බ්රේක් පැඩල් හා පාකින් බ්රේක් පරික්ෂාව

වාහනේක “බ්‍රේක්” කියන්නේ මොනවටද කියල ඕන කෙනෙක් දන්නවා… වේගය පාලනය කරගන්න වගේම වාහනේ නවත්තගන්නත් අත්‍යාවශ්‍යම දෙයක් තමයි ඔය “බ්‍රේක් සිස්ටම්” එක… ඕන වාහනේක අනිවාර්යෙන්ම බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා… බ්‍රේක් පැඩල් එක පෑගුවම වාහනේ රෝද වලට මොකක් හරි විදියකින් බාධාවක් ඇති කරලා, ඒවායේ වේගය අඩු කරන එක තමයි ඕනෑම බ්‍රේක් සිස්ටම් එකක මුලධර්මය…

බ්‍රේක් ගහන්න ඕන උනාම අපි කරන්නේ බ්‍රේක් පැඩල් එක පාගන එක… බ්‍රේක් පැඩල් එක හරියට තිබ්බේ නැත්තන් මුළු බ්‍රේක් සිස්ටම් එකම ෆේල් වෙනවා… ඒ හින්දා බ්‍රේක් පැඩල් එක නියමිත ක්‍රියාකාරිත්වයේ තියෙනවද කියල හරි කාලෙට බලාගෙන ඉන්න ඕන… සාමාන්‍යෙන් කිලෝමීටර් 10000කට සැරයක් හෝ මාස 6කට වතාවක්, එහෙම නැත්තන් හැම රේගියුලර් සර්විස් එකකදීම මේ බ්‍රේක් පැඩල් එක හරියට තියෙනවද කියල පරික්ෂා කරගන්න එක වටිනවා….

බ්‍රේක් පැඩල් එකක් පරික්ෂා කරනවා කියල මොනවද කරන්න ඕන ?… කරන්න ඕන ප්‍රධාන දේවල් 3ක් පෙන්නන්න පුළුවන්…

බ්‍රේක් පෙඩල් එකේ නියමිත උස පරීක්ෂා කිරීම…
බ්‍රේක් පෙඩල් එකේ ෆ්‍රී ප්ලේ එක පරීක්ෂා කිරීම…
බ්‍රේක් පෙඩල් එකේ පෙඩල් ට්‍රැවල් රේන්ජ් එක පරීක්ෂා කිරීම…

ඔය පරික්ෂා තුනේදීම අපි කරන්නේ බිම ඉඳල බ්‍රේක් පැඩල් එකේ යම් යම් පිහිටීම් වලට තියෙන දුරවල් මැනගන්න එක… එහෙම මැනලා ඒ අගයන් නිවැරදි නියමිත අගයේ තියෙනවද කියල බලන්න ඕන… දැන් ඔය කියන නියමිත අගය කොහොමද අපි හොයාගන්නේ?…

ඒකට ඔබගේ වාහනයේ මැනුවල් එක බලන්න වෙනවා.. එහෙමත් නැතිනම් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බලන්න වෙනවා…මේ දුරවල් මැන්නම නියමිත අගයට වඩා වෙනස් නම් අපිට ඒ දුර නියමිත අගයන්ට ගන්න සිද්ද වෙනවා… එහෙම දුරවල් වෙනස් වෙච්ච බ්‍රේක් පැඩල් එකක් හරියට හදාගන්න එක ටිකක් අත්දැකීම් ඕන කරන වැඩක්… හැබැයි අමාරුත් නැහැ… විස්තරාත්මකව කියන්න ඕන හින්දා මෙන්න මේ ලිපියේ දාල තියෙනවා….

දැන් අපි බලමු ඔය පරීක්ෂාවන් එකින් එක කරන්නේ කොහොමද කියල…

 

අවශ්‍ය ද්‍රව්‍ය…

අඩි රූලක් හෝ මනින ටේප් එකක්

මේකේ තියෙන්නේ දිගවල් ටිකක් මනින්න… ඒ හින්දා අඩි රූලක් හෝ ටේප් එකක් ඕන වෙනවා…

 

ඕක තියෙනවනන් අපිට වැඩේට බහින්න පුලුවන්… දැන් අපි බලමු ඔය දුරවල් එකින් එක මනින හැටි…

 

බ්‍රේක් පැඩල් එකේ නියමිත උස පරීක්ෂා කිරීම…

මේක ඉතාම සරලයි… මේ පරික්ෂාවේදී කරන්නේ වාහනේ බිම ඉඳල බ්‍රේක් පැඩල් එක පාගන්නේ නැතුව තියෙන පිහිටීමට උස මනින එක… ඔතනදි මනින්න ඕන වාහනේ බිම තහඩුවේ ඉඳල එහෙම නැත්තන් ෆ්ලෝර් බෝර්ඩ් එකේ ඉඳල බ්‍රේක් පැඩල් එකට තියෙන ඇල උස… කාපට් එහෙම දාල තියෙනවනං ඒවා අයින් කරන්න මේ වැඩේ කරන්න කලින්… පල්ලෙහා රූප වල දක්වල ඔය උස මනින්න ඕන විදිය… ඔය උස මැනලා ඒක මැනුවල් එකේ තියෙන අගයට සමානද කියල බලන්න ඕන…

සමහර වාහන වල ඔය උස මනින විදිය පොඩ්ඩක් වෙනස්… සමහර ඒවායේ මනින්නේ තිරස් දුරක්… ඒ හින්ද මැනුවල් එකේ ඒ උස මනින විදිය හරියටම බලල මනින්න…

 

බ්‍රේක් පැඩල් එකේ ෆ්‍රී ප්ලේ එක පරීක්ෂා කිරීම…

බ්‍රේක් පෙඩල් එකේ ෆ්‍රී ප්ලේ එක කියන්නේ මොකක්ද ? ෆ්‍රී ප්ලේ එක කියන්නේ බ්‍රේක් පෙඩල් එක තදක් නැතිව බුරුලට එහා මෙහා වෙන කෙටි දුරක්…

පල්ලහා රූපෙන් පෙනෙන්නේ ඔන්න ඔය කියන ෆ්‍රී ප්ලේ එක… බ්‍රේක් පුෂ් රොඩ් එකයි මාස්ටර් සිලින්ඩර් එකේ තියෙන පිස්ටන් එකයි අතර තියෙන පරතරය තමයි අපිට පෙඩල් එකෙන් ෆ්‍රී ප්ලේ එක හැටියට පෙනෙන්නේ… ඔන්න ඔය පරතරය බ්‍රේක් සිලින්ඩර් එකේ පිස්ටන් එක බ්‍රේක් ගැහුවට පස්සේ නැවත මුල්පිහිටීමට එන්න අත්‍යාවශ්‍ය වෙනවා.. ඒ නිසා ෆ්‍රී ප්ලේ එක නිවැරදිව චෙක් කිරීම සහ සෙට් කිරීම හරිම වැදගත්…

මේක කරන්නේ වාහනය ස්ටාර්ට් එකේ නැතිව තියෙද්දී….

මුලින්ම බ්‍රේක් පෙඩල් එක තුන් හතර සැරයක් හොඳට පාගල අතහරින්න… ඊට පස්සේ හොඳට බ්‍රේක් පෙඩල් එක තද වෙලා තියෙනවා ඔබට තේරෙන්න ඕනි… මෙන්න මේ වෙලාවේ පෙඩල් එක කිසිඳු ආයාසයක් නොමැතිව අතින් පහලට තද කරන්න… බ්රේක් පෙඩල් එක තද වෙන තැනට එද්දී පෙඩල් එකේ මුල් පිහිටීමයි ඔන්න ඔය තද උන වෙලාවේ පිහිටීමයි අතර දුර තමයි “ෆ්‍රී ප්ලේ” එක කියන්නේ… බිම ඉඳල ඔය පිහිටීමට දුර මැනලා කලින් හොයාගත්ත බ්‍රේක් පැඩල් එකේ උසෙන් අඩු කලාම අපිට ෆ්‍රී ප්ලේ එක ගණනය කරගන්න පුළුවන්… ඕකත් මැනුවල් එකේ අගයත් එක්ක සසඳලා බලන්න ඕන හරිද කියල… වැරදි නම් හරියට හදන්න ඕන…

කලින් වගේම මේ දුර මනින විදියත් වාහනෙන් වාහනේට වෙනස් වෙන්න පුළුවන්… එත් මැනුවල් වල හරිම පැහැදිලිව දක්වල තියෙනවා මනින විදිය… ඒ හින්ද මැනුවල් එක පරිස්සමට බලල ඉන්න මේ වැඩ කරන්න කලින්…

 

බ්‍රේක් පෙඩල් එකේ පෙඩල් ට්‍රැවල් රේන්ජ් එක පරීක්ෂා කිරීම….

බ්‍රේක් පෙඩල් ට්‍රැවල් රේන්ජ් එක කියන්නේ අපි වාහනයේ ස්ටාර්ට් එකේ තියෙනකොට බ්‍රේක් ගහන ආකාරයට සාමාන්‍ය විදියට ( ඒ කියන්නේ ගොඩාක් තදිනුත් නැතිව ගොඩාක් බුරුලිනුත් නැතිව) පාගනකොට පෙඩල් එක පහතට යන දුර…

මේක බලන්න කලින් වාහනේ ස්ටාර්ට් කරන්න ඕන…

ඊළඟට බ්‍රේක් පැඩල් එක යටටම පාගල ඒ දුර කලින් වගේම මැනගන්න ඕන… මේකෙදිත් සාමාන්‍යෙන් මනින්නේ ෆ්ලෝර් බෝර්ඩ් එකේ ඉඳල පෙඩල් එකට ඇල දුර… එහෙම මැනලා කලින් මැනගත්ත බ්‍රේක් පෙඩල් එකේ උසෙන් අඩු කලාම බ්‍රේක් පෙඩල් එකේ ට්‍රැවල් රේන්ජ් එක කියන අගය අපිට හොයාගන්න පුළුවන්….

මේක ඔබගේ වාහනයේ මැනුවල් එකේ තියෙන නියමිත දුරෙහි පවතිනවද කියලා බලන්න… කලින් වගේම මේ දුර මනිද්දීත් මැනුවල් එකේ තියෙන විදියටම මනින්න අමතක කරන්න එපා…

ඔන්න ඔය විදියට තමයි බ්‍රේක් පෙඩල් පරීක්ෂාවක් කරන්නේ… උසවල් වෙනස් වෙලා නම් අනිවාර්යෙන් හදන්න ඕන… එහෙම උසවල් නියමිත ගණන් වලට ගේන හැටි ඒ වෙනුවෙන්ම ලියවිච්ච මෙන්න මේ ලිපියෙන් බලාගන්න පුළුවන්…