ටොයෝටා ප්‍රිමියෝ හා ඇලියොන්

සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ඕන වාහනේක වටිනාකම කාලයත් එක්ක අඩු වෙනවා… මොකද වාහන වල ක්ෂය වන කොටස් වැඩියි… නඩත්තු කටයුතු එහෙමත් එනවා වැඩියිනේ කාලයත් එක්ක… ඒ නිසා හරිනම් අරගෙන කාලයක් පාවිච්චි කරපු වාහනයක් ගත්ත ගානටම හෝ ඊට වැඩියෙන් දෙන්න පුළුවන් කමක් නැහැ… හැබැයි අද අපි කතා කරන්න යන්නේ, මේ ලෝක ධර්මතාව පවා වෙනස් කරන්න සමත් වෙච්ච වාහන මොඩල් එකක් ගැන… ඒ තමයි.. ඔබ කව්රුත් දන්න ‘ටොයෝටා ප්‍රිමියෝ’ කියන සුපිරි සෙඩාන් රථය…

ටොයෝටා ප්‍රිමියෝ එක ගැන කතා කරද්දී, අමතක කරන්න බැරි තවත් වාහන වර්ගයක් තියෙනවා… ඒ තමයි ‘ටොයෝටා ඇලියොන්’ කියන මාදිලිය… මේ ‘ඇලියොන්’ මාදිලිය ප්‍රිමියෝ එකේ නිවුන් සහෝදරයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්… ලංකාවේ සමාජයේ නම් ‘ප්‍රිමියෝ’ එක වඩාත් සැපපහසු හයි ක්ලාස් වාහනයක් හැටියටත්, ‘ඇලියොන්’ එක පිකප් වැඩි හොඳ ස්පොර්ටි ගතියක් තියෙන වාහනයක් හැටියටත් තමයි මතය තියෙන්නේ… නමුත් මේ වාහන දෙකම එකම වර්ගයේ එන්ජින් තියෙන, එකම විදියේ ඇතුලත හා පිටත උපාංග වලින් සමන්විත වාහන වීම විශේෂත්වයක්…  වෙනසකට කියලා තියෙන්නේ පිටත මුහුණතේ හා ලයිට් වල සුළු වෙනස්කම් විතරයි…

ඒ විදියට ගත්තම ඇලියොන් හා ප්‍රිමියෝ කියන්නේ පිටකවරේ විතරක් වෙනස් කරලා එකම වාහනේ නම් දෙකකින් මාර්කට් එකට දැමීමක්… හැබැයි පුදුමයකට වගේ මේ වාහන මොඩල් දෙකම ලංකාව ඇතුලත පුදුමාකාර ජනප්‍රියත්වයක් උරුමකර ගන්න සමත් වෙනවා… ඒ අතින් බැලුවම ටොයෝටා කම්පැනි එකේ වෙළඳපොල උපක්‍රම අති සාර්ථකයි…

ඇත්තටම ඇලියොන් හා ප්‍රිමියෝ කියන මාදිලි කල්පැවැත්ම, ඉන්ධන කාර්යක්ෂමතාවය හා නඩත්තු කටයුතු අවම වීම කියන කාරනා අතින් ඉතාම ඉදිරියෙන් ඉන්නවා… ඔය කාරනා නිසාම ලංකාවේ වාහන වෙළඳපොලේ නැවත විකිණුම් අගය පහල බහින්නේ නැති මොඩල් හැටියට මේ වාහන ප්‍රසිද්ධයි… “ප්‍රිමියෝ එකක් ගත්ත කියන්නේ සල්ලි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දැම්ම වගේ” කියල සමහරු කියනවා ඔබට ඇහිලා ඇති… ඒ තරමට නැවත විකිණීමේදී පාඩුවක් සිද්ද නොවන වාහන හැටියට තමයි මේව ලංකාවේ ප්‍රසිද්ධ…

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නේ ටොයෝටා ප්‍රිමියෝ හා ඇලියොන් කියන කියන වාහන වල ඉතිහාසයේ ගමන්මග ගැනයි… ප්‍රිමියෝ එකට අදාළ සියලුම දේවල් ඇලියොන් එකටත් අදාළ නිසා වාහන වර්ග දෙකම ගැන මේ ලිපියෙන් කතා කරනවා….

ඇලියොන් හා ප්‍රිමියෝ වාහන මුලින්ම වෙළඳපොළට එන්නේ 2001 දෙසැම්බර් මාසේදී… මුලින් තිබුණු ‘ටොයෝටා කොරෝනා’ කියන මාදිලිය වෙනුවට තමයි ප්‍රිමියෝ එක නිෂ්පාදනය වෙන්නේ… ඇලියොන් එක නිෂ්පාදයන වෙන්නේ එතෙක් තිබුන ‘ටොයෝටා කරීනා’ කියන අතිසාර්ථක මොඩල් එක වෙනුවටයි… හැබැයි ඇලියොන් එක කරීනා එකට සමාන විදියට නිර්මාණය නොකරන්නත්, ප්‍රිමියෝ එක කොරෝනා එකට සමාන විදියට ඩිසයින් නොකරන්නත් නිෂ්පාදකයෝ වගබලා ගත්තවා… එතකොට මොන වාහනයට අනුරුපවද මේ ඇලියොන් හා ප්‍රිමියෝ වාහන නිර්මාණය වෙන්නේ…?

මේ වාහන දෙකම නිර්මාණය උනේ ඒ වනවිට මහා බ්‍රිතාන්‍යයේ ටොයෝටා ප්ලාන්ට් එකක නිෂ්පාදනය කරමින් තිබුණු ‘ටොයෝටා ඇවැන්සිස්’ (Avensis) කියන මාදිලියට අනුරුපවයි… යුරෝපියානු වෙළඳපොල ඉලක්ක කරගෙන නිමවුණු ‘ඇවැන්සිස්’ රථයේ සැප පහසුව, බලය වගේ දේවල් අඩු මුදලකට ජපන් වෙළඳපොලටත් ලබාදීමේ අරමුණින් තමයි මේ ප්‍රිමියෝ හා ඇලියොන් රථ නිර්මාණය වෙන්නේ…

එකම වාහනය, නම් දෙකකින්, පොඩි මුහුණත වෙනස්කම් ටිකක් එක්ක එලියට දානකොට ටොයෝටා සමගම බලාපොරොත්තු උනෙත් වෙනස් වෙළඳපොල දෙකක් ඉලක්ක කිරීමම තමයි… ප්‍රිමියෝ කියන නම බිඳිලා එන්නේ ඉංග්‍රීසි ප්‍රිමියම් (premium) කියන වචනයෙන්… සැපපහසුව, උසස් තත්ත්වය වගේ දේවල් මේ වාහනයේ තිබෙන බව හඟවන්න ඒ වගේ නමක් ඔවුන් භාවිතා කරලා තියෙනවා… ඇලියොන් කියන වචනය හදලා තියෙන්නේ ඕල් ඉන් වන් (All in One) කියන අර්ථය දෙන්නයි… ඕන දෙකට ඔට්ටු වාහනයක් කියල අර්ථ දක්වන්න ඕන නිසා තමයි ඔවුන් එහෙම නමක් භාවිතා කරන්න ඇත්තේ…

දැන් අපි බලමු මේ ප්‍රිමියෝ හා ඇලියොන් රථ වල ඉතිහාස තොරතුරු ටිකක්…

 

පළමුවන පරම්පරාව (2001 සිට 2007 දක්වා)

මුලින්ම ප්‍රිමියෝ හා ඇලියොන් රථ වෙළඳපොළට එන්නේ 2001 අවුරුද්දේ දෙසැම්බර්… ‘T240’ සීරීස් එක කියල තමයි මේ පරම්පරාව හැඳින්වුණේ… මේ වාහන දෙකෙන් වඩාත් ලස්සන පිටත පෙනුමක් එක්ක නිර්මාණය කරලා තිබ්බේ ප්‍රිමියෝ රථය තමා… හැබැයි කලින් කිව්වා වගේම වාහන දෙකම එකම ප්ලැට්ෆෝම් එක,එකම තාක්ෂනය,එකම ඇතුලත උපාංග වගේ දේවල් යොදාගෙන තමයි නිර්මාණය වෙලා තිබුනේ…

පළමු පරම්පරාවේ ප්‍රිමියෝ හා ඇලියොන් රථ දෙකම ප්‍රධාන එන්ජින් මාදිලි 3 කින් නිකුත්වුනා… 1.5L ‘NZ එන්ජින් පවුලේ’ එන්ජිමක් එක්ක ආපු වාහන මොඩල් එකට කිවේ NZT 240 කියල… 1.8L ‘ZZ පවුලේ එන්ජින්’ එකක් තිබ්බ මාදිලිය ZZT 240 හැටියටත්, 2.0L ‘AZ එන්ජින්’ එකක් තිබ්බ මාදිලිය AZT 240 හැටියටත් හැඳින්වුනා… වාහන සියල්ලම නිර්මානය උනේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක්ක විතරයි…

2004 අවුරුද්දේ මේ මොඩල් දෙකටම ෆේස්ලිෆ්ට් එකක් ආව… ඉතාම සුළු පිටත පෙනුමක වෙනසක් හා LED හෙඩ්ලයිට් යොදාගැනීම තමයි මේ ෆේස්ලිෆ්ට් එකේදී සිද්ද උනේ…

පහතින් පෙන්වන්නේ පළමුවන පරම්පරාවේ ප්‍රිමියෝ හා ඇලියොන් රථ වල චායාරූප කීපයක්….

ප්‍රිමියෝ 2001 ඉදිරිපස පෙනුම
ප්‍රිමියෝ 2001 පසුපස පෙනුම
ඇලියොන් 2001 ඉදිරිපස පෙනුම
ඇලියොන් 2001 පසුපස පෙනුම

 

දෙවන පරම්පරාව (2007 සිට අද දක්වා)

2007 ජුනි මාසේ ප්‍රිමියෝ – ඇලියොන් දෙවනි පරම්පරාව වෙළඳපොළට ආවා… මේ මාදිලි හැඳින්වුණේ ‘T 260’ සීරීස් එක කියලයි… පලවෙනි පරම්පරාව එක්ක සසඳද්දී මහා ලොකු වෙනස්කම් මේ රථවල සිද්ද වෙලා තිබුනේ නැහැ… කලින් T 240 සීරීස් එකේ යොදාගත්ත ප්ලැට්ෆෝම් එක හා එන්ජින් එකම තමයි මේ T 260 සීරීස් එකෙත් භාවිතා වෙලා තිබුනේ… නමුත් මේ මොඩල් වල සම්පුර්ණයෙන්ම CVT ට්‍රාන්ස්මිස්ෂන් සිස්ටම් එකක් යොදාගෙන තිබුන… ඒ වගේම එන්ජින් එකට හා ට්‍රාන්ස්මිෂන් එකට කරපු සුළු සුළු වැඩිදියුණු කිරීම් මගින් වඩාත් ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබාගන්නත් මේ T 260 සීරීස් එකට පුළුවන් වෙලා තිබුන…

කලින් වගේම 1.5L, 1.8L හා 2L එන්ජින් සහිත NZT 260 හා ZRT 260 යන ප්‍රධාන මොඩල් දෙකකින් තමයි මේ වාහන දෙක නිකුත්කරලා තිබුනේ…

පහලින් දකින්න ලැබෙන්නේ 2007 දී ආපු දෙවන පරම්පරාවේ ඇලියොන් හා ප්‍රිමියෝ රථ වල චායාරූප…

ප්‍රිමියෝ 2007 NZT – 260 රථයක්
ඇලියොන් 2007 NZT – 260 රථයක්

2010 අප්‍රේල් මාසෙදි මේ ප්‍රිමියෝ – ඇලියොන් රථ දෙකටම ඉතාම ලස්සන ෆේස්ලිෆ්ට් එකක් ලබාදෙන්න ටොයෝටා සමගම කටයුතු කළා… වඩාත් තියුණු ඉස්සරහ බම්පර් එකක් එක්ක, ලස්සන හෙඩ්ලයිට් මේ ෆේස්ලිෆ්ට් එකට ඇතුලත් උනා… ඒ වගේම ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල දැමීම, වඩා දියුණු සෙන්සර් හා කැමරා පද්ධතියක් යොදා ගැනීම වගේ දේවලුත් මේ ෆේස්ලිෆ්ට් එකේදිම සිද්ද උනා… ලංකාවේ ප්‍රිමියෝ – ඇලියොන් උන්මාදයක් පටන් ගත්තේ මේ ෆේස්ලිෆ්ට් වෙච්ච මොඩල් දෙකත් එක්ක කියල කිවොත් නිවැරදියි….

ප්‍රිමියෝ 2010 NZT – 260 රථයක්
ඇලියොන් 2010 NZT – 260 රථයක්

2016 ජුනි මාසේ තවත් ෆේස්ලිෆ්ට් එකක් ප්‍රිමියෝ – ඇලියොන් මොඩල් වලට ලැබෙනවා… ඉදිරි බම්පර් ඩිසයින් එක තවදුරටත් තියුණු කරලා, වැඩියෙන් LED ලයිට් යොදාගෙන හදපු මේ ෆේස්ලිෆ්ට් එකත් ඉතාම ආකර්ශනීය එකක් වුනා… ‘ටොයෝටා සේෆ්ටි සෙන්ස්’ කියන ඉදිරිපස රේඩාර් පද්ධතියක් මගින් හැප්පෙන්න යන අවස්ථා ගැන අනතුරු අඟවන පද්ධතිය ප්‍රිමියෝ – ඇලියොන් වලට ලැබුනේ මේ ෆේස්ලිෆ්ට් එකත් එක්කයි… ඒ වගේම මේ ෆේස්ලිෆ්ට් එකේදිත් ඉන්ධන කාර්යක්ෂමතාවය, සැප පහසුව වගේ දේවල් තවදුරටත් වැඩිදියුණු වෙලා තිබුන… මේ වෙනස්කම් එක්ක වාහනයේ ගුණාත්මක භාවය තවදුරටත් ඉහල ගිය නිසා වැඩි වැඩියෙන් ලංකාවේ වෙළඳපොලේ ස්ථාවර වෙන්න ප්‍රිමියෝ – ඇලියොන් කියන මේ සුපිරි සෙඩාන් මොඩල් වලට හැකිවෙලා තියෙනවා…

ප්‍රිමියෝ 2016 NZT – 260 රථයක්
ඇලියොන් 2016 NZT – 260 රථයක්