EFI එලාම් බලන හැටි – OBD-2 පෝර්ට් තියෙන ටොයෝටා වාහන (පැට්‍රොල්)

2003 න් පස්සේ හැදුන ටොයෝටා වාහන බහුතරයක් ඩයැග්නෝස්ටික් සඳහා පාවිච්චි කලේ OBD-2 සිස්ටම් එක තමයි… මේ OBD-2 සිස්ටම් එක තියෙන වාහනේක දෝෂ හොයාගන්න තියෙන හරිම ක්‍රමය තමයි ස්කෑනර් එකක් පාවිච්චි කරන එක… ස්කෑනර් එකක් පාවිච්චි කරලා දෝෂ ගොඩක් හරියටම විස්තරාත්මකව හොයාගන්න පුළුවන් නිසා ගොඩක් අය එන්ජින් එලාම් එකක් ආපු ගමන් තමන්ගේ වාහනේ ස්කෑන් කරගන්න උත්සුක වෙනවා…

 

ස්කෑනර් එකක් පාවිච්චි කරමු….

ස්කෑනර් එකකින් OBD-2 පෝර්ට් එකක් ස්කෑන් කරද්දී එලියට පෙන්වන DTC එක සාමාන්‍යෙන් පටන් ගන්නේ ‘P’ අකුරෙන්… ඊට පස්සේ තව අකුරු 4ක් තියෙනවා…. උදාහරණයක් හැටියට P0010, P0011 වගේ… අන්තිම අකුරු 4 ඉලක්කම් විතරක් වෙන්නෙත් නැහැ…. ඉලක්කම් වලට අමතරව ‘A’, ‘B’, ‘C’, ‘D’, ‘E’ හා ‘F’ යන අකුරුත් මේ අන්තිම අකුරු 4ට පාවිච්චි වෙනවා… උදාහරණ හැටියට P264A, P101D වගේ කෝඩ් පෙන්නන්න පුළුවන්… ස්කෑනර් එකෙන් පෙන්වන මේ කෝඩ් එකට “SAE” කෝඩ් එක කියලත් කියනවා…

ස්කෑනර් එක ගහල මේ DTC එක එහෙමත් නැත්තන් SAE එක හොයාගත්තම ඊළඟට කරන්න තියෙන්නේ සරල දෙයක්.. ඒ තමා වාහනේ මැනුවල් එක අරගෙන තමන්ට හම්බුනු DTC එකට අදාළ වැරැද්ද හොයාගන්න එක… ඊට පස්සේ ඉතින් ඒ අදාළ කොටසේ රෙපෙයාර් එකට බය නැතුව අත ගහන්න තමා තියෙන්නේ… ප්‍රමාණය අතින් ගත්තොත් මේ SAE කෝඩ් 1000 කට වඩා තියෙනවා… ඒ හින්දා හරියටම ගොඩක් ලොකු නිරවද්‍යතාවයක් ඇතිව දෝෂය තියෙන මොඩියුල් එක වෙන්කරල පෙන්වන්න පුළුවන්…

SAE කෝඩ් එක හොයාගත්තට පස්සේ ඒකට අදාල දෝෂය හොයාගන්න ඕන… මේකට කරන්න තියෙන නිවැරදිම විදිය තමයි තමන්ගේ වාහනේ මැනුවල් එක පරික්ෂා කරන එක… එහෙම නැත්නම් අදාළ කෝඩ් එක ඉන්ටනෙට් එකේ ගැහුවම අදාළ දෝෂය ලොකුවට වරදින්නේ නැතුව හොයා ගන්න පුළුවන්…

 

ස්කෑනර් එකක් නැද්ද….?

අපේ රටේ නම් ගොඩක්ම අඩුවෙන් තමයි ගෙදරක පාවිච්චියට ස්කෑනර් එකක් අරන් තියාගන්නේ… සාමාන්‍යෙන් කරන්නේ ඔහොම එන්ජින් එලාම් එකක් ආපු ගමන් ස්කෑන් කරන තැනකට ගිහින් වාහනේ ස්කෑන් කරගන්න එක…. ස්කෑනර් වල මිලත් එක්ක බැලුවම ඒ විදියේ කිසිම වැරද්දක් කියන්නත් බැහැ… හැබැයි ස්කෑනර් එකක් ගෙදර නැත්තම්, ඉල්ල ගන්නත් කෙනෙක් නැත්තන් ගරාජ් එකකට යනවා ඇරෙන්න කරන්න වෙන කිසිම දෙයක් නැද්ද….?

ස්කෑනර් එකක් නැති වේලාවකදී වාසනාවකට වගේ ටොයෝටා වාහන වල OBD-2 එකෙන් DTC එකක් එහෙම නැත්තන් error කෝඩ් එකක් ගන්න විදියකුත් අන්තර්ගත කරලා තියෙනවා… මේකෙදිත් ටොයෝටා OBD-1 වලට සමානවම එන්ජින් එලාම් ලයිට් එක බ්ලින්ක් වේවි කෝඩ් එක පෙන්නන එක තමයි කරන්නේ… ලයිට් එක බ්ලින්ක් වේවි නැත්තන් ෆ්ලෑෂ් වේවි කෝඩ් එක පෙන්වන හින්ද මෙහෙම පෙන්වන කෝඩ් වලට කියන්නේ “ෆ්ලෑෂ් කෝඩ්” කියල…

හැබැයි මෙහෙම මැනුවලි බලන එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රමයේදී ස්කෑනර් එකකින් පෙන්වන තරම් DTC පෙන්වන්නේ නැති වීම… දැන් SAE කෝඩ් ගත්තොත් 1000කට වඩා තියෙද්දී මේ මැනුවල් ක්‍රමයෙන් බලනකොට DTC පෙන්නන්නේ 20ක් – 30ක් වගේ පොඩි ගානක්… ඒ හින්දා SAE කෝඩ් ගොඩකට එකම ෆ්ලෑෂ් කෝඩ් එක තමයි පෙන්වන්නේ…

ඒ කියන්නේ උදාහරණයක් හැටියට SAE කෝඩ් P0011, P0012, P0015, P0017 කියන දෝෂ සේරම මැනුවල් ක්‍රමයේදී පෙනන්නේ ෆ්ලෑෂ් කෝඩ් 59 මගිනුයි…. මේ කෝඩ් වල අඩුව නිසා OBD-2 එකක් මැනුවලි බලද්දී ස්කෑනර් එකකින් තරම් නිවැරදිව දෝෂය තියෙන මොඩියුල් එක වෙන්කරලා අඳුරගන්න අමාරුයි… නමුත් යම්කිසි අදහසක් ගන්න පුළුවන්… ඒ හින්දා OBD-2 එකක් මැනුවලි බලන විදිය දැනගෙන ඉන්න එකත් වැදගත් වෙනවා…

 

දැන් අපි බලමු OBD-2 තියෙන වාහනයක් මැනුවලි බලන ක්‍රමය පියවර වශයෙන්…

පළවෙනියට OBD-2 පෝර්ට් එක හොයාගන්න ඕන… ගොඩක් වෙලාවට ටොයෝටා වාහනවල OBD-2 පෝර්ට් එක තියෙන්නේ රියදුරු අසුන පැත්තේ බොනට් එක අරින ස්විච් එක ගාව ඊට යටිනුයි… පල්ලෙහා රූප වලින් ඔය පෝර්ට් එක වාහන වර්ග කීපයක තියෙන තැන පෙන්නලා තියෙනවා… බලල ගියොත් වරදින්නේ නැතුව හොයාගන්න පුළුවන්…

ඊළඟට පොඩි වයර් කෑල්ලක් අරගෙන අංක 13 හා අංක 4 යන පින් දෙක ෂෝර්ට් කරන්න ඕන…

දැන් ඉග්නිෂන් ඔන් කරන්න… ස්ටාර්ට් කරන්න එපා…

ඔහොම කරපුවම සියල්ල හරි නම් වාහනේ ඩයැග්නෝස්ටික් මෝඩ් එකට එන්න ඕන… එහෙම ගිහින් මොකක් හරි වැරද්දක් තියෙනවා නම් එන්ජින් එලාම් ලයිට් එක බ්ලින්ක් වෙලා කෝඩ් එක පෙන්වන්න පටන් ගන්නවා… මේකෙදි ලයිට් එකෙන් කෝඩ් එක කියවන විදිය 100% ම ටොයෝටා OBD-1 කෝඩ් කියවන විදියට සමානයි… බ්ලින්ක් වෙන හැටි, කාල අන්තර සේරම OBD-1 වලට සමාන නිසා OBD-1 ගැන ලියවිච්ච මෙන්න මේ ලිපිය කියෙව්වොත් එන්ජින් ලයිට් එකෙන් ෆ්ලෑෂ් කෝඩ් එක කියවන හැටි ගැන ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්…

පොඩි වෙනසකට තියෙන්නේ OBD-2 වලදී ෆ්ලෑෂ් කෝඩ් එක පෙන්නන්න ඉලක්කම් වලට අමතරව ‘A’, ‘B’, ‘C’, ‘D’, ‘E’ හා ‘F’ යන අකුරුත් පාවිච්චි කරන එක… මේ නිසා OBD-2 මැනුවලි බලද්දී A1, 8F වගේ කෝඩ් උනත් පෙන්නන්න ඉඩ තියෙනවා… දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද මේ අකුරු පෙන්නන්නේ එන්ජින් එලාම් ලයිට් එකෙන් කියල… මොකද 38 වගේ කෝඩ් එකක් ගත්තොත් මුලින් 3 පාරක් බ්ලින්ක් වෙලා ටිකක් ඉඳල ආයේ 8 පාරක් බ්ලින්ක් වෙලානේ පෙන්වන්නේ… ඉතින් ඒ වගේම තමයි… A පෙන්වද්දී 10 පාරක් බ්ලින්ක් වෙනවා, B පෙන්නද්දී 11 පාරක්.. ඒ විදියටම C, D, E, F පිලිවෙලින් 12, 13, 14, 15, හා 16 වතාවක් බ්ලින්ක් වෙලා අදාළ කෝඩ් එක හරියටම පෙන්වන්න පුළුවන්….

දැන් මේ ෆ්ලෑෂ් කෝඩ් එක බලාගත්තම ඊළඟට කරන්න තියෙන්නේ වාහනේ මැනුවල් එකෙන් ආපු කෝඩ් එකට අදාළ දෝෂය හොයාගන්න එක… හැබැයි මෙතැනදී අර කලින් කිව්ව SAE කෝඩ් වලට සාපේක්ෂව ෆ්ලෑෂ් කෝඩ් අඩු වීමේ ප්‍රශ්නයට මුහුණ පාන්න වෙනවා… ඒ නිසා හරියටම දෝෂය හොයා ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්…

ලංකාවේ බහුලව පාවිච්චි වෙන 2003න පස්සේ ටොයෝටා පැට්‍රොල් වාහනවල දෝෂ හොයාගන්න හැටි තමයි අපි මේ ලිපියෙන් කතා කලේ… ඔබේ දැනුමට මොකක් හරි අලුත් කරුණක් එකතු කරන්න මේ ලිපිය උදව් උනා නම් ඒක තමයි අපේ සතුට…