EFI සිස්ටම් එක හරියටම අඳුරගමු…

වාහන උණ තියෙන කෙනෙකුට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දැනුමක් හැටියට පෙන්නන්න පුළුවන් මේ “EFI සිස්ටම්” එක හා ඒ හා සම්බන්ධ උපාංග ටික සම්බන්ධ දැනුම…

වාහනේක ප්‍රශ්නයක් හොයන වෙලාවක මේ EFI සිස්ටම් එක හරියට පරික්ෂා කරගන්න දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත් වෙනවා…. ලංකාවේ ඇතැම් ගරාජ් වල නම් මේ පද්ධතිය ගැන එච්චර සැලකීමක් කරන්නේ නැහැ…. මොකද ගොඩක් ගරාජ් වල බලන්නේ වාහනයක යාන්ත්‍රික පැත්තේ දෝෂ ගැන විතරක් වීම නිසා…

නමුත් වාහනයක එන්න පුළුවන් දෝෂ ගොඩක් හරියටම හඳුනාගන්න උදව් ගන්න පුළුවන් පද්ධතියක් හැටියට මේ “EFI සිස්ටම්” එක පෙන්නලා දෙන්න පුළුවන්…..

 

මොකද්ද මේ EFI …..

පලවෙනියට අපි බලමු මොකද්ද මේ EFI කියන්නේ කියලා… EFI කියන්නේ “Electronic Fuel Injection” සිස්ටම් කියන නමේ මුල අකුරු අරන් කෙටිකරලා හදාගත්ත නමක්…. නමෙන්ම තේරෙන විදියට මේ සිස්ටම් එකෙන් කරන්නේ එන්ජිමට එහෙමත් නැත්නම් එන්ජිමේ තියෙන දහන කුටීර (Combustion Chamber) වලට ඉන්ධන හා වාතය එන විදිය හා දහනය (Ignition) පාලනය කරන එක…

EFI සිස්ටම් එකකින් දහන ක්‍රියාවලිය පාලනය කරන එක මුලින්ම හොයාගෙන තියෙන්නේ 1950 ගණන්වල… ඒ උනාට මේ සිස්ටම් එක තියෙන වාහන ගොඩක්ම වෙළඳපොළට එන්න ගත්තේ 1980 ගණන් වලින් පස්සේ… 1980 ගණන් වල ඉඳල අද වෙනකල් හදන බහුතරයක් වාහන වල ඉන්ධන සැපයුම පාලනය කරන්නේ මේ EFI වලින් තමයි (වාහනේ අනුව පොඩි වෙනස්කම් තිබ්බත් මුලධර්මය එකයි)…..

ඒක නිසා 1980ට කලින් වාහනේක EFI සිස්ටම් එකක් තියෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි, කලාතුරකින් තියෙන්නත් පුළුවන්…

ඕගොල්ලෝ දැනටම දන්නවා ඇතිනේ එන්ජිමක් දුවන්නේ සරලව කිව්වොත් ඉන්ධන හා වාතය එකතු කරලා පිස්ටන් එකක් මගින් සම්පීඩනය කරලා ගිනිගන්න සලස්වලා ඒ පිපිරීමෙන් එන බලයෙන් කියල… ඉතින් ඔය වාතය තෙල් එහෙම එන්ජිමට එන විදිය පාලනය කරන පරිඝනකය වගේ කොටසට තමයි මේ “EFI system” කියල සරලව කියන්නේ…. මේ EFI එකේ “main control unit ” නැත්තන් පරිඝනකය එලියට පෙන්නේ නැහැ… ඩෑෂ්බෝර්ඩ් එක ඇතුලේ තමයි සාමාන්‍යෙන් මේක හයි කරලා තියෙන්නේ…

ඔහොම කිව්වට මේක උපාංග ගණනාවකින් සමන්විත සංකීර්ණ කාර්යයන් රැසක් කරන පද්ධතියක්…. එත් අපි පුලුවන් තරම් සරලව මේකේ උපාංග ගැන හා දෝෂ අඳුර ගන්න ආකාරය ගැන පහලින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා….

 

EFI එකෙන් කරන වැඩ මොනවද…..

EFI එක චෙක් කරන්න යන්න කලින් EFI එක මොකටද තියෙන්නේ, එකෙන් කරන මුලික වැඩ මොනවද කියල අඳුරගෙන ඉන්න එක වටිනවා….

මේ EFI සිස්ටම් එකෙන් කරන ප්‍රධාන වැඩ 3ක් අපට අඳුරගන්න පුළුවන්….

 

1. Injector කොන්ට්‍රෝල් කරන එක….

එන්ජිමට ඉන්ධන සපයන්නේ ෆුවෙල් ඉන්ජෙක්ටර් (Injector) කියන උපාංගය හරහායි… මේකට නිකම්ම ඉන්ජෙක්ටර් කියලත් එදිනෙදා කතාවේ කියනවා… සිලින්ඩර් එකකට එක ගානේ ඉන්ජෙක්ටර් බලාගන්න පුළුවන්… ඉතින් මේ ඉන්ජෙක්ටර් එකක් හරහා යන ඉන්ධන ප්‍රමාණය පාලනය කරන එක කරන්නේ අපේ “EFI සිස්ටම්” එක විසිනුයි…..

ඉන්ජෙක්ටර් සිස්ටම් එක තියෙන තැන
ඉන්ජෙක්ටර් පද්ධතිය, එන්ජිම ගාවින් පේන හැටි

 

2. වාතය දෙන වැල්ව් කොන්ට්‍රෝල් කරන එක….

එන්ජිමට වාතය සපයන්න ප්‍රධාන වැල්ව් වර්ග 3ක් තියෙනවා…

 

ත්‍රොටල් ෆ්ලැපර් (Throttle Flapper)

පලවෙනි එක තමයි ත්‍රොටල් ෆ්ලැපර් (Throttle Flapper) එක… මේක අපේ ඇක්සලර්රේටර් එකට කෙලින්ම සම්බන්ධයි…. මේක තියෙන්නේ ත්‍රොටල් බොඩි එක ඇතුලේ… ත්‍රොටල් බොඩි එක තියන තැන පල්ලෙහා රූපේ පෙන්නලා තියෙනවා… ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්…. එයාර් ෆිල්ටරේ ඉඳල එන ලොකු මහත බටේ ඇවිල්ල සම්බන්ධ වෙන කෑල්ලට තමයි ත්‍රොටල් බොඩි එක කියන්නේ….

ඇක්සලර්රේටරේ ඉඳල එන කේබල් එකක් හයි වෙච්ච කෑල්ලක් මේ ත්‍රොටල් බොඩි එකට හයි කරලා තියෙනවා ඔයාල දැකල ඇති… මේකෙන් ඇදල එන්ජිම රේස් කරන්න පුළුවන්… අන්න ඒ කෑල්ලට සම්බන්ධ වෙලා ත්‍රොටල් බොඩි එක ඇතුලේ පියනක් වගේ Throttle Flapper එක තියෙනවා…. ඇක්සලර්රේටරේ පාගන ප්‍රමානෙට මේ පියන ඇරිලා එන්ජිමට වාතය සපනයවා… සමහර අලුත් වාහන වල ඔහොම කේබල් එකක් නැහැ, ඒ වෙනුවට පොඩි මෝටරයක් තියෙන්නේ, ඇක්සලර්රේටරේ පාගද්දී මෝටරෙන් තමා Throttle Flapper එක ඇරෙන්නේ…

හැබැයි මේ වැල්ව් එක නම් EFI එකෙන් පාලනය කරන්නේ නැහැ….. ඒක තනිකරම අපි විසින් ඇක්සලර්රේටරේ මාර්ගයෙන් පාලනය කරන වැල්ව් එකක්…….

ත්‍රොටල් ෆ්ලැපර් එක තියෙන තැන දුරට පේන හැටි, ඔය ආවරණය ඇතුලේ ත්‍රොටල් ෆ්ලැපර් එක තියෙනවා
ත්‍රොටල් ෆ්ලැපර් එකේ ඇරෙන වැහෙන පියන

 

Idle Air Control වැල්ව් එක

දෙවැනි වැල්ව් එකට කියන්නේ “Idle Air Control” වැල්ව් කියල… මේ වැල්ව් එක සම්පුර්ණයෙන් පාලනය කරන්නේ EFI සිස්ටම් එක විසිනුයි…. මේ වැල්ව් එක පොඩියට ත්‍රොටල් බොඩි එකට සම්බන්ධ වෙලා තියෙනවා බලා ගන්න පුළුවනි…. එන්ජිම idle තියෙද්දී, එහෙම නැත්තන් ස්ටාර්ට් කරලා නියුට්‍රල් එකේ හරි පාර්කින් එකේ හරි තියෙද්දී එන්ජිමේ rpm එක නියතව පවත්වා ගන්න එක තමයි මේකෙන් කරන්නේ…

එන්ජිම නියුට්‍රල් තියෙද්දී උනත් අපි කලින් කිව්ව ත්‍රොටල් ෆ්ලපර් එක පොඩ්ඩක් ඇරිලා තියෙනවා, එකෙන් එන්ජිම idle තියන්න ඕන වාත ප්‍රමාණය ලබා ගන්න පුළුවන්… එහෙමනම් මෙහෙම “Idle Air Control” වැල්ව් එකක් ඕන වෙන්නේ මොකටද….?

Idle Air Control වෑල්ව් එක දුරට පේන හැටි
Idle Air Control වෑල්ව් එක ලඟට පේන හැටි

අපි දන්නවා වාතයේ ඝනත්වය හැම තිස්සෙම එක විදියට තියෙන්නේ නැහැ… ඝනත්වය වැඩි සීතල දවසක එකම වාත පරිමාවේ බර වැඩියි….එතකොට එදාටත් රස්නේ දවසට දෙන වාත පරිමාවම idle වෙලාවේදී දුන්නොත් අනිවාර්යෙන් idle වෙලාවේ rpm එක නගින්න ඉඩ තියෙනවා… අන්න ඒ වගේ නොවෙන්න වාත පරිමාව සුමටව පාලනය කරන එක තමා මේ Idle Air Control එකේ මුලික කාර්යය…. මේක තනිකරම පාලනය වෙන්නේ EFI සිස්ටම් එක විසිනුයි…

 

වැකුම් වැල්ව් (Vacuum Valve) එක

තවත් එන්ජිමට වාතය දෙන වැල්ව් වර්ගයක් තමයි වැකුම් වැල්ව් (Vacuum Valve) කියන්නේ…. මේවයින් කරන්නේ එකපාරට ලොකු වාත පරිමාවක් එන්ජිමට ලබා දෙන එක… උදාහරණයක් හැටියට AC එක ඔන් කරපුවම එන්ජිමේ rpm එක එකපාරට වැඩි කරන්න ඕනනේ… අන්න ඒ වගේ වෙලාවට මේ වැල්ව් ඇරිලා ලොකු වායු පරිමාවක් ටක් ගාල එන්ජිමට ලබා දෙන්න පටන් ගන්නවා…. මේ වැකුම් වැල්ව් සියල්ල පාලනය කරන්නෙත් EFI සිස්ටම් එකෙන්ම තමයි…

වැකුම් වැල්ව් එක සාමාන්‍යෙන් තියෙන තැන
වැකුම් වැල්ව් එක ලඟට පේන හැටි

 

3. Ignition කොන්ට්‍රෝල් කරන එක….

එන්ජිම ඇතුලේ දහන ක්‍රියාවලිය, දහනය පටන් ගන්න වෙලාවල් වැල්ව් ඇරෙන වැහෙන වෙලාවල් පාලනය කරන එකත් “EFI සිස්ටම්” එකේ ප්‍රධාන රාජකාරියක්….

 

ඔව්ව තමයි ඒ”EFI සිස්ටම්” එකෙන් කරන ප්‍රධාන කාර්යයන්…

 

මේක කියවපු ඔයාලට තේරෙනවා ඇති මේ දේවල් හරියට පාලනය කරන්න EFI සිස්ටම් එකට වාහනයේ තත්වය ගැන තොරතුරු ගොඩක් ඕන කරන බව….

අන්න ඒ තොරතුරු ගන්න EFI සිස්ටම් එකක් තියෙන වාහනයක් පුරාම තැන් තැන් වල සෙන්සර් හයි කරලා තියෙනවා… EFI සිස්ටම් චෙක් එකකදී අපි ඇත්තටම කරන්නේ මෙන්න මේ සෙන්සර් වලින් එන අගයන් කියවල දෝෂ සහිත උපාංග හෝ ක්‍රියාවන් අඳුර ගන්න එක තමයි…… එක හින්දා EFI චෙක් කරන්න යන කෙනෙක්ට මේ සෙන්සර් ගැන ඉහල අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත්…..

ඒ නිසා වාහනේ EFI සිස්ටම් එකට සම්බන්ධ වැදගත් සෙන්සර් කීපයක් ගැන තොරතුරු ටිකක් පහලින් දක්වල තියෙනවා….

 

මොනවාද මේ සෙන්සර්….

EFI සිස්ටම් එකට සම්බන්ධ ප්‍රධාන සෙන්සර් ගැන තමයි මේ කොටසින් අපි කතා කරන්නේ…. මේ ගැන දැනුම EFI චෙක් එකක් හරියට කරන්න ගොඩක් ඉවහල් වේවි…..

 

1. Temperature සෙන්සර් 2ක් තියෙනවා…

Coolant Temperature සෙන්සර්

එන්ජින් කුලන්ට් වල උෂ්ණත්වය මනින එක තමයි මේකෙන් කරන්නේ… කුලන්ට් වල උෂ්ණත්වය අනුසාරයෙන් එන්ජින් එකේ උෂ්ණත්වය ගැන අගයක් මේ සෙන්සර් එකෙන් ලබාගන්න පුළුවන්…

Coolant Temperature සෙන්සර් හොයාගන්න හැටි
Coolant Temperature සෙන්සර් එක ලඟට පේන හැටි

Intake Air Temperature සෙන්සර්

වාහනේ එයාර් ෆිල්ටර් එක හරහා එන්ජිමට එන වාතයේ උෂ්ණත්වය මනින්නේ මේකෙන්… එයාර් ෆිල්ටර් එකේ ඉඳල එන්ජිමට යන ලොකු බටයට පොඩි වයර් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ සෙන්සර් එක… පල්ලෙහා රුපෙන් මේක තියෙන තැන ගැන අදහසක් ගන්න පුළුවන් වේවි….

Intake Air Temperature සෙන්සර් එක හයි වෙලා තියෙන හැටි
Intake Air Temperature සෙන්සර් එක ලඟට පේන හැටි

 

2. Manifold Absolute Pressure සෙන්සර් එක

එන්ජින් එකක් අතපතගාල තියෙන ඕන කෙනෙක් දන්න උපාංගයක් තමයි ඔය මැනිෆෝල්ඩ් එක කියන්නේ… ඉන්ටේක් මැනිෆෝල්ඩ් (Intake Manifold) හා එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් (Exhaust Manifold) කියල දෙකක් තියෙනවා. ඒවායින් ඔය ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ප්‍රෙෂර් එක බලන සෙන්සර් එකට තමයි Manifold Absolute Pressure සෙන්සර් කියන්නේ… ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ක්‍රියාකරන්නේ එන්ජිමට එන වාතය රඳවා ගන්න කාමරයක් හැටියට… පහල රූපෙන් ඔය ඉන්ටේක් මැනිෆෝල්ඩ් හා අදාළ සෙන්සර් එක තියන තැන් බලාගන්න පුළුවන්…..

ඉන්ටේක් මනිෆෝල්ඩ් එක හා ඉන්ටේක් මනිෆෝල්ඩ් සෙන්සර් එක
ඉන්ටේක් මනිෆෝල්ඩ් සෙන්සර් එකේ සමීප රූපයක්

 

3. Mass Airflow සෙන්සර් එක

මේ සෙන්සර් එක සමහර වාහන වල නැහැ… මේ මාස් එයාෆ්ලෝ සෙන්සර් එක හයි වෙන්නේ එයාර් ෆිල්ටර් එකයි මැනිෆෝල්ඩ් එකයි අතරට… ප්‍රමාණයෙන් විශාල සෙන්සර් එකක් හැටියට මේක බලාගන්න පුළුවන්… එයා ෆිල්ටර් එකේ ඉඳල එන්ජිමට යන වාත පරිමාව නැත්තන් Air Flow එක දැනගන්න තමයි ඔය සෙන්සර් එක තියෙන්නේ….

Mass Airflow සෙන්සර් එක සාමාන්‍යෙන් තියෙන තැන
Mass Airflow සෙන්සර් එක ලඟට පේන හැටි

 

4. Throttle Position සෙන්සර් එක

අපි කලින් කිව්ව ත්‍රොටල් ෆ්ලැපර් එකේ හැරවිලා තියෙන ප්‍රමාණය නැත්තන් Throttle flapper position එක බලාගන්න තමයි මේ සෙන්සර් එක තියෙන්නේ…. මේක ත්‍රොටල් බොඩි එකට සම්බන්ධ වෙලා ත්‍රොටල් ෆ්ලැපර් එකේ තියෙන කුරට සවි වෙච්ච variable resistar එකක් මාර්ගයෙන් දැන් ත්‍රොටල් ෆ්ලැපර් එක කොච්චර කැරකිලද කියල පෙන්නලා දෙනවා…

Throttle Position සෙන්සර් එක සාමාන්‍යෙන් තියෙන තැන
Throttle Position සෙන්සර් එක ලඟට පේන හැටි

 

5. Oxygen සෙන්සර් එක

එන්ජින් එකෙන් පිටවන වාතය පළවෙනියට යන්නේ එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් එක කියන කුටියට… පල්ලෙහා රූපේ ඒක පෙන්නලා තියෙනවා… ඔන්න ඔය එක්ස්හෝස්ට් මැනිෆෝල්ඩ් එකේ තියෙන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය හොයන සෙන්සර් එකට තමා ඔක්සිජන් සෙන්සර් කියන්නේ… එක්සොස්ට් මැනිෆෝල්ඩ් එකට මේ සෙන්සර් එක වයර් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්…..

Oxygen සෙන්සර් එක තියෙන තැන
Oxygen සෙන්සර් එකක ලඟට පේන හැටි

 

6. Speed සෙන්සර් එක

නමේ හැටියටම මේකෙන් බලන්නේ වාහනේ ස්පීඩ් එක කොච්චරද කියල… මේක තියන තැන බලාගන්න නම් වාහනේ යටට රිංගන්න වෙනවා, මොකද මේක ගියර් බොක්ස් එකට තමා හයි කරලා තියෙන්නේ… පහල රූපේ බලල ගියොත් වරදින්නේ නැතුව හොයා ගන්න පුළුවන්….

ස්පීඩ් සෙන්සර් එකේ කනෙක්ටර් එක යන්තන් පේනවා මේකේ. ඔය ඊතල වලින් දක්වල තියෙන ඇතුලේ තමයි ස්පීඩ් සෙන්සර් එක තියෙන්නේ

 

7. Neutral Start Switch

මේකට සෙන්සර් නැතුව ස්විච් කියල කියන්නේ මේකේ අගය අනික් සෙන්සර් වල වගේ ඉලක්කමක් වෙන්නේ නැතුව ඔන් ද ඕෆ් ද කියල ස්ටේට් එකක් දෙන හින්දයි… මේක තියෙන්නේත් ඔටෝ වාහන වල විතරයි…. ඔටෝ වාහනේක ගියර් එක නියුට්‍රල් හෝ පාර්කින් එකේ තියෙන බව පෙන්නලා දෙන සරල ක්‍රියාව තමයි මේ සෙන්සර් එකෙන් කරන්නේ….

ඔටෝ වාහනයක් ගියර් එකක තියෙද්දී ස්ටාර්ට් කරන්න බැරි වෙන බව අපි හැමෝම දන්නවා.. අන්න ඒ ක්‍රියාව කරන්න දැන් වාහනේ ගියර් එකක තියෙන බව පෙන්වල දෙන්නේ මේ සෙන්සර් එකෙන් තමා…. මේ සෙන්සර් එකේ තියෙන්නේ ගියර් බොක්ස් එක යට හරියේ….. වාහනේ යටට ඔලුව දැම්මොත් ලේසියෙන්ම මේ සෙන්සර් එක බලාගන්න පුළුවන්…..

නියුට්‍රල් ස්ටාර්ට් ස්විච් තියෙන තැන
නියුට්‍රල් ස්ටාර්ට් ස්විච් එක

 

8. Exhaust Air Temperature සෙන්සර් එක…..

පිටවන වාතයේ උෂ්ණත්වය දැනගන්න හයි කරලා තියෙන සෙන්සර් එක තමයි මේ එක්ස්හෝස්ට් එයා ටෙම්පරෙචර් සෙන්සර් කියන්නේ…. මේක තියෙන්නේ කැටලිටික් කන්වර්ටර් (Catalytic Convertar) එකට පස්සේ…

උඩු යටිකුරු වෙච්ච වාහනේක හොඳටම පේන, සයිලන්සර් බටේට හයි වෙලා තියන ලොකු සිලින්ඩරයක් වගේ කෑල්ලට තමා කැටලිටික් කන්වර්ටර් කියන්නේ, පහල රූපෙ දක්වලා තියෙනවා ඕක… අන්න ඒ කැටලිටික් කන්වර්ටර් එකට පස්සේ සයිලන්සර් බටේට වයර් එකකින් හයි වෙලා තියෙන මේ සෙන්සරේ හරියට බලාගන්න නම් වාහනේ යටට රිංගන්න වෙනවා….

එග්සොස්ට් ටෙම්පරෙචර් සෙන්සර් එක සයිලන්සර් බටේට සවි වෙලා තියෙන හැටි
එග්සොස්ට් ටෙම්පරෙචර් සෙන්සර් එක

 

9. Knock සෙන්සර් එක

නොක් සෙන්සර් එක ගැන දැනගන්න කලින් නොක් වෙනවා කියන සංසිද්ධිය හරියට දැනගන්න එක වටිනවා…

දැන් එන්ජිමේ පිස්ටනයක් ගත්තොත් වාතය හා ඉන්ධන මිශ්‍රණය සම්පීඩනය කරලා ඒ වායු මිශ්‍රණයට ස්පාර්ක් එකක් නැත්තන් ගිනි පුලිඟුවක් දෙන එකනේ කරන්නේ… දැන් ඔහොම සම්පීඩනය කරද්දී පිස්ටනය යා යුතු උපරිම දුරක් තියෙනවා, එතනට ගියාම තමා හරියටම වායු මිශ්‍රණය සම්පීඩනය වෙන්නේ… Top Dead Center කියන්නේ අන්න ඒකට…. පිස්ටනය එතනට ගිහින් උපරිම සම්පීඩනය උනාට පස්සේ දහනය සිද්ද උනොත් එහෙම නැත්තන් ස්පාර්ක් උනොත් එන්ජිම උපරිම තත්වයෙන් වැඩ කරනවා කියල කියන්න පුළුවන්…

හැබැයි සමහර වෙලාවට විවිධ දෝෂ හින්දා පිස්ටනය මේ උපරිම තැනට යන්න කලින්ම ස්පාර්ක් ප්ලග් වැඩ කරලා දහනය සිද්ද වෙන්න පුළුවන්….

එතකොට මේක සිද්ද වෙද්දී පිස්ටනය තියෙන්නේ මග, ඉහලට එන ගමන්, ඒ නිසා පිස්ටන් එකේ ඉහලට වේගයක් තියෙනවා… මේ වෙලාවේ දහනයෙන් වෙන පිපිරිම හින්ද ඉහලට වේගයෙන් එන පිස්ටනය එකපාරට පහලට තල්ලු වෙන්න පටන් ගන්නවා…. ඉහලට යන ගමන මග නවත්තල ආයේ පහලට යන්න වෙන හින්දා මේ වෙලාවේදී පිස්ටන් එකේ ලොකු දෙදරීමක් හට ගන්නවා…. ඔන්න ඔය දෙදරීමට තමයි “නොක්” වෙනවා කියල කියන්නේ… ටයිල් පොළවක ජිල් බෝල අතහැරියම එන සද්දේ වගේ සද්දයක් මේ “නොක්” වෙන එන්ජිමක තියෙනවා…..

ඔය නොක් වෙන එක අඳුරගන්න තියෙන සෙන්සර් එක තමා නොක් සෙන්සර් එක කියන්නේ… නොක් වෙන දෙදරීම ඉහල සංඛ්යාතයකින් වෙන එකක්… අන්න එකේ ඉහල සංඛ්යාතය එන්ජිමෙන් එනවද කියල බලාගෙන ඉන්න එක තමයි මේ නොක් සෙන්සර් එකේ කාර්යභාරය…. මේ සෙන්සර් එකේ තියෙන තැන එලියට පේන්නේ නම් නැහැ… තියෙන්නේ එන්ජින් එකේ පැත්තකින්….

නොක් සෙන්සර් එක තියෙන තැන
නොක් සෙන්සර් එක