පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් පරික්ෂාව

“පවර් ස්ටියරින්” කියන්නේ රියදුරන්ට වැඩි මහන්සියක් නැතුව වාහනේ හරවගන්න දීල තියෙන පහසුකමක්… පවර් ස්ටියරින් තියෙන වාහනේක රෝද හරවන්න සුක්කානමෙන් දෙන්න ඕන බලය අඩුයි… එහෙම නැත්තන් කපන්න ඕන ප්‍රමාණය අඩුයි… පවර් ස්ටියරින් නැති කාලේ ආපු බස් ලොරි එහෙම ඕගොල්ලෝ දැකල ඇති… පොඩ්ඩක් හරවන්නත් රියදුරු මහත්තුරු ස්ටියරින් වීල් එක උඩ නැගගෙන කපනවා…

මේ ක්‍රමයේදී සුක්කානම හරවද්දී, ඒ හැරවීම කෙලින්ම රෝද වලට දෙන්නේ නැතුව දියරයක් පිරුණු පොම්පයකට කරන්න දීල තියෙනවා… එතකොට හරවද්දී ඒ පොම්පය ඇතුලේ දියරයේ පීඩනය වැඩි වෙනවා… ඒ වැඩි වෙන පීඩනය පිස්ටන් එකකට දීල තියෙනවා… ඒ පිස්ටන් එකට සම්බන්ධ වෙච්ච ගියර් සිස්ටම් එකකින් තමයි ඇත්තටම රෝදේ හරවන්නේ… ඔන්න ඔය පොම්පේ ඇතුලේ තියෙන දියරයට තමයි අපි “පවර් ස්ටියරින් ෆ්ලුයිඩ්” කියල කියන්නේ…

මේ පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් එක හරි ප්‍රමාණයට තියෙන එක ඉතාම වැදගත්… මොකද ෆ්ලුයිඩ් ලෙවල් එක අඩු උනොත් ස්ටියරින් වීල් එක කරකවද්දී පොම්පේ ඇතුලේ හැදෙන්න ඕන පීඩනේ හැදෙන්නේ නැහැ… එතකොට කලින් තරම් වාහනේ කැපෙන්නේ නැති ගතියක් තේරෙන්න පුළුවන්… ස්ටියරින් කරන එක අමාරු වෙනවා එහෙම උනාම…

එක හින්ද හරි කාලෙට “පවර් ස්ටියරින් ෆ්ලුයිඩ්” පරික්ෂා කරන එක ඉතාම වැදගත්… අන්තිමට දාපු දවසේ ඉඳල කිලෝමීටර් 10000කට වරක් හෝ මාස 6කට සැරයක් ඕක පරික්ෂා කරගන්න එක වටිනවා… ලෙවල් අඩු වෙලා නම් අලුත් ෆ්ලුයිඩ් දාන්නත් ඕන…

සර්විස් එකකදි අපිට හම්බ වෙන ඉතාම සරල වැඩක් තමා ඔය පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් පරික්ෂාව හා එකතු කිරීම… දැන් අපි බලමු ඕක ගෙදරදීම කරගන්න විදිය…

 

අවශ්‍ය ද්‍රව්‍ය

අලුත් පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් බෝතලුයක්

සාමාන්‍යෙන් “ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ්” එහෙම නැත්තන් ඔටෝ ගියර් ඔයිල්ම  තමයි පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් හැටියට පාවිච්චි කරන්නෙත්… ඒ හින්ද තමන්ගේ වාහනේට ගැලපෙන ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් වර්ගයෙන් ලීටර් එකේ විතර බෝතලයක් අරගෙන තියාගන්න ඕන… අඩු වෙලානම් දාන්න…

එහෙම ගනිද්දී බලන්න ඕන තවත් දෙයක් තියෙනවා… දාන්න ඕන ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් වර්ගය පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් රෙසවෝයර් එකේ මුඩියේ ගහල තියෙනවා…”Use Dexron type ATF” වගේ වාක්‍යකින් තියෙනවා නම්, ඒ කියන්නේ Dexron type එකේ ඔටෝමටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් පාවිච්චි කරන්න කියන එක… එතකොට තමන් ගන්න ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් එකේ කොහෙහරි Dexron කියල ගහල තියෙන්න ඕන..

 

පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් පරික්ෂා කරන හැටි

මුලින්ම පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් දාන තැන හොයා ගන්න ඕන… මේක ඉතාම සරලයි… ඕන වාහනේක පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් දාන තැන මුඩියේ ලොකුවට “Power Steering Fluid” කියල ඉංගිසියෙන් ලියල තියෙනවා… සමහර පරණ වාහන වල කෙලින්ම පවර් ස්ටියරින් පම්ප් එකට තමයි ෆ්ලුයිඩ් දාන්න තියෙන්නේ… සමහර ඒවායේ දාන්න තියෙන්නේ වෙනම පම්ප් එකට සම්බන්ධ වෙච්ච ප්ලාස්ටික් බෝතලේකට… ඔය කොයි විදියට තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ… “Power Steering Fluid” කියල ගහල තියෙන මුඩිය හොයාගත්තනම් හරි… පහල රුප වලින් ඔය මුඩිය පෙන්වනවා…

පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක තියෙන තැන
විනිවිද නොපෙනෙන මාදිලියේ පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකක්

ඊළඟට පවර් ස්ටියරින් ලෙවල් එක බලන්න ඕන… ගොඩක් වෙලාවට බෝතලේම මේකේ MIN, MAX ලෙවල් පෙන්නලා තියෙනවා… හැබැයි සමහර වෙලාවට MIN, MAX ලෙවල් දෙකක් බෝතලේ ගහල තියෙනවා ඔයාලට පෙනෙයි..HOT, COLD කියල තමයි මේ ලෙවල් දෙක පෙන්නලා තියෙන්නේ… පල්ලෙහා රූප වල තියෙනවා ඔය ලෙවල් දෙකම තියෙන රෙසර්වොයර් එකක්… ඇත්තටම මොකද්ද ඔයHOT, COLD කියල දෙකක් තියෙන්නේ ?… මොන ලෙවල් එකටද අපි ෆ්ලුයිඩ් දාන්න ඕන ?…

පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකක MIN, MAX ලෙවල් ලකුණු කරලා

වාහනේ ස්ටාර්ට් කරලා තියෙද්දී හීට් උනාම පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් එකත් රත් වෙනවා… රත් වෙලා ගොඩක් ප්‍රසාරණය වෙනවා… අන්න එහෙම වාහනේ හීට් වෙලා තියෙද්දී ලෙවල් එක එන්න ඕන තැන තමයි HOT කියන ලෙවල් එකෙන් පෙන්නන්නේ… වාහනේ කූල් වෙලා තියෙද්දී ලෙවල් එක තියෙන්න ඕන තැන තමයි COLD ලෙවල් දෙකෙන් පෙන්නන්නේ…

අපි කරන්න ඕන මෙච්චරයි… මුලින්ම වාහනේ එන්ජිම ඕෆ් කරලා කූල් වෙනකල් තියන්න… ඊට පස්සේ බලන්න පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් ලෙවල් එක “කූල් කියන කාණ්ඩයේ” මොන ලෙවල් එකේද තියෙන්නේ කියල… කූල් එකේ MAX ලෙවල් එකට වඩා අඩු නම් “කූල් එකේ MAX ලෙවල්” එකට එනකල් ෆ්ලුයිඩ් පුරවන්න ඕන… හොට් එකේ MIN, MAX ලෙවල් ගැන සලකන්න ඕන නැහැ මෙහෙම පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් පරීක්ෂාවකදී…

තවත් සමහර වාහන තියෙනවා කෙලින්ම පම්ප් එකටම ෆ්ලුයිඩ් දාන්න වෙන… පම්ප් එක හදල තියෙන්නේ යකඩ වලින්… ඒ නිසා ෆ්ලුයිඩ් ලෙවල් එක එහා මෙහා පෙන්නේ නැහැ… ඒ හින්ද පිට කොහෙවත් පුරවන්න ඕන ලෙවල් ලකුණු කරලා නැහැ…

මේ වාහන වල ෆ්ලුයිඩ් දාන තැන මුඩියේ හයි කරලා තියෙනවා කූරක්… ඔන්න ඔය කූරේ තමයි ෆ්ලුයිඩ් ලෙවල් එක ලකුණු කරලා තියෙන්නේ… මේකෙදි HOT ලෙවල් එක කුරේ එක පැත්තකත් COLD ලෙවල් එක අනික් පැත්තෙත් ලකුණු කරලා තියෙනවා… මේකෙදිත් කලින් වගේම වාහනේ කූල් වෙන්න තියල COLD එකේ MAX ලෙවල් එකට ෆ්ලුයිඩ් දැම්මනං හරි…. පල්ලෙහා රූප වල ඔය කූර හා ලෙවල් දෙක පෙන්නලා තියෙනවා…

වාහනේ හීට් වෙලා තියෙද්දී බලන්න ඕන MIN හා MAX ඩිප්ස්ටික් සලකුණු
වාහනේ හීට් නොවී තියෙද්දී බලන්න ඕන MIN හා MAX ඩිප්ස්ටික් සලකුණු

සමහර වාහන වල ඔහොම HOT, COLD කතාවක් නැහැ… කෙලින්ම එක MIN, MAX ලෙවල් දෙකක් විතරයි තියෙන්නේ… ඒ වගේ වාහනවල වැඩේ සරලයි… කෙලින්ම MAX එකට එනකල් දැම්මම හරි… තමන්ගේ වාහනේ පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් දාන තැන හොයාගෙන ටිකක් කල්පනාවෙන් බැලුවම කරන්න ඕන දේ හිතා ගන්න පුළුවන්…

ඉතින් මේක කියෝපු ඔයාලට තේරෙන්න ඇති පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් පරික්ෂා කිරීම හා මදි නං එකතු කිරීම කොච්චර සරල දෙයක්ද කියල… ඊළඟ පාර වාහනේ සර්විස් එකට අරගෙන යන්න කලින් මේ වැඩේ ගෙදරදීම කරගත්ත නම් සර්විස් ස්ටේෂන් එකට පුදන ගානෙන් සෑහෙන කොටසක් අඩු කරගන්න පුළුවන් වේවි….