රිලේ චෙක් කරන හැටි

රිලේ එකක් කියන්නේ මොකක්ද…?

ඒක මොකටද තියෙන්නේ…?

රිලේ කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථවල බහුලව යෙදෙන උපාංගයක්… සරලවම කිව්වොත් රිලේ එකක් කියන්නේ ස්විච් එකක්… ඕගොල්ලෝ දන්නවා ස්විච් එකක් දැම්මම සාමාන්‍යෙන් පරිපථයක වයර් දෙකක් සම්බන්ධ වෙලා කරන්ට් එක යන්න පටන් ගන්නවා… එහෙම නැත්තන් ස්විච් එකකින් පරිපථයක් සම්පූර්ණ කරනවා… රිලේ එකක තියෙන ප්‍රධාන වෙනස තමා මේ ස්විච් එක දැමීමේ ක්‍රියාව වෙන්නෙත් කරන්ට් එකෙන් වීම… ගොඩක් වෙලාවට රිලේ එක හරහා යන කරන්ට් එකට වඩා ඉතා අඩු කරන්ට් එකක් මේ රිලේ එකක් ඔන් ඕෆ් කරන්න භාවිතා කරනවා…

ඒ හින්ද පරිපථයක වැඩි කරන්ට් එකක් ගන්න කොටස හා අඩු කරන්ට් එකක් ගන්න පරිපථයේ පාලක කොටස වෙන් කරන්න රිලේ බහුලව පාවිච්චි කරනවා…

උදාහරණයක් හැටියට අපි වාහනයක ඉතා වැදගත් පරිපථයක් ගනිමු… පහත රූපය බලන්නකෝ.. ඔය රූපයේ ඔබට පේනවා ඇති ස්ටාටර් මෝටරය, ස්ටාටර් මෝටරය ON / OFF කරන අපි යතුර දාල කරකවන ස්විච් එක… ඔය සිව්ච් එකට කියන්නේ ඉග්නිෂන් ස්විච් ( IGNITION SWITCH) කියලා..ඊට අමතරව ඔබට පේනවා ඇති රිලේ එක… සහ බැටරිය…

ඔය රූපයේ හැටියට ඉග්නිෂන් ස්විච් එකයි බැටරියයි වෙනම පරිපථයක් ඒ වගේම ස්ටාටර් මෝටරයයි බැටරියයි වෙනම පරිපථයක්… හැබැයි ඉග්නිෂන් ස්විච් එක අපි START මෝඩ් එකට දාද්දි ( ON කරද්දී) ස්ටාටර් මෝටරයත් ON වෙන්න ඕන… මේ නිසා තමයි ඔය පරිපථ දෙක රිලේ එකකින් සම්බන්ධ වෙලා තියෙන්නේ… රිලේ එකෙන් කරන්නේ බැටරියයි ඉග්නිෂන් ස්විච් එකයි හරහා කරන්ට් එකක් යනකොට ඒ කරන්ට් එක රිලේ එක ඇතුලේ තියෙන කොයිල් එකක් හරහා ගිහින් ඒ කොයිල් එක චුම්භක බලයෙන් එකිනෙකට වෙන් වෙලා තියෙන ලෝහ කොටස් දෙකක් එකට සම්බන්ධ කරන එක.. එතකොට ඔය කොයිල් එක චුම්භක බලයෙන් අර කිව්ව ලෝහ කොටස් දෙක එකට සම්බන්ධ කරන නිසා කොයිල් එක ඒ ලෝහ කොටස්වලට ස්පර්ශ වෙන්නේ නැහැ… ඒ ලෝහ කොටස් දෙක තමයි ස්ටාටර් මොටරයි බැටරියයි අතර ස්විච් එක හැටියට තියෙන්නේ…

රිලේ එකක තියෙන පින් ගණන අනුව විවිධ රිලේ තියෙනවා…. එතකොට රිලේ එකේ කොයිල් එක සම්බන්ධවෙලා තියෙන්නේ මොන පින් දෙකටද, ස්විච් සම්බන්ධවෙලා තියෙන්නේ මොන පින් වලටද, කියලා හොයාගන්න රිලේ එකේ ඇඳලා තියෙනවා…

පහත රූපය බලන්න… පින් හතරේ රිලේ එකක් උඩින් සහ යටින් පේන විදිය ඔබට පේනවා ඇති… ඔන්න ඔය පින් ටික අංක කරලා තියෙනවා හැම රිලේ එකකම වාගේ… ඉතින් ඒ විදියට අංක කරපු පින් ටික තමයි යට රූපේ පෙන්නලා තියෙන්නේ…

පින් හතරේ රිලේ එකක් රිලේ පැනල් එකේ තියෙන හැටි. ඕකේ කොයිල් එක හා ස්විච් එකට සම්බන්ධ පින් රිලේ එකේ කැප් එකේ ඇඳලා තියෙනවා බලන්න පුළුවන්
අංක කරපු පින් ටික

අපි දැන් බලමු රිලේ එක ඇතුලේ මේ පින් ටික කොහොමද තියෙන්නේ කියලා.. පහත රූපය බලන්නකෝ..

ඕකේ  හැටියට 1 සහ 3 යන පින් දෙක කොයිල් එකේ අග්‍ර දෙක…. එතකොට ඔන්න ඔය අග්‍ර දෙකට 12V සප්ලයි එකක් දුන්නම වෙන්නේ අර කොයිල් එක හරහා යන කරන්ට් එක නිසා කොයිල් එකේ කාන්දම් බලයක් ඇතිවෙන එක…

පින් අංක 2ට සම්බන්ධ වෙන්න පුළුවන් පින් අංක 4ට හැබැයි ඒ එක වරම නෙවෙයි කියල රූපය බැලුවොත් ඔබට පෙනේවි… රූපයේ හැටියට රිලේ කොයිල් එකට 12V සප්ලයි එකක් නොමැති අවස්තාවේදී පින් අංක 2 සහ පින් අංක 4  සම්බන්ධ වෙලා නැහැ…… කොයිල් එකට +12V ලබා දෙනකොට පින් අංක 4, පින් අංක 2ට සම්බන්ධ වෙනවා කියල ඉහත රූපය බලද්දී ඔබට පෙනේවි…

 

රිලේ එකක් පරික්ෂා කරන්න දැනගෙන ඉන්න එක වාහන පිස්සෙක්ට තියෙන්න ඕන අනිවාර්ය හැකියාවක්… වාහනේ විවිධ දෝෂ අඳුරගන්න වගේම අඳුරගත්ත දෝෂ තහවුරු කරගන්නත් රිලේ පරික්ෂා කරනවා… ඉතින් අපි බලමු වාහනේක ඕන රිලේ එකක් හරියට පරික්ෂා කරගන්නේ කොහොමද කියල…

 

රිලේ එකක් කොහොමද චෙක් කරන්නේ ?

 

අවශ්‍ය දේවල්

  • මල්ටිමීටරයක්
  • 12V බැටරියේ සප්ලයි එකක්
  • ක්‍රොකඩයිල් ක්ලිප් කිහිපයක්

 

කරන ක්‍රමය

රිලේ එකක් චෙක් කරන්න නම්, ඒක රිලේ පැනල් එකෙන් ගලවලා තමයි චෙක් කරන්න ඕන.. එතකොට රිලේ එකක් ගලවන්න පුළුවන් පහත රූපයේ ආකාරයට ඇඟිලි වලින් රිලේ එකේ අඩියේ තියෙන ප්ලාස්ටික් තට්ටුව තදින් අල්ලලා උඩට ඇද්දම… මෙහිදී ඔබගේ වාහනය ටිකක් පරණ නම් ලේසියෙන් ඇදිලා එන්නේ නැතිවෙන්න පුළුවන්… ඒකට ටිකක් දඟලන්න ඕන, කලබල නොවී…

රිලේ එකක් හරි විදියට ගලවද්දී අල්ලන්න ඕන විදිය

මතක තියාගන්න රිලේ එකේ අපි කලින් කිව්ව අර කොයිල් එක වැහිලා තියෙන ප්ලාස්ටික් වැස්ම අල්ලලා අදින්න එපා කියන එක.. මොකද එක ඇද්දොත් ඒ ප්ලාස්ටික් වැස්ම කැඩිලා රිලේ එක එහෙම්මම තියෙන්නේ ප්ලාස්ටික් වැස්ම අතට එයි…

පහත රූපයේ තියෙන්නේ අන්න එහෙම අපරික්ෂාකාරීව ගලවපු රිලේ එකක ඇතුල… ඔය තඹ කම්බි වලින් ඔතලා තියෙන දඟරය තමයි අර කිව්ව කොයිල් එක…

ප්ලාස්ටික් වැස්මෙන් අල්ලලා ඇදල වැස්ම කැඩිච්ච අවස්ථාවක්
අපරික්ශාකරිව ගලවල වැස්ම ගැලවිච්ච රිලේ එකක ඇතුල පේන හැටි

රිලේ එක චෙක් කරන විදිය කියන්න අපි කලින් කිව්ව පින් හතරේ රිලේ එකම උදාහරණයකට ගනිමු…

ඔබ මෙහිදී මුලින්ම හොයාගන්න ඕන අර ඉහත කිව්ව කොයිල් එකේ පින් දෙකයි ( පින් අංක 1 සහ 3) ඒ වගේම කොයිල් එක අනුව ස්විච් වෙන පින් දෙකයි ( පින් අංක 2 සහ 4), රිලේ එකේ කොතනද තියෙන්නේ කියලා.. සමහර රිලේ වෙලා බලන්න දෙයක් නැහැ.. ඉහත රූපය ඇඳලා තියෙනවා රිලේ එකේ ප්ලාස්ටික් කැප් එකේ…. නමුත් සමහර රිලේවල එහෙම ඇඳලා නැහැ…ඒ වෙලාවට කරන්න තියෙන්නේ රිලේ එක ගලවපු පැනල් එකේ ඒ ඒ පින් සම්බන්ධවෙන තැන් වලින් ඒ රිලේ එකට අදාළ ස්විච් එක දාපුවාම +12V පෙන්නන්නේ මොන තැන් දෙක හරහාද කියලා බලන එකයි… අන්න ඒ තැන දෙකට වදින රිලේ එකේ පින් දෙක තමයි කොයිල් එකේ පින් දෙක..

උදාහරණයකට අපි ගනිමු හෙඩ් ලයිට් එකට අදාළ රිලේ එක.. මේ රිලේ එකේ පින් සම්බන්ධවෙන්නේ කොහොමද කියලා ඇඳලා නැතිනම්,

  1. රිලේ එක ගලවන්න…
  2. ඊළඟට රිලේ එක සම්බන්ධ පැනල් එකේ රිලේ එකේ පින් සම්බන්ධවෙලා තියෙන තැන් අඳුරගන්න…
  3. ඒ තැන වලින් තැන දෙකක් තෝරාගෙන මල්ටිමීටරයේ අග්‍ර දෙක ඒ තැන් දෙකට සම්බන්ධ කරන්න. මෙහිදී මල්ටිමීටරයේ DC voltage මොඩ් එකට දාගෙන තියාගන්න ඕන.
  4. යාලුවෙක්ට කියන්න හෙඩ් ලයිට් ස්විච් එක දාන්න කියලා.
  5. ස්විච් එක දාද්දී මල්ටිමීටරයේ 12V පෙන්නනවද කියලා බලන්න.
  6. 12V පෙන්නන්නේ නැතිනම් ඉහත දේම වෙනස් තැන් දෙකකට ට්‍රයි කරන්න…
  7. හෙඩ් ලයිට් ස්විච් එක දාද්දී 12V පෙන්නන්නේ මොකේද ඒ තැන් දෙකට වදින පින් දෙක තමයි රිලේ එකේ කොයිල් එකට සම්බන්ධ පින් දෙක…

 

දැන් අපි බලමු රිලේ චෙක් කරන විදිය…

මුලින්ම ඔබ කරන්න ඕන කොයිල් එක වැඩකරන තත්වයේ තියෙනවාද කියන එක..ඒක බලන්නේ කොයිල් එකේ ප්‍රතිරෝධය මල්ටිමීටරයෙන් මැනලා… මෙහිදී සාමාන්‍යයෙන් ඕනෑම රිලේ එකක ප්‍රතිරෝධය 50Ω සහ 120Ωඅතර වෙනවා… එතකොට මල්ටිමීටරය ප්‍රතිරෝධ මෝඩ් එකට දාල අදාළ ප්‍රතිරෝධ පරාසය තෝරාගෙන ( 200Ω පැහැදිලිව පෙනෙන පරාසය) මල්ටිමීටරයේ අග්‍ර දෙක ඔබ සොයාගත් කොයිල් එකේ අග්‍ර දෙකට සම්බන්ධ කර බලන්න… එවිට ඉහත ආකාරයේ 50Ω සිට 120Ω අතර අගයක් ඔබට පෙනෙනවානම් කොයිල් එක වැඩ කරනවා කියල ඔබට නිගමනය කරන්න පුළුවනි….පහත රූපය බලන්න…

කොයිල් එක හරි තත්වයේ තියෙනවද කියල බැලුවට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ කොයිල් එකෙන් ස්විච් එක වැඩකරවනවද  කියලා බලන එක… මෙහිදී ඔබ කොයිල් එක සම්බන්ධ වෙලා තියෙන පින් දෙකට 12V සප්ලයි එකක් දෙන්න ඕන මුලින්ම.. වයර් කෑලි දෙකක් අරගෙන ඒ දෙකේ එක පැත්තක්  බැටරියේ ධන අග්‍රයටයි ඍණ අග්‍රයටයි සම්බන්ධ කරන්න… (වයර් දෙකේ අනිත් කෙලවර දෙක එකිනෙක ගාවන්න එපා.. බැටරිය ෂෝර්ට් වෙයි.. ඒ නිසා පරෙස්සමෙන්…) 

ඊළඟට වයර් දෙකේ අනිත් කෙලවර අරගෙන ක්‍රොකඩයිල් ක්ලිප් අධාරයෙන් රිලේ එකේ කොයිල් එකට සම්බන්ධ අග්‍ර දෙකට සම්බන්ධ කරන්න….  දැන් ඔබ මල්ටිමීටරය කනෙක්ටිවිටි මෝඩ් එකට දාල මල්ටිමීටරයේ අග්‍ර දෙක පින් අංක 2 සහ 4 සම්බන්ධ කරන්න… පහත රූපය බලන්න…

එවිට ඔබට මල්ටිමීටරයෙන් කනෙක්ටිවිටි පෙන්විය යුතුයි.. දැන් ඔබ බැටරියට සම්බන්ධ කර ඇති වයර් දෙකෙන් එකක් ගලවන්න ( ඒ කියන්නේ කොයිල් එකට එන 12V සප්ලයි එක නවත්වන්න).. එවිට මල්ටිමීටරයේ කනෙක්ටිවිටි නොපෙන්විය යුතුයි….පහත රූපය බලන්න…