ඇත්තටම OBD කියන්නේ මොකද්ද?

OBD එහෙම නැත්තන් “ඔන් බෝර්ඩ් ඩයග්නෝස්ටික්” කියන්නේ සරලවම කිව්වොත් වාහනේක තියෙන දෝෂ ඒ වාහනේ විසින්ම අඳුරගෙන එළියට පෙන්නන්න තියෙන හැකියාවට…

මෙන්න මේ වාහනේක දෝෂ හඳුනාගැනීමේ කාර්යය මුලිකවම සිද්ද කරන්නේ වාහනේ තියෙන “ECU” නැත්තන් “එන්ජින් කොන්ට්‍රෝල් යුනිට්” කියන උපාංගය විසිනුයි…. ECU එකෙන් දෝෂ අදුරගත්තට පස්සේ ඒ අඳුරගන්න දෝෂ මොනවද කියලා පෙන්නන එක තමයි මේ OBD නැත්නම් “”ඔන් බෝර්ඩ් ඩයග්නෝස්ටික්” සිස්ටම් එකෙන් කරන්නේ…

OBD සිස්ටම් එක ECU එකේම අංගයක්… දෝෂ එලියට බලාගන්න තියෙන ඉන්ටර්ෆේස් එකක් නැත්තන් පොර්ට් එකක් ඕනෑම OBD සිස්ටම් එකක තියෙනවා… අලුත් වාහනවල මේ දෝෂ වලට අමතරව OBD පෝර්ට් එකෙන් වාහනේ EFI සිස්ටම් එකේ ක්‍රියාකාරිත්වය ගැන දත්ත පවා ලබාගන්න පුළුවන්….

 

OBD ඉතිහාසය…

මේ OBD සිස්ටම් වල ඉතිහාසය ගත්තොත් එහෙම 1960 ගණන් වලටත් එහා යනවා.. ඒ වගේම එදා මෙදාතුර වාහන වලට හයි කරපු ස්ටෑන්ඩර්ඩ් OBD සිස්ටම් වර්ග ගොඩකුත් තියෙනවා ALDL, M-OBD, OBD-1, OBD 1.5 හා OBD-2 වගේ… එත් ලංකාවේ පාවිච්චි වෙන ගොඩක් වාහන වල තියෙන්නේ OBD-1 හා OBD-2 සිස්ටම් තමයි…

වාහන පිස්සුව කොච්චර තදට තිබ්බත් මේ හැම OBD වර්ගයක් ගැනම දැනගෙන ඉන්න එක ඇත්තටම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ… ලංකාවේ බහුලව පාවිච්චි වෙන වාහන වර්ග වල තියෙන OBD සිස්ටම් එක අඳුරගන්න දැනගෙන හිටියා නම් හොඳටම ඇති…. ඒක නිසා අපි මේ ලිපියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ OBD-1 හා OBD-2 සිස්ටම් ගැන විතරයි….

පෞරාණික ඩයග්නොස්ටික් පෝර්ට් කිහිපයක්

OBD-1 සිස්ටම් එක….

1991 ඉඳල 2003 වෙනකල් ආපු බහුතරයක් වාහන වර්ග වල පාවිච්චි කරලා තියන්නේ මේ OBD-1 සිස්ටම් එක… සාමාන්‍යෙන් OBD-1 සිස්ටම් ස්කෑනර් සපෝර්ට් කරන්නේ නැහැ… මේ OBD-1 සිස්ටම් හදලා තියෙන්නේ එන්ජින් එලාම් ලයිට් එකෙන් හා වඩාත් ලොකු වැඩවලදී නම් වොල්ට්මීටර් හා ඔසිලස්කෝප් පාවිච්චි කරලා දෝෂ හොයාගන්න පුළුවන් වෙන විදියටයි…

OBD-1 සිස්ටම් එකක් එන්ජින් එලාම් ලයිට් එකෙන් දෝෂ පෙන්නද්දී, එන්ජින් එලාම් ලයිට් එක එක්තරා රටාවක් අනුව බ්ලින්ක් වෙනවා… , එහෙම නැත්තන් නිවී නිවී පත්තු වෙනවා…  ඒ බ්ලින්ක් වෙන රටාවෙන් තමයි දෝෂය පෙන්වන්නේ… .. බ්ලින්ක් වෙන රටාව දිහා බලල දෝෂයට අදාළ ඉලක්කම් දෙකේ කෝඩ් එකක් ගොඩක් ලේසියෙන් කියව ගන්න පුළුවන්… මෙහෙම එලියට දෙන කෝඩ් එකට කියන්නේ DTC නැත්තන් “Diagnostic Trouble Code” කියලයී…

OBD-1 ගැන කියද්දි දැනගෙන ඉන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා… ඒ තමයි OBD-1 සිස්ටම් එක කවදාවත් හැමෝටම පොදු ස්ටෑන්ඩර්ඩ් එකක් විදියට පැවතුනේ නැති බව… විවිධ වාහන නිෂ්පාදකයන් ඔවුන්ටම ආවේනික ක්‍රම මේ OBD-1 සිස්ටම් එක සඳහා භාවිතා කළා…. ඒ නිසා මේ OBD-1 සිස්ටම් එකක දෝෂ එලියට පෙන්නන පොර්ට් එක එහෙමත් නැත්තන් OBD පෝර්ට් එක වාහනෙන් වාහනේට ගොඩක් වෙනස් විදියට තමා නිෂ්පාදනය උනේ…

ඒ කියන්නේ ටොයෝටා එකේ OBD-1 පෝර්ට් එකකට වඩා නිසාන් වාහනයක OBD-1 පෝර්ට් එක හාත්පසින්ම වෙනස්… ඒ දෙකටම වඩා ගොඩක් වෙනස් මිට්සුබිෂි වාහනේක පොර්ට් එකේ ස්වභාවය… පල්ලෙහා රූප වලින් පෙන්නලා තියෙන්නේ OBD-1 තියෙන වාහන කීපයක තියෙන OBD පෝර්ට් වල ස්වභාවයන්…

නිසාන් වාහනයක OBD1 පෝර්ට් එක
ටොයොටා වාහනයක OBD1 පෝර්ට් එක

ඒ වගේම ඇතුලේ ඩයග්නෝස්ටික් කෝඩ් වල ස්ටෑන්ඩර්ඩ් එකත් වාහන නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස්…. ඒක හින්දා OBD-1 වාහනවලට ස්කෑනර් ඩිසයින් උනේ ගොඩක් අඩුවෙන්… මොකද වාහනෙන් වාහනේට පෝර්ට් එක වෙනස් නිසා එක ස්කෑනර් එකක් ගත්තොත් එකෙන් බලන්න වෙන්නේ එක වාහන වර්ගයක් විතරක් වෙන හින්දා…. ඒ වගේම ස්කෑනර් එකකින් බලන්න පුළුවන් උනෙත් ගොඩක්ම මුලික දෝෂ කීපයක් විතරයි…

ඉතින් මේ  නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට තියෙන වෙනස්කම් දැක්කම ඔයාලට පැහැදිලි වෙන්න ඕන OBD-1 වාහනවල දෝෂ හොයාගන්න පොදු ක්‍රමයක් පාවිච්චි කරන්න බැරි බව…

 

ඇත්තටම මේ OBD-1 පෝර්ට් එකකින් එලියට එන්නේ මොනවද?…

EFI සිස්ටම් එකක් තියෙන වාහනවල ECU එකට සම්බන්ධ වෙච්චි සෙන්සර් ගොඩක් තියෙන බව ඔයාල දැනටම දන්නවා ඇති… OBD-1 වලදී මෙන්න මේ ප්‍රධාන සෙන්සර් කිහිපයක් හා ECU එක සම්බන්ධ වෙලා තියෙන වයර් මැදින් ටැප් කරලා කෙලින්ම OBD-1 පෝර්ට් එකට දීල තියෙනවා… සෙන්සර් එකෙන් ECU එකට යන සිග්නල් එක එහෙම්මම පෝර්ට් එකටත් එන හින්දා මේ OBD-1 පෝර්ට් එකක පින් වලින් ගොඩක් වෙලාවට එලියට එන්නේ ඇනලොග් සිග්නල් එකක්… අන්න ඒ නිසා තමයි මේ ලිපියේ කලින් OBD-1 සම්බන්ධ ලොකු වැඩ වලදී වොල්ට්මිටර් හා ඔසිලස්කෝප් පාවිච්චි කරන්න වෙන බව දක්වල තියෙන්නේ…

හැබැයි මේකෙදි සෙන්සර් සේරගෙන්ම ECU එකට යන වයර් සේරම ටැප් කරලා OBD-1 පෝර්ට් එකට දීල නැති බවත් මතක තියා ගන්න ඕන… වාහන නිෂ්පාදකයා තමන්ට වැදගත් කියල හිතෙන සෙන්සර් කිහිපයක් විතරක් මේ විදියට එලියට දීල තියෙනවා… ඒ නිසා තමයි මේ OBD-1 පෝර්ට් එක නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට ගොඩක් වෙනස් වෙන්නේ….

 

OBD-1 එපාවුනේ ඇයි…

ඉතින් වාහන වල දියුණුවත් එක්ක ඉලෙක්ට්‍රොනික් පාර්ට් වැඩි වැඩියෙන් පාවිච්චි වෙන්න ගනිද්දී මේ OBD-1 වල තියෙන වාහනෙන් වාහනේට වෙනස් ස්වභාවය එක්ක ඉස්සරහට යන්න බැරි තත්වයක් එන්න ගත්ත… අන්න එතකොට තමයි OBD-2 කියන අලුත් සිස්ටම් එක ලෝකයට පහල වෙන්නේ…

මේ OBD-2 පෝර්ට් එක වාහනෙන් වාහනේට වෙනස් වෙන්නේ නැහැ… ඒ වගේම ඩයග්නෝස්ටික් කෝඩ් උනත් හැම වාහනේම ගොඩක් දුරට සමානයි.. ඒ ගුණාංග හින්දා වාහන නිෂ්පාදකයෝ මේ නව ක්‍රමය ඉතාමත් ඉක්මනින් තමන්ගේ වාහන වලට යොදවන්න පටන් ගත්ත… පෝර්ට් එක හා ඩයග්නෝස්ටික් කෝඩ් වල තියෙන සමානකම නිසා වාහන වර්ග ගොඩක් සපෝර්ට් කරන ස්කෑනර් ගොඩකුත් මාර්කට් එකට ආව… ඉතින් ලංකාවේ වාහන අරගෙන බැලුවොත් 2003න් පස්සේ නිෂ්පාදිත වර්ෂය තියෙන වාහනයක් නම් අනිවාර්යෙන් එකේ OBD-2 පෝර්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්…

 

OBD-2 සිස්ටම් එක….

පල්ලෙහා රූපේ පෙන්නලා තියෙන්නේ OBD-2 පොර්ට් එකක්…. රූපේ පෙන විදියට මේ OBD-2 පෝර්ට් එකක අනිවාර්යෙන් පින් 16ක් තියෙන්න ඕන… කලින් කිව්වා වගේ OBD-2 තියෙන වාහන හැම එකකම ඩයග්නෝස්ටික් කරන ක්‍රමවේදය ගොඩක් දුරට සමානයි, ECU එකත් එක්ක සම්බන්ධ වෙන විදියේ එහෙම නැත්තන් කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් එකේ විතරක් පොඩි වෙනසක් තියෙන්න පුළුවන්…

OBD2 පින් අවුට් එක
OBD2 පෝර්ට් එකක්

 

මොනවද මේ කමියුනිකේෂන් ප්‍රොටෝකෝල්…

ලෝකෙම පිළිගත්ත OBD -2 කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් ප්‍රධාන වර්ග 5ක් තියෙනවා… ගොඩක් වෙලාවට වාහන නිෂ්පාදකයෝ මේ ස්ටෑන්ඩර්ඩ් ප්‍රොටෝකෝල් වලින් එකක් තමයි පාවිච්චි කරන්නේ තමන්ගේ නිෂ්පාදන වලට… සමහර වෙලාවට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්… නමුත් ගොඩක් වෙලාවට ස්ටෑන්ඩර්ඩ් ප්‍රොටෝකෝල් එක හරියටම පාවිච්චි කරනවා ඔවුන්….

සමහර වෙලාවට තමන්ගේ වාහනයේ තියෙන කමියුනිකේෂන් ප්‍රොටෝකෝල් එක දැනගෙන ඉන්න එක වටිනවා… නමුත් අත්‍යාවශ්‍ය නැහැ.. මොකද OBD-2 ස්කෑනර් ගොඩක් එව්වා මේ හැම වර්ගයේම ප්‍රොටෝකෝල් සපෝර්ට් කරන හින්දා…. නමුත් දැනගෙන හිටියට වැඩි වෙන්නේ නැති හින්දා පහලින් ඒවා ගැන පොඩි විස්තරයක් දාන්න හිතුවා…

 

ISO15765-4 (CAN-BUS)

මේක තමයි අලුත්ම ප්‍රොටෝකෝල් එක… අංක 6 සහ 14 කියන පින් මේ ප්‍රොටෝකෝල් එකේදී අනිවාර්යෙන් පාවිච්චි වෙනවා…

ISO14230-4 (KWP2000)

මේක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ එක… 2003 වගේ ඉඳල එන ගොඩක් වාහන වල පාවිච්චි වෙලා තියෙන්නේ මේ ප්‍රොටෝකෝල් එක… මේකෙදි අංක 7 පින් එක අනිවාර්යෙන් පාවිච්චි වෙනවා….

ISO9141-2

යුරෝපියන් වාහන වල පාවිච්චි වෙච්චි ටිකක් පරණ ප්‍රොටෝකෝල් එකක් හැටියට මේක පෙන්නලා දෙන්න පුළුවන්… පින් අංක 7 අනිවාර්යෙන් පාවිච්චි වෙනවා මේකෙදි, එත් එක්කම සමහර වාහනවල අංක 15 පින් එක භාවිතා වෙනවා…

SAE J1850 VPW

ජෙනරල් මෝටර්ස් කියන ප්‍රසිද්ධ කාර් කොම්පැනියේ භාවිතා කරන ප්‍රොටෝකෝල් එක තමයි මේක.. පින් අංක 1 අනිවාර්යෙන් පාවිච්චි වෙනවා මේ ප්‍රොටෝකෝල් එකේදී….

SAE J1850 PWM

ෆෝර්ඩ් වාහන වල ගොඩක් භාවිතා කරන ප්‍රොටෝකෝල් එක තමයි මේක… පින් අංක 1 හා 2 අනිවාර්යෙන් පාවිච්චි වෙනවා මේ වර්ගයේ OBD පෝර්ට් එකක…

 

වාහනේ OBD-2 පෝර්ට් එකේ පාවිච්චි වෙන පින් දිහා බලල ඉහත මොන ප්‍රොටෝකෝල් එකද පාවිච්චි කරන්නේ කියල අපිට ලේසියෙන්ම දැනගන්න පුළුවන්…

මේ OBD-2 සිස්ටම් එක තියෙන වාහන වල දෝෂ හොයද්දි ගොඩක් වාහන නිෂ්පාදකයෝ කෙලින්ම ස්කෑනර් පාවිච්චිය දිරිගන්වලා තියෙනවා…. සමහර වාහන වල මැනුවල් විදියට එන්ජින් එලාම් ලයිට් එකෙන් දෝෂ පෙන්වන ක්‍රමය අඩංගු කරලා තිබ්බත් හරියටම දෝෂය හොයාගන්න ලේසි හා වඩාත් නිවැරදි ක්‍රමය වෙන්නේ ස්කෑනර් එකක් පාවිච්චි කරන එක තමයි…

 

ස්කෑනර් කෝඩ් එක මොන වගේද…

ස්කෑනර් එකක් OBD-2 පෝර්ට් එකට ගහල බලාගන්න DTC (“Diagnostic Trouble Code”) එක P අකුරෙන් පටන් ගන්න අකුරු 5ක කෝඩ් එකක්… (උදා: P0001, P0034)…  මේකට P කෝඩ් කියලත් කියනවා…

ඔය අන්තිම අකුරු 4 ඉලක්කම් විතරක් වෙන්නේ නැහැ… ඉලක්කම් වලට අමතරව A,B,C,D, E, හා F කියන අකුරුත් එන්න පුළුවන්.. ( උදා: P102D )….

ඉතින් මේ කෝඩ් එක හොයාගත්තට පස්සේ සරලව කරන්න තියෙන්නේ ඒ කෝඩ් එකට අදාලව තියෙන වැරැද්ද වාහනේ මැනුවල් එකෙන් හරි, එහෙම නැත්තන් ස්කෑනර් එකෙන්ම හරි බලාගන්න එක තමයි… මේ ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසිය තමයි ගොඩක් වෙලාවට DTC එක වාහන වර්ගයෙන් වර්ගයට වෙනස් නොවීම… ඒ හින්ද දෝෂ ඉතාම අඩුම මහන්සියකින් ඉතාම නිවැරදි ලෙස පෙන්නලා දෙන සිස්ටම් එකක් හැටියට මේ OBD-2 සිස්ටම් එක දක්වන්න පුළුවන්…