ටොයෝටා විට්ස්

ටොයෝටා විට්ස් (Toyota Vitz) කියන්නේ ලංකාවේ හැච්බැක් කාණ්ඩයේ සිහින වාහනය කිවොත් නිවැරදියි… හයිබ්‍රිඩ් නොවුනත් සුපිරි ඉන්ධන පිරිමැස්ම, විශ්වාසනීය බව හා ඉහල මධ්‍යම පන්තියට දරාගන්න පුළුවන් මිල ගණන් වගේ දේවල් නිසා ‘විට්ස්’ එක ලංකාවේ අතිසාර්ථක වෙච්ච වාහනයක්… මිලෙන් අඩු ඉන්දියන් කාර් ඕන තරම් තියෙද්දී හැච්බැක් එකකට ආස ගොඩක්ගේ දෙනෙක්ගේ ප්‍රමුඛ තේරීම වෙන්නේ මේ විට්ස් එක තමයි… ඒ වගේම අති බහුතරයක් කාන්තා පාර්ශවයේ අය වාහනයක් ගන්න යද්දී මුල්ම තේරීම් දෙක තුන අතරේ අනිවාර්යයෙන්ම තියෙන වාහනයක් හැටියට විට්ස් එක හඳුන්වන්න පුළුවන්… 

කලින් කිව්වා වගේ විට්ස් එක ලංකාව ඇතුලේ අති සාර්ථකයි… නමුත් මේ සාර්ථකත්වය ලංකාවට විතරක් සීමා උනේ නැහැ… නිකුත් කරපු සෑම රටකම වගේ ඉතාම ජනප්‍රිය වෙන්න විට්ස් එකට පුළුවන් උනා… බොහොමයක් යුරෝපිය රටවලට නිකුත් කරද්දී විට්ස් එක හැඳින්වුණේ ‘ටොයෝටා යාරිස්’ (Yaris) කියන නමින්… ඒ වගේම රටවල් කිහිපයක මේ විට්ස් එක ‘ටොයෝටා එකෝ’ (Echo) කියලත් හඳුන්වලා තියෙනවා…දෙදාස් දහය වෙද්දී ජපානය ඇතුළුව රටවල් 70ක විට්ස් කාර් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් විකිණිලා තිබුණු බව සඳහන් වෙනවා… එකෙන්ම හිතා ගන්න පුළුවන් නේ මේ රථයේ තිබෙන සුපිරි බව… 

ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ මේ අතිසාර්ථක ‘ටොයෝටා විට්ස්’ කියන සුපිරි හැච්බැක් රථයේ ඉතිහාසය හා ගමන්මග ගැනයි… 

 

පළමු පරම්පරාව (1999 සිට 2005 දක්වා)

පලවෙනි ටොයෝටා විට්ස් මොඩල් එක වෙළඳපොළට නිකුත් වෙන්නේ 1999 ජනවාරි මාසේ… සොටිරිස් කොවෝස් (Sotiris Kovos) කියන ග්‍රීක ජාතික වාහන සැලසුම් කරුවෙක් තමයි විට්ස් එකේ මුලික සැලැස්ම මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ… මේ මොඩල් එක හැඳින්වුණේ XP10 කියල… ලීටර් 1, 1.3 හා 1.5 එන්ජින් ධාරිතාවයෙන් යුක්තව මේ මුල්ම විට්ස් XP10 එක නිර්මානය උනා… මැනුවල් හා ඔටෝමැටික් කියන වර්ග දෙකෙන්ම මේ XP10 මොඩල් එක ලබාගන්න පුළුවන්කම තිබුන… ආසියාතික රටවල් වලට ටොයෝටා ‘විට්ස්’ කියන නමිනුත්, යුරෝපයට ‘යාරිස්’ කියන නමිනුත් ඔස්ට්‍රේලියාවට හා උතුරු ඇමරිකාවට ‘එකෝ’ කියන නමිනුත් මේ XP10 මාදිලිය නිකුත් උනා… 

පහතින් දැක්වෙන්නේ විට්ස් XP 10 මාදිලියේ රථයක පෙනුම… 

විට්ස් එක කියන්නේ ටොයෝටා සමාගම අලුතින්ම සැලසුම් කරලා නිර්මාණය කරපු වාහනයක්… මුලින්ම විට්ස් එකේ කන්සෙප්ට් එක එලියට එන්නේ 1997 පැවති ෆ්රන්ක්ෆර්ට් මෝටර් ෂෝ එකේදී…. මේ කන්සෙප්ට් එක හැඳින්වුණේ ෆන්ටයිම් (Funtime) කියලයි… ෆන්ටයිම් කන්සෙප්ට් එක යටතේම “Funcoupe” හා “Funcargo” කියල කන්සෙප්ට් දෙකකුත් 1997 දීම එලියට ආව… ඊට පස්සේ මේ වාහන තුනම එකතු කරලා අලුතින්ම මෝටර් රථයක් නිර්මාණය කරන්න ටොයෝටා සමාගම පටන් ගත්තා… මේ ව්‍යාපෘතිය හැඳින්වුණේ NBC එහෙම නැත්තන් ‘New Basic Car’ ප්‍රෝග්‍රෑම් එක කියලයි…. අන්න ඒ NBC ප්‍රෝග්‍රෑම් එකේ අග්‍රපලය හැටියට තමයි ටොයෝටා විට්ස් රථය මුලින්ම බිහිවෙන්නේ… මෙහෙම අලුතින්ම නිර්මාණය වෙච්ච විට්ස් එක කොච්චර සාර්ථක නිර්මාණයක් උනාද කිවොත් 1999 වසරේදී ‘වසරේ වාහනය’ කියන සම්මානයෙන් පිදුම් ලබන්නත් විට්ස් එකට පුළුවන්කම ලැබුනා… 

මෙහෙම 1999දී නිකුත් වෙච්ච විට්ස් එකට පසුකාලීනව පොඩි ෆේස්ලිෆ්ට් කිහිපයක් හා වෙනස්කම් කිහිපයකුත් එකතු වුනා… 

පළමුවන එක තමයි 2000 වසරේදී නිකුත් වෙච්ච විට්ස් RS මොඩල් එක… විට්ස් එකේ රේසින් හැකියාව උලුප්පන එක ඉලක්ක කරගෙන තමයි මේ විට්ස් RS මොඩල් එක නිර්මාණය වෙන්නේ… 1.3 හා 1.5 යන එන්ජින් ධාරිතා වලින් නිර්මාණය වෙච්ච විට්ස් RS මොඩල් එක සාමාන්‍ය XP10 එකට වඩා වැඩි බලයක් උත්පාදනය කරන්න සමත්….ඊට පස්සේ ‘විට්ස් RS ෆේස් 2’ කියල තවදුරටත් බලය වැඩි කරපු මොඩල් එකකුත් එළිදැක්වුනා…. මේ මොඩල් එක ලීටර් 1.5ක එන්ජින් එකක් සහ ටර්බෝචාජර් එකකින් සමන්විත උනා… XP10 මොඩල් වල බලසම්පන්නම මොඩල් එක හරියට නම් කරන්න පුලුවන් මේ විට්ස් RS ෆේස් 2 කියන මෝඩල් එක තමයි… හෝස්පවර් 148ක බලයක් ජනනය කරන්න සමත් වෙච්ච මේ ‘RS ෆේස් 2 ‘ එකට 0 සිට 100kmph  වේගය ගන්න ගතවුනේ තප්පර 8ක් වගේ අඩු කාලයක්… 

දෙදාහ අවුරුද්දේ නිකුත් වෙච්ච බලසම්පන්න විට්ස් RS මොඩල් එකේ පින්තුරු ටිකක් පහල දැක්වෙනවා…

 

දෙවන පරම්පරාව (2005 සිට 2010 දක්වා)

විට්ස් එකේ දෙවැනි පරම්පරාව එලියට එන්නේ 2005 පෙබරවාරි මාසේ… දෙවැනි පරම්පරාවේ විට්ස් වාහන හැඳින්වුණේ XP90 කියන මොඩල් නමින්…  සම්පුර්ණයෙන්ම වාගේ රීඩිසයින් කරපු මොඩල් එකක් හැටියට තමයි මේ XP90 සීරීස් එක එලියට එන්නේ… වඩාත් සිත්ඇදගන්නාසුලු ඉස්සරහ හෙඩ්ලයිට් ඩිසයින් එක, සහ වාහනයේ ප්‍රමාණය විශාල කරලා පෙන්වන පසුපස වෙනස්කම් එක්ක මේ XP90 සීරීස් එක කලින් මොඩල් එකටත් වඩා ජනතාව අතර ජනප්‍රිය උනා… 

XP90 සීරීස් එකේ ප්‍රධානතම තාක්ෂණික වෙනස්කම උනේ කලින් තිබුණු සිලින්ඩර් හතරේ VVTI එන්ජින් එක වෙනුවට සිලින්ඩර් 3 එන්ජින් එකක් යොදාගැනීම… ලීටර් 1, 1.3, 1.5, 1.6 හා 1.8 කියන එන්ජින් ධාරිතා වලින් XP90 වාහන නිකුත් කරලා තිබුනා… ජපානය හා වෙනත් ආසියාතික රටවලට ‘විට්ස්’ කියන නමින් නිකුත් කරපු මේ වාහනය යුරෝපිය හා ඇමරිකානු වෙළඳපොළට නිකුත් උනේ කලින් වගේම ‘යාරිස්’ කියන නමින්… එත් එක්කම, කලින් වගේම බලය හා රේසින් හැකියාව ඉලක්ක කරලා XP90 RS කියල වඩාත් බලසම්පන්න මොඩල් එකකුත් 2007දී වෙළඳපොළට එනවා… මේ RS මොඩල් එකේ තිබුනේ ලීටර් 1.5ක සිලින්ඩර් හතරේ එන්ජිමක්… තප්පර 10කට අඩු කාලයකදී 0 සිට 100ට ස්පීඩ් කරන්න මේ XP90 RS මොඩල් එකට හැකියාව තිබුන…  තවදුරටත් රේසින් හැකියාව වැඩිදියුණු කරපු ටර්බෝචාජ් එන්ජිමක් තිබුණු Vitz TRD Racing කියල මොඩල් එකකුත් 2008දී නිකුත් වෙලා තියෙනවා… නමුත් ලංකාවේ නං එතරම් මේ මොඩල් එක දකින්න ලැබුනේ නැහැ… 

තවත් විශේෂ කාරණාවක් තමයි, 2011 දී ඩයිහට්සු කියන සමාගම මේ වාහනේම ‘ඩයිහට්සු චැරෙඩ්’ නමින් ප්‍රතිනිෂ්පාදනයක් කරලා වෙළඳපොළට එවීම… ලංකාවට නම් මේ විට්ස් එකෙන් රිබ්‍රෑන්ඩ් වෙච්ච ඩයිහට්සු චැරෙඩ් වාහන එච්චර ඇවිල්ල නැහැ… ගොඩක්ම යුරෝපිය වෙළඳපොල ඉලක්ක කරගෙන තමයි මේ වාහන නිර්මාණය උනේ… 

අවාසනාවකට වගේ 2009 අවුරුද්දේදී විට්ස් එක හදපු ‘යාරිස් ප්ලැට්ෆෝම්’ එකේ ලොකු තාක්ෂණික දෝෂයක් හම්බවෙනවා… දෝෂය විශාල නම් සාමාන්‍යෙන් මේ සමාගම් කරන්නේ හදපු වාහන සියල්ල නැවතත් කැඳවලා දෝෂය හදල දෙන එක… මේකට කියන්නේ රිකෝල් (recall) කරනවා කියල… ඉතින් මේ දෝෂය හින්දා විට්ස්  බෙල්ටා වාහන මිලියන 1.2ක් නැවතත් රිකෝල් කරන්න ටොයෝටා සමාගමට සිද්ද වෙනවා… හැබැයි මේ සිදුවීම ලංකාවේ නම් එතරම් ප්‍රසිද්ද උනේ නැහැ… ඒ හින්ද ලංකාව ඇතුලේ විට්ස් එකේ ජනප්‍රියත්වය කිසිම විදියකින් අඩු වුනේ නම් නැහැ… 

පහතින් දැක්වෙන්නේ දෙවැනි පරම්පරාවේ විට්ස් වාහන වල චායාරූප… 

ඒ වගේම වඩාත් බලසම්පන්න XP90 – RS මොඩල් එකේ පින්තුරු කීපයක් පහතින් දැක්වෙනවා….

 

තුන්වන පරම්පරාව (2010 සිට 2019 දක්වා)

තුන්වන පරම්පරාවේ විට්ස් 2010 දී නිකුත් වෙනවා… XP130 කියන මොඩල් නම්බර් වලින් තමයි මේ වාහන නිකුත් උනේ… කලින් පරම්පරාවේ වගේම මේ අලුත් මොඩල් එකෙත් ඇතුලත හා පිටත කැපීපෙනෙන වෙනස්කම් රාශියක් කරන්න ටොයෝටා සමාගම වගබලාගෙන තිබුනා… ලීටර් 1, 1.3, 1.5 හා 1.8 කියන එන්ජින් ධාරිතාවන්ගෙන් නිකුත් වෙච්ච XP130 මොඩල් එක 4 ස්පීඩ් ඔටෝමැටික් හෝ 5 හෝ 6 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් එකක් ඇතුව ලබාගන්න පුළුවන් උනා…

ඒ වගේම මේ මොඩල් එකේ විශේෂත්වයක් උනේ කලින් වගේ XP130 කියන මොඩල් නම්බර් එක යොදාගන්නේ නැතුව වෙනස් මාදිලි වලට වෙනස් මොඩල් නම්බර් යොදාගැනීමයි… උදාහරණයක් හැටියට එන්ජින් ධාරිතාවය ලීටර් 1කේ මොඩල් එක හැඳින්වුණේ KSP-130 කියල… ඒ වගේම ලීටර් 1.5 මොඩල් එක NHP-131 කියලත්, ලීටර් 1.5 හයිබ්‍රිඩ් මොඩල් එක NHP-130 කියලත් හැඳින්වුනා…. ලංකාවේ ටැක්ස් කතන්දර එක්ක ගොඩක්ම බහුල වාහනය බවට පත් වුනේ KSP-130 පෙට්රෝල් වාහනය තමයි…

තුන්වන පරම්පරාවේ මුලින්ම ආපු විට්ස් වාහන වල පින්තුර පහල තියෙනවා… 

2014 දී විට්ස් XP130ට ෆේස්ලිෆ්ට් එකක් ආවා… මේ වාහනය නම් ලංකාවේ ගොඩක්ම බහුල නැහැ… නමුත් නැත්තෙමත් නැහැ… පහලින් චායාරූප කීපයක් දක්වල ඇති… 

සේෆ්ටි ඔප්ෂන් ගොඩකුත් එක්ක මේ විට්ස් එකට දෙවැනි ෆේස්ලිෆ්ට් එකකුත් 2017 දී ලැබෙනවා… හයිබ්‍රිඩ් තාක්ෂනය භාවිතා කරන විට්ස් මොඩල් එක එලියට එන්නේ මේ 2017 ෆේස්ලිෆ්ට් එකත් එක්කමයි… සුඛෝපභෝගී බව වැඩි, හොඳින් ඇතුලත ඉඩකඩ තියෙන මේ විට්ස් එක මෙතෙක් ආපු විට්ස් වලට වඩා තරමක් මිලෙන් අධික උනා… හැබැයි එහෙමයි කියලා ජනප්‍රියත්වයේ අඩුවක් නම් කොහෙත්ම සිද්ද උනේ නැහැ… 

පහල තියෙන්නේ 2017දී ආපු අවසාන ෆේස්ලිෆ්ට් එක සහිත වාහන… 

විට්ස් එක මින් ඉදිරියට යාරිස් කියන නමින්ම නිෂ්පාදනය කරන්න ටොයෝටා සමාගම සුදානමින් ඉන්න බව අහන්න ලැබෙනවා… එහෙම උනොත් ඉදිරියෙදි බොහෝ දෙනෙක් ආදරය කරපු ‘විට්ස්’ කියන නම තියෙන අලුත් වාහන ලංකාවේ මාර්ග වල දකින්න ලැබෙන එකක් නැහැ… ඒත් යාරිස් කියල නමේ වෙනසක් සිද්ද උනාට විට්ස් එක ගොඩනගාගත්තු තාක්ෂනය, ඒ ජවසම්පන්න නමුත් සැහැල්ලු හුරුබුහුටි බව කොයිම විදියකින් වත් ටොයෝටා සමාගම අතහරින එකක් නම් නැහැ… ඒ නිසා යාරිස් නමින් එන අලුත් මොඩල් වලත් ජනප්‍රියත්වය ගැන නම් කිසිම සැකයක් ඇතිකරගන්න ඕන නැහැ….