ලිස්සන් නැතුව යන්න – ABS බ්‍රේක් සිස්ටම් එක

කුරුල්ලෙක් වගේ හුලං කපාගෙන පියාඹලා යන්න කව්රුත් ආසයි… එත් ඉතින් අපට කෝ අත්තටු… ??

අත්තටු නෑ කියල ප්‍රශ්නයක් නැහැ… කුරුල්ලා වගේ ඉගිලෙන්න අපිට උදව් කරන හිතමිත්‍රයෙක් අපි බොහෝ අයට ඉන්නවා… ඒ තමයි අපේ වාහනය…  

ඒ හින්දා පාරේ ඉඩ ලැබුණු හැම වෙලාවකම අපි හදන්නේ ඉගිල්ලෙන්න… වැඩිය වාහන නැති හයිවේ එකක් ගාවට ගිහින් බලන් හිටියොත් එහෙම එහෙම සුළං රොදේ ඉගිල්ලිලා යන “වාහන කුරුල්ලෝ” ඕන තරම් බලාගන්න පුළුවනි… 

හැබැයි මෙහෙම යන්න කලින් පාරේ තත්වය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන… විශේෂයෙන්ම වැහි කාලේදී ඔහොම යන්න ගියොත් එහෙම පෙට්ටියෙන් ගෙදර එන්න තියෙන සම්භාවිතාව වැඩියි… මොකද පැයට කිලෝමීටර් 100ක් විතර වේගෙන් යන කිලෝග්‍රෑම් 1000 කටත් වැඩි වඩා බරක් ඇති යකඩ ගොඩක් එක පාරට නවත්තනවා කියන එක සෙල්ලම් වැඩක් නොවන හින්දා… පාර ලිස්සනවා නම් ඔය කාර්යයය ඊටත් වඩා අමාරුයි… 

හැබැයි වර්තමානයේ අපි දැකල තියෙනවාද වහිනවා කියල ඉබ්බෝ වගේ ගාටන වාහන…?

තඩි ප්‍රාඩෝ එකක් උනත් වහිද්දි කිසි බය සැකක් නැතුව 70 – 80 ට පාගනවා මේ කාලේදී දකින්න පුළුවන්… පාර මේච්චර ලිස්සද්දී කොහොමද මේ රියදුරෝ බය සැකක් නැතුව ඔච්චර වේගෙන් යන්නේ…? ඒ වගේම කොහොමද මෙච්චර වේගෙන් යන වාහනයක් ලිස්සන පෘෂ්ටයක මේ තරම් ඉක්මනට නවත්තගන්නේ…? ඕව දැවෙන ප්‍රශ්න…

මේ සියල්ලටම උත්තරයක් හැටියට, එහෙම නැත්තන් වාහන වල බ්‍රේක් සිස්ටම් වල කාර්යක්ෂමතාවය ඉහල දැමීම අරමුනු කරගෙන ලෝකෙට හඳුන්වල දීල තියෙන සුපිරි තාක්ෂණයක් ගැන තමයි අද අපි මේ පිටුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… ඒ තමයි නම කිව්ව පමණින් ඔබ දන්න “ABS තාක්ෂනය”… එහෙම නැත්තන් “Antilock Braking System” කියන එකේ අලගිය මුලගිය තැන් සේරම ගැන අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා… 

 

අලුත් වාහනවල ගොඩක්ම දකින්න ලැබුනට ABS තාක්ෂනය කියන්නේ එක්දාස් නමසිය බර ගණන්වල හොයාගත්ත තාක්ෂණයක්… මුලික කන්සෙප්ට් එක ආවේ 1908 තරම් ඈතක කියලත් කියනවා… හැබැයි අද පාවිච්චි කරන සිස්ටම් එකට ලඟින්ම යන ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එක මුලින්ම ඇවිල්ල තියෙන්නේ 1971 වගේ කාලෙක… ක්‍රයිස්ලර් කියන ඇමරිකානු කාර් කොම්පැනිය තමයි මේ සිස්ටම් එක මුලින්ම වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ… 

 

මොකද්ද මේ ABS කියන්නේ 

Antilock කියන ඉංග්‍රීසි වචනේ තේරුම ලොක් නොවන කියන එක… එතකොට නමේ අර්ථයෙන්ම “Antilock Braking System” කියන්නේ රෝද ලොක් නොකරන බ්රේක් සිස්ටම් එක කියන එක… හරියටම කිව්වොත් ABS තියෙන වාහනේක බ්‍රේක් වැදිලා තියෙද්දී පවා රියදුරාට වාහනයේ පාලනය තියෙනවා… 

ඒ කියන්නේ අපි හිතමු ABS නැති වාහනයක් ලිස්සන පෘෂ්ටයක වේගෙන් යනවා කියල… මේ වෙලාවේ රියදුරා බ්‍රේක් පෑගුවොත් රෝද සේරම බ්‍රේක් හින්දා ලොක් වෙනවා, එහෙම නැත්තන් කැරකෙන්නේ නැතුව යනවා… මේ වෙලාවේ යන්නේ ලිස්සන සුළු මතුපිටක නම් වාහනේ අනිවාර්යෙන්ම ඉස්සරහට ලිස්සන්න තියෙන ඉඩ වැඩියි… ඒ වගේම රියැදුරා මොකක් හරි බාධකයක් මග හරින්න සුක්කානම වමට දකුණට කැපුවට රෝද ලොක් වෙලා ලිස්සගෙන යන හින්ද ඒ කැපිල්ලෙන් වැඩක් වෙන්නේ නැහැ… වාහෙනේ ලිස්සගෙන යන පැත්තටම තමයි යන්නේ… 

හැබැයි ABS තියෙන වාහනේක බ්‍රේක් ගහල තියෙද්දිත් ස්ටියරින් එකේ කොන්ට්‍රෝල් එක තියෙනවා… එහෙම නැත්තන් ලිස්සන පෘෂ්ටයක හදිසියේ බ්රේක් ගැහුවත් රියදුරාට සුක්කානම කරකවල තමන්ට ඕන පැත්තට වාහනේ ගෙනියන්න පුළුවන්… 

ඒ වගේම ඉතාම වැදගත් දේ තමයි  ABS තියෙන වාහනයක් ලිස්සන මතුපිටක බ්‍රේක් ගැහුවත් පාලනයකින් තොරව ලිස්සන්නේ නැහැ… ඒ හින්ද  ABS නැති වාහනේකට සාපේක්ෂව ABS තියෙනව වාහනයක් ලිස්සන මතුපිටක නවතින්න යන දුර අඩුයි… මොකද ඉතින් ලිස්සනවා අඩුයි නේ…

සරලව කිව්වොත් ABS සිස්ටම් එකක් තියෙන වාහනේක හදිසි බ්රේක් පාරකදී වාහනයේ පාලනය වැඩියි… ඒ වගේම ABS නැති වාහනේකට සාපේක්ෂව ලිස්සන මතුපිටක නැවතුම් දුර අඩුයි… ඒ හින්ද ABS කියන දේ වාහනේක ආරක්ෂාවට නැතිවම බැරි දෙයක් බවට මේ වෙද්දී පත් වෙලා ඉවරයි… ඕනෑම හොඳ අලුත් වාහනේක අනිවාර්යෙන්ම මේ ABS අඩංගු කරන්න නිෂ්පාදකයෝ වගබලා ගන්නවා… 

 

බැලුවම ABS කියන්නේ හිතාගන්න බැරි විදියේ ක්‍රියාවක් කරන සිස්ටම් එකක්… ඉතින් දැන් අපි බලමු මේ ABS සිස්ටම් එක කොහොමද මේ වික්‍රමය කරන්නේ කියල… 

 

ABS ඇත්තටම වැඩ කරන්නේ කොහොමද

ABS වල මේ “නොලිස්සන ක්‍රියාන්විතය” පිටිපස්සේ තියෙන්නේ බොහොම සරල සිද්ධාන්තයක්… ඒ තමා ABS වලදී රෝදේ එක දිගට ලොක් කරගෙන ඉන්නේ නැහැ… විටින් විට ලොක් කරමින් රෝදෙට බ්‍රේක් ලබාදීම මේකෙදි සිද්ද වෙනවා… 

මේ සිද්ධාන්තය හරියට තේරුම් ගන්න නම් ලිස්සන රෝදයක හා නොලිස්සා කරකැවෙන රෝදයක වෙනස අපි අවබෝධ කරගන්න ඕන… දැන් බලමු මොකද්ද ඒ කිව්වේ කියල…

රෝදයක් යම් මතුපිටක ලිස්සල යද්දී ඒ රෝදය හා මතුපිට අතරේ බැඳීම අඩුයි… එහෙම නැත්තන් ටයර් එක පොලව බදාගෙන සිටින ප්‍රමාණය අඩුයි… 

දැන් හිතන්න රෝදයක් ලිස්සන මතුපිටක් උඩ කැරකෙමින් යනවා කියල… අපි මේ රෝදෙට දෙන බලය එන්න එන්න වැඩි කරමින් බ්‍රේක් කලොත් රෝදේ වේගය එන්න එන්න අඩු වෙනවා… හැබැයි එක වේලාවකදී අපි දෙන බ්රේක් එකේ පවර් එක ගොඩක් වැඩි උනොත් රෝදේ කැරකීම නැවතිලා ලිස්සන්න පටන් ගන්නවා… එතකොට අපි ඊළඟට කොච්චර බ්‍රේක් එකේ බලය වැඩි කලත් වැඩක් නැහැ… මොකද රෝදේ ලිස්සල යන හින්දා…

මෙන්න මේ වෙලාවේදී අපි බ්‍රේක් එකේ බලය ටිකක් අඩු කලොත් මොකද වෙන්නේ…? එතකොට ආයෙත් රෝදේ ලිහිල් වෙන හින්දා ලිස්සීම නැවතිලා කැරකෙන්න පටන් ගන්නවා… හැබැයි කලින් බ්‍රේක් කරපු හින්ද කලින්ට වඩා අඩු වේගෙකින් තමයි දැන් කැරකෙන්නේ… 

හිතන්න ඔහොම කැරකෙන්න පටන් ගත්ත ගමන් අපි නැවතත් බ්‍රේක් එකේ බලය  හෙමින් හෙමින් වැඩි කරනවා කියල… එතකොට රෝදය කලින් වගේම එන්න එන්න හෙමින් කැරකෙන්න පටන් ගන්නවා… මෙතනදීත් එක ප්‍රමාණයකට වඩා බ්‍රේක් එකේ බලය වැඩි වෙච්ච ගමන් කලින් වගේම කැරකෙන්නේ නැතුව ලිස්සන්න පටන් ගන්නවා… හැබැයි දැන් මේ ලිස්සිම සිද්ද වෙද්දී මුලින්ම තිබ්බට වඩා රෝදේ වේගය ගොඩක් අඩු වෙලා කියල ඔයාලට තේරෙන්න ඕන… 

ඔන්න ඔහොම රෝදේ ලිස්සන ලිස්සන වෙලාවට ඔටෝමැටිකලි බ්‍රේක් පවර් එක අඩු කරලා ආයේ කැරකෙන්න ගත්තම වැඩි කරන විදියක් තිබ්බොත් මොකද වෙන්නේ… ඔබට තේරෙන්න ඕන එහෙම සිස්ටම් එකක් තියෙන වාහනයක් ලිස්සන්න තියෙන ඉඩ ගොඩක් අඩු බව… ඒ වගේම ඉතාම අඩු දුරකදී වාහනේ වේගය අඩු කරලා හොඳ පාලනයක් ඇතුව ගෙනියන්න පුළුවන් බව… 

ඕන් ඔය කිව්ව කාරණේ ඔටෝමැටිකලි කරන ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකට තමයි ABS කියන්නේ… ABS සිස්ටෙම් එකේදී බ්‍රේක් ෆ්ලුයිඩ් ප්‍රෙෂර් එක රෝදේ ලිස්සනවද නැද්ද කියන කාරණේ බල බල අඩු වැඩි කරනවා…  ඒ විදියට රෝදේ ලිස්සිමෙන් වලක්වා ගැනීම තමයි මේ ABS සිස්ටම් එකේ ප්‍රධාන කාර්යභාරය…

ඕක තමයි ABS සිස්ටම් එකක් වැඩ කරන විදිය ඉතාමත්ම සරලව… ඊළඟට අපි බලන්න යන්නේ මේ ABS සිස්ටම් එක කොහොමද හදල තියෙන්න කියල… 

 

ABS සිස්ටම් එක හදල තියෙන්න කොහොමද…

ඕනෑම ABS සිස්ටම් එකක ප්‍රධාන කොටස් හතරක් තියෙනවා…. පහල තියෙන්න ඒවා…

ස්පීඩ් සෙන්සර් හා ටෝන් රින්ග් එක 

ස්පීඩ් සෙන්සර් වලින් සරලවම කරන්නේ රෝදවල වේගය මනින එක… එත් එක්කම රෝදයේ ත්වරණය හෝ මන්දනයත් මේ ස්පීඩ් සෙන්සර් වලින් මනිනවා… ගොඩක් සිස්ටම් වල රෝද හතරටම වෙන වෙනම ස්පීඩ් සෙන්සර් තියෙනවා… නමුත් ස්පීඩ් සෙන්සර් 3ක් හෝ සමහරවිට එකක් විතරක් තියෙන සිස්ටම් උනත් කලාතුරකින් දකින්න පුළුවන්… 

ටෝන් රින්ග් එක කියන්නේ ස්පීඩ් සෙන්සර් එකට වේගය මනින්න උපකාර වෙන ලොකු දැති තියෙන රෝදයකට…. මේකට සමහර වාහන වල එක්සයිටර් (exciter) කියලත් කියනවා… මේ ටෝන් රින්ග් එක රෝදේ ඇක්සල් එකට හොඳට සවි වෙලා තියෙන්නේ… රෝදෙත් එක්කම මේ ටෝන් රින්ග් එකත් කැරකෙනවා… 

ස්පීඩ් සෙන්සර් එක තියෙන්නේ මේ කැරකෙන ටෝන් රින්ග් එකට ගොඩක් ලඟින්… ටෝන් රින්ග් එකේ දැති ස්පීඩ් සෙන්සර් එක ගාවින් යද්දී ස්පීඩ් සෙන්සර් එක ඇතුලේ ඉලෙක්ට්‍රික් පල්ස් එකක් උත්පාදනය වෙනවා… පහල රූපෙන් පෙන්නලා තියෙන්නේ ඔන්න ඔය පලස් එක හැදෙන හැටි… ස්පීඩ් සෙන්සර් එක කෙළින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ වාහනේ තියෙන කොම්පියුටර් එකට… එහෙම නැත්තන් ECU එකට… ඉතින් ඔය පල්ස් ටික සේරම කෙලින්ම ECU එකට යනවා… ECU එකට පුළුවන් මේ පල්ස් අතරේ පරතරය දිහා බලල රෝදේ වේගය, ත්වරණය හා මන්දනය හරි ලේසියෙන් ගණනය කරන්න… ඔය එහා පැත්තේ තියෙන්නේ ගලොපු ඇක්සල් එකක ටෝන් රින්ග් එකක් හා ස්පීඩ් සෙන්සර් එකේ ඇත්ත රූපයක්…

 

බ්‍රේක් වැල්ව්

ABS සිස්ටම් එකේදී රෝදේ ලිස්සන එක අඳුරගෙන බ්‍රේක් අඩු වැඩි කරනවා කියල අපි කලින් කිව්වනේ… ඔන්න ඔය වැඩේ කරන්න තමයි මේ බ්‍රේක් වැල්ව් තියෙන්නේ… ABS සිස්ටම් එක මගින් මේ බ්‍රේක් වැල්ව් කොන්ට්‍රෝල් කරනවා… හැම රෝදෙකටම සම්බන්ධ වෙච්ච බ්‍රේක් වැල්ව් මේ සිස්ටම් එකේදී බලාගන්න පුළුවන්…

එක්කෝ ABS සිස්ටම් එක විසින් මේ බ්‍රේක් වැල්ව් සම්පුර්ණයෙන් ඇරලා තියෙන්න පුළුවන්… එතකොට මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳල එන ප්‍රෙෂර් එක කෙලින්ම රෝදෙට යනවා… එතකොට බ්‍රේක් හොඳටම ඇප්ලයි වෙලා තියෙන්නේ…

එහෙම නැත්තන් වැල්ව් එක සම්පුර්ණයෙන් වහල තියන්න පුළුවන්… මේ වෙලාවේදී අපි බ්‍රේක් පැඩල් එක පාගාගෙන හිටියට රෝදෙට බ්‍රේක් වැදිලා නැහැ… මෙහෙම වෙන්නේ ර රෝදේ හොඳටම ලිස්සනවා කියල ABS සිස්ටම් එක විසින් තීරණය කලාම තමයි…

එහෙමත් නැතිනම් බාගෙට ඇරලා තියන්න පුළුවන්… මේ වෙලාවේදී බ්‍රේක් පාගල අපි දෙන මුළු පීඩනයම රෝදෙට යන්නේ නැහැ… ABS සිස්ටම් එක විසින් මෙහෙම බ්‍රේක් වැල්ව් අඩු වැඩි වශයෙන් අරිමින් කලින් කිව්ව විදියට රෝදේ ලිස්සන්නේ නැති වෙන්න වැඩේ කරනවා…

වාහනේක බ්‍රේක් වදින හැටි ගැන තාම අවබෝධයක් නැත්තන් බ්‍රේක් සිස්ටම් එක සම්පුර්ණ කතාව තියෙන මෙන්න මේ ලිපි ටික බලන්න…

 

හයිඩ්රොලික් කොන්ට්‍රෝල් යුනිට් එක

කලින් කිව්ව අර වැල්ව් ටික පාලනය කරන්නේ මේ හයිඩ්රොලික් කොන්ට්‍රෝල් යුනිට් කියන ගැජට් එකෙන් තමයි… මේ “හයිඩ්රොලික් කොන්ට්‍රෝල් යුනිට්” එක රෝද වල තියෙන වැල්ව් වලට හා ECU එකට කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්නේ… ECU එකෙන් එන කමාන්ඩ් එක අනුව වැල්ව් අරින වාහන වැඩේ කරන්නේ මෙයා තමයි…

 

ECU එක

“ස්පීඩ් සෙන්සර්” වලින් එන ඉන්පුට් අරගෙන සියලුම ගණනය කිරීම් කරලා “හයිඩ්රොලික් කොන්ට්‍රෝල් යුනිට්” එකට වැල්ව් අරින වාහන ප්‍රමාණය දැනුම් දෙන මහා මොලකරු මෙයා තමයි…

මේකෙදි මුලින්ම ස්පීඩ් සෙන්සර් වලින් එන අර පල්ස් වල පරතරය බලලා එක් එක් රෝදය කරකැවෙන වේගය ECU එක විසින් ගණනය කරනවා… ඒ එක්කම එක එක රෝදේ ත්වරණය හෝ මන්දනයත් ගණනය කරනවා…

ඊළඟට ECU එක විසින් කරන ගණනය කිරීම් නම් පොඩ්ඩක් සංකීර්ණයි… ඒ වගේම වාහන නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා… රෝදය පොලවේ ගැටෙන තැන හා පාර අතරේ සාපේක්ෂ ප්‍රවේගය අවම අගයක තියා ගනිමින් වාහනේ නවත්තවගන්න එක තමයි මේ ගණනය කිරීම් වල මුලික අරමුණ වෙන්නේ… ඒ වගේම අඩුම දුරකින් වාහනේ නවත්වන එකත් මේ ගණනය කිරීම් වලට ඇතුලත්….

 

ABS සිස්ටම් වර්ග

මේ විස්තරේ කියෝගෙන ආපු ඔයාලට හිතෙන්න ඇති හැම වාහනේකම රෝද හතරටම ස්පීඩ් සෙන්සර් හා බ්‍රේක් වැල්ව් තියෙනවා කියල… නමුත් ඇත්තටම එහෙම නැහැ… ඔය තියෙන වැල්ව් හා ස්පීඩ් සෙන්සර් ප්‍රමාණය අනුව ලෝකේ තියෙන ABS සිස්ටම් ප්‍රධාන වර්ග 3කට බෙදන්න පුළුවන්…

 

වැල්ව් 4, සෙන්සර් 4 (Four Channel, Four Sensor)

මේ සිස්ටම් එකේදී හැම රෝදෙකටම වැල්ව් එකක් හා ස්පීඩ් සෙන්සර් එක බැගින් ලැබෙනවා… හැම රෝදේම වෙන වෙනම මොනිටර් වෙන හින්ද මේක තමයි හොඳම ABS සිස්ටම් එක හැටියට සලකන්නේ…

 

වැල්ව් 3, සෙන්සර් 3 (Three Channel, Three Sensor)

මේ සිස්ටම් එකේදී ඉස්සරහ රෝද දෙකට වෙන වෙනම වැල්ව් එක හා ස්පීඩ් සෙන්සර් එක බැගින් තියෙනවා… නමුත් පස්සේ රෝද දෙකටම තියෙන්නේ එක වැල්ව් එකක් හා ස්පීඩ් සෙන්සර් එකක් විතරයි… මේ පොදු වැල්ව් එක හා සෙන්සර් එක පිහිටලා තියෙන්නේ පිටිපස්සේ ඇක්සල් එක උඩ…
මේ සිස්ටම් එකේදී පස්සේ රෝද දෙකම එකම සෙන්සර් එකක් පාවිච්චි කරන හින්ද ABS ක්‍රියාත්මක වෙන්න නම් ඒ රෝද දෙකම එකපාර ලිස්සන්න ඕන වෙනවා… ඕක මේ සිස්ටම් එකේ දුර්වලතාවයක් හැටියට පෙන්වන්න පුළුවන්…

 

වැල්ව් 1, සෙන්සර් 1 (One Channel, One Sensor)

මේ සිස්ටම් වල තියෙන්නේ එක වැල්ව් එකක් හා එක සෙන්සර් එකක් විතරයි… මේ සිස්ටම් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ පස්සේ රෝද විතරක් වැඩ කරන ලොකු පිකප් ට්‍රක් වල තමා… මේ සිස්ටම් වලත් කලින් එකේ වගේම රෝද හතරම එකපාර ලිස්සන්න වෙනවා ABS වැඩ කරන්න නම්… මේ සිස්ටම් සාමාන්‍යෙන් ගොඩක් කාර්යක්ෂම ABS හැටියට සලකන්නේ නැහැ…

ඉතින් ඕක තමයි ABS වල කතාව… ඊළඟ සැරේ ලිස්සන පාරක වේගෙන් ගිහිල්ල බ්‍රේක් පාරක් ගහද්දි මේ ලිපිය ඔබට මතක්වෙන්න කියල අපි ප්‍රර්ථනා කරනවා….