ක්ලච් එකේ හයිඩ්රොලික් ෆ්ලුයිඩ් එක මාරු කිරීම (මැනුවල් නම් පමණි)

ඔබගේ වාහනය මැනුවල් ගියර් නම් ඔබ අනිවාර්යෙන්ම දන්නවා “ක්ලච් එක” කියන්නේ මොකද්ද කියල… පැඩල් 3න් වම් පැත්තේ කොනේ තියෙන පැඩල් එකට තමයි සාමාන්‍යෙන් ක්ලච් එක කියල කියන්නේ… ගියර් මාරු කරන්න කලින් ඕක පාගනවා… එහෙම නිතරම පෑගුවට, ක්ලච් එකෙන් ඇත්තටම කරන්නේ මොකද්ද කියල ඔබ දන්නවද?….

වාහනය සාමාන්‍යෙන් දුවන වෙලාවක එන්ජිමයි ගියර් පද්ධතියයි එකට සම්බන්ධ වෙලා තියෙන්නේ…. එන්ජිමෙන් එන බලය කෙලින්ම ගියර් සිස්ටම් එකට හම්බ වෙනවා මේ වෙලාවේදී… එහෙම නැත්තන් ගියර් සිස්ටම් එකේ තියෙන දැති රෝද එන්ජිමේ බලයෙන් කැරකි කැරකි තියෙන්නේ…

ගියර් මාරු කරද්දී වෙන්නේ මොකද්ද?… සරලව කිව්වොත් ගියර් මාරු කරද්දී වෙන්නේ ගියර් සිස්ටම් එකේ එක දැති රෝදයක ඉඳල වෙනත් දැති රෝදයකට එන්ජිම සම්බන්ධ කිරීම… එන්ජිමට සම්බන්ධ වෙලා කැරකි කැරකි තියෙන වෙලාවක ඔහොම මාරු කරන්න කරන්න බැහැනේ… ඉතින් ගියර් දාන වෙලාවට තාවකාලිකව ගියර් සිස්ටම් එක හා එන්ජිම අතරේ සම්බන්ධය බිඳින්න වෙනවා…

ඔන්න ඔය වෙලාවට තමයි “ක්ලච් සිස්ටම්” එක අපේ පිහිටට එන්නේ… ක්ලච් සිස්ටම් එකෙන් කරන්නේ මොකක්ද, කියලා ඇහුවොත් දෙන්න තියෙන කෙටිම උත්තරේ තමයි එන්ජිම සහ ගියර් පද්ධතිය, අපි ගියර් දමන වෙලාවට වෙන් කිරීම, සහ අපි හරි ගියර් එක දැමූ පසු, ඒ දෙක යලි එකට එකතු කිරීම කියන එක… ඕක ඔහොම සරලව කිව්වට එච්චරම සරලත් නැහැ… හැබැයි ඉගෙන ගන්න වටින ලස්සන ක්‍රමෝපායන් මේ ක්ලච් සිස්ටම් එකේ භාවිතා කරනවා… විස්තරාත්මකව කියන්න ඕන හින්ද අපි ක්ලච් එක වැඩ කරන හැටි කියන්න වෙනමම පිටුවක් වෙන් කළා… මෙතනින් බලන්න…

අපි අද මේ පිටුවෙන් කියන්නේ යන්නේ “ක්ලච් එකේ හයිඩ්රොලික් ෆ්ලුයිඩ්” මාරු කිරිල්ලක් ගැන… ඉතින් දැන් ඕගොල්ලෝ බලයි ක්ලච් එකේ කොහෙද ෆ්ලුයිඩ් කියල… ඇත්තටම ක්ලච් සිස්ටම් එක වැඩ කරන්න මහෝපකාරී වෙන අංගයක් තමයි ක්ලච් ෆ්ලුයිඩ් කියන්නේ…

අපි දන්නවා ක්ලච් පැඩල් එක තියෙන්නේ වාහනේ ඇතුලේ… ඔය පැඩල් එක පෑගුවම කලින් කිව්වා වගේ එන්ජිම හා ගියර් සිස්ටම් එක තාවකාලිකව වෙන් වෙනවා… ඔය වෙන් කිරිල්ල කරන්නේ එන්ජිමයි ගියර් බොක්ස් එකයි අතර තියෙන ඩිස්ක් එකකින්… ඔය ඩිස්ක් එකට කියන්නේ “ක්ලච් ඩිස්ක්” කියලා… ක්ලච් එක පාගල නැති වෙලාවක ඔය ඩිස්ක් එක එන්ජිම හා ගියර් සිස්ටම් එක අතරේ හිර වෙලා තියෙනවා… ක්ලච් පැඩල් එක පෑගුවම ඒ ඩිස්ක් එක එන්ජිම පැත්තෙන් ඈත් වෙලා එන්ජිම හා ගියර් එක අතරේ සම්බන්ධෙ බිඳිනවා… හරියටම ඕක වෙන හැටි උඩ ලිපියේ කියල ඇති…

කලින් කිව වගේ ක්ලච් පැඩල් එක තියෙන්නේ වාහනේ ඇතුලේ… ක්ලච් ඩිස්ක් එක තියෙන්නේ එන්ජිම ගාව… ඉතින් මේක වැඩ කරන්න නම් වාහනේ ඇතුලේ ඉඳල ක්ලච් එක පෑගුවම එන බලය එන්ජිම ගාව තියෙන ඩිස්ක් එකට සම්ප්‍රේෂණය වෙන්න ඕන… ඔන්න ඕක කරන්න තමයි අපිට ක්ලච් ෆ්ලුයිඩ් ඕන වෙන්නේ… බ්‍රේක් සිස්ටම් එක වගේම වැඩකරන හයිඩ්‍රෝලික් ප්‍රෙෂර් කිරිල්ලක් මගින් ක්ලච් පැඩල් එකේ ඉඳල ක්ලච් ඩිස්ක් එකට අපි පාගන බලය සම්ප්‍රේෂණය වෙනවා… ඔය සිස්ටම් එකට යොදන, පීඩනයට ලක් වෙන දියරය තමයි අපි “ක්ලච් ෆ්ලුයිඩ්” යන නමින් හඳුන්වන්නේ… සාමාන්‍යෙන් ක්ලච් ෆ්ලුයිඩ් හැටියට ගන්නේ බ්‍රේක් ෆ්ලුයිඩ්ම තමයි… ක්ලච් සිස්ටම් එකේ පාවිච්චි වෙනකොට අඳුර ගන්න ලේසි වෙන්න ක්ලච් ෆ්ලුයිඩ් කියල කියනවා….

වෙනත් ඕනෑම දෙයක් වගේම මේ “ක්ලච් ෆ්ලුයිඩ්” උනත් සදාකාලික නැහැ… කාලයත් එක්ක තත්වය බාල වෙනවා… එහෙම උනාම ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්… ඒ වගේම කොහෙන්හරි ලීක් වෙලා ෆ්ලුයිඩ් අඩු උනොත්, පෑගුවම එන්න ඕන බලය හරියට ක්ලච් ඩිස්ක් එකට ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්… ඔන්න ඔය වගේ දේවල් හින්දා හරි කාලෙට මේ ක්ලච් ෆ්ලුයිඩ් පරික්ෂා කරගන්න එක වගේම මාරු කරගන්න එකත් වැදගත් වෙනවා… අන්තිමට මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 10000ක් හෝ මාස 6ක් ගියාම ක්ලච් ෆ්ලුයිඩ් මාරු කිරිල්ලක් කරගන්න එක හොඳයි…

ඔය ක්ලච් ෆ්ලුයිඩ් මාරු කරනවා කියන එක අපි සාමාන්‍යෙන් කරගන්න පුරුදුවෙලා ඉන්නේ සර්විස් ස්ටේෂන් එකකින්… ඇත්තටම ඔය වැඩේ සර්විස් ස්ටේෂන් යන්න ඕන වැඩක් නෙමේ… ඉතාම සරලව, ගෙදරදීම, අපිටම කරගන්න පුළුවන් ආස හිතෙන වැඩක්… ඉතින් අපි කියන්නේ, මේ ලිපිය හොඳට කියෝලා ඊළඟ සැරේ සර්විස් එකට යන්න කලින් ගෙදරදී පොඩ්ඩක් මේ වැඩේ ට්‍රයි කරලා බලන්න කියලයි… දැන් බලමු කරන විදිය…

 

අවශ්‍ය ද්‍රව්‍ය

අලුත් ක්ලච් ෆ්ලුයිඩ්

බ්‍රේක් ෆ්ලුයිඩ්ම තමයි ක්ලච් ෆ්ලුයිඩ් හැටියට පාවිච්චි කරන්නේ… ඒ හින්ද ඔබේ වාහනේට ගැලපෙන බ්‍රේක් ෆ්ලුයිඩ් බෝතලයක් මේ වැඩේට අරගන්න එක හොඳයි… දාන්න ඕන වර්ගය ඔබ දන්නේ නැතිනම් ඒක ක්ලච් ෆ්ලුයිඩ් රෙසවෝයර් එකේ මූඩියේ ගහල තියෙනවා.. DOT3, DOT4 කියල තමයි ඔය වර්ගය සාමාන්‍යෙන් ගහල තියෙන්නේ…

 

සයිස් 8 යතුරක්

මේක ඕන වෙන්නේ බ්ලීඩින් නිපල් එක බුරුල් කරන්න… “බ්ලීඩින් නිපල්” එක කියන්නේ මොකද්ද කියල පල්ලෙහායින් අපි කියනවා…

 

තෙත රෙදි කැබැල්ලක්

ක්ලච් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක හරියේ දුවිලි සුද්ද කරන්න පිරිසිදු තෙත රෙදි කෑල්ලක් හොයල තියාගන්න…

 

සක්ෂන් ගන් එකක් හෝ සක්ෂන් ටියුබ් එකක්

රෙසර්වොයර් එකේ පිරිලා තියෙන පරණ ෆ්ලුයිඩ් ඇඟේ හලාගන්නේ නැතුව අයින් කරගන්න සක්ෂන් ගන් එකක් තියෙනවා නම් හොඳයි… සක්ෂන් ගන් එකක් නැත්නම් සක්ෂන් ටියුබ් එකක්වත් අරගෙන තියාගන්න…

 

පොලිවයනයිල් බටයක්

බ්ලීඩ් කරද්දී බ්ලීඩින් නිපල් එකට ගහන්න විනිවිද පේන නැමෙනසුලු බටයක් ඕන… පොලිවයිනයිල් බටයක් මේ වැඩේට හොඳයි…

 

පුනිලයක්

රෙසර්වොයර් එකට ෆ්ලුයිඩ් දාද්දි ඉහිරෙන්නේ නැතුව දාන්න පුනිලයක් ඕන වෙනවා…

 

විශ්වාසවන්ත මනුස්සයෙක්

මේ වැඩේට ඔයාගේ සහයට තව එක්කෙනෙක් ඕන කරනවා… කලබල නැති, විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් ලැස්ති කරගන්න…

 

ඔය ටික තියෙනවා නම් වැඩේ පටන් ගන්න පුළුවන්…

 

 

ක්ලච් ෆ්ලුයිඩ් මාරු කරන විදිය

ක්ලච් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක හොයාගන්න…

මුලින්ම ක්ලච් ෆ්ලුයිඩ් දාන රෙසර්වොයර් එක හොයාගෙන ඉන්න ඕන… ඕක බොනට් එක ඇරියම පේන්න තියෙන ප්ලාස්ටික් බෝතලයක්… ගොඩක් වෙලාවට බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක ගාවම තමයි තියෙන්නේ… සමහර වාහන වල වෙනම ක්ලච් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකක් නැහැ… බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකම තමයි ක්ලච් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක හැටියට පාවිච්චි වෙන්නේ… මේක හරියටම දැනගන්න නම් ඉතින් වාහනේ මැනුවල් එක බලන්න වෙනවා.. එහෙම නැතත් බොනට් එක ඇරලා ටිකක් විමසිල්ලෙන් එකේ තියෙන ප්ලාස්ටික් බෝතල් ටික බලාගෙන ගියොත් ඔබටම තමන්ගේ වාහනේ ඔය රෙසර්වොයර් එක තියෙනවද නැද්ද කියල හොයාගන්න පුළුවන්…

ක්ලච් ෆ්ලුයිඩ් ලෙවල් එක මේ රෙසවෝයර් එකේ පැහැදිලිව පේනවා.. ඊට අමතරව ගොඩක් වාහනවල තිබිය යුතු උපරිම සහ අවම ෆ්ලුයිඩ් ලෙවල් එක රෙසවෝයර් එක එළියෙන් පෙන්නලා තියෙනවා.. පල්ලෙහා රූප වලින් පෙන්නලා තියෙනවා ඔය රෙසර්වෝයර් එක හා MIN, MAX ලෙවල් ගහලා තියෙන හැටි…

<Location of clutch fluid reservoir><Closeup of clutch fluid reservoir>

 

රෙසර්වොයර් එක හරිය පිරිසිදු කරමු…

දැන් තෙත රෙදි කෑල්ලක් අරගෙන රෙසර්වොයර් එකේ මූඩිය වටේ හොඳට සුද්ද කරගන්න… මොකද ඔතන දූවිලි තිබිලා රෙසර්වොයර් එක අස්සට වැටුනොත් ඒක ලෙඩක්… හොඳට සුද්ද කරගත්තට පස්සේ රෙසර්වොයර් එකේ මූඩිය ගලවන්න…

 

රෙසර්වොයර් එකේ පරණ ෆ්ලුයිඩ් අයින් කරමු…

දැන් ෆ්ලුයිඩ් රෙසවෝයර් එකේ තියෙන අවපැහැගැන්වී ඇති පරණ ෆ්ලුයිඩ්, සක්ෂන් ගන් එක භාවිතා කරලා හරි සක්ෂන් ටියුබ් එක භාවිතා කරලා හරි ඉවත් කරන්න ඕන… සක්ෂන් ගන් එක ගැන දන්නේ නැතිනම් අපේ ගැජට් කෑලි එකේ තියෙන අදාළ පිටුව කියවන්න… පහත රූපයෙන් පෙන්නලා තියෙන්නේ ඕක කරන විදිය…

<Image of a suction gun><Image of a suction tube>

සක්ෂන් ගන් එකක් නැතිනම් වයිනයිල් බටයක් රෙසවෝයර් එකට දාල කටින් ෆ්ලුයිඩ් අදින්නත් පුළුවන්… ඔය ක්‍රමය හැබැයි අපි නම් අනුමත කරන්නේ නැහැ… කරනවානම් එහෙම ඇදලා ෆුයිඩ් බටේ දිගේ එනකොට කටේ තියෙන බටේ කෙලවර රෙසවෝයර් එකට වඩා පහතින් සිටිනසේ බෝතලයකට සෙට් කරන්න ඕනි…

මොන විදියට කලත්, බ්‍රේක් ෆ්ලුයිඩ් වාහනේ කොතනකවත් හලන්න නම් එපා… බ්‍රේක් ෆ්ලුයිඩ් ගෑවුණු ගෑවුණු තැන් අනිවාර්යෙන්ම ඉක්මනටම මලකඩ කනවා… වැරදිලාවත් හැලුනොත් ඉක්මනටම එතන හොඳටම පිහදලා දාන්න ඕන…

ඔහොම රෙසෙර්වොයර් එකේ සේරම පරණ ෆ්ලුයිඩ් ඇදලා ගත්තට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන රෙසර්වොයර් එක ඇතුල ටිකක් සුද්ද කරගන්න… ඊළඟට අර අපි ගත්ත අලුත් බ්‍රේක් ෆ්ලුයිඩ් බෝතලේ අරගෙන රෙසර්වොයර් එක පිරෙනකල් වත් කරන්න… මෙතැනදී MIN, MAX ලෙවල් ගැන හිතන්නේ නැතුව පිරෙන්නම දාන්න…

 

ක්ලච් සිස්ටම් එකේ ඉතුරු වෙලා තියෙන පරණ ෆ්ලුයිඩ් අයින් කරමු…

රෙසර්වොයර් එකේ තියෙන පරණ ෆ්ලුයිඩ් අයින් වෙලා ගියාට ක්ලච් සිස්ටම් එකේ තියෙන නල වල තාම තියෙන්නේ පරණ ෆ්ලුයිඩ්… ඒවත් අයින් කරනකල් වැඩේ සම්පුර්ණ වෙන්නේ නැහැ… මෙන්න මේ ඉතුරු වෙලා තියෙන ෆ්ලුයිඩ් අයින් කරන වැඩේට කියන්නේ “ක්ලච් ෆ්ලුයිඩ් බ්ලීඩ්” කරනවා කියල…

 

බ්ලීඩින් නිපල් එක හොයාගන්න…

ක්ලච් සිස්ටම් එකේ ඉතුරු වෙලා තියෙන පරණ ෆ්ලුයිඩ් ඉවත් කරන්නම තියෙන සිදුරක් වාහනවල තියෙනවා… මේකට කියන්නේ “බ්ලීඩින් නිපල්” කියල… සාමාන්‍යෙන් ගියර් බොක්ස් එක හරියේ පිට පැත්තෙන් මේ උපාංගය බලාගන්න පුළුවන්… එත් මේ බ්ලීඩින් නිපල් එක තියෙන තැන වාහන වර්ගය අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා…

නමුත් ඕක වරදින්නේ නැතුව හොයාගන්න අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්… ක්ලච් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකේ ඉඳල, හරියටම කිව්වොත් “ක්ලච් එකේ මාස්ටර් සිලින්ඩර්” එකේ ඉඳල එලියට යන නලයක් තියෙනවා… ඔන්න ඔය නලය දිගේ ගිහින් තමයි ක්ලච් ෆ්ලුයිඩ් සම්පීඩනය වෙලා ක්ලච් එක බුරුල් කරන්නේ… ඔය නලය ගියර් බොක්ස් එකට සම්බන්ධ වෙන හරියේ ආශ්‍රිතව අනිවාර්යෙන්ම බ්ලීඩින් නිපල් එක තියෙනවා… පහල රූප බැලුවම ඕක තියෙන ස්ථානය ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙයි…

<Location of bleeding nipple><closeup of bleeding nipple>

ඔය බ්ලීඩින් නිපල් එකේ නට් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති… ඔය නට් එකට පිටින් තව පුංචි සිදුරකුත් තියෙනවා… නට් එක බුරුල් කරද්දී ඔය සිදුර ඇරෙනවා… එතකොට සිස්ටම් එකේ තියෙන පරණ ෆ්ලුයිඩ් එලියට ගන්න පුළුවන්… පල්ලෙහා රූප වල ඔය සිදුර හා නට් එක පෙන්නලා තියෙනවා…

 

බ්ලීඩ් කරන්න…

මුලින්ම වයනයිල් බටයක් අරගෙන බ්ලීඩින් නිපල් එකේ රවුම් තුඩ හොඳින් වැහෙන විදියට පහත රුපයේ පරිදි සෙට් කරන්න… නට් එක වැහෙන්න සෙට් කරන්න එපා මොකද තද කරන්න බුරුල් කරන්න එපැයි…

ඔන්න ඔය නට් එක තද කරන්න / බුරුල් කරන්න තමයි සයිස් එක 8 යතුර ඕන වෙන්නේ… ගොඩක් වාහනවල නට් එකේ සයිස් එක 8… සමහර වාහන වල වෙනස් වෙන්න පුළුවන්… කොහොම උනත් පොඩි නට් එකක් තමයි ඕකට එන්නේ…

දැන් ගන්න ප්ලාස්ටික් බෝතලයක්… එකේ බාගයක් විතර පිරෙන්න දාන්න අර රෙසර්වොයර් එකෙන් ගත්ත පරණ ෆ්ලුයිඩ්… දැන් වයිනයිල් බටයේ අනිත් කෙලවර ඔය බෝතලේ ෆ්ලුයිඩ් වල ගිල්ලවල තියන්න… පහත රූපයෙන් පැහැදිලිව පෙන්නනවා ඕක කරන හැටි…

<Fixing vinyl tube to bleeding nipple><Other end of vinyl tube>

ඔක්කොම සෙට් කරගත්තට පස්සේ තවත් කෙනෙක්ට කියල ක්ලච් එක තුන් හතර සැරයක් පාගල අත්හරින්න… මතක තියාගන්න මේ වෙලාවේදී ඔබ ඉන්න ඕන බ්ලීඩින්ග් නිපල් එක බුරුල් කරන්න බලාගෙන… අර විදියට ක්ලච් එක තුන් හතර සැරයක් පාගල අත්හැරපු ගමන්ම ඔබ දැන් බ්ලීඩින්ග් නිපල් එක බුරුල් කරන්න ඕන ඉතා හෙමීට…

එහෙම හෙමීට බුරුල් කරන යනකොට ඔබට පේනවා නිපල් එකට හයි කරලා තියෙන වයිනයිල් බටෙන් අවපැහැ ගැනුන පරණ ෆ්ලුයිඩ් එලියට එනවා… ඒවා බටේ අනෙක් කෙලවර ඔබලා තියෙන ෆ්ලුයිඩ් බෝතලයට යන්න හරින්න..ඔය විදියට ෆුයිඩ් ටිකක් ගියාට පස්සේ නැවත නිපල් නට් එක තද කරලා වහන්න…

දැන් අයෙත් ඔබේ මිතුරාට කියන්න ක්ලච් එක තුන් හතර සැරයක් පාගන්න කියල.. ඊට පස්සේ කලින් විදියටම කරලා ආයෙත් නට් එක තද කරන්න… මේ විදියට තුන් හතර සැරයක් කලාම ඔබට පේන්න පටන් ගන්නවා අර නිපල් එකට සවි කරලා තියෙන වයිනයිල් බටෙන් අලුත් පිරිසිදු ෆ්ලුයිඩ් එලියට එනවා… එතකොටම නිපල් එක තද කරන්න… දැන් වැඩේ හරි….

මෙතනදී ඔබ හොඳට මතක තබා ගත යුතු දෙයක් තියෙනවා.. ඒ තමයි රෙසවෝයර් එක ගැන අවධානයෙන් සිටීම… මොකද අපි ඉහත විදියට නිපල් එකෙන් ෆ්ලුයිඩ් එලියට දානකොට රෙසවෝයර් එකේ තියෙන අලුත් ෆ්ලුයිඩ් පිස්ටන් එකට යනවා…ඒ නිසා රෙසවෝයර් එකේ ෆ්ලුයිඩ් අඩු වෙනකොට අලුතෙන් ෆ්ලුයිඩ් පුරවන්න ඕන මේක කරගෙන යනකොට…

 

ෆ්ලුයිඩ් ලෙවල් එක බලන්න…

අන්තිමට බලන්න ඕන ක්ලච් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකේ ෆ්ලුයිඩ් ලෙවල් එක දිහා… එක MAX ලෙවල් එකට වඩා අඩු වෙලානම් ඒ ගාවට එනකල් අලුත් ෆ්ලුයිඩ් පුරවන්න… ඊට පස්සේ රෙසර්වොයර් එකේ මුඩිය හොඳට තද කරලා වහන්න…

 

ඔන්න ඔය විදියට තමයි සම්පුර්ණ ක්ලච් ෆ්ලුයිඩ් මාරු කිරිල්ලක් කරන්නේ… මේක කියවපු ඕගොල්ලොන්ට තේරෙන්න ඇති මේ වැඩේ හිතන තරම් අමාරු නැති බව… ඉතින් ඊළඟ සැරේ සර්විස් එකට කලින් මේක ට්‍රයි කරලා බලන්න…