව කරකවල අලුත් ෆිල්ටරය එන්ජිමට සවි කරන්න පුළුවන්… “කාර්ට්‍රිජ් ෆිල්ටර්” එක හයි කරගන්නේ එහෙමයි…

පරණ කාට්‍රිජ් එක හා කැප් එක
අලුත් කාර්ට්‍රිජ් එක

ඔය විදියට ෆිල්ටරේ මාරු කරලා තමයි අලුත් ඔයිල් එන්ජිමට දාන්න ඕනි… අලුත් ඔයිල් දාන විදිය “එන්ජින් ඔයිල් මාරු කිරීම” පිටුවේ තියෙනව… ඒක බලන්න…

 

වැඩේ හරිද බලන්න…

අලුත් ෆිල්ටරය දැම්මට පස්සේ ෆිල්ටරය එන්ජිමට සවිවන තැන ඔයිල් ලීක් එකක් තියෙනවද කියල බලන්න ඕන… මේකට අලුත් ඔයිල් හරි ප්‍රමාණය දාල ඉවරවෙලා එන්ජිම ස්ටාර්ට් කරන්න ඕනි… එන්ජිම ස්ටාර්ට් කරන්න කලින් අනිවාර්යයෙන් එන්ජිමට අලුත් ඔයිල් දාන්න ඕන… නැත්තන් අලුත් එන්ජිමක් දාගන්න වෙයි…
එන්ජිම ස්ටාර්ට් කරලා බලන්න ඔයිල් ඉන්ඩිකේටර් එක පත්තු වෙලා නිවෙනවද කියලා… නිවෙනවානම් හරි…
අනිත් එක තමයි අනිවාර්යයෙන්ම බලන්න එන්ජිම ස්ටාර්ට් කරලා විනාඩි 5ක් විතර තියලා අලුතින් දාපු ඔයිල් ෆිල්ටරය හරියේ ඔයිල් ලීක් තියෙනවද කියලා… නැතිනම් හරි… තියෙනවානම් ඔයිල් ෆිල්ටරය තව ටිකක් තද කරන්න වෙයි අතේ හයියට….