ඩිස්ක් බ්‍රේක් පෑඩ් පරික්ෂාව

වාහනේක “බ්‍රේක්” කියන්නේ මොනවටද කියල ඕන කෙනෙක් දන්නවා… වේගය පාලනය කරගන්න වගේම වාහනේ නවත්තගන්නත් අත්‍යාවශ්‍යම දෙයක් තමයි ඔය “බ්‍රේක් සිස්ටම්” එක…  ඕන වාහනේක අනිවාර්යෙන්ම බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා… බ්‍රේක් පැඩල් එක පෑගුවම වාහනේ රෝද වලට මොකක් හරි විදියකින් බාධාවක් ඇති කරලා, ඒවායේ වේගය අඩු කරන එක තමයි ඕනෑම බ්‍රේක් සිස්ටම් එකක මුලධර්මය…

දැන් ඔය බ්‍රේක් සිස්ටම් ගත්තම නානාප්‍රකාර ඒවා තියෙනවා… සමහර සිස්ටම් සමහර නිෂ්පාදකයන්ටම විශේෂිතයි… එත් ඕව අතරේ බහුලවම පාවිච්චි වෙන ප්‍රධාන ක්‍රම දෙකක් පෙන්නන්න පුළුවන්… ඒ තමයි සුප්‍රසිද්ධ “ඩිස්ක් බ්‍රේක්” හා “ඩ්‍රම් බ්‍රේක්” කියන බ්‍රේක් සිස්ටම් දෙක…

මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඔය සිස්ටම් දෙකෙන් “ඩිස්ක් බ්රේක් පෑඩ්” වල තත්වය ගෙදරදීම පරික්ෂා කරගන්න විදිය….

 

වාහනේ ඩිස්ක් බ්‍රේක් තියෙනවද…

මොනවා කරන්නත් කලින් තමන්ගේ වාහනේ ඩිස්ක් බ්‍රේක් තියෙනවද කියල හොයාගෙන ඉන්න ඕන… හැම වාහනෙම ඩිස්ක් බ්‍රේක් නැහැ… සමහර වාහන වල රෝද හතරම තියෙන්නේ ඩිස්ක් බ්‍රේක්… සමහර වාහන වල ඉස්සරහ රෝද දෙක විතරක් ඩිස්ක් බ්‍රේක් තියෙනවා… සාමාන්‍යෙන් පස්සේ රෝද දෙක විතරක් ඩිස්ක් බ්‍රේක් එන වාහන නම් නැහැ…

ඉතින් කොහොමද තමන්ගේ වාහනේ මේ “ඩිස්ක් බ්‍රේක්” තියෙනවද නැද්ද කියල හොයා ගන්නේ…

කරන විදිය පොඩ්ඩක්වත් අමාරු නැහැ… රෝදයක් දිහා එළියෙන් බලලා ඒ රෝදෙට පාවිච්චි කරලා තියෙන්නේ ඩිස්ක් බ්‍රේක් ද ඩ්‍රම් බ්‍රේක්ද කියල තප්පර ගානකින් කියන්න පුළුවන්… කරන්නේ මෙහෙමයි….

වාහනේ රෝදේ දිහා හොඳට විමසිල්ලෙන් බලන්න… තියෙන්නේ ඩිස්ක් බ්‍රේක් නම් රෝදෙට සවි වෙච්ච “කැලිපර් එක” කියන උපාංගය හොඳට පේනවා… මේ “කැලිපර් එක” කියන්නේ බ්‍රේක් ගහද්දි රෝදය තද කරන කොටස… බ්‍රේක් පෑඩ් තියෙන්නේ කැලිපර් එක ඇතුලේ… එත් එක්කම ඩිස්ක් බ්රේක් එකක් නම් රෝදේ එලියට පේන ඩිස්ක් එකේ කොටස හොඳට මැදිලා තියෙන්න ඕන…

පල්ලෙහා රූප බලන්න… ඒවායේ ඩිස්ක් බ්‍රේක් තියෙන රෝදෙක කැලිපර් එක හා ඩිස්ක් එක මැදිලා තියෙන හැටි ලස්සනට පෙන්වනවා… මේ විදියට කිසිම අමාරුවක් නැතුව තමන්ගේ වාහනේ තියෙන්නේ ඩිස්ක් බ්‍රේක්ද ඩ්‍රම් බ්‍රේක්ද කියල හොයාගන්න පුළුවන්…

ඩිස්ක් බ්රේක් තියෙන රෝදයක්
ඩ්‍රම් බ්රේක් තියෙන රෝදයක්

ඩිස්ක් බ්රේක් සිස්ටම් එකක කැලිපර් එක ඇතුලේ බ්රේක් පෑඩ් දෙකක් තියෙනවා… ඒ දෙක තියෙන්නේ රෝදේ ඩිස්ක් එක දෙපැත්තෙන්… වාහනේ යද්දී රෝදෙත් එක්කම මේ ඩිස්ක් එකත් කැරකෙනවා… බ්‍රේක් ගහද්දි කැලිපර් එකෙන් බ්‍රේක් පෑඩ් දෙක ඩිස්ක් එකට තද කරනවා… දෙපැත්තෙන් මෙහෙම තද වෙද්දී ඩිස්ක් එකට නිදහසේ කැරකෙන්න බැරුව යනවා… මොකද කැලිපර් එක වාහනේ රෝදේ ඇතුළු පැත්තේ තියෙන ශක්තිමත් යකඩ කොටසකට හොඳට සවි වෙලා තියෙන්නේ… එතකොට ඩිස්ක් එක හා එයට සවි වෙලා තියෙන රෝදේ වේගය අඩු වෙනවා… ගොඩක් හයියෙන් තද කලොත් රෝදේ සම්පුර්ණයෙන්ම නවතිනවා… ඔන්න ඔහොම තමයි වාහනේ බ්‍රේක් වදින්නේ…

ඉතින් දිගට හරහට බ්‍රේක් ගහද්දි කාලයත් එක්ක මේ බ්‍රේක් පෑඩ් ගෙවෙනවා… බ්‍රේක් පෑඩ් ගෙවෙන්න ගෙවෙන්න බ්‍රේක් වදින ප්‍රමාණය හා බ්‍රේක් වල ස්ථාවර බව නැතිවෙලා යනවා… අන්න ඒ නිසා මේ බ්‍රේක් පෑඩ් හොඳට තියෙනවද කියල වරින්වර පරික්ෂා කරන එක හොඳයි … අන්තිමට මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 10000ක් ගියාට පස්සේ මේ ඩිස්ක් බ්‍රේක් පරික්ෂාව කරන්න ඕන… ගෙවිලනම් මාරු කරන්න ඕන…

ඩිස්ක් බ්‍රේක් පෑඩ් පරික්ෂා කරගන්න එක මහා අමාරු වැඩක් නෙමෙයි… හරි දැනුමයි ඉවසීමයි තියෙනවා නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්… අපි දැන් බලමු ඕක කරන විදිය….

 

අවශ්‍ය ද්‍රව්‍ය…

ජැක් එක හා ජැක් ස්ටෑන්ඩ්

මේ වැඩේට වාහනේ උස්සල යටට රිංගන්න වෙනවා… ඒ හින්ද ජැක් එකක් පාවිච්චි කරන්න ඕන… ස්ථාවර හයිඩ්රොලික් ෆ්ලෝර් ජැක් එකක් හොයාගන්න පුළුවන් නං ගොඩක් හොඳයි… වාහනේ තියෙන ජැක් එක (සීසර් ජැක් එක) පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ජැක් ස්ටෑන්ඩ් පාවිච්චි කරන්න ඕන… ජැක් ගැහිල්ලේ සියලු රහස් තියෙන මේ ලිපියත් බලලම එන එක හොඳයි….

 

ජැක් එක තියෙනවා නම් වැඩේ පටන් ගන්න පුළුවන්….

 

ඩිස්ක් බ්‍රේක් ගෙවිලද බලන විදිය…

මුලින්ම කලින් කිව්ව විදියට තමන්ගේ වාහනේ ඩිස්ක් බ්‍රේක් තියෙන රෝද හොයාගන්න… සමහර වාහන වල රෝද හතරම ඩිස්ක් බ්‍රේක්… සමහර ඒවායේ ඉස්සරහ දෙක විතරයි….

ඩිස්ක් බ්‍රේක් එක ගෙවිලද කියල හරියටම බලන්න නම් වාහනේ රෝදේ ගලවන්න ඕන… මේකට ජැක් එකක් එහෙම ගහල වාහනේ උස්සල සාමාන්‍යෙන් රෝදයක් ගලවන විදියටම රෝදේ ගලවන්න… ජැක් එක ගහල රෝදේ ගලවන විදිය දන්නේ නැත්තන් ජැක් ගැහීමේ කලාව කියල දෙන මෙන්න මේ ලිපිය බලන්න

රෝදේ ගැලෙව්වම කැලිපරේ හා රෝදේ ඩිස්ක් එක හොඳට පේන්න ගන්නවා… පහල රූප වල තියෙන්නේ රෝදේ ගැලෙව්වම ඕව පේන විදිය…

ටයර් එක ගැලෙව්වම ඩිස්ක් බ්රේක් තියෙන රෝදයක් පේන හැටි

මේ කැලිපරේ පිට පැත්තේ තියෙනවා සිදුරක්… ඕකෙන් බැලුවම කැලිපරේ ඇතුලේ තියෙන බ්‍රේක් පෑඩ් දෙකේ ඝනකම හොඳට පේනවා… මෙන්න මේ සිදුරෙන් තමයි බ්‍රේක් පෑඩ් ගෙවිලද බලන්නේ… ඔය සිදුර පහල රූප වලින් පෙන්නලා තියෙනවා…

බ්‍රේක් පෑඩ් එකේ මුහුණත හදලා තියෙන්නේ විශේෂ මෙටිරියල් එකකින්… බ්‍රේක් ගහද්දි ඩිස්ක් එකට තදවෙන්නේ ඔන්න ඔය විශේෂ මෙටිරියල් එකෙන් හදලා තියෙන මුහුණත… බ්රේක් ගහද්දි ජරබරාස් ගාගෙන සද්ද ඇහෙන්නේ නෑ නේද… එහෙම සද්දයක් එන්නේ නැත්තේ මෙන්න මේ විශේෂ මෙටිරියල් එක හින්දා… යකඩ හරි වෙන මොනවා හරි ලෝහයක් පාවිච්චි කළා නම් බ්‍රේක් ගහද්දි යකඩ ඇතිල්ලෙන සද්දයක් එන්න ඉඩ තිබ්බ… ඔය කොටස තියෙන බ්රේක් පෑඩ් එකක මුහුණත පහල රූපෙන් පෙන්නලා තියෙනවා…

බ්‍රේක් පෑඩ් එක හා ඩිස්ක් එක ඉන්ස්පෙක්ෂන් හෝල් එකෙන් පේන හැටි
බ්‍රේක් පෑඩ් එකක්

බ්‍රේක් පෑඩ් එකක ඔය මුහුණත තමයි බ්‍රේක් ගහද්දි කාලයත් එක්ක ගෙවෙන්නේ… අර කලින් කිව්ව සිදුරෙන් බැලුවම ඔය විශේෂ මෙටිරියල් එකෙන් හදපු කොටසේ ඝනකම පේනවා… මේ කොටස සාමාන්‍යෙන් අලු පාටයි… ඔය කොටසේ ඝනකම අඩු වෙන එකට තමයි බ්‍රේක් පෑඩ් එකක් ගෙවෙනවා කියන්නේ… මිලිමීටර් එකකට (1mm) වඩා ඝනකම අඩු වෙලානම් අනිවාර්යෙන් බ්‍රේක් පෑඩ් මාරු කිරිල්ලකට යන්න ඕන… ගෙවිච්ච බ්‍රේක් පෑඩ් එකක් කැලිපර් එකේ සිදුරෙන් පේන විදිය පල්ලෙහා රූප වලින් පෙන්නලා තියෙනවා…

හොඳ බ්‍රේක් පෑඩ් එකක් ඉන්ස්පෙක්ෂන් හෝල් එකෙන් බැලුවම පේන හැටි
ගෙවිච්ච බ්‍රේක් පෑඩ් එකක් ඉන්ස්පෙක්ෂන් හෝල් එකෙන් බැලුවම පේන හැටි