මොනවද අම්මේ අකුරු ජාතියක් ‘ටයර්’ එකේ කවුදෝ ලියලා…

ටයර් එක කියන්නේ වාහනේක පල්ලෙහායින්ම තියෙන කොටස… පොලවයි වාහනයයි සම්බන්ධ වෙන්නේ මේ ටයර් එක හරහා තමයි…. ගොඩක් පහතින් තියෙන නිසාද කොහෙද හුඟක් අය ටයර් එක දිහා එච්චර සැලකිල්ලෙන් බලන්නේ නැහැ…

එත් ඔයාල දන්නවද…? මේ හැම ටයර් එකක්ම අපිට ලස්සන කතාවක් කියනවා… ඒ කතාව දැනගන්න නම් අපි ටයර් එක කතා කරන භාෂාව ඉගෙන ගන්න ඕන… අපේ වාහනේ ටයර් එක අපි හරියට අඳුරන්නේ නැත්තන්, ටයර් මාරු කරනන ගියාම ලොකු අමාරුවක වැටෙන්න වෙනවා… ඒ නිසා ටයර් එකක් විස්තර ලියල තියෙන ක්‍රමය, එහෙම නැත්තන් ටයර් භාෂාව ටිකක් දැනගන්න ඕන…. අන්න ඒ භාෂාව ඉගෙනගෙන, ටයර් එකක සම්පුර්ණ විස්තරේ දැක්ක ගමන් දැනගන්න හැටි තමයි අපි අද මේ ලිපියෙන් කියන්න යන්නේ…

ටයර් එකක පාරිභෝගිකයා දැනගන්න ඕන විස්තර සේරම වගේ ටයර් එකේ ඉස්සරහ පැත්තේ ගහල තියෙනවා… ඉස්සරහ පැත්ත කියල අපි අදහස් කලේ වාහනේට සවි කලාම පිටට පේන පැත්ත… හැබැයි ගොඩක් විස්තර දෙන්න ඕනා නිසා විවිධ සංකේත හා ඉලක්කම් රටා පාවිච්චි කරලා තමයි ටයර් එකක මේ විස්තර ගහල තියෙන්නේ… ඒ නිසා නිවැරදි දැනුමක් නැතුව ටයර් එකක ගහල තියෙන දේවල් කියවගන්න පොඩ්ඩක් අමාරුයි… හැබැයි ඉතින් මේ ලිපිය කියෙව්වයින් පස්සේ නම් ඔයාට ගේමක් නැතුව ඕන ටයර් එකක් ගැන දැනගන්න පුළුවන්… ඉතින් අපි බලමු මෙහෙම ටයර් එකක ගහල තියෙන විස්තර මොනවද කියල….

 

ටයර් සයිස් එක

ටයර් එකක ගහල තියෙන දේවල් වලින් ප්‍රධාන කාරණය තමයි මේ ටයර් සයිස් එක කියන්නේ… ටයර් සයිස් එක ඉලක්කම් තුනකින් හා අකුරකින් පෙන්නනවා… 260/60R15, 215/60R17 වගේ ඉලක්කම් ටිකක් ටයර් වල ගහල තියෙනවා ඔයාල දැකල ඇති… දැකල නැත්තන් පහල පෙන්නලා තියෙනවා…

මොනවද ඉතින් මේ ඉලක්කම්…? අපි එකින් එක අරගෙන බලමු….

 

Width (ටයර් එකේ පළල)

පලවෙනි ඉලක්කමෙන් පෙන්නන්නේ ටයර් එක කොච්චර පලලද කියල… ටයර් එකේ පළල මිලිමීටර් වලින් මැන්නම එන අගය තමා ඔය මුල්ම ඉලක්කමෙන් පෙන්නන්නේ… 260/60R15 කියල ගහල තියෙන ටයර් එකක් 260mm පළල බව දැන් ඔයාලට දැක්ක ගමන් කියන්න පුළුවන්…

 

Profile (ටයර් එකේ ප්‍රොෆයිල් එක)

දෙවැනි ඉලක්කමට අපි කියන්නේ ටයර් එකේ ප්‍රොෆයිල් එක එහෙම නැත්තන් ඇස්පෙක්ට් රේෂියෝ එක කියල… මේක හදන්නේ මෙහෙමයි… මුලින්ම ටයර් එකේ රබර් කොටසේ රීම් එකේ ඉඳල උස මැනගන්න ඕන… ඊට පස්සේ ඒ උස කලින් කිව්ව ටයර් එකේ පළලෙන් බෙදන්න ඕන… අන්න ඒ බෙදල එන අගය 100න් වැඩි කරලා ප්‍රතිශතයක් ලෙස ගත්තම එන අගය තමයි ඔය දෙවැනි ඉලක්කමෙන් පෙන්නන්නේ… පහල රූප බැලුවම ඕක හදන හැටි තේරෙයි…

Low Profile ටයර් කියල ජාතියක් ඔයාල අහල ඇතිනේ… අන්න ඒ ටයර් වල ඔය අගය ගොඩක් අඩුයි… එහෙම ටයර් එකක ටයර් එකේ රබර් කෑල්ලේ උස අඩු බව ඔයාල දැකල ඇති…

Construction (ටයර් එක හදපු ක්‍රමවේදය)

පළල හා ප්‍රොෆයිල් එකට පස්සේ තියෙන R අකුරට කියන්නේ ටයර් එකේ Construction (කන්ස්ට්‍රක්ෂන්) එක කියල… මේකෙන් කියවෙන්නේ ටයර් එක ඇතුලේ තියෙන ටයර් කෝඩ් අසුරලා තියෙන්නේ කොහොමද කියන එක… ලෝකේ දැනට ප්‍රසිද්ධ කන්ස්ට්‍රක්ෂන් වර්ග තියෙන්නේ දෙකයි…
R – Redial (රේඩියල්) කන්ස්ට්‍රක්ෂන්
B – Bias (බයස්) කන්ස්ට්‍රක්ෂන්
බහුතරයක් ටයර් වල තියෙන්නේ R හෙවත් රේඩියල් කන්ස්ට්‍රක්ෂන් එක තමයි… B තියෙන ටයර් එකක් හොයාගන්නත් අමාරුයි…

Rim Diameter (රීම් එකේ විෂ්කම්භය)

අන්තිමට තියෙන ඉලක්කමෙන් පෙන්නන්නේ ටයර් එකේ රීම් එකේ විෂ්කම්භය අඟල් වලින්… උදාහරණයක් හැටියට 260/60R15 කියල ගහල තියෙන ටයර් එකක් හරියන්නේ අඟල් 15 රීම් එකකටයි… ටයර් එකක් මාරු කරද්දී ඕක වෙනස් එකක් දැම්මොත් මොකද වෙන්නේ කියල ඔයාලට තේරෙනවානේ…

ඔය ටික තමයි ටයර් සයිස් එක පෙන්වන ඉලක්කම් වලින් කියවෙන්නේ…. ටයර් එකක් මාරු කරද්දි හරියටම මේ ටයර් සයිස් එක මැච් වෙන්න දාන්න ඕන… එහෙම නැත්තන් වෙන දේ දැනටමත් ඔයාලට තේරෙනවා ඇති කියල හිතෙනවා…

 

ලෝඩ් ඉන්ඩෙක්ස් හා ස්පීඩ් සිම්බල් එක (Load Index and Speed Symbol)

ටයර් සයිස් එක පෙන්වන ඉලක්කම් තුනට දකුණු පැත්තෙන් ඒ එක්කම වගේ 95V, 99W වගේ ඉලක්කමක් බලාගන්න පුළුවන්… ටයර් සයිස් එක එක්කම තිබ්බට මේ ඉලක්කමෙන් හා අකුරෙන් කියවෙන්නේ ටයර් එකේ සයිස් එක ගැන මොකවත් නෙමේ… මුලින් තියෙන ඉලක්කමට කියන්නේ ලෝඩ් ඉන්ඩෙක්ස් එක කියල… ඊට පස්සේ තියෙන ඉංග්‍රීසි අකුරට ස්පීඩ් සිම්බල් එක කියල කියනවා…

ලෝඩ් ඉන්ඩෙක්ස් එක

ඔය තියෙන ටයර් එකේ 95 කියන ඉලක්කමට අපි කියන්නේ ලෝඩ් ඉන්ඩෙක්ස් එක කියල… මේකෙන් කියවෙන්නේ ටයර් එකට හොඳට හුලන් ගහල තියෙද්දී දරා ගන්න පුළුවන් උපරිම බර කීයද කියල… හැබැයි මෙතන 95 කියල කියන්නේ කිලෝ 95 කියන එක නම් නෙමේ, 95 කියන්නේ ඉන්ඩෙක්ස් එකක්… ලෝඩ් ඉන්ඩෙක්ස් එකේ එක එක අගයන්ට අනුරුප කිලෝග්‍රෑම් ප්‍රමාණය පෙන්වන වගු තියෙනවා… අන්න ඒ වගුවක් ගත්තම ඔයාගේ ටයර් එකට දරා ගන්න පුළුවන් උපරිම බර හොයා ගන්න පුළුවන්… පහළ පෙන්නලා තියෙනවා අන්න එහෙම වගුවක්…

ලෝඩ් ඉන්ඩෙක්ස් රෝදයට දරාගත හැකි
උපරිම බර (Kg)
ලෝඩ් ඉන්ඩෙක්ස් රෝදයට දරාගත හැකි
උපරිම බර (Kg)
ලෝඩ් ඉන්ඩෙක්ස් රෝදයට දරාගත හැකි
උපරිම බර (Kg)
62 265 84 500 106 950
63 272 85 515 107 975
64 280 86 530 108 1000
65 290 87 545 109 1030
66 300 88 560 110 1060
67 307 89 580 111 1090
68 315 90 600 112 1120
69 325 91 615 113 1150
70 335 92 630 114 1180
71 345 93 650 115 1215
72 355 94 670 116 1250
73 365 95 690 117 1285
74 387 97 730 119 1360
76 400 98 750 120 1400
77 412 99 775 121 1450
78 425 100 800 122 1500
79 437 101 825 123 1550
80 450 102 850 124 1600
81 462 103 875 125 1650
82 475 104 900 126 1700
83 487 105 925

ස්පීඩ් සිම්බල් එක

ස්පීඩ් සිම්බල් එක කියන්නේ ටයර් එකට සම්මත තත්ව යටතේ යන්න පුළුවන් උපරිම වේගය… මේකත් කලින් ලෝඩ් ඉන්ඩෙක්ස් එක වගේම වගුවකින් තමයි බලා ගන්න වෙන්නේ… පහළ එහෙම ස්පීඩ් සිම්බල් එකට අදාළ වේගය පෙන්වන වගුවක් දාල තියෙනවා… ඕකෙන් බලලා ඔයාගේ ටයර් එක යන්න පුළුවන් උපරිම වේගය ගැන අදහසක් ගන්න පුළුවන්… උදාහරණයක් හැටියට V කියන්නේ පැයට කිලෝමීටර් 240යි… ඊට වඩා වේගෙන් ගියොත් ටයර් එකට අබ සරණ ලැබෙන බව මතක තියා ගන්න ඕන…

ස්පීඩ් සිම්බල් එක උපරිම වේගය (km/h) ස්පීඩ් සිම්බල් එක උපරිම වේගය (km/h) ස්පීඩ් සිම්බල් එක උපරිම වේගය (km/h)
A1 5 D 65 Q 160
A2 10 E 70 R 170
A3 15 F 80 S 180
A4 20 G 90 T 190
A5 25 J 100 U 200
A6 30 K 110 H 210
A7 35 L 120 V 240
A8 40 M 130 W 270
B 50 N 140 Y 300
C 60 P 150 (Y) 300+

 

නිෂ්පාදිත දිනය

ටයර් එකක ගහල තියෙන ගොඩක් දෙනෙක් වැඩිය බලන්නේ නැති දෙයක් තමයි මේ නිෂ්පාදිත දිනය කියන්නේ… නිෂ්පාදිත දිනය ටයර් එකක කොටන්නේ ඉලක්කම් හතරක කෝඩ් හැටියට… ගොඩක් වෙලාවට මේ කෝඩ් එක වටේ අවුට්ලයින් එකකුත් දාල තියෙනවා… පහල රූප වල පෙන්නනවා ටයර් එකක ඔය නිෂ්පාදිත දිනය ගහල තියෙන හැටි…

ඔය කෝඩ් එකේ පලවෙනි ඉලක්කම් දෙකෙන් පෙන්වන්නේ ටයර් එක හදපු සතිය, දෙවැනි ඉලක්කම් දෙකෙන් පෙන්නන්නේ ටයර් එක හදපු අවුරුද්දේ අන්තිම ඉලක්කම් දෙක… උදාහරණයක් හැටියට ඔය කෝඩ් එක 2418 කියල තියෙනවානං ඒ කියන්නේ මේ ටයර් එක හදල තියෙන්නේ 2018 අවුරුද්දේ 24 වැනි සතියේ කියන එකයි….

හිතන්නකෝ ඔයාලට ටයර් එකක් වෙන තැන් වලට මිලට වඩා අඩුවට හම්බ වෙන්න යනවා කියල… එහෙම වෙද්දී එක පාරට සතුටු වෙන්න යන්න එපා… මොකද කඩකාරයා විකුණගන්න බැරුව ස්ටොක් එකේ ඉතුරු වෙච්ච පරණ ටයර් එකක් ඔයාගේ ඇඟේ ගහන්න යනවා වෙන්න පුළුවන්… අන්න ඒ වෙලාවට මේ නිෂ්පාදිත දිනය බලන්න දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් වෙනවා…

සාමාන්‍යෙන් ටයර් එකක් අවුරුදු 3කට වඩා පරණ උනාම එකේ නම්‍යශීලී ගතිය අඩුයි… රබර් හයි වෙලා වගේ තියෙන්න පුළුවන්… ඒ නිසා ඊළඟ සැරේ ටයර් එක ගනිද්දී අනිවාර්යෙන්ම මේ හදපු දවස බලලම ගන්න…

 

ඕව තමයි ටයර් එකක කොටලා තියෙන ප්‍රධාන දේවල්… මීට අමතරව පල්ලෙහා දාල තියෙන අතිරේක විස්තර ටිකත් ඔයාලට ගොඩක් ටයර් වල බලාගන්න පුළුවන්… හැබැයි සමහර ටයර් වල මේ සමහර විස්තර නැති වෙන්නත් පුළුවන්…

 

Threadwear, Traction and Temperature

ඔය Threadwear, Traction and Temperature කියන අගයන් තුන එක ළඟ බලාගන්න පුළුවන්…

  • Threadwear – කියන්නේ ටයර් එක ගෙවීයන සීග්‍රතාවය…මේ අගය වැඩි නම් ඉක්මනට ගෙවෙනවා….
  • Traction – කියන්නේ තෙත පාරක යද්දී ටයර් එක ලිස්සන්නේ නැද්ද කියලා බලලා දෙන අගයක්… AA, A, B, හෝ C කියලා මේ අගය බලාගන්න පුළුවන්… හොඳම රේටින් එක තමයි AA කියන්නේ
  • Temperature – රෝදයක් පාරේ යනකොට රත් වෙනවනේ… අන්න ඒ රත් වීම දරා ගන්න පුලුවන් ප්‍රමාණය තමයි මේ Temperature කියන රේටින් එකෙන් පෙන්නන්නේ… මේකෙදිත් A, B හෝ C කියලා රේටින් 3ක් ලබා දෙනවා… A තමයි හොඳම රේටින් එක…

පහල පෙන්වල තියෙන්නේ ඔන්න ඔය Threadwear, Traction and Temperature අගයන් ටයර් එකක පෙන්වලා තියෙන ආකාරය…

 

ටයර් එකේ නම

ඕන ටයර් එකක නිෂ්පාදකයාගේ නම කොටනවා… මීට අමතරව ටයර් එකට විශේෂිත මොඩල් නමක් තියෙනවා නම් එකත් සමහර නිෂ්පාදකයෝ ටයර් එකේම කොටනවා…  මේක තමයි ගොඩක් වෙලාවට ටයර් එකේ ලොකුවටම පේන්න ගහල තියෙන්නේ…

 

ටයර් එක හදපු රට

ටයර් එක නිෂ්පාදනය කරපු රට ගොඩක් වෙලාවට ටයර් එකේ දකින්න ලැබෙනවා… එහෙම රට ගහලා නැත්තන් පොඩ්ඩක් හොයලා බලන්න… මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද ටයර් මොඩල් දෙකක නිෂ්පාදිත රට ගහල තියෙන හැටි…

 

M + S (Mud and Snow)

ඔයාලගේ ටයර් එකේ M +S හෝ MS කියල ලියල තියෙනවද…? එහෙම තියෙනවා නම් ඒකෙන් කියන්නේ ඔයාගේ ටයර් එක රස්නේ හා සීත යන කාල දෙකේම පාවිච්චි කරන්න සුදුසුයි කියන එකයි… ලංකාවට නම් මේ කතාව එච්චර වැදගත් නැහැ… මොකද ලංකාවට හිම වැටෙන්නේ නැහැ නේ… එත් ඉතින් තිබුනා කියල අවුලකුත් නැහැ…

 

Max Load and Max Tyre Pressure

සමහර ටයර් වල ඒ ටයර් එකට දරාගන්න පුළුවන් උපරිම බර හා හුලන් ගහන්න පුළුවන් උපරිම පීඩනය පෙන්නලා තියෙනවා… ලෝඩ් ඉන්ඩෙක්ස් එක කියන එක අනිවාර්යෙන්ම දකින්න ලැබුනත් මේ විස්තර නම් සමහර ටයර් වල විතරයි මෙහෙම පැහැදිලිව පෙන්වන්නේ… පහළ තියෙන්නේ එහෙම උපරිම බර හා පීඩනය පෙන්වන ටයර් එකක්…

 

මීට අමතරව ටයර් එකක නිෂ්පාදකයාගේ සීරියල් නම්බර් හා වෙනත් ආයතන වලින් නිකුත් කරපු සහතික වගේ දේවල් දකින්න පුළුවන්… හැබැයි ඒවා ගොඩක්ම නිෂ්පාදකයාට ආවේනික විදියට තමයි තියෙන්නේ… ඒ නිසා ඒ වගේ දේවල් ටයර් එකෙන් ටයර් එකට ගොඩක් වෙනස් වෙනවා… නමුත් ටයර් එකක් ගැන ලොකු දෙයක් දැනගන්න මේ විස්තරය ඔයාලට ගොඩක් ප්‍රමාණවත් වේවි….

ඉතින් ඊළඟ සැරේ ටයර් එකක් දැක්කම ටිකක් කිට්ටු වෙලා එයත් එක්ක ටිකක් කතා කරලා බලන්න…