ටයර් ප්‍රෙෂර් එක පරික්ෂා කිරීම

වාහනේ පාරත් එක්ක සම්බන්ධ කරන ප්‍රධානම දේ තමයි ටයර්… මේ ටයර් වල ප්‍රෙෂර් එක හරියටම තියෙන එක ගොඩක් වැදගත්… ටයර් ප්‍රෙෂර් එක එක්කෝ නියමිත අගයට වඩා අඩු වෙන්න පුළුවන්, නැත්තන් වැඩි වෙන්න පුළුවන්… ඔය කොයි විදියට දුවන එකත් වාහනේට නම් හොඳ නෑ….

 

ටයර් ප්‍රෙෂර් එක නියමිත අගයට වඩා අඩු උනොත් මොකද වෙන්නේ…

ප්‍රෙෂර් එක අඩු උනොත් ටයර් එකේ පාරත් එක්ක ගැටෙන වර්ගපලය වැඩි වෙනවා… එතකොට පාර හා ටයර් එක අතරේ ඝර්ෂණය තියෙන්න ඕන අගයට වඩා වැඩියි… මෙහෙම උනාම ටයර් රත් වෙන්න බලනවා… ටයර් එකේ ගෙවීමත් වැඩියි…

අනික් දේ තමයි මෙහෙම අඩු ප්‍රෙෂර් එකක තියෙන ටයර් එකක මැද හරියේ කට්ට පාරත් එක්ක බැඳෙනවා අඩුයි… එතකොට බ්රේක් එකකදී නවතින්න යන දුර වැඩි වෙනවා… ඒක කොච්චර භයානකද කියල කියන්න ඕන නැහැනේ…

මිට අමතරව කාර් එකේ හැරවීමේ නිවැරදිබව අඩු වෙන එක, වාහනේ හසුරුවාගන්න අපහසු වෙන එක හා ගොඩක් රත් උනොත් ටයර් පිපිරීමට උනත් ලක් වෙන්න පුළුවන් වීම වගේ හානිදායක දේවල් ගොඩක් හුලන් අඩුවෙන් දුවන එකෙන් වෙන්න පුළුවන්…

 

ටයර් ප්‍රෙෂර් එක නියමිත අගයට වඩා වැඩි උනොත් මොකද වෙන්නේ…

ඇත්තම කියනවා නම් ටයර් එකේ පීඩනය තියෙන්න ඕන අගයට වඩා ටිකක් වැඩි උනාට ලොකු ගැටළුවක් නැහැ… හැබැයි ගොඩක් වැඩි පීඩනයකට ටයර් එක ගේන එකත් එච්චර හොඳ නැහැ… මොකද ටයර් එකේ මැද කොටස අනික් කොටස් වලට වඩා වැඩියෙන් පාර එක්ක සම්බන්ධ වෙලා ටයර් එක අක්‍රමවත් විදියට ගෙවෙන්න ඉඩ තියෙනවා… නමුත් හුලන් වැඩියෙන් තියෙන එක එච්චර භයානක තත්වයක් හැටියට සලකන්නේ නැහැ…

කොහොම උනත් වාහනේට හා ටයර් වලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ටයර් හතර තියෙන්න ඕන නිවැරදිම පීඩනයේ පවත්වාගන්න එක… මේ පීඩනය කාලෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන් හින්ද මාස 6න් 6ට හෝ කිලෝමීටර් 10000න් කරන රේගියුලර් සර්විස් වලදී ටයර් ප්‍රෙෂර් එක පරික්ෂා කරගන්න ඕන…

මේ පරික්ෂාව කරන්න කලින් අපි අපේ වාහනේ ටයර් වල නිවැරදි පීඩනය දැනගෙන ඉන්න ඕන… ටයර් වල තියෙන්න ඕන හරි ප්‍රෙෂර් එක ගොඩක් වෙලාවට වාහනේම ස්ටිකර් එකක් හැටියට අලවල තියෙනවා… සමහර වාහන වල මේ විස්තරේ තියෙන්නේ රියදුරු අසුන පැත්තේ දොරේ ස්ටිකර් එකක…තව සමහර වාහන වල ඩ්‍රයිවර්ගේ සීට් බෙල්ට් එක හරියේ මේක අලෝල තියෙනවා… පහල තියෙන්නේ එහෙම ටයර් ප්‍රෙෂර් එක පෙන්නලා තියෙන විදි කිහිපයක්… ගොඩක් වෙලාවට කිලෝපැස්කල් හා PSI කියන යුනිට් දෙකෙන්ම, ඉස්සරහ හා පිටිපස්සේ ටයර් වලට වෙන වෙනම මේ සටහන් බලාගන්න පුළුවන්…

හැබැයි ඔක්කොම වාහනවල ඔහොම ගහල නැහැ… ගහල තිබුනත් ගැලවිලා තියෙන්න පුළුවන්… ඉතින් තමන්ගේ වාහනේ ඔහොම ටයර් ප්‍රෙෂර් එක ගහල තියෙන තැනක් හොයාගන්න බැරි උනොත් මොකද කරන්නේ?… එතකොට ඉතින් සර්විස් මැනුවල් එකේ පිහිට තමයි… සර්විස් මැනුවල් එකේ හරියටම පෙන්නලා තියෙනවා මේ ඉස්සරහ හා පිටිපස්සේ ටයර් වලට එන්න ඕන පීඩනයන්… සර්විස් මැනුවල් එකත් නැතිනම් අන්තර්ජාලයෙන් හරි තමන්ගේ වාහනේ මොඩල් එකට හරියන ටයර් ප්‍රෙෂර් හොයාගන්න වෙනවා…

ටයර් වලට හුලන් ගහන්න නානාප්‍රකාර ක්‍රම තියෙනවා… විවිධ උපකරණත් තියෙනවා… ඒත් අපි නම් නිර්දේශ කරන්නේ පෙට්රෝල් ෂෙඩ් එකකින් හරි, ටයර් කඩේකින් හරි හුලන් ගහගන්න කියල තමයි… මොකද ප්‍රධානම දේ වැඩේ ලාබයි, තමන්ම කරගත්තොත් නිකම්ම වගේ… ලොකු රස්තියාදුවක් වෙන්නෙත් නැහැ… ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල…

 

හුලං බලල හුලං ගහන හැටි

 

ප්‍රෙෂර් එක දැනගන්න….

මුලින්ම තමන්ගේ වාහනේ ඉස්සරහ හා පස්සේ රෝදවල නිවැරදි පීඩනය PSI වලින් දැනගන්න… මොකද ගොඩක් ටයර් කඩවල තියෙන පොම්ප වල පීඩනය තියෙන්නේ PSI වලින්… පීඩනය හොයාගන්න හැටි අපි කලින් කිව්වා…

 

හුලන් ගහන්න….

ඊළඟට යන්න හුලන් පොම්පේ තියෙන පෙට්රෝල් ෂෙඩ් එකට හරි ටයර් කඩේට හරි…

එතකොට සමහරවිට එතන සේවකයෙක් ඇවිල්ල හුලන් බලල දෙන්න බාර ගනීවි… එහෙම ආවොත් තියෙන්න ඕන ප්‍රෙෂර් එක PSI වලින් එයාට කියන්න… එතකොට එයා ඒ ගානට හරියට හුලන් ගහවි… වැඩේ ඉවර උනාම පොඩි ගානක් දෙන්න වෙයි… හැබැයි හරිම සරලයි….

එහෙම කව්රුත් ආවේ නැත්නම් මේ වැඩේ කරගන්න වෙන්නේ ඔබටමයි… මෙතැනදී අපිට ජාති දෙකක හුලන් පොම්ප හම්බ වෙනවා, ඇනලොග් හා ඩිජිටල් වශයෙන්…. ඇනලොග් පොම්පේ ඔරලෝසුවක් වගේ, පීඩනය පෙන්වන්නේ කට්ටකින්… ඩිජිටල් පොම්පේ වැඩකෑලි ටිකක් තියෙනවා, පීඩනය පෙන්වන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක … එන්න ඕන පීඩනය කලින්ම සෙට් කරන්නත් පුළුවන්… අපි බලමු ඔය කොයික තිබුනත් වැඩේ කරන හැටි…

මුලින්ම වාහනේ පොම්පේ ගාවටම ගෙනල්ල නතර කරන්න… පොම්පේ වාහනේ ඉස්සරහ රෝදේ ගාවට එන විදියට පාක්‌ කලාම ලේසියි…

ඩිජිටල් පොම්පයක් නම් එන්න ඕන පීඩනය PSI වලින් පොම්පේ සටහන් කරන්න… ඇනලොග් නං මොකුත් කරන්න ඕන නෑ…

ඊළඟට ටයර් එකේ කැප් එක ගලවන්න… ඊට පස්සේ පොම්පේ ස්ටාර්ට් කරලා පොම්පේ බටේ අරගෙන ටයර් එකේ නොසල් එකට, එහෙම නැත්තන් කැප් එක ගලවපු තැනට තියල අල්ලාගෙන ඉන්න…

ඔහොම ඉද්දි අපිට පේනවා පොම්පේ අගය එන්න එන්න වැඩි වෙනවා… ඕක හරි ගානට ආවම නවත්තන එක තමයි කරන්න ඕන…

ඩිජිටල් පොම්පයක් නම් අපි කලින් සටහන් කරපු පීඩනයට ආවම එලාම් එකක් ඇහෙන්න ගන්නවා… එතකොට වැඩේ නවත්තන්න පුළුවන්… ඇනලොග් පොම්පයක් නම් හරි පීඩනය එනකල් බලන් ඉඳල නවත්වන්න වෙනවා…

ඔහොම රෝද හතරටම හුලන් ගහන්න ඕන…

 

එච්චරයි…