වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑනේ…

ගමනක් යන්න හොඳට ලක ලැස්ති වෙලා එලියට බහින කෙනෙක්ට විඳින්න වෙන කාලකන්නිම අත්දැකීමක් තමා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යන එක… සමහර වෙලාවල් වලදී දෙතුන් පාරක් යතුර දාල කරකවද්දී දෙය්යෝ බලල ස්ටාර්ට් උනත්, තව සමහර වෙලාවල් තියෙනවා මොනවා කලත් එන්ජිම පන ගන්වගන්න බැරුව යන…

ඉතින් ඔහොම එක එක ජිල්මාට් දාල යතුරෙන් ස්ටාර්ට් කරගන්න බැරි වෙනකොට අපේ අය ඊළඟට බහින පොදු නිගමන ටිකක් තියෙනවා… “ස්ටාර්ටර් මොටරේ අව්ලක් වෙන්න ඕන”, “බැටරිය බැහැල වෙන්න ඕන”, එහෙම නැත්තං සෙකුරිටි සිස්ටම් එහෙම දාගෙන නං ඉන්නේ එකේ අව්ලක් වෙන්න ඕන කියල… නමුත් ගොඩක් අය ඒ නිගමන වලට බහින්නේ කිසිම දැනුවත්කමක් නැතුව…

ඊට වඩා කොච්චර හොඳද තමන්ටම තමන්ගේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති හේතුව ගැන නිවැරදි දල අදහසක් ගන්න පුළුවන් නම්… නිකම්ම ගරාජ් බාස් ගාවට ගිහිල්ල “ස්ටාර්ට් වෙන්නේ නෑනේ අනේ, ඇයි දන් නෑ…..” කියන්නේ නැතුව පොඩ්ඩක් වාහනේ අතපත ගාල ඇත්ත හේතුවක් හොයාගන්න දැනගෙන ඉන්න එකත් වෙනම ආතල් එකක් නෙමේද….?

අන්න එහෙම ස්ටාර්ට් වෙන්නේ නැති වාහනයක් නිවැරදිව පරික්ශා කරගන්න තමන්ටම කරගන්න පුළුවන් දේවල් ටිකක් ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ… මේකේ කතා වෙන සමහර කරුණු ටිකක් සංකීර්ණ හා දිග වැඩි හින්දා වෙනම ලිපි වල විස්තර ඇතුව ලියල තියෙනවා… හොඳ දැනුමක් සඳහා ඒවත් බලන්න….

ඒ වගේම මේ ලිපියේ දැක්වෙන කාරණා ගොඩක්ම අදාළ වෙන්නේ පැට්‍රොල් හා ඩිසල් එන්ජින් තියෙන වාහන වලට… හබ්රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන වල ප්‍රශ්න මේ විධි වලින් හොයාගන්න බෑ… හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන වල දෝෂ හොයාගන්න හැටි ගැන වෙනම ලිපියකින් කතා කරමු….

 

දැන් බලමු ස්ටාර්ට් වෙන්නේ නැති වාහනයක් පරික්ෂා කරගන්න ඕන හරි විදිය…

 

එන්ජිම ක්‍රෑන්ක් වෙනවද බලන්න….

ස්ටාර්ට් වෙන්නේ නැති වාහනයක් හම්බ වුනු ගමන් මුලින්ම කරන්න ඕන “එන්ජින් එක ක්‍රෑන්ක් වෙනවද බලන එක”….. ඒ කියන්නේ සරලව කිව්වොත් එන්ජිමේ කැරකෙන්න ඕන කොටස් කරකෙනවද කියල බලන එක… මේක වාහනේ ඇතුලේ ඉඳන්ම දැනගන්න පුළුවන් rpm මීටර් එක දිහා බලලා… යතුර දාලා ස්ටාර්ට් කරන්න හදනකොට rpm මීටර් එක වැඩි වෙලා අඩු වෙලා යනවා නම් ඒ කියන්නේ එන්ජින් එක ක්‍රෑන්ක් වෙනවා…

තමන්ගේ වාහනේ rpm මීටර් එකක් නැත්නම් ඒ අය කරන්න ඕන බොනට් එක ඇරලා එන්ජින් බෙල්ට් දිහා බලන එකයි… යතුර දාල ස්ටාර්ට් කරන වෙලාවේදී ෆෑන් බෙල්ට්, ටයිමින් බෙල්ට් කැරකෙන්න පටන් අරන් නැවතිලා යනවා නම් ඒ කියන්නෙත් එන්ජිම ක්‍රෑන්ක් වෙනවා…. මේ පරික්ෂාවේදී අපි ඇත්තටම කරන්නේ එන්ජිමේ තියෙන ක්‍රෑන්ක් පුලිය කැරකෙනවද බලන එක…

එන්ජින් පුලි ටික බොනට් එක ඇරලා බැලුවම පේන හැටි
රෝදේ ෆුල් කපලා බැලුවම ක්‍රෑන්ක් පුලිය පේන හැටි

එන්ජිම ක්‍රෑන්ක් වෙනවා නම් අපිට විස්වාසයෙන් කියන්න පුළුවන් එන්ජිම සීස් වෙලා නෑ කියලා…. සීස් වෙනවා කියන්නේ එන්ජිම අධික විදියට රත් වෙලා එකේ තියෙන බෙයාරින්, සමහර පිස්ටන් රින්ග් වගේ චලනය වෙන කොටස් උණු වෙලා හොලවන්නවත් බැරි වෙලා යන දරුණු අවස්ථාවකට… මේ පරීක්ෂාවෙන් අපිට එන්ජිම සීස් වෙලාද නැද්ද කියල හරියටම දැනගන්න පුළුවන්….

 

එන්ජින් ලයිට් පත්තු වෙනවද බලන්න….

එන්ජින් එක ක්‍රෑන්ක් උනත් නැතත් එන්ජින් ලයිට් එක නැත්තන් “check engine” ලයිට් එක පත්තු වෙනවද බලන්න ඕන….

ස්ටාර්ට් වෙන්නේ නැති වාහනයක මේක බලන විදිය සාමාන්‍ය අවස්ථාවේ බලනවට වඩා පොඩ්ඩක් වෙනස්… මොකද ප්‍රශ්නයක් තියෙන වාහනේක උනත් චෙක් එන්ජින් ලයිට් එක පත්තුවෙලා තියෙන්නේ වාහනේ පනගැන්විලා තියෙද්දී විතරයි…. ඉග්නිෂන් ඔන් කරලා තියෙද්දී එහෙම නැත්තන් යතුරෙන් ස්ටාර්ට් කරන වාහනේක නම් දෙවනි කට්ටේට යතුර කරකවල තියෙද්දී මේ චෙක් එන්ජින් ලියිට් එක පත්තු වෙලා තිබිල ස්ටාර්ට් කලාට පස්සේ ප්‍රශ්නයක් නැත්තනම් නිවිලා යනවා… ඉතින් ඕක ස්ටාර්ට් වෙන්නෙම නැති වාහනේක බලන්නේ කොහොමද…? මොකද ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම ඔෆ් වෙලා ලයිට් එක නිමිල යනවනේ…

චෙක් එන්ජින් ලයිට් එක තියෙන තැන

මේ අවස්ථාවේදී අපි ස්ටාර්ට් කරන ගමන් චෙක් එන්ජින් ලයිට් එක දිහා කල්පනාවෙන් බලන් ඉන්න ඕන… ඔෆ් වෙද්දී ටිකක් වෙලා ගිහින් නිවෙනවා නම්, එහෙම නැත්තන් ලයිට් එක එකපාරට නැතුව ඩිම් වෙලා ගිහින් නිවෙනවා නම් ඒ කියන්නේ ස්ටාර්ට් නොවිච්ච හින්ද නොපෙනුනාට එන්ජින් එලාම් එකක් අනිවාර්යෙන් තියෙනවා කියන එක තමා….. එතකොට කරන්න තියෙන්නේ තියෙන එන්ජින් එලාම් එක මොකද්ද කියල හරියටම හොයාගන්න එකයි… එන්ජින් එලාම් පරික්ෂා කරගන්න හැටි ගැන විස්තරාත්මක ලිපියක් මෙතනින් බලාගන්න පුළුවන්….

 

ස්පාර්ක් ප්ලග් වැඩද බලන්න….

පෙට්රෝල් එන්ජිමක් නම් ස්පාර්ක් ප්ලග් වැඩ කරනවද කියලත් බලන්න පුළුවන්… මේක ටිකක් වෙලා යන දැනුම ඕන කරන වැඩක්… ඒ නිසා ස්පාර්ක් ප්ලග් පරික්ෂා කරගන්න ආකාරය විස්තරාත්මකව මෙන්න මේ පොස්ට් එකේ තියෙනවා….

ඉහත කාරණා සේරම අව්ලක් නැතිව වැඩ කරනවා නම් එන්ජිමේ ඉලෙක්ට්‍රිකල් පාර්ට් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙන්න විදියක් නැහැ…. ඊළඟට අපි බලන්න ඕන එන්ජිමේ තෙල් සැපයුම හරියට වැඩ කරනවද කියල… ඒ සඳහා මෙන්න මේ පහලින් තියෙන පොඩි පරීක්ෂාවන් ටික කරන්න වෙනවා….

 

ඉන්ජෙක්ටර් වැඩ කරනවද….

මේ ඉන්ජෙක්ටර් පරීක්ෂාවත් ලොකු මහන්සියක් නැතුව ගෙදරම කරගන්න පුළුවන් එකක්… කරන්නේ මෙහෙමයි…

දිග ෆ්ලැට් මුහුණත තියෙන ඉස්කුරුප්පු නියනක් අරගෙන එකේ තලය ඉන්ජෙක්ටර් එකේ යකඩ තියන කොටසක තියන්න ඕන.. ඊට පස්සේ මිට පැත්ත තමන්ගේ කනේ තියාගන්න ඕන, ඉයර්ෆෝන් එකක් ගහගත්තා වගේ…

දැන් කාටහරි කියන්න වාහනේ ස්ටාර්ට් කරන්න කියල….

වාහනේ පණගැන්වෙන වෙලාවේ එහෙම නැත්තන් එන්ජිම ක්‍රෑන්ක් වෙන වෙලාවේදී “ටිකි ටිකි” ගාල සද්දයක් ඇහෙනවා නම් අර ඉස්කුරුප්පු නියන හරහා, ඒ කියන්නේ ඉන්ජෙක්ටර් වල ලොකු ගැටළුවක් නැහැ…. ඔය විදියට ඉන්ජෙක්ටර් හතරම පරික්ෂා කරගන්න ඕන….

ඉන්ජෙක්ටර් සිස්ටම් එක
ඉස්කුරුප්පු නියනක් ආධාරයෙන් ඉන්ජෙක්ටර් පරික්ෂා කරන හැටි

 

සෙන්සර් ටික බලමුද…..

ඉන්ජෙක්ටරුත් වැඩ කරනවා නම් ඊළඟට එන්ජින් එක ස්ටාර්ට් වෙන්න අත්‍යාවශ්‍ය ඇතැම් සංවේදක එහෙම නැත්තන් සෙන්සර් වැඩ කරනවද කියල බලන්න වෙනවා….

සාමාන්‍යෙන් ඔය සෙන්සර් වැඩ කරන්නේ නැත්තන් එන්ජින් එලාම් පෙන්නනවා… නමුත් එලාම් එකක් නැහැ කියන්නේ හැමතිස්සෙම සෙන්සර් එක වැඩ කරනවාම කියන එක නෙමේ.. ඒක නිසා මේ සෙන්සර් චෙක් කරගන්න එක වාහනේ ඇත්ත ප්‍රශ්නේ හොයා ගන්න ගොඩක් වැදගත් වෙනවා…

මේ විදියට බලන්න ඕන සෙන්සර් තමා “ත්‍රොටල් පොසිෂන් සෙන්සර් එක “, “MAP සෙන්සර් එක” සහ “MAF සෙන්සර් එක”…. මේ සෙන්සර් පරීක්ෂාවත් ටිකක් විස්තරාත්මකව කියන්න ඕන දෙයක්… ඒ නිසා පහල ලින්ක් වලින් ඒ පරීක්ෂාවන් ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්…..

ත්‍රොටල් පොසිෂන් සෙන්සර් එක බලන හැටි….
MAP සෙන්සර් එක බලන හැටි….
MAF සෙන්සර් එක බලන හැටි….

 

ඕවත් සේරමත් වැඩ කරනවා නම් ඒ කියන්නේ වාහනයේ තියෙන්නේ යම්කිසි යාන්ත්‍රික දෝෂයක් වෙන්න පුළුවන්… ඊළඟට කරන්න ඕන ඒ පැත්ත ගැන බලන එක…

 

එන්ජිම අන්ඩර් කම්ප්රේෂන්ද …..

ගොඩක් දුවපු වාහන වල සුලබව එන ගැටළුවක් තමයි ඔය එන්ජිමේ කම්ප්‍රේෂන් අඩු වෙන එක එහෙම නැත්තන් අන්ඩර් කම්ප්රේෂන් වෙන එක… මේ සඳහා කරන්න තියන පරික්ෂාව විස්තරාත්මකව මෙතනින් බලාගන්න පුළුවන්…

 

catalytic converter බ්ලොක් වෙලා නැද්ද…

යාන්ත්‍රික දෝෂ හොයද්දි අන්තිමට කරන්න පුළුවන් ටිකක් සංකීර්ණ පරික්ෂාවන ටිකක් තමයි ඔය catalytic converter බ්ලොක් වෙලාද කියල හොයන එක…. වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්…

catalytic converter චෙක් කරන හැටි….

 

ඉහල තියෙන සේරම පරික්ශාවල් කරන්න වෙන්නේ එන්ජිම ක්‍රෑන්ක් වෙනවා නම් විතරයි… හදිසියෙවත් එන්ජිම ක්‍රෑන්ක් වෙන්නෙත් නැත්තන් මොකද කරන්න පුළුවන්…?

 

ගන්න පුලුවන් එක නිගමනයක් තමයි එන්ජිම සීස් වෙලා කියල… හැබැයි එක දිගට තෙල් දාන්නෙත් නැතුව දුර දුවල හොඳටම රත් වෙච්ච වාහනයක් තමයි සාමාන්‍යෙන් සීස් වෙන්නේ… ගෙදර නවත්තල තිබ්බ වාහනයක් උදේට ස්ටාර්ට් කරන්න යද්දී ක්‍රෑන්ක් වෙන්නේ නැත්තන් සීස් වෙලා කියල හිතන්න යන්න එපා…. අන්න ඒ වගේ වෙලාවල් වල පහලින් තියෙන පොඩි ටෙස්ට් ටික කරන්න පුළුවන්….

 

බැටරිය හොඳද ….

මුලින්ම බැටරි ටර්මිනල් දෙක පරික්ෂා කරගන්න ඕන… එතැනදී කනෙක්ටර් එක ගැලවිලාද, බුරුල් වෙලාද එහෙම නැත්තං ටර්මිනල් වල හෝ කනෙක්ටර් වල ලුණු බැදිලද කියල බලන්න පුළුවන්…

එහෙම පේන්න ප්‍රශ්නයක් නැත්නම් වොල්ට්මිටර් එකක් අරගෙන බැටරි එකේ අග්‍ර දෙකට තියලා බලන්න ඕන 12.5V හෝ ඊට වැඩියෙන් පෙන්නනවද කියල,… ඊට අඩු නම් ඒ කියන්නේ බැටරිය මාරු කරන්න කලේ හරි කියන එකයි….

බැටරි එකත් හොඳයි නම් ඊළඟට වොල්ට්මිටර් එක අරගෙන බැටරි එකේ අග්‍රය හා ඒ අග්‍රයටම සම්බන්ධ කනෙක්ටර් එක අතරේ විභව අන්තරයක් තියෙනවද බලන්න ඕන… ඒ දෙක අතර වෝල්ටේජ් එක .5V ට වඩා වැඩි නම් ඒ අග්‍රය හා කනෙක්ටර් එක අතරේ ලූස් කනෙක්ෂන් හෝ ලුණු බැඳීමක් වගේ දෙයක් තියෙන්න ඉඩ තියෙනවා.. ඔය වැඩේ කරද්දී වොල්ට්මිටර් එක තියන්න ඕන විදිය පල්ලෙහා රූපෙන් බලා ගන්න පුළුවන්…

බැටරි එකේ අග්‍ර දෙක අතරේ වෝල්ටීයතාවය මනින හැටි
බැටරි එකේ අග්‍රය හා ඒ අග්‍රයටම සම්බන්ධ කනෙක්ටර් එක අතරේ විභව අන්තරයක් තියෙනවද බලන හැටි

ඒ වගේම කරන්න පුළුවන් තව දෙයක් තමයි වොල්ට්මිටර් එක බැටරි එකේ ධන රින අග්‍ර වලට තියල වාහනේ හෙඩ් ලයිට් ඔන් කරන එක… හෙඩ් ලයිට්‌ ඔන් කරද්දී වෝල්ටේජ් එක ගොඩක් බහිනවා නම් ඒ කියන්නේ ඔබේ වාහනේ බැටරිය සවුත්තු වෙලා කියන එකයි…..

 

ස්ටාර්ටර් මෝටරේ චෙක් කරමු….

වාහනයක් ස්ටාර්ට් වෙන්නේ නැති උනාම ගොඩක් අයගේ ඔලුවට පළවෙනියට එන කාරනාව තමයි ඔය “ස්ටාර්ටර් මෝටරේ අව්ලක් ඇති” කියන එක… හැබැයි ඔය ස්ටාර්ටර් මෝටරේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියල බලා ගන්න එක නම් ටිකක් සංකීර්ණ කාරණාවක්…

මෙතනදී මෝටරේ “ground circuitry”, “relay circuirty” එක වගේම බැටරි එකේ ඉඳලා ස්ටාර්ටර් මෝටරේට යන පාත් එකත් හරියට බලා ගන්න වෙනවා… වැඩේ හරියට දැනගත්තම ලොකු දේකුත් නෙමේ… ටිකක් විස්තර ඇතුව කියන්න ඕන නිසා මේ වැඩේ කරන හැටි ගැන වෙනමම පොස්ට් එකක්ති යෙනවා… ඒක මෙතනින් බලාගන්න පුළුවන්…….

 

රිලේ පැනල් එක චෙක් කලාද…..

තවත් කරන්න පුලුවන් දෙයක් තමයි වාහනයේ ස්ටාර්ටර් රිලේ එක චෙක් කරන එක… මේ ස්ටාටර් රිලේ එක හරියටම පරික්ෂා කරනවා කියන එකත් ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන් දෙයක්… ඒ ගැන හින්ද විස්තරාත්මක ලිපියක් මෙතන තියෙනවා….

රිලේ පැනල් එක සාමාන්‍යෙන් මෙතන තියෙනවා
රිලේ පැනල් එක

ඒත් ගෙදරදීම උපකරණ මොකුත් නැතුව අපිටම ස්ටාටර් රිලේ එක පොඩියට ටෙස්ට් කරගන්න විදියක් තියෙනවා…

පළවෙනියට ස්ටාටර් රිලේ එක තියෙන තැන හොයා ගන්න ඕන… සාමාන්‍යෙන් එන්ජින් බේ තමා ඔය ස්ටාටර් රිලේ එක තියෙන්නේ… ඊට පස්සේ වෙනත් සමාන වැඩකරන රිලේ එකක් අරගෙන ඒක ස්ටාටර් රිලේ එක තියන තැනට ගහල එන්ජිම ස්ටාර්ට් වෙනවද බලන්න පුළුවන්… උදාහරණයක් හැටියට හොර්න් එක වැඩ කරනවා නම් හොර්න් එකේ රිලේ එක ගලවල අරගෙන ස්ටාටර් රිලේ එක තියන තැනට ගහල ස්ටාර්ට් කලාම ස්ටාර්ට් උනොත් ඒ කියන්නේ ස්ටාටර් රිලේ එකේ අව්ලක් තිබිල තියෙනවා….

ස්ටාටර් රිලේ එක බොක්ස් එකේ පෙන්නන හැටි
ස්ටාටර් රිලේ එක තියෙන තැන

 

ෆියුස් ගිහින්ද …?

තවත් කරන්න පුළුවන් දෙයක් තමා ඉග්නිෂන් සිස්ටම් එකට අදාළ ෆියුස් ටික චෙක් කරන එක…. ඒ ෆියුස් මොනවද කොහොමද චෙක් කරන්නේ කියල විස්තර ඇතුව මෙතන කියල තියෙනවා… වැඩි විස්තර ඒ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්…..

 

යතුර හොඳද……

මේ කාරණාව ගොඩක් වැදගත් වෙන්නේ අලුත් වාහන වලට විතරයි….

ගොඩක් අලුත් වාහනවල යතුරේ විශේෂිත කේතයක් නැත්තන් “unique code” එකක් අඩංගු කරලා තියෙනවා… යතුරේ හැඩය ගොඩක් දුරට සමාන උනත් තමන්ගේ වාහනේ ඒ ජාතියේ වෙන වාහනේක යතුරෙන් අරින්න බැරි වෙන්නේ මෙන්න මේ කෝඩ් එක නිසා තමයි…. මේ කෝඩ් එක ස්ටාර්ට් කරන වෙලාවේදී වාහනේ ECU ඒකෙන් තමන් ගාව තියන කේතයත් එක්ක සසඳලා බලනවා…. ECU එකේ ස්ටෝර් කරලා තියෙන කෝඩ් එක යතුරේ තියන කෝඩ් එකත් එක්ක ගැලපෙනවා නම් විතරයි වාහනේ ස්ටාර්ට් වෙන්නේ…..

ඉතින් සමහර වෙලාවට යතුරේ හෝ ECU එක ඇතුලේ යතුර සම්බන්ද පරිපථයක දෝෂයක් නිසා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්… ඉතින් එහෙම දෙයක් ගැන සැක හිතුනොත් කරන්න තියෙන්නේ වාහනේ දෙවැනි යතුරෙන් නැත්තන් “ඩුප්ලිකේට් කී” එකෙන් ස්ටාර්ට් කරන්න උත්සහයක් දරන එක…

එහෙම දෙවැනි යතුරක් නැත්නම්, තියෙන යතුරටත් හානි වෙලා කියල විස්වාස නම් මොකද කරන්නේ….? එතකොට අලුත් යතුරක් අරගෙන එකේ තියෙන කෝඩ් එක වාහනේ ecu එකට ප්‍රෝග්‍රෑම් කරන්න වෙනවා….

 

ක්‍රෑන්ක් පුලිය ඇත්තටම කැරකෙන්නේ නැද්ද….

අපි මේ සේරම දේවල් කලේ එන්ජිම ක්‍රෑන්ක් වෙන්නේ නැතිනම් විතරයි…. මේ එන්ජිම ක්‍රෑන්ක් නොවෙන්නේ වාහනේ විද්‍යුත් පරිපථවල දෝෂයක්ද එහෙම නැත්තනම් ඇත්තටම එන්ජිම ඇතුලෙන් හිරවෙලාද කියල බලාගන්න අවසාන පරීක්ෂාවත් කැමතිනම් අපිට කරන්න පුළුවන්… ඒ තමයි ක්‍රෑන්ක් පුලිය කැරකෙනවද කියල අතින් කරකවල බැලීම…. සමහර බාස්ල මේ වැඩේ තමයි පළවෙනියටම කරන්නේ… එහෙම කරන එකේ කිසිම වැරද්දක් නැහැ… හැබැයි මේක ටිකක් මජං ගෑවෙන වර්ගයේ වැඩක්….

මේකෙදි පළවෙනියට වාහනේ යට රියදුරු අසුන පැත්තේ තියෙන ප්ලාස්ටික් කවරේ ගලවන්න ඕන… මේක තියෙන්නේ එන්ජිමේ ආරක්ෂාවට… මේ කවරේ හයි වෙලා තියෙන හැටි වාහනෙන් වාහනේට වෙනස්… ගොඩක් වෙලාවට බෆර් එකට ඇන වලින් හයි වෙලා තමයි මේ කවරය තියෙන්නේ… කඩන්නේ නැතුව ඒක ගලවගත්තට පස්සේ සිරස් අතට එන්ජිමට හයි වෙලා තියෙන තවත් කවරයක් තියේවි… අන්න ඒ කවරයත් ගලවගන්න ඕන…

ඒ කවරයත් ගැලෙව්වට පස්සේ අපිට එන්ජිමේ ක්‍රෑන්ක් පුලිය ලස්සනට බලාගන්න පුළුවන්…. ඊළඟට කරන්න තියෙන්නේ ගැලපෙන යතුරක් අරගෙන ක්‍රෑන්ක් පුලියේ නට් එකට තියල තද වෙන පැත්තට කරකවල බලන එකයි… එහෙම කැරකෙනවා නම් එන්ජිමේ ඇතුලෙන් හිර වීමක් වෙලා නැති විත්තිය අපිට දැනගන්න පුළුවන්…

හැබැයි මේ වැඩේ කරද්දී සමහර වෙලාවට ඩ්‍රයිවින් සීට් එක පැත්තේ රෝදේ ගලවන්න වේවි… මොකද ක්‍රෑන්ක් පුලිය කරකවන්න ඉඩ මදි වෙන්න පුළුවන් නිසා… එත් රෝද ගලවන්න කලින් කලින් වාහනේ රෝද දකුණු පැත්තට උපරිම කරකවල නැත්තන් දකුණට ෆුල් කපල බලන්න ඕන පුලිය කරකවන්න තරම් ඉඩක් හැදෙනවද කියල… එහෙම හැදෙනවා නම් එතනින් යතුර දාල කරකවල බලන්න ඕන…… පල්ලෙහා රූප වලින් ඔය වැඩේ කරන හැටි පෙන්නලා තියෙනවා…

හැබැයි ඔහොම අතින් කැරකැවෙන්නත් නැතිනම් තත්වය ටිකක් භයානක වෙන්න පුළුවන්… එතකොට කරන්න තියෙන දේවල් විස්තර ඇතුව මේ පොස්ට් එකෙන් කියල තියෙනවා….

රෝදේ ෆුල් කපලා බැලුවම ක්‍රෑන්ක් පුලිය පේන හැටි
රෝදේ අස්සෙන් අත දාල මෙහෙම ක්‍රෑන්ක් පුලිය කරකවල බලන්න පුළුවන්

 

දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් එයි “අපි දැකල නැහැනේ බාස්ල ඔය දේවල් කරනවා” කියල… විශේෂයෙන්ම සෙන්සර් පරීක්ෂාවන් වගේ දේවල්….

ඇත්තටම සමහර ගරාජ් වල වෙන්නේ පේන රෝග ලක්ෂණ ටිකක් බලල පළපුරුද්දෙන් කෑලි මාරු කරන එක… ඇතැම් වෙලාවට සෙන්සර් එකේ තියෙන පොඩි ගැටලුවකට මුලු උපාංගේම දාන්න කියල සමහර බාස්ල නිර්දේශ කරන්න පුළුවන්… අන්න එක නිසා අපේ වටපිටාවේ සාමාන්‍යෙන් දකින්න නොලැබෙන පරික්ෂාවන් බවට මේව පත්වෙලා තියෙනවා….