බ්රේක් ෆ්ලුයිඩ් ලෙවල් පරික්ෂාව

වාහනේක “බ්‍රේක්” කියන්නේ මොනවටද කියල ඕන කෙනෙක් දන්නවා… වේගය පාලනය කරගන්න වගේම වාහනේ නවත්තගන්නත් අත්‍යාවශ්‍යම දෙයක් තමයි ඔය “බ්‍රේක් සිස්ටම්” එක… ඕන වාහනේක අනිවාර්යෙන්ම බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා… බ්‍රේක් පැඩල් එක පෑගුවම වාහනේ රෝද වලට මොකක් හරි විදියකින් බාධාවක් ඇති කරලා, ඒවායේ වේගය අඩු කරන එක තමයි ඕනෑම බ්‍රේක් සිස්ටම් එකක මුලධර්මය…

බ්‍රේක් ගහන්න ඕන උනාම අපි බ්‍රේක් පැඩල් එක පාගනවා… එතකොට කැරකෙමින් තිබ්බ රෝද වලට බාධාවක් ඇති වෙලා ඒවා නවතිනවා… බ්‍රේක් පැඩල් එක තියෙන්නේ වාහනේ ඇතුලේ… හැබැයි රෝද හතර වාහනේ හයි කරලා තියෙන්නේ වාහනේ හතර පැත්තෙන්… වාහනේ ඇතුලේ තියෙන බ්‍රේක් පැඩල් එකක් පාගල වෙන කොහෙවත් තියෙන රෝද නවත්තන්නේ කොහොමද…?

මේ වැඩේට බ්‍රේක් පැඩල් එකෙන් දෙන බලය වැඩි කරලා රෝද වලට සම්ප්‍රේෂණය කරගන්න ඕන… ඔන්න ඕකට තමයි වාහනේකට බ්‍රේක් ෆ්ලුයිඩ් ඕන වෙන්නේ…

ද්‍රවයක් තියෙන බටයක එක කෙළවරකට පීඩනයක් දුන්නම ඒ පීඩනය අනික් කෙලවරට සම්ප්‍රේෂණය වෙනවා කියල ඔයාලා දන්නවනේ… බ්‍රේක් ෆ්ලුයිඩ් වලින් බ්‍රේක් කරන වාහනයක් පාවිච්චි කරන්නේ ඔන්න ඔය මුලධර්මය තමයි… බ්‍රේක් පැඩල් එක බ්‍රේක් ෆ්ලුයිඩ් පිරුණු නලයක එක කෙළවරකට හයි කරලා තියෙනවා… අනික් කෙලවර රෝද වලට හයි කරලා තියෙනවා… පාගද්දී එන පීඩනය නලය හරහා රෝද වලට යවන එක තමයි සරලවම මේකෙදි වෙන්නේ…

බ්‍රේක් පැඩල් එකට මුලින්ම සම්බන්ධ වෙන උපාංගයට කියන්නේ “මාස්ටර් සිලින්ඩර්” එක කියලා… මේ මාස්ටර් සිලින්ඩර් එක ඇතුලේ බ්‍රේක් ෆ්ලුයිඩ් පිරිලා තියෙනවා… මේක හරියට බ්‍රේක් ෆ්ලුයිඩ් පිරුණු බෙහෙත් විදින සිරින්ජරයක් වගේ… බ්‍රේක් පැඩල් එක පාගද්දී මේ මාස්ටර් සිලින්ඩර් එක ඇතුලේ තියෙන බ්‍රේක් ෆ්ලුයිඩ් තද වෙනවා… ඒ තද වීමෙන් එන බලය බට වලින් රෝද වලට යවන එක තමයි බ්‍රේක් ගහද්දි කරන්නේ…

මේකට මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳල බට දෙකක් රෝද වලට යනවා… එක බටේකට රෝද දෙකක් සම්බන්ධ වෙනවා… බ්‍රේක් පැඩල් එක පාගද්දී මාස්ටර් සිලින්ඩර් එක ඇතුලේ හැදෙන පීඩනය රෝද වලට යවන්නේ ඔය බට වලින් තමයි… පල්ලෙහා රූප වලින් ඔය කිව්ව කතාව පැහැදිලි කරලා තියෙනවා…

බ්‍රේක් සිස්ටම් එක සරලව පෙන්නලා තියෙන රූපයක්

බ්‍රේක් ෆ්ලුයිඩ් පරික්ෂාවක් කරගන්න යන්න කලින් දැනගෙන ඉන්න ඕන තවත් එක වැදගත් උපාංගයක් තියෙනවා… ඒ තමයි “බ්‍රේක් බූස්ටර්” එක.. බ්‍රේක් බුස්ටර් එක තියෙන්නේ බ්‍රේක් පැඩල් එක පාගන්න අපිට ලේසි කරවන්න… බ්‍රේක් බුස්ටර් එකෙන් කරන වැඩේ හරියටම දැනගන්න ඕන නම් හයිඩ්‍රෝලික් බ්‍රේක් සිස්ටම් එකක සම්පුර්ණ කතාව විස්තර ඇතුව තියෙන අපේ ලිපිය කියවන්න… වාහන වර්ග කීපයක බ්‍රේක් බූස්ටර් තියෙන හැටි පල්ලෙහා රූප පෙන්නලා තියෙනවා… කලු පාටට ලොකුවට තියෙන මේ බ්‍රේක් බූස්ටර් එක කිසි අමාරුවක් නැතුව බොනට් එක ඇරිය ගමන් හොයාගන්න පුළුවන්…

බ්‍රේක් ෆ්ලුයිඩ් හරියට නියම ලෙවල් එකට, නියමිත තත්වයෙන් තියෙන එක ඉතාම වැදගත්… බ්‍රේක් ෆ්ලුයිඩ් තියෙන සිස්ටම් එකේ පොඩි හරි ලීක් එකක් තියෙන්න හොඳ නැහැ… එහෙම තිබිල බ්‍රේක් ෆ්ලුයිඩ් අඩු වෙලා තිබ්බොත් සරලවම වෙන්නේ අපිට ඕන තැන වාහනේ නවත්තගන්න බැරුව යන එක… එත් එක්කම බ්‍රේක් ෆ්ලුයිඩ් වල තත්වය කාලයත් එක්ක අඩු වෙනවා… කාලයක් රස්නෙට නිරාවරණය උනාමත් අඩු වෙනවා… එහෙම උනාමත් වෙන්නේ අපි ගහන බ්‍රේක් එක හරියට වදින්නේ නැති වෙන එක තමයි…

එක හින්ද වරින්වර බ්‍රේක් ෆ්ලුයිඩ් වල තත්වය බලන එක වැදගත්… අන්තිමට මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 10000 ගියාට පස්සේ එන සර්විස් වල බ්‍රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක බලන්න ඕන… ඔන්න ඔය වැඩේ කරන හැටි තමයි මේ ලිපියෙන් අපි අද කියාදෙන්නේ…

 

අවශ්‍ය ද්‍රව්‍ය

අලුත් බ්‍රේක් ෆ්ලුයිඩ් බෝතලයක්

ලෙවල් එක අඩුවෙලා නම් දාන්න අලුත් බ්‍රේක් ෆ්ලුයිඩ් බෝතලයක් අරන් තියාගන්න එක හොඳයි… ගන්න ඕන බ්‍රේක් ෆ්ලුයිඩ් ජාතිය බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකේ මුඩියේ ගහල තියෙනවා… DOT 3, DOT 4 කියල තමයි ඔය දාන්න ඕන බ්‍රේක් ෆ්ලුයිඩ් වර්ගය රෙසර්වොයර් එකේ මුඩියේ සඳහන් වෙන්නේ… මුඩියේ DOT 3 කියල ගහල තියෙනවනන් කඩේට ගිහින් DOT 3 බ්‍රේක් ෆ්ලුයිඩ් එකක් දෙන්න කියල ඉල්ලුවම මුදලාලි හෝ ගෝලයා දෙයි…

පිරිසිදු රෙදි කෑල්ලක්

රේක් ෆ්ලුයිඩ් එකේ තත්වේ බලන්න මේක ඕන වෙනවා…

පිහදාන්න රෙදි කෑල්ලක්

රෙසර්වොයර් කැප් එක ගලවන්න කලින් පිහදාන්න රෙදි කෑල්ලක් ඕන වෙනවා…

 

බ්රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක බලන හැටි….

පළවෙනියටම කරන්න ඕන බ්‍රේක් බුස්ටර් එක හොයාගන්න එක… මේක ඉතාම සරලයි… වාහනේ බොනට් එක ඇරලා ටිකක් පරීක්ෂාවෙන් බැලුවම බොනට් එකේ බිත්තියේ ලොකු කළු පාට රවුමක් වගේ කෑල්ලක් ඔබට පෙනේවි… වාහන කීපයක ඔය බ්‍රේක් බූස්ටර් තියෙන හැටි උඩින් පින්තුරු වල දාල තියෙනවා…

ඊට පස්සේ බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක හොයාගන්න ඕන… බ්‍රේක් බූස්ටර් එක ගාවම පොඩි සුදු පාට කෑන් එකක් වගේ මේක තියෙනවා බලාගන්න පුළුවන්… බ්‍රේක් බූස්ටර් එක ගාවම තියෙන රෙසර්වොයර් එක හින්ද අනික් රෙසර්වොයර් එක්ක පැටලෙන්නේ නැතුව ඉතාම ලේසියෙන් මේක හොයාගන්න පුළුවනි… එත් එක්කම මේකේ මුඩියේ දාන්න ඕන ෆ්ලුයිඩ් වර්ගය ගැන එහෙම සඳහන් කරලා තියෙනවා… ඒ විදියටත් හොයාගන්න පුළුවන්… කොහොමවත්ම බැරි නම් පල්ලෙහා රූප බලල ගියාම හරි…

බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක තියෙන තැන
බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක

බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක හොයාගත්තම ඊළඟට කරන්න තියෙන්නේ ෆ්ලුයිඩ් ලෙවල් එක පරික්ෂා කරන එක…

බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකක MIN හා MAX ලෙවල් දෙකක් ගහල තියෙනවා… කිසිම ප්‍රශ්නයක් නැත්තන් ෆ්ලුයිඩ් ලෙවල් එක MAX මට්ටමේ තියෙන්න ඕන… එහෙම තියෙනකොට කිසිම දෙයක් කරන්න ඕන නැහැ…

MIN හා MAX අතරේ තියෙනවා නම් බ්‍රේක් ෆ්ලුයිඩ් පුරවන්න ඕන… නමුත් මේකෙදි අපට නිකම්ම බ්‍රේක් ෆ්ලුයිඩ් පුරවලා විතරක් නිකන් ඉන්න බැහැ… මොකද බ්‍රේක් ෆ්ලුයිඩ් අඩු වෙනවා කියන්නේ වාහනයේ වෙනත් දරුණු රෝගයක් පෙන්වන රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් නිසා…

බ්‍රේක් ෆ්ලුයිඩ් වාහනේකට දැම්මට පස්සේ එකේ ලෙවල් එක නිකම්ම අඩු වෙන්නේ නැහැ… මොකද බ්‍රේක් සිස්ටම් එක කියන්නේ හොඳට සීල් වෙලා තියෙන පද්ධතියක්… හරිනම් කිසිම විදියකින් බ්‍රේක් ෆ්ලුයිඩ් එලියට යන්න වෙදියක් නැහැ… වාහනේ බ්‍රේක් ෆ්ලුයිඩ් අඩු වෙලා නම් එහෙම වෙන්න මුලික හේතු 3ක් තියෙනවා…

 

බ්‍රේක් පෑඩ් ගෙවිල වෙන්න පුළුවන්…

බ්‍රේක් පෑඩ් ගොඩක් ගෙවිල නම් බ්‍රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක අඩුවෙන් තමයි පෙන්වන්නේ… ඒ නිසා බ්‍රේක් ෆ්ලුයිඩ් අඩු වෙච්ච වෙලාවක බ්‍රේක් පෑඩ් චෙක් එකක් කරගන්න එක වටිනවා… බ්‍රේක් පෑඩ් ගෙදරදීම පරික්ෂා කරන හැටි මෙන්න මේ ලිපියෙන් (ඩිස්ක් බ්‍රේක්) හා මේ ලිපියෙන් (ඩ්‍රම් බ්‍රේක්) පෙන්නලා කියල දීල තියෙනවා….

 

මාස්ටර් සිලින්ඩර් එකේ වොෂර් ගෙවිලා වෙන්න පුළුවන්…

කලින් කිව්ව මාස්ටර් සිලින්ඩර් එකේ ඇතුලේ වොෂර් ගෙවිලා නම් එත් බ්‍රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක අඩුවෙන් පෙන්නන්න ඉඩ තියෙනවා… මේ කාරණය හරියටම දැනගන්න අපිට පුංචි පරීක්ෂාවක් කරන්න පුළුවන්…
මේකෙදි බ්‍රේක් බූස්ටර් එක ගාව පල්ලෙහා බ්‍රේක් ෆ්ලුයිඩ් වැටිලා තියෙනවද බලන්න ඕන… එහෙම වැටිලා තියෙනවනම් ඒ කියන්නේ අනිවාර්යෙන් මාස්ටර් සිලින්ඩර් එකේ ඇතුලේ වොෂර් ගෙවිල කියන එකයි… මෙහෙම වෙලා නම් වැඩේ ටිකක් සංකීර්ණයි… මාස්ටර් සිලින්ඩර් එක හෝ ඒක ඇතුලේ වොෂර් මාරු කරන්න වෙන්න ඉඩ තියෙනවා… මෙහෙම ලීක් එකක් දැක්කොත් කරන්න තියෙන හොඳම වැඩේ වැඩ දන්නා ගරාජ් එකකට වාහනේ අරගෙන යන එක තමයි…

 

රෝද වලට යන බට වල ලීක් එකක් වෙන්න පුළුවන්…

කලින් අපි කිව්ව මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳලා රෝද වලට යන බට වල ලීක් එකක් තිබ්බත් ෆ්ලුයිඩ් ලෙවෙල් එක අඩුවෙන් පෙනවනවා… මේකත් ගෙදරදී හදන්න ටිකක් අමාරු දෝෂයක්… හොඳ බාසෙක් ගේ සේවය ගන්න වෙනවා…

 

ඔය හේතු හින්දා බ්‍රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක අඩුවෙන් පෙන්නන්න පුළුවන්… බ්‍රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක අඩු වෙලා නම් අනිවාර්යෙන් MAX ලෙවල් එකට එනකල් රෙසර්වොයර් එකට බ්රේක් ෆ්ලුයිඩ් පුරවන්න ඕන… හැබැයි එතනින් නවතින්න එපා… අපි කලින් කිව්ව හේතු නිසා මේ ලෙවල් අඩු වීම වෙච්ච බව මතක තියාගෙන කරන්න ඕන දේවල් ටික කරන්න ඕන… මොකද බ්‍රේක් ෆ්ලුයිඩ් අඩු වෙනවා කියන්නේ රෝගයක් නෙමේ, රෝග ලක්ෂණයක් විතරක් වීම හින්ද…

 

 

බ්‍රේක් ෆ්ලුයිඩ් පුරවන හා තත්වය බලන හැටි

මේකෙදි මුලින්ම බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකේ මුඩිය හරිය සුද්ද කරන්න ඕන… මොකද පොඩි හරි දුවිල්ලක් රෙසර්වොයර් එක ඇතුලට වැටුනොත් මාස්ටර් සිලින්ඩර් එකේ වොෂර් ගෙවෙන්න පුළුවන් නිසා… පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඔය මූඩිය හරිය හොඳට පිහදාන්න….

ඊට පස්සේ පරිස්සමින් රෙසර්වොයර් එකේ මූඩිය ගලවන්න…

දැන් පිරිසිදු සුදු පාට රෙද්දක් අරගෙන රෙසර්වොයර් එකේ තියෙන ෆ්ලුයිඩ් වල පොගවන්න… ඊට පස්සේ ඒ රෙද්දේ ගෑවිලා තියෙන ෆ්ලුයිඩ් වල වර්ණය හොඳට පරික්ෂා කරන්න ඕන…

බ්‍රේක් ෆ්ලුයිඩ් කියන්නේ වතුර වගේ පාටක් නැති ද්‍රවයක්… කාලයත් එක්ක මේකේ පාට දුඹුරු පාටට හැරෙන්න ගන්නවා… ඔහොම රෙදි කෑල්ලට අරගෙන බැලුවම ගොඩක් දුඹුරු පාට වෙලා නම් ඒ කියන්නේ බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කිරිල්ලකට කාලේ හරි කියලයි… බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන එක ටිකක් ලොකු වැඩක්… ගෙදරම කරන්න බැරි කමකුත් නැහැ… බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම ගෙදරම හැටි මෙන්න මේ ලිපියේ කියල දීල තියෙනවා…

ඊට පස්සේ ලෙවල් අඩු වෙලා නම් MAX ලෙවල් එකට එනකල් බ්‍රේක් ෆ්ලුයිඩ් දාන්න ඕන… මෙහෙම දාද්දි ඉතාම පරිස්සමින් දාන්න ඕන… මොකද බ්‍රේක් ෆ්ලුයිඩ් කියන්නේ ඉතාමත් අධිකව යකඩ මලකඩ කන්න හේතුවෙන දියරයක්… බොනට් එකේ කොහෙහරි ඔය බ්‍රේක් ෆ්ලුයිඩ් වැටුනොත් එතන අනිවාර්යෙන් හොඳට පිහදාන්න ඕන… නැත්තන් මලකඩ කනවා ෂුවර්….

දැන් මූඩිය අතේ හයියට තද කරලා වහන්න ඕන..

 

ඔච්චර තමයි බ්‍රේක් ෆ්ලුයිඩ් පරීක්ෂාවකදී කරන්න තියෙන්නේ…