EFI එලාම් බලන හැටි – OBD-1 පෝර්ට් තියෙන ටොයෝටා වාහන (පැට්‍රොල්)

1986 ඉඳල 2003 වගේ වෙනකල් නිෂ්පාදිත වර්ෂය තියෙන ටොයෝටා වාහනවල ගොඩක් වෙලාවට තියෙන්නේ OBD-1 සිස්ටම් එක තමයි… මේ වාහනවල OBD පොර්ට් එක සාමාන්‍යෙන් තියෙන්නේ එන්ජින් බේ එකේ… බොනට් එක ඇරියම ඉස්සරහ පැසෙන්ජර් සීට් එක පැත්තේ ශෝකැබ්සෝබර් එකේ මවුන්ට් එක ගාව පොඩියට මේ පෝර්ට් එක බලාගන්න පුළුවන්… පල්ලෙහා පින්තුර වල තියෙනවා වාහන කීපයක ඔය පොර්ට් එක තියෙන හැටි….

OBD-1 පෝර්ට් එක එන්ජින් බේ එකේ තියෙන තැන
OBD-1 පෝර්ට් එකේ සමීප දසුනක්

ටොයෝටා වාහන වල OBD 1 පෝර්ට් එක බලන ආකාර දෙකක් තියෙනවා, එහෙම නැත්තන් මෝඩ් දෙකක් තියෙනවා…

 

Mode 1

මේ මෝඩ් එකෙන් බලද්දී පළවෙනියට වාහනේ ඉග්නිෂන් ඔන් කරන්න ඕන… ස්ටාර්ට් කරන්න එපා…. ඊට පස්සේ OBD 1 පෝර්ට් එකේ TE1 හා E1 කියන පෝර්ට් දෙක ෂෝර්ට් කරන්න ඕන… මේකට පොඩි තනි කම්බි වයර් කෑල්ලක් අරගෙන OBD1 පෝර්ට් එකේ TE1 හා E1 සොකට් දෙක හොයාගෙන ඇමිනුවා නම් හරි…..

TE1 හා E1 අමුණන හැටි
TE1 හා E1 අමුණන හැටි

ඔහොම කලාම එන්ජින් එලාම් ලයිට් එක ඩයැග්නෝස්ටික් කෝඩ් එක අනුව එක්තරා රටාවකට නිවී නිවී පත්තු වෙන්න පටන් ගන්නවා… ලයිට් එක පත්තු වෙන විදිය දිහා බලල තමයි අපි ඩයැග්නෝස්ටික් කෝඩ් එක කියවා ගන්නේ…..

දැන් උදාහරණයක් හැටියට අපි හිතමු ඩයැග්නෝස්ටික් කෝඩ් එකක් නැහැ කියල… එහෙම නම් එන්ජින් එලාම් ලයිට් එක තප්පරේට දෙපාරක් නිමි නිමි පත්තු වෙනවා සමාන කාල අන්තර වලින්… ඒ කිව්වේ තප්පරෙන් හතරන් එකක් පත්තු වෙලා තියෙනවා, හතරෙන් එකක් නිමිල ආයෙත් තප්පරෙන් හතරන් එකක් පත්තු වෙනවා ආයෙත් තප්පරෙන් හතරන් එකක් නිමිල… ඔය වැරද්දක් නැති අවස්ථාවේ පත්තු වෙන්න ඕන විදිය පල්ලෙහා රූප සටහන් වලින් ඉතාම හොඳට බලා ගන්න පුළුවන්….

වැරද්දක් නැති අවස්ථාව, කාල අන්තර
වැරද්දක් නැති අවස්ථාව, එන්ජින් ලයිට් එක පත්තු වෙන්න ඕන විදිය

මොකක් හරි ඩයැග්නෝස්ටික් කෝඩ් එකක් තියෙනවා නම් තප්පර බාගෙන් බාගෙට තමයි පත්තු වෙලා නිවෙන්නේ… එහෙම තප්පර බාගෙන් බාගෙට පත්තු වේවි නිවෙන වාර ගණන පලවෙනි ඉලක්කම හැටියට ගන්න ඕන… ඊට පස්සේ තප්පර 1.5ක් නිමිල තියෙනවා… ආයෙත් තප්පර බාගෙන් බාගෙට පත්තු වේවි දෙවනි ඉලක්කම පෙන්නනවා… ඊළඟට තප්පර 4.5ක් නිමිල තියෙනවා.. එහෙම තිබිල ආයෙත් කලින් රටාවටම ඉලක්කම් දෙක පෙන්වනවා…

උදාහරණයක් හැටියට අපි හිතමු 24 කියන ඩයැග්නෝස්ටික් කෝඩ් එක පෙන්නනවා කියල… ඕකෙදි පළවෙනියට 2 ඉලක්කම පෙන්නලා තප්පර 1.5ක් ඉඳල 4 පෙන්නලා ආයෙත් තප්පර 4.5ක් නිමිල තිබිල ආයේ කලින් රටාවටම 2-4 පෙන්නන එක තමයි වෙන්නේ… ඉලක්කම් පෙන්නන්නේ තප්පර බාගෙන් බාගෙට නිවී නිවී පත්තු වේවි…

  • 2 ඉලක්කම = තප්පර 0.5ක් ඔන් 0.5ක් ඕෆ් 0.5ක් ඔන් 0.5ක් ඕෆ් (දෙපාරක් බ්ලින්ක් වෙනවා)
  • තප්පර 1.5ක් ඕෆ් (ඉලක්කම් අතර කාල පරතරය)
  • 4 ඉලක්කම = තප්පර 0.5ක් ඔන් .5ක් ඕෆ් .5ක් ඔන් .5ක් ඕෆ් .5ක් ඔන් .5ක් ඕෆ් .5ක් ඔන් .5ක් ඕෆ් .5ක් ඔන් (4 පාරක් බ්ලින්ක් වෙනවා)
  • තප්පර 4.5ක් ඕෆ් (රටාව අතර කාල පරතරය)

 

ඔය කොහොම කිව්වත් තේරුනේ නැත්තන් පහල රූපේ තියෙන ප්‍රස්ථාරය හා රුප බලල තේරුම් ගන්න උත්සහ කරන්න…

24 ඩයැග්නෝස්ටික් කෝඩ් එක පෙන්නන හැටි, කාල අන්තර
24 ඩයැග්නෝස්ටික් කෝඩ් එක පෙන්නන හැටි
31 ඩයැග්නෝස්ටික් කෝඩ් එක පෙන්නන හැටි

සමහර වෙලාවට ඩයැග්නෝස්ටික් කෝඩ් දෙක තුනක් උනත් මේ විදියට පෙන්නන්න ඉඩ තියෙනවා.. එතැනදී ඩයැග්නෝස්ටික් කෝඩ් දෙකක් අතර කාල පරතරය තප්පර 2.5ක් හැටියට පෙන්නනවා..

ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි හිතමු 25 හා 31 කියන code දෙකම පෙන්නන්න යන්නේ කියල එන්ජින් එලාම් එකෙන්… එතකොට කලින් විදියම 25 පෙන්නලා තප්පර 4.5ක් වෙනුවට තප්පර 2.5ක් විතරක් නිමිල තිබිල දෙවැනි code එක වෙන 31 පෙන්නනවා… 31 පෙන්නලා තමයි තප්පර 4.5 නිමෙන්නේ… ඊට පස්සේ අයෙත් 25-31 රටාව පෙන්නන්න පටන් ගන්නවා….

පල්ලෙහා රූප සටහන බලල ඕක සිද්ද වෙන හැටි තේරුම් ගන්න පුළුවන්….

24 හා 31 යන ඩයැග්නෝස්ටික් කෝඩ් දෙකම එකපාර පෙන්නන හැටි… ඔය විදියට ඩයැග්නෝස්ටික් කෝඩ් ඕන තරම් පෙන්නන්න පුළුවන්….

දැන් ඔය විදියට ඩයැග්නෝස්ටික් කෝඩ් එකකට වඩා පෙන්නද්දී හැම තිස්සෙම කුඩා අංකයෙන් තමා code එක පෙන්නන්න පටන් ගන්නේ… ඉතින් ටිකක් පුරුදු උනාට පස්සේ ඔයාලට ඉතාමත් ලේසියෙන් OBD1 එකේ ඩයැග්නෝස්ටික් කෝඩ් එක කියවගන්න පුළුවන් වෙයි…

සමහර වෙලාවට ඔහොම බැලුවට මොකුත් ඩයැග්නෝස්ටික් කෝඩ් එකක් පෙන්නන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා… අන්න ඒ වගේ වෙලාවට අපි mode 2 එකට ගිහින් ඩයැග්නෝස්ටික් කෝඩ් එක හොයා ගන්න උත්සහ කරන්න ඕන….

 

Mode 2

කලින් mode 1 එකේදී කිසිම ඩයැග්නෝස්ටික් කෝඩ් එකක් පෙන්නුවේ නැත්තන් විතරයි මේ mode එකෙන් පරික්ෂාව කරන්න ඕන… මේ mode 2 එකට ගියාම ECU එකේ නැත්තන් වාහනේ පරිඝනකයේ සංවේදීතාවය වැඩියි… වාහනේ එලවන ගමන් විතරක් එන නවත්තල තියෙද්දී නැති එන්ජින් එලාම් හොයාගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්…

මේකෙදි මුලින්ම OBD පෝර්ට් එකේ TE2 හා E1 කියන පොර්ට් ෂෝර්ට් කරන්න ඕන… ඊළඟට වාහනේ ඉග්නිෂන් ඔන් කරන්න ඕන…. කලින් mode එකේදී අපි ඉග්නිෂන් ඔන් කරලා තමයි පෝර්ට් ෂෝර්ට් කලේ… නමුත් මේකෙදි පෝර්ට් එක ෂෝර්ට් කරලා තමයි ඉග්නිෂන් ඔන් කරන්න ඕන, එහෙම නොකලොත් හරියට මේ මෝඩ් එකට ECU එක යන්නේ නැහැ….

TE2 හා E1 අමුණන හැටි
TE2 හා E1 අමුණන හැටි

ඔහොම හරියට කලොත් වාහනේ එන්ජින් එලාම් එක තප්පර අටෙන් එකකට වගේ නිවී නිවී පත්තු වෙන්න ගන්නවා… නැත්තන් තප්පරේට හතර සැරයක් බ්ලින්ක් වෙනවා… හරියට mode 2 වල වාහනේ තියෙනවද කියල ඒ විදියට බලාගන්න පුළුවන්…

ඊළඟට එන්ජින් එක ස්ටාර්ට් කරලා 10km/h ට වඩා වැඩි වේගයකින් ධාවනය කරන්න පටන් ගන්න ඕන… මොකද 5km/h ට වඩා අඩුවෙන් ගියොත් ස්පීඩ් සෙන්සර් එකෙන් ඩයැග්නෝස්ටික් කෝඩ් එකක් දෙන්න ඉඩ තියෙන නිසා, (එකේ code එක 42)….

දැන් ඔහොම වාහනේ එලවන ගමන් උත්සහ කරන්න ඕන කලින් එන්ජින් එලාම් එකක් ආපු අවස්ථාව නැවත ප්‍රතිනිර්මාණය කරන්න… උදාහරණයක් හැටියට හයියෙන් ගිහින් බ්රේක් ගහද්දි කලින් එලාම් එකක් ආව නම් දැනුත් හයියෙන් ගිහින් බ්රේක් ගහන්න ඕන… ඔන්න ඔය වගේ වෙලාවක EFI සිස්ටම් එකේ අව්ලක් තියෙනවා නම් කලින් වගේම එන්ජින් එලාම් ලයිට් එක නිමි නිමි පත්තු වෙලා ඩයැග්නෝස්ටික් කෝඩ් එක පෙන්නන්න පටන් ගන්නවා…. ඩයැග්නෝස්ටික් කෝඩ් කියවන්නේ කලින් විදියටම තමයි….

මේ විදියට කරද්දී සමහට ඩයැග්නෝස්ටික් කෝඩ් එනවා, ඒවා අපි ගණන් ගන්න ඕන නැහැ…

  • උදහරයක් හැටියට කලින් කිව්ව 42 කෝඩ් එක 5km/h ට වඩා අඩු වේගෙන් යද්දී ගණන් ගන්න ඕන නැහැ…
  • ඔටෝ වාහනයක් නම් D, 2, L, R ගියර් වල තියෙද්දී A/C ඔන් කලොත් 51 කියන ඩයැග්නෝස්ටික් කෝඩ් එක දෙනවා.. එකත් අව්ලක් හැටියට ගණන් ගන්න ඕන එකක් නෙමේ….
  • සමහර වෙලාවට 43 කියන කෝඩ් එක පෙන්නනවා… එකෙන් කියන්නේ එන්ජින් එක ස්ටාර්ටර් එකෙන් ස්ටාර්ට් උනේ නැහැ කියල… එකත් මේ මෝඩ් එකේදී ගණන් ගන්න ඕන කෝඩ් එකක් නෙමේ….

 

ඔන්න ඔය විදියට OBD 1 පෝර්ට් එක තියෙන ටොයෝටා වාහන වල ඩයැග්නෝස්ටික් කෝඩ් කියවගන්න පුළුවන් කිසිම අමතර උපාංගයක් භාවිතා කරන්නේ නැතුව… දැන් අපිට පුළුවන් මේ ඩයැග්නෝස්ටික් කෝඩ් වලින් කියන්නේ මොනවද බලන්න… මෙන්න මේකට වාහනේ මැනුවල් එක ඕන කරනවා… ඔය හැම කෝඩ් එකකින්ම කියවෙන්නේ කොයි උපාංගයේ දෝෂයක්ද කියල මැනුවල් එකේ හරියටම කියල තියෙනවා….

 

OBD -1 තියෙන ටොයෝටා පැට්‍රල් වාහනයක ECU එකේ දෝෂ කියවද්දී දැනගෙන ඉන්න ඕන ප්‍රධාන කාරණා සේරම වගේ මේ ලිපියේ අඩංගු කරන්න පුළුවන් උනා කියල හිතනවා… ඔබේ දැනුමට මොකක් හරි අලුත් කරුණක් එකතු කරන්න මේ ලිපිය උදව් උනා නම් ඒක තමයි අපේ සතුට…