ලයිට් සියල්ල පරික්ෂා කිරීම

ඇත්තටම වාහනවල ලයිට් හයි කරලා තියෙන්නේ මොකටද?….

ගොඩක් අය කියාවි රෑ ගමන් යන්න ලේසි වෙන්න කියල… ප්‍රධාන හේතුව ඒක තමයි… එත් වාහනේකට ලයිට් හයි කරන්නේ රෑට ගමන් යන්න පාර එලිය කරන්න විතරක්ම නෙමේ… වැඩිය හිතුවේ නැති උනාට ලයිට් වලින් ගොඩක් කාර්යයන් ඉෂ්ට කරලා දෙනවා… ඒක හින්දා වාහනේක තියෙන ලයිට් වර්ග ටිකයි ඒවායින් වෙන වැඩ ටිකයි දැනගෙන ඉන්න එක වටිනවා…

ඉතින් අපි බලමු ඕන වාහනේක එන ස්ටෑන්ඩර්ඩ් ලයිට් ජාති ටික මොනවද කියල….

 

හෙඩ් ලයිට්

රෑට එලවන්න පාර එලිය කරලා දෙන්නේ මේ “හෙඩ් ලයිට්” තමයි… ඒ එක්කම රෑට වාහනයක් එනවා කියල අනික් වාහන හා පදිකයෝ දැනගන්නෙත් මේ හෙඩ් ලයිට් එළියෙන් තමයි…
“ලෝ බීම්, හයි බීම්” කියල හෙඩ් ලයිට් ජාති දෙකක් තියෙනවා… ලෝ බීම් එකේ එලිය ගොඩක් දුර වදින්නේ නැහැ… ඒ වගේම උඩට වදින්නේත් නැහැ… ඉස්සරහින් එන වාහන හා මිනිස්සු ගිනිකන වට්ටන්නේ නැතුව එලවන්න පුළුවන් තරමේ ප්‍රමාණවත් එළියක් මේ ලෝ බීම් ලයිට් වලින් දෙනවා… “හයි බීම්” ලයිට් වලින් දෙන්නේ ගොඩක් ප්‍රබල කෙලින්ම ඉස්සරහට හරවලා තියෙන ආලෝක ධාරාවක්… ඒ හින්ද හරිනම් හයි බීම් ලයිට් පාවිච්චි කරන්න ඕන ඉස්සරහින් යන හෝ එන කිසිම වාහනයක් නැති වෙලාවට විතරයි…

 

ටේල් ලයිට්

ටේල් ලයිට් රතු පාටයි… හයි කරන්නේ වාහනේ පිටිපස්සෙන් … හෙඩ් ලයිට් “ඔන්” කරද්දී “ඔන්” වෙන විදියට තමයි ටේල් ලයිට් වයර් කරන්නේ… රෑට පස්සෙන් එන වාහන වල රියදුරන්ට ඔබේ වාහනේ ඉස්සරහින් යන බව හා යන්නේ කොච්චර දුරකින්ද කියල දැනගන්න මේ ටේල් ලයිට් උදව් වෙනවා…

 

සිග්නල් ලයිට්

සාමාන්‍යෙන් වාහනේක මේ සිග්නල් ලයිට් අඩුම හතරක් තියෙනවා… පිටිපස්සේ ටේල් ලයිට් දෙක ගාව දෙකක් තියෙනවා… ඉස්සරහා හෙඩ් ලයිට් දෙක ගාව අනික් දෙක තියෙනවා… ඊට අමතරව වාහනේ මොඩල් එක අනුව වින්කර් මිරර් තියෙනවා නම් කන්නාඩි දෙකේත්, තවත් සමහර වාහන වල වාහනේ බඳේ දෙපැත්තෙත් මේ සිග්නල් ලයිට් බලාගන්න පුළුවන්… වාහනේ හරවද්ද්දී හරවන පැත්තේ සිග්නල් ලයිට් එක දාන්න ඕන… එතකොට වාහනේ හරවන පැත්ත ඉස්සරහින් හා පස්සෙන් එන වාහනවල රියදුරන්ට දැනගන්න පුළුවන්… වාහනේ රිවස් කරද්දීත් පත්තු වෙන්නෙත් මේ සිග්නල් ලයිට් වලින් පස්සේ ලයිට් දෙක තමයි… හැසාඩ් ලයිට් ස්විච් එක දැම්මම නිවී නිවී පත්තු වෙන්නෙත් මේ සිග්නල් ලයිට්ම තමයි…

 

බ්‍රේක් ලයිට්

බ්‍රේක් ගහද්දි පත්තු වෙන්නේ මෙන්න මේ “බ්‍රේක් ලයිට්”… බ්‍රේක් ලයිට් දෙක සාමාන්‍යෙන් තියෙන්නේ පිටිපස්සේ ටේල් ලයිට් එක ගාව… අපි වාහනේ නවත්තන්න හෝ ස්ලෝ කරන්න යනවා කියල පිටිපස්සේ වාහන වල රියදුරන්ට දැනගන්න මේ බ්‍රේක් ලයිට් එක ගොඩක් උදව් වෙනවා…

 

ෆොග් ලයිට්

මීදුම තියෙන පාරක එලවද්දී හෙඩ් ලයිට් විතරක් පාවිච්චි කලොත් හෙඩ් ලයිට් වල එලිය මීදුමෙන් පරාවර්තනය වෙලා මොකුත් පෙන්නේ නැතුව යන්න පුළුවන්… ඕක හින්ද ගොඩක් යට ලෙවල් එකකින් ප්‍රබල ලයිට් දෙකක් හයි කරනවා “ෆොග් ලයිට්” කියල… මීදුම සාමාන්‍යෙන් ගොඩක් පොලවට කිට්ටුවෙන් තියෙන්නේ නැති හින්දා යට ලෙවල් එකෙන් පාර සෑහෙන දුරකට එලිය කරන්න ෆොග් ලයිට් වලට පුළුවන්… ලංකාවේ නම් ෆොග් ලයිට් කියන්නේ ලස්සනට දාගෙන යන එකක්…

 

ඩේ ටයිම් රනිං ලයිට්

අලුත් වාහන වල දකින්න ලැබෙන ලස්සන අංගයක් තමයි ඔය “Day Time Running Lights”… ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ ඔය ලයිට් වාහනේකට එකතු කරන්නේ ලස්සන වැඩි කරන්න විතරයි කියල… ලස්සන වැඩි උනත්, ඔය ලයිට් හයි කරන්න මුලික හේතුව වෙලා තියෙන්නේ වාහනේ ආරක්ෂාකාරී බව වැඩි කරන්න… දවසේ වැඩි කාලයක් හිරු එලිය හරියට හම්බ වෙන්නේ නැති යුරෝපිය රටවල් වල නීතියෙන්ම අනිවාර්ය කරලා තියෙන අංගයක් තමයි ඔය “Day Time Running Lights” කියන්නේ… එන්ජින් එක “ඔන්” කරද්දී ඔන් වෙන ඩිම් LED ලයිට්, “ඩේ ටයිම් රනිං ලයිට්” විදියට පාවිච්චි කරනවා… අඩු එළියක් තියෙන වටපිටාවටක වාහනේ කැපී පෙනෙන බව වැඩි කරන්න මේ ලයිට් උදව් වෙනවා… ලංකාවේදී නම් වාහනේ ලස්සන කරනවා ඇර වෙන ලොකු දෙයක් මේ ලයිට් කරන්නේ නැහැ..

 

ඕව තමයි වාහනේක සාමාන්‍යෙන් හයි කරන ස්ටෑන්ඩර්ඩ් ලයිට් ටික… මීට වඩා වෙනස් ලයිට් වාහනේ ලස්සන කරන්න කියල සමහරු හයි කරගන්නවා… ලස්සන කරගන්න කියල හයි කලත් තිබ්බටත් වඩා කැත වෙන වෙලාවලුත් තියෙනවා…

 

ලයිට් කියන්නෙත් වෙනස් වෙලා විනාශ වෙලා යන දෙයක්… හැබැයි ගමනක් යන මැද්දේ එහෙම විනාස වෙලා ගියොත් අනිවාර්යෙන්ම නොහිතපු අකරතැබ්බ වලට මුහුණ පාන්න සිද්ද වෙනවා… මහා රෑ ලයිට් නැතුව එන වාහනයක් කියන්නේ පොලිස් මාමලත් දකින්න ඉතාම ආශා කරන දර්ශනයක්… ඒ හින්ද හරි කාලෙට ලයිට් ටික පරික්ෂා කරගන්න ඕන… සාමාන්‍යෙන් අන්තිමට මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 10000ක් ගියාම එන සර්විස් වලදී මේ ලයිට් සියල්ල පරික්ෂා කරන එක කරන්න ඕන…

ලයිට් පරික්ෂා කරනවා කියන්නේ සර්විස් චෙක්ලිස්ට් එකක තියෙන සරලම අංගයක්… කරන්න තියෙන්නේ ලයිට් ටික පත්තු වෙනවද?, ඩිම් වීමක් එහෙම පේන්න තියෙනවද?,  ලයිට් දෙකේ ප්‍රබලතා වල වෙනසක් තියෙනවද? වගේ දේවල් බලන එක… හැමෝටම තේරෙන දෙයක් උනත් පොස්ට් එක සම්පුර්ණ වෙන්න ඕන නිසා කරන්න ඕන දේවල් ටික පියවර හැටියට පහලින් ලියන්නන්…

 

ලයිට් සියල්ල පරික්ෂා කරන හැටි

අඳුරු වෙලාවක තැනිතලාවකට වාහනේ අරගෙන එන්න…

පිස්සු වැඩක් වගේ පෙනුනත් හරියටම වැඩේ කරගන්න මේ වගේ තැනකට ගේනවා නම් හොඳයි… හෙඩ් ලයිට් එක හරියටම ඈතට වදිනවද බලන්න ටිකක් ඉඩ තියන තැනක් වෙන්න ඕන…

 

හෙඩ් ලයිට් එකේ හයි බීම් හා ලෝ බීම් ලයිට් පරික්ෂා කරන්න…
මේකෙදි “ලෝ බීම්” ලයිට් දෙක හා “හයි බීම්” පත්තු වෙනවද බලන්න ඕන… හයි බීම් එක ඈතට ප්‍රබලව සමබරව වදිනවද බලන්නත් ඕන…

 

ටේල් ලයිට් පරික්ෂාව
හෙඩ් ලයිට් දාපු ගමන් ටේල් ලයිට් පත්තු වෙන්නත් ඕන… හෙඩ් ලයිට් ඕන කරලා එලියට බැහැල බලන්න ටේල් ලයිට් දෙකම පත්තු වෙනවද කියල…

 

සිග්නල් ලයිට් පරික්ෂාව…
වමට සිග්නල් දාල වම් පැත්තේ ඉස්සරහ හා පිටිපස්සේ සිග්නල් දෙක පත්තු වෙනවද බලන්න… ඊට පස්සේ දකුණු පැත්තේ ලයිට් බලන්න… හරි සංක්‍යාතයෙන් නිමි නිමි පත්තු වෙන්න ඕන…

 

හැසාඩ් ලයිට් පරික්ෂාව…
හැසාඩ් ලයිට් බටන් එක ඔබල එලියට බැහැල බලන්න සිග්නල් ලයිට් සේරම නිවී නිවී පත්තු වෙනවද කියල…

 

බ්‍රේක් ලයිට් පරික්ෂාව…
මේ වැඩේට දෙන්නෙක් ඕන… එක්කෙනෙක් වාහනේ ඇතුලේ ඉඳල බ්‍රේක් පැඩල් එක පාගද්දී අනික් කෙනා වාහනේ පිටිපස්සේ ඉඳල බ්‍රේක් ලයිට් දෙක පත්තු වෙනවද බලන්න ඕන…

 

රිවස් සිග්නල් ලයිට් පරික්ෂාව…
මේකටත් දෙන්නෙක් ඕන… එක්කෙනෙක් වාහනේ ඇතුලේ ඉඳන් රිවස් ගියර් එකට දැම්මම අනික් කෙනා පිටිපස්සේ සිග්නල් ලයිට් දෙකම පත්තු වෙනවද බලන්න ඕන…

 

පාකින් ලයිට් පරික්ෂාව…
වාහනේ එන්ජිම ඕෆ් කරලා පාකින් ලයිට් ස්විච් එක දාල බලන්න ඕන ඉස්සරහෙයි පිටිපස්සෙයි පාකින් ලයිට් පත්තු වෙනවද කියල…

 

ඇතුලේ ලයිට් පරික්ෂාව…
මේ ගමන්ම වාහනේ ඇතුලේ ලයිට් ටිකත් බලන්න පුළුවන්… දොරවල් ඇරල තියෙද්දී පත්තු වෙන ලයිට් තියෙනවා නම් ඒවත් හරි විදියට පත්තු වෙනවද කියල බලාගෙනම ඉන්න…

 

අනික් සේරම ලයිට් පරික්ෂාව…
ඊට පස්සේ ඔයාලගේ වාහනේ තව හයි කරලා තියෙන අනික් සේරම ලයිට් ටිකත් පත්තු වෙනවද බලන්න… මේ විදියට ෆොග් ලයිට්, ඩේ ටයිම් රනිං ලයිට්, ස්පොයිලර් එහෙම හයි කරන ඉන්නවා නම් ඒවායේ තියෙන ලයිට් සේරම පත්තු වෙනවද බලන්න…

ඔය ටික තමයි ලයිට් පරික්ෂාවේදී කරන්න තියෙන්නේ…