ජැක් එක දැනගෙන ගහන්න

වාහනයක් පදින කාට උනත් ජිවිතේ එක පාරක් හරි උවමනා වෙන ගැජට් එකක් තමයි ඔය “ජැක්” එක කියන්නේ… ජැක් එකක් පාවිච්චි කරලා වාහනේ පැත්තක් පොලව මට්ටමෙන් ඉහලට උස්සන එකට “වාහනේට ජැක් ගහනවා” කියල සාමාන්‍ය කතාවේ කියනවා…

වාහනයක් එදිනෙදා පාවිච්චි කරන කෙනෙක්ට නම් මේ ජැක් ගැහිල්ල වැදගත් වෙන්නේ හදිසියේ ටයර් එකක පැච් එකක් වගේ ගියොත් තමා… එහෙම නැතුවත් ටයර් කඩවල් වල, අලයින්මන්ට් බලන තැන් වල එහෙම වාහන වලට සැරටම ජැක් ගහනවා…. ඒ කියන්නේ තමන් නොගැහුවත් තමන්ගේ වාහනයට ජැක් වදින්න ඕන තරම් ඉඩ ප්‍රස්තාව තියෙනවා… ඒක නිසා මේ ජැක් එක කියන උපකරණය හරියටම පාවිච්චි කරන්නේ කොහොමද, වැඩේට අවශ්‍ය නිවැරදි ජැක් එක තෝරාගන්නේ කොහොමද, ජැක් එකක් ගහල තියෙද්දී තවත් උවමනා වෙන උපාංග මොනවද කියන කරුණු වාහනයක් ඇති නැති හැමෝම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්….

මොකද වැරදි ජැක් එක වැරදි තැනක ගැහුවොත් වාහනේට හෝ ජැක් එකට බරපතල හානි සිද්ද වෙන්න පුළුවන් හින්දා… වාහනේක නම් බොඩිය ඇද වීම්, අලයින්මන්ට් ප්‍රශ්න වගේ බරපතල දේවල් උනත් වැරදියට ජැක් ගැහිල්ල හින්ද වෙන්න පුළුවන්…

 

බහුලව පාවිච්චි වෙන ජැක් වර්ග…

හැමෝම දැකල තියෙන, ස්පෙයාර් වීල් එකක් එක්ක එන වාහන වලට වාහනේ එක්කම එන ජැක් එකට කියන්නේ “සිසර් ජැක්” එක කියල.. මේක ගොඩක් අන්ස්ටේබල් වගේම දුර්වල ජැක් එකක් හැටියට තමයි වර්ග කෙරෙන්නේ…

මේක හදල තියෙන්නේ පාරේදී හදිසියකට ටයර් එකක් මාරු කරගන්නවා වගේ ඉක්මන් පොඩි වැඩවලට විතරයි…. වාහනේ යට රිංගලා කරන ලොකු වැඩවලදී මේ ජැක් එක පාවිච්චි කරන්න හිතනවා නම් අඩුම ගානේ “ජැක් ස්ටෑන්ඩ්” වත් පාවිච්චි කරන්නම ඕන… සිසර් ජැක් එකක් විතරක් ගහල තියෙන වාහනේක යට රිංගගෙන කව්රුහරි රෙපෙයාර් කරනවා නම් ඒක ඔහුගේ අන්තිම රෙපෙයාර් එක වෙන්න උනත් ඉඩ තියෙනවා…

“හයිඩ්රොලික් ෆ්ලෝර් ජැක්” කියන්නේ ගොඩක් ටයර් කඩවලදී අපිට හම්බ වෙන ජැක් එකක්… මේක සිසර් ජැක් එකට වඩා ශක්තිමත්ව නොසැලෙන විදියට නිර්මාණය කරලා තියෙනවා… වාහනේ යට රිංගල කරන වැඩ වලදී පාවිච්චි කරන්න නිර්දේශ මේ වර්ගයේ ජැක් තමයි….

පල්ලෙහා රූප වලින් ඔය දුර්වල සීසර් ජැක් එක හා ශක්තිමත් ෆ්ලෝර් ජැක් එක පෙන්නලා තියෙනවා….

සිසර් ජැක් එක
හයිඩ්රොලික් ෆ්ලෝර් ජැක් එක

ජැක් වර්ග තව තියෙනවා… “හයිඩ්රොලික් බොටල් ජැක්”, “හයි ලිෆ්ට් ජැක්” තව මෝටසයිකල් ජැක් එහෙමත් විවිධ වැඩ වලදී පාවිච්චි වෙන්න පුළුවන්… නමුත් සාමාන්‍ය වාහන පදින කෙනෙක්ට ගොඩක්ම මේවා හම්බ වෙන්න තියෙන ඉඩ අඩුයි……

 

ජැක් ගහන්නේ කොහාටද….?

ගොඩක් වාහන වල සිසර් ජැක් එක ගහන්න ඕන තැන කට්ටයක් කපල පෙන්වල දීල තියෙනවා… ඉස්සරහ හා පිටිපස්සේ රෝද ආසන්නයේ මෙන්න මේ කට්ටය බලා ගන්න පුළුවන්.. සීසර් ජැක් එකේ තියෙන කානුවට හරියටම සෙට් වෙන විදියට තමයි මේ කට්ටය කපල තියෙන්නේ… ඉතින් අපිට කරන්න තියෙන්නේ ඉතාම සරලව අන්න ඒ කට්ටය හොයාගෙන එතනට ජැක් එක තියල උස්සන එක තමා…..

ජැක් එක ගහන තැන තියෙන ඝනකම් යකඩ තහඩුව

මේ ස්ථාන විශේෂයෙන්ම ඝනකම් යකඩ තහඩු යොදාගෙන හදල තියෙන්නේ ජැක් එක ගහද්දි එන පීඩනය දරාගන්න පුළුවන් වෙන විදියටයි… ඒ තැන වලට නැතුව වෙනත් තැනකට ජැක් එක තියල ඉස්සුවොත් සමහර වෙලාවට වාහනයේ ෆ්ලෝර් බෝර්ඩ් එක පවා නැමෙන්න හෝ සිදුරු වෙන්න ඉඩ තියෙනවා….

හයිඩ්රොලික් ෆ්ලෝර් ජැක් එක, නැත්තන් ටයර් කඩේ තියන ලොකු ජැක් එක කවදාවත් අර සිසර් ජැක් එක ගහන තැනට ගහන්නේ නැහැ… ෆ්ලෝර් ජැක් එක හැම තිස්සෙම ගහන්න ඕන ඉස්සරහින් නම් ඉස්සරහ ක්‍රොස් බා එක මැද්දෙන් හරි පිටිස්සේ නම් පස්සේ <??>  බා එක මැද්දෙන්… (පල්ලෙහා රූපේ විදියට)….

කොටු වලින් ඇඳලා තියෙන්නේ සීසර් ජැක් එක ගහන තැන්… රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ෆ්ලෝර් ජැක් එක ගහන තැන්

 

සමහර ටයර් කඩවල හා අලයින්මන්ට් බලන තැන්වල ඉන්න මකබාස්ල, මේ ජැක් එක ටයර් එක ගාව සීසර් ජැක් එක ගහන කට්ටේ ගාවින් ගහල උස්සනවා අපි දැකල තියෙනවා….

මේ ෆ්ලෝර් ජැක් එකේ තියෙන්නේ රවුම් කට්ටයක්… ඒ රවුම් කට්ටය සීසර් ජැක් එක ගහන තැන තියන හතරැස් කට්ටේට ගැලපෙන්නේ නැති නිසා එහෙම තියල උස්සද්දී එතන තහඩුව අනිවාර්යෙන් නැමීමකට ලක් වෙනවා… ඒ වගේ විකෘති වෙච්ච පිහිටීමකට නැවත සිසර් ජැක් එකක් ගහන එක ටිකක් භයානක වැඩක්, ලිස්සල යන්න පුළුවන් නිසා..

වැරදියට ජැක් ගහල තහඩුව නැමෙන හැටි

ඒ වගේම ෆ්ලෝර් ජැක් එක ගහන තැනට සීසර් ජැක් එක ගහන්නත් බෑ… වාහනේ වැඩි බරක් ඒ තැනින් උස්සද්දී එන නිසා අනිවාර්යෙන්ම සීසර් ජැක් එකේ කට්ට එහෙම නැත්තන් ත්‍රෙඩ් යන්න ඉඩ තියෙනවා… මොකද සීසර් ජැක් එච්චර පීඩනයක් දරා ගන්න පුළුවන් විදියට නෙමේ නිර්මාණය කරන්නේ…

 

 

ජැක් ගහද්දි කරන්න ඕන දේවල් පියවරෙන් පියවර….

1. සමතලා පොලවකට වාහනේ අරන් එන්න ඕන.. ටිකක් ඉඩ කඩ තියෙන තැනක් නම් හොඳයි… වාහන යන පටු පාරක් අයිනේ ටයර් මාරු කරන්න යන ගිහින් අනික් මිනිස්සුන්ගේ ලේ කෝප කරන්න ඕන නෑනෙ ….

2. ඊට පස්සේ ඔටෝ වාහනයක් නම් “P” එකට නැත්තන් පාර්ක් එකට දාලද බලන්න ඕන.. මැනුවල් නම් පලවෙනි ගියර් එකට දාල තියෙන්න ඕන… වාහනේ අනිවාර්යෙන් එන්ජිම ඕෆ් කරල නවත්තල හෑන්ඩ් බ්රේක් ඇදල තියෙන්න ඕන..

3. දැන් අපිට පුළුවන් අඩ තියන්න… ඇත්තටම සිසර් ජැක් එකකින් එක රෝදයක් විතරක් උස්සන අවස්ථාවක අඩ තිවිල්ල එච්චර ඕන වෙන්නේ නැහැ… නමුත් වැඩි ආරක්ෂාවට උස්සන රෝදේ විරුද්ධ පැත්තේ රෝද වලට අඩ තියන එක හොඳයි…. හරියටම කරනවා නම් wheel choke එකක් පාවිච්චි කරන්න පුළුවන්, නමුත් Wheel Choke නැති වෙලාවක 4x 4 වගේ ලී කොටයක් උනත් අඩයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්… කුඩුවෙලා යන ගඩොල් වගේ දේවල් අඩ හැටියට තියන්න යන්න එපා…..

ෆ්ලෝර් ජැක් එකකින් ඉස්සරහ රෝද දෙක උස්සන වෙලාවකත් මේ අඩ එහෙමත් නැත්තන් Wheel Choke කියන ඒවා එච්චර අදාළ වෙන්නේ නැහැ… මොකද හෑන්ඩ් බ්‍රේක් එකෙන් පස්සේ රෝද දෙකට තිරිංග වැටිලා තියෙන්නේ ඒ වෙලාවේදී… නමුත් පස්සේ රෝදයක් උස්සනවා නම් අනිවාර්යෙන් ඉස්සරහ රෝද දෙකටම අඩ තියන්නම ඕන… මොකද ඉස්සරහ රෝදෙට හෑන්ඩ් බ්‍රේක් අදාළ වෙන්නේ නැති නිසා…. ඒ වෙලාවේදී ඉස්සරහ රෝදේ දෙපැත්තටම අඩ තියන්න පුළුවන් නං වඩා හොඳයි…….

4. දැන් අපේ උවමනාව රෝදයක් ගලවන්න නම් රෝදේ ඇන ටික පොඩ්ඩක් බුරුල් කරන්න ඕන…. ජැක් එක ගහල උස්සල තියෙද්දී හොඳටම තද වෙච්ච රෝදයක් ගලවන්න ඉස්කුරුප්පුව උඩ නැගගෙන සෙල්ලම් දාන එක භයානකයි කියල තේරෙනවනේ…. ඒ නිසා ඒක බුරුල් කරන්න ඕන ජැක් එක ගහන්න කලින්….

5. ඊට පස්සේ අපි කලින් කිව විදියට ජැක් එක අනුව හරිම ස්ථානය තෝරාගෙන ජැක් එක තියල හෙමින් වාහනේ උඩට උස්සන්න පුළුවන්…. මේක උස්සද්දී අමුතු සද්ද බද්ද එහෙම එන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ යට දිරල කැඩෙන්න යනවා වගේ හිතුනොත්, එහෙම නැත්තන් ජැක් එක පොලවට බහිනවා වගේ දැනුනොත් වහාම වැඩේ නවත්තල හෙමින්ම ජැක් එක ආයේ පහත් කරන්න ඕන…

6. දැන් වාහනේ යට රිංගගෙන මොනවා හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් “Jack Stand”  පාවිච්චි කරන්න ඕන… හැබැයි ටයර් මාරු කිරිල්ලක් වගේ පොඩි දෙකට නම් මේ Jack Stand එච්චර උවමනා වෙන්නේ නැහැ….  Jack Stand තියන්න ඕන තැන් හා පාවිච්චි කරන්න ඕන හරිම විදිය ඇත්තම වෙනමම පොස්ට් එකක් එකකින් කතා කරන්න ඕන දෙයක්…  ඒ ගැන අපි වෙනම කතා කරමු….

ජැක් ස්ටෑන්ඩ්

ඉතින් එදිනෙදා වාහනයක් පාවිච්චි කරන්න අය ජැක් එක ගැන දැනගන්න ඕන කරුණු ගොඩක් මේ ලිපියෙන් ඉදිරිපත් උනා කියල අපි හිතනවා…. තමන් විසින්ම හෝ වෙන කෙනක් තමන්ගේ වාහනේට ගහන ජැක් එක නිවැරදිව ගහන්නත් දන්නේ නැති කෙනෙක්ට කියල දෙන්නත් මේ ලිපියේ කරුණු උපකාර වෙයි කියල කියවන ඔබට හිතෙනවා නම් අපේ උත්සාහය සාර්ථකයි….