ඩ්‍රම් බ්රේක් පෑඩ් පරික්ෂා කිරීම

වාහනේක “බ්‍රේක්” කියන්නේ මොනවටද කියල ඕන කෙනෙක් දන්නවා… වේගය පාලනය කරගන්න වගේම වාහනේ නවත්තගන්නත් අත්‍යාවශ්‍යම දෙයක් තමයි ඔය “බ්‍රේක් සිස්ටම්” එක… ඕන වාහනේක අනිවාර්යෙන්ම බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා… බ්‍රේක් පැඩල් එක පෑගුවම වාහනේ රෝද වලට මොකක් හරි විදියකින් බාධාවක් ඇති කරලා, ඒවායේ වේගය අඩු කරන එක තමයි ඕනෑම බ්‍රේක් සිස්ටම් එකක මුලධර්මය…

දැන් ඔය බ්‍රේක් සිස්ටම් ගත්තම නානාප්‍රකාර ඒවා තියෙනවා… සමහර සිස්ටම් සමහර නිෂ්පාදකයන්ටම විශේෂිතයි… එත් ඕව අතරේ බහුලවම පාවිච්චි වෙන ප්‍රධාන ක්‍රම දෙකක් පෙන්නන්න පුළුවන්… ඒ තමයි සුප්‍රසිද්ධ “ඩිස්ක් බ්‍රේක්” හා “ඩ්‍රම් බ්‍රේක්” කියන බ්‍රේක් සිස්ටම් දෙක…

මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඔය සිස්ටම් දෙකෙන් “ඩ්‍රම් බ්රේක් පෑඩ්” වල තත්වය ගෙදරදීම පරික්ෂා කරගන්න විදිය….

 

වාහනේ ඩ්‍රම් බ්‍රේක් තියෙනවද..?

හැම වාහනේකම ඩ්‍රම් බ්‍රේක් නැහැ… ලංකාවේ නම් ඩ්‍රම් බ්‍රේක් ගොඩක්ම දකින්න හම්බ වෙන්නේ ටිකක් පරණ වාහනවල තමයි… ටිකක් අලුත් වාහනවල උනත් පස්සේ රෝද දෙක ඩ්‍රම් බ්‍රේක් තියෙන්න පුළුවන්… මොන දේ කරන්නත් කලින් තමාගේ වාහනේ ඩ්‍රම් බ්‍රේක් තියෙන රෝද තියෙනවද කියල හරියටම දැනගෙන ඉන්න ඕන…

ඩ්‍රම් බ්‍රේක් තියෙන රෝද අඳුරගන්න හරිම ලේසියි… රෝදේ දිහා බැලුවම “කැලිපර් එක” කියන උපාංගය පේන්න නැත්නම් ඒ රෝදය “ඩ්‍රම් බ්‍රේක්” තියෙන රෝදයක් හැටියට ලේසියෙන්ම නිගමනය කරන්න පුළුවන්…

ඩ්‍රම් බ්‍රේක් තියෙන රෝදයක් අඳුරගන්න හැටි පල්ලෙහා රූප වල පෙන්නලා තියෙනවා… බලල ගියොත් වරදින එකක් නැහැ….

ඩ්‍රම් බ්රේක් තියෙන රෝදයක්
ඩිස්ක් බ්රේක් තියෙන රෝදයක්

ඩ්‍රම් බ්‍රේක් වල බ්‍රේක් පෑඩ් තියෙන්නේ ඩ්‍රම් එක ඇතුලේ… මේ බ්‍රේක් පෑඩ් වක්‍රාකරයි… ඩ්‍රම් එකේ ඇතුළු බිත්තියට බ්‍රේක් පෑඩ් තද වෙලා තමයි මේ ක්‍රමේදී බ්‍රේක් වදින්නේ… පල්ලෙහා රූපෙන් ඩ්‍රම් එක ඇතුලේ බ්‍රේක් පෑඩ් තියන හැටි පෙන්නලා තියෙනවා…

ඩ්‍රම් එක ඇතුලේ බ්‍රේක් පෑඩ් තියෙන හැටි
ඩ්‍රම් බ්‍රේක් වැඩ කරන හැටි

අපි බ්‍රේක් ගහද්දි කාලයත් එක්ක මේ බ්‍රේක් පෑඩ් ගෙවීමට ලක් වෙනවා… ඒ හින්ද වරින්වර ඔය ඩ්‍රම් බ්‍රේක් පෑඩ් ගෙවිලද කියල බලන්න ඕන… මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 20000ක් ගිහිල්ල ගියාට පස්සේ එන සර්විස් වලදී මේ ඩ්‍රම් බ්‍රේක් පෑඩ් පරික්ෂාව කරන්න ඕන… ගෙවිලනම් මාරු කරන්න ඕන…

ඩ්‍රම් බ්‍රේක් පෑඩ් පරික්ෂා කරගන්න එක මහා අමාරු වැඩක් නෙමෙයි… හරි දැනුමයි ඉවසීමයි තියෙනවා නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්… අපි දැන් බලමු ඕක කරන විදිය….

 

අවශ්‍ය ද්‍රව්‍ය…

ජැක් එක හා ජැක් ස්ටෑන්ඩ්

මේ වැඩේට වාහනේ උස්සල යටට රිංගන්න වෙනවා… ඒ හින්ද ජැක් එකක් පාවිච්චි කරන්න ඕන… ස්ථාවර හයිඩ්රොලික් ෆ්ලෝර් ජැක් එකක් හොයාගන්න පුළුවන් නං ගොඩක් හොඳයි… වාහනේ තියෙන ජැක් එක (සීසර් ජැක් එක) පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ජැක් ස්ටෑන්ඩ් පාවිච්චි කරන්න ඕන… ජැක් ගැහිල්ලේ සියලු රහස් තියෙන මේ ලිපියත් බලලම එන එක හොඳයි….

 

ජැක් එක තියෙනවා නම් වැඩේ පටන් ගන්න පුළුවන්….

 

ඩ්‍රම් බ්‍රේක් පෑඩ් ගෙවිලද බලන හැටි

මුලින්ම ජැක් එක ගහල වාහනේ උස්සන්න ඕන… ජැක් ගහන්න දන්නේ නැත්තන් මේ ලිපිය බලන්න...

ඩ්‍රම් බ්රේක් පෑඩ් පරික්ෂාව රෝද ගලවන්නේ නැතුව කරන්න පුළුවන්… රෝදේ ඩ්‍රම් එකේ තියෙනවා ඉන්ස්පෙක්ෂන් හෝල් කියල සිදුරක්… වාහනේ යටට රිංගල රෝදේ ඇතුළු පැත්තෙන් ඩ්‍රම් එක දිහා බැලුවම ඔය සිදුර හොයාගන්න පුළුවන්… ඔය සිදුරෙන් බැලුවම බ්‍රේක් පෑඩ් පේනවා… ඉන්ස්පෙක්ෂන් හෝල් එක තියෙන තැනයි, එකෙන් බැලුවම බ්‍රේක් පෑඩ් පේන හැටියි පල්ලෙහා රූප වලින් පෙන්නලා තියෙනවා.,..

ඉන්ස්පෙක්ෂන් හෝල් එක වාහනේ ඇතුළු පැත්තෙන් පේන හැටි
ඩ්‍රම් එක ගැලෙව්වම ඉන්ස්පෙක්ෂන් හෝල් එක පේන හැටි

බ්‍රේක් පෑඩ් එකේ මුහුණත හදලා තියෙන්නේ විශේෂ මෙටිරියල් එකකින්… බ්‍රේක් ගහද්දි ඩ්‍රම් එකට තදවෙන්නේ ඔන්න ඔය විශේෂ මෙටිරියල් එකෙන් හදලා තියෙන මුහුණත… බ්රේක් ගහද්දි ජරබරාස් ගාගෙන සද්ද ඇහෙන්නේ නෑ නේද… එහෙම සද්දයක් එන්නේ නැත්තේ මෙන්න මේ විශේෂ මෙටිරියල් එක හින්දා… යකඩ හරි වෙන මොනවා හරි ලෝහයක් පාවිච්චි කළා නම් බ්‍රේක් ගහද්දි යකඩ ඇතිල්ලෙන සද්දයක් එන්න ඉඩ තිබ්බ… ඉතින් ඔය කොටස තමයි කාලයත් එක්ක ගෙවෙන්නේ… අපි බලන්න ඕන ඔය මුහුණත ගෙවිලද කියල… ඔය විශේෂ මෙටිරියල් එකකින් හදපු කොටසේ ඝනකම මිලිමීටර් එකකට වඩා අඩු වෙලා නම් අනිවාර්යෙන් බ්‍රේක් පෑඩ් මාරු කරන්න ඕන…

හොඳ ඩ්‍රම් බ්රේක් පෑඩ් එකක්
ගෙවිච්ච ඩ්‍රම් බ්‍රේක් පෑඩ් එකක්

බ්‍රේක් පෑඩ් මාරු කරන එක නම් එච්චරම ලේසි වැඩක් නෙමේ… ටිකක් විස්තර ඇතිව කියන්න ඕන හින්ද වෙනම ලිපියක දාල තියෙනවා… මෙතනින් බලන්න…