කුලන්ට් හෝස් (Coolant Horse) වල ලීක් බැලීම

එන්ජිමක් කියන්නේ කැරකෙන කොටස් ගොඩක් තියෙන සංකීර්ණ යන්ත්‍රයක්… එත් එක්කම එන්ජිමක් ඇතුලේ පිස්ටන් වල ඉන්ධන දහනය කරනවා… සරලවම කිව්වොත් ස්ටාර්ට් කරලා තියෙන එන්ජිමක් කියන්නේ ඇතුලේ ගින්දර ගොඩක් තියෙන යකඩ තාප්ප වලින් වට වෙච්ච අපායක් වගේ තැනක්…

ඔහොම අධිකව රත් වෙන උපාංගයක් මිනිස්සු ගෙනියන වාහනේක තියන්න බැරි විත්තිය ඔයාලට තේරෙනවා ඇති… එක හින්ද ඕනම වාහනේක මේ රත් වෙන එන්ජිම සිසිල් කරන්න සිසිලන පද්ධතියක් තියෙනවා… රේඩියේටර් එක, කුලන්ට් සිස්ටම් එක අයිති වෙන්නේ ඔන්න ඔය සිසිලන පද්ධතියට…

එන්ජිම හරියට සිසිල් කරන්න නම් කුලන්ට් එන්ජිම වටා සංසරණය වෙන්න ඕන… කුලන්ට් මුලින්ම දාන්නේ කුලන්ට් රෙසර්වොයර් එකට කියල ඔයාල දන්නවා ඇති නේ… (කුලන්ට් රෙසර්වොයර් එක ගැන වැඩිය දන්නේ නැත්නම් මේ ලිපිය බලන්න).. එන්ජිම වටා සංසරණය වෙන්න රේඩියේටර් එකේ ඉඳල එන්ජිමට කුලන්ට් අරගෙන යන්න බට ලයින් එකක් හැම වාහනේකම තියෙනවා… මෙන්න මේ බට ලයින් එක තමයි මේ ලිපියේ ප්‍රධාන අමුත්තා වෙන්නේ… මේ බට වලට කියන්නේ “කුලන්ට් හෝස්” කියල…

කුලන්ට් හෝස් වල ප්‍රධාන කාර්යය තමයි එන්ජිමට රේඩියේටර් එකේ ඉඳල කුලන්ට් අරගෙන යාම… එහෙම අරගෙන යන කුලන්ට් එන්ජිම ඇතුලේ කුහර වල සංසරණය වෙලා එන්ජිම සිසිල් කරනවා… වැරදිලාවත් ඔය බටේක ලීක් එකක් එහෙම තිබ්බොත් මොකද වෙන්නේ?…

එහෙම ලීක් තිබ්බොත් කුලන්ට් එන්ජිමට යනවා වෙනුවට එලියට ලීක් වෙන්න ගන්නවා… එතකොට එන්ජිම හරියට සිසිල් වෙන්නේ නැහැ… ඒ නිසා මේ කුලන්ට් හෝස් හරි කාලෙට ලීක් තියෙනවද කියල පරික්ෂා කරන්න ඕන… තියෙනවනන් අලුත් බට දාන්න ඕන…

කුලන්ට් හෝස් හරියටම අඟලක් නෑර පරික්ෂා කරන්න නං විදියක් නැහැ… එත් පුළුවන් විදියට පරික්ෂා කරන එක හොඳයි… ගෙදරදීම කිසිම උපකරණයක් නැතිව කුලන්ට් හෝස් පරික්ෂා කරගන්න පුළුවන්… අපි දැන් බලමු කරන විදිය…

 

කුලන්ට් හෝස් වල ලීක් බලන හැටි

මුලින්ම කුලන්ට් හෝස් ටික හොයාගෙන ඉන්න ඕන… මේක කරන සර්ව සාධාරණ විදියක් නම් කියල දෙන්න අමාරුයි… මොකද කුලන්ට් හෝස් තියෙන තැන් හා ඒවායේ පෙනුම වාහනෙන් වාහනේට වෙනස් වෙන හින්දා…

ඉතින් මේ කුලන්ට් හෝස් හොයාගන්න හොඳම විදි දෙකක් තියෙනවා… පලවෙනි විදිය ඉන්ටර්නෙට් එකෙන් තමන්ගේ වාහනේ කුලන්ට් හෝස් තියෙන තැන හොයා ගන්න එක… දෙවැනි විදිය වැඩ දන්න ගරාජ් බාසෙක්ගෙන් කුලන්ට් හෝස් ටික එක පාරක් අහගෙන මතක තියාගන්න එක… හැබැයි අපිට මෙතැනදී ඕන වාහනේක කුලන්ට් හෝස් අඳුර ගන්න පොඩි ඉඟි ටිකක් නම් දෙන්න පුළුවන්…

කුලන්ට් හෝස් බට රේඩියේටර් එක ආසන්නයෙන් තමයි පටන් ගන්නේ…

මේවා සාමාන්‍යෙන් ලොකු මහත බට… අඟලක් හෝ ඊට වැඩි විශ්කම්භයක් තියෙනවා මේ බට වල….

මේ බට ගොඩක් වෙලාවට එලියට පේනවා… එන්ජිමේ කවර තියෙනවා නම් ගලවල ලොකු මහත බට ටික බැලුවනං ඒවා ගොඩක් වෙලාවට කුලන්ට් හෝස් තමයි…

පහල රූප වල විවිධ වාහන වල කුලන්ට් හෝස් පෙන්නලා තියෙනවා…

රේඩියේටර් එක ගාවින්ම තියෙන කුලන්ට් හෝස් එකක්
රේඩියේටර් එක ගාවින්ම පටන් ගන්න කුලන්ට් හෝස් එකක්
එන්ජින් බේ එකේ දැකිය හැකි කුලන්ට් හෝස්
එන්ජින් බේ එකේ දැකිය හැකි කුලන්ට් හෝස්

මොන විදියකින් හරි බට ටික හොයාගත්තම ඊළඟට කරන්න තියෙන්නේ ගොඩක් සරල දෙයක්… ඒ තමයි ඒ බට වලින් කුලන්ට් කොහෙන් හරි එලියට ඇවිල්ලද බලන එක… කුලන්ට් රතු හෝ කොළ පාටින් තියෙන හින්ද පොඩි ලීක් එකක් තිබ්බත් හොයා ගන්න පුළුවන්… ලීක් එක තියෙන තැන රතු පාටට හෝ කොළ පාටට මිදිලා වගේ කුලන්ට් තියෙනවා බටේ ලීක් නම්…

ඔබ කුලන්ට් වෙනුවට වතුර දාන කෙනෙක් නම් විදියේ කුලන්ට් හෝස් වල ලීක් එකක් තිබ්බොත් ඒ ලීක් වෙන තැන මලකඩ කන්න පුළුවන් බව මතක තියාගන්න ඕන… පල්ලෙහා රූප වලින් පෙන්නන්නේ එහෙම ලීක් තියෙන කුලන්ට් හෝස් වල ස්වභාවය…

කුලන්ට් වෙනුවට වතුර දාපු වාහනයක කුලන්ට් හෝස් ලීක් වෙලා මලකඩ කාලා තියෙන හැටි

ඉතින් මේ පරික්ෂාවේදී කරන්න තියෙන්නේ ඔය විදියට ඉතාම පරිස්සමින් දල්වාගත් දෑසින් කුලන්ට් හෝස් වල අඟලක් නෑර ලීක් තියෙනවද කියල බලන එක තමයි…