වාහනේ ගෙදරදීම සර්විස් කරමුද

සර්විස් එක… එහෙම නැත්තන් සර්විස් කරන දවස කියන්නේ වාහනයක් ඉතාම ප්‍රීතියට පත්වෙන දවසක්… සාමාන්‍යෙන් මාස 6කට වතාවක් මේ දවස එනවා… කලින් සර්විස් එකේ ඉඳල කිලෝමීටර් 5000ක් දුවල නම්, එත් සර්විස් කරන්න අරගෙන යනවා අපි…

මේ වාහන සර්විස් කෙරිල්ල කරන විශේෂ තැන් තියෙනවා… මේවට කියන්නේ සර්විස් ස්ටේෂන් කියල… වාහනේ උඩ නග්ගන්න වේදිකාවක් හදල තියෙන, යුනිෆෝර්ම් ඇඳගත්ත මිනිස්සු ඉන්න, හොඳට ඉඩකඩ තියෙන මේ සර්විස් ස්ටේෂන් ඔයාල ඕනෑතරම් දැකල ඇති…

සර්විස් එකක් කරගන්න ඕන උනාම ගොඩක් දෙනා කරන්නේ මේ වගේ සර්විස් ස්ටේෂන් එකකට යන එක තමයි… සමහර සර්විස් ස්ටේෂන් වලින් සර්විස් එක මතක් කරලා මැසේජ් පවා එවනවා… එතකොට ඉතින් නොගිහින් බෑනේ…

හැබැයි ඇත්තටම වාහනය සර්විස් කරගන්න සර්විස් ස්ටේෂන් එකකට යන්නම ඕනද… අපිට ගෙදරදී කරගන්න බැරි අරුමපුදුම දේවල් සර්විස් ස්ටේෂන් එකේදී වාහනේට කරනවද… සර්විස් ස්ටේෂන් එකේදී සර්විස් කරනවා කියල ඇත්තටම කරන්නේ මොනවද… ඔන්න ඔය දේවල් ගැන කතා කරන්න තමයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ…

 

වාහනේ සර්විස් කරන්න ඕන ඇයි

වාහනයක් කියන්නේ චලනය වන කොටස් ගොඩක් තියෙන සංකීර්ණ යන්ත්‍රයක්… මේ යන්ත්‍රය හරියට වැඩ කරන්න නම් අනිවාර්යෙන් හොඳට නඩත්තු කරන්න ඕන… නඩත්තු නොකලොත් ඕනෑම යන්ත්‍රයක කාර්යක්ෂමතාවය බහිනවානේ… ඉතින් වාහනේක නම් තෙල් වැඩ කිරිල්ල අඩු වෙන්න පුළුවන්… ඒ වගේම ඇතුලේ කොටස් ගෙවීයාම වැඩි වෙන්න පුළුවන්… අන්තිමට ලොකු ගණන් යන රෙපෙයාර් වලට යන්න සිද්ද වෙන්න පුළුවන්…

ඔන්න ඔය දේවල් නවත්තන්න විදියක් හැටියට තමයි මේ “රේගියුලර් සර්විස්” කිරිල්ල කියන සංකල්පය ලෝකෙට එන්නේ… දැන් කාලේ ලෝකේ වාහන ඩිසයින් කරන්නෙම ගන්න මනුස්සයා අනිවාර්යෙන් සර්විස් කරාවි කියල හිතාගෙනම තමයි… ඒක හින්දා හරි කාලෙට සර්විස් නොකර ලෝකේ කිසිම වාහනයක් කිලෝමීටර් දහදාහක් වත් පදින්න අමාරුයි….

සර්විස් එකකදී ඇත්තටම කරන්නේ සමහර කොටස් අලුතෙන් දාන එකයි, ඇතැම් කොටස් පරික්ෂා කරන එකයි තමා… මේ දේවල් කරගන්න අපිට සර්විස් ස්ටේෂන් එකකට යන්නම ඕන නෑ… ගෙදරදී උනත් පුළුවන්… නමුත් කරන්න ඕන දේවල් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන…

දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් “මේ කටු කාගෙන ගෙදර වාහන සර්විස් කරන්න යන එකේ තේරුමක් තියෙනවද…? වාහනේ සර්විස් එකට දාල ගෙදර ෂපාන් එකේ ඉන්න පුළුවන්නේ… මොකටද ඔය නොදන්න බැරි මගුල් කරන්න යන්නේ” කියල… එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ… එත් සර්විස් ස්ටේෂන් එකකට නොගිහින් ගෙදරම සර්විස් කිරීමේ වාසි තියෙනවා… දැන් බලමු ඒවා මොනවද කියල….

 

ගෙදරදීම වාහනේ සර්විස් කරගන්නේ එකේ වාසි

සර්විස් ස්ටේෂන් කියන්නේ දන්සැල් නෙමේ… ලාබ උපයන්න බලාගෙන කරන බිස්නස් එකක්… වෙන බිස්නස් වල වගේම මේකෙදිත් ලාබය උපරිම කරගන්න තමයි අයිතිකාරයා බලන්නේ… ඔබේ වාහනේ යහපැවත්ම ඒගොල්ලොන්ට වැදගත් වෙන්නේ දෙවනියටයි… එත් අපිට නම් අපේ වාහනේ යහපැවැත්ම කියන්නේ පළවෙනියට එන කාරණයක්… ඒක හින්දා අපිම හරියට දැනගෙන සර්විස් කලොත් සර්විස් ස්ටේෂන් එකකට වඩා හොඳට වාහනේට සාධාරණයක් කරන්න පුළුවන්…

සර්විස් ස්ටේෂන් එකක කරන හැමදේම අපිට පේන්න කරන්නේ නැහැ… සමහරු වාහනේ සර්විස් කරන්න බාර දීල ගෙදර එනවා… එතකොට එතන වෙන දේවල් කොහොමවත් දන්නේ නැහැ… අන්තිමට ලොකු බිලක් නම් හම්බ වෙයි වාහනේට කරපු දේවල් දාල… හැබැයි ඒ බිලේ තියෙන දේවල් ඒ විදියටම කෙරිලද කියල දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි… එත් අපිම කරන සර්විස් එකකදී ඔහොම ප්‍රශ්න එන්නේ නැහැ… හොඳම දේ හොඳම විදියට වාහනේට දෙන්න පුළුවන්…

සර්විස් ස්ටේෂන් එකක උනත් වැඩ කරන්නේ අපි වගේම සාමාන්‍ය පෘතග්ජන මිනිස්සු… මිනිස්සු අතින් වැරදි අඩුපාඩු, අමතකවීම් ඕන තරම් වෙන්න පුළුවන්… කව්රු මොන වැරැද්ද කලත් අන්තිමට ඒවා බලපාන්නේ අපේ වාහනේට කියල අපි මතක තියා ගන්න ඕන… ලොකුම ප්‍රශ්නේ තමයි සර්විස් ස්ටේෂන් එකකින් වෙන වැරදි අඩුපාඩු හොයාගන්න විදියක් නැතිකම… “අනේ අපේ අතින් වැරදි උනා” කියල සර්විස් එක අවසානේදී පාපොච්චාරණය කරන්නේ නෑනේ… ගෙදර කරන සර්විස් එකේදී ඔය ප්‍රශ්න මොකුත් නෑ… වැරද්දක් උනත් අපිටම ආයෙත් හදාගන්න පුළුවන්… මොකක් හරි අමතක උනා නම් පහුවෙනිදා හරි කරන්න පුළුවන්….

අනික් කාරණය තමයි ගන්න මුදල… හොඳ නමක් තියෙන සර්විස් ස්ටේෂන් එකක් අඩුම සර්විස් එකකටත් රුපියල් 10000ක් වත් ගන්නවා… හැබැයි ඔබේ වාහනේ සර්විස් කරන්න යන වියදමට අමතරව සර්විස් ස්ටේෂන් එකකට වෙනත් වියදම් ගොඩක් තියෙනවා… සේවක පඩි, ඉඩමේ කුලිය, අයිතිකාරයාගේ ලාබය, ඔෆිස් එකේ ලයිට් බිල්, වතුර බිල්, ඔය ඔක්කොටම එකතු වෙලා තමයි ඔබේ සර්විස් එකේ බිල හැදෙන්නේ… ගෙදරදී කලොත් ඕව මොකකටවත් ගෙවන්න ඕන නෑ….

සර්විස් ස්ටේෂන් වල සාමාන්‍යෙන් චෙක්ලිස්ට් එකක් තියෙනවා… ඒ චෙක්ලිස්ට් එකේ පිළිවෙලට තමයි සර්විස් එක කෙරෙන්නේ… මේ චෙක්ලිස්ට් එක ඉතාම නිවැරදි වෙන්න ඕන… ඒ වගේම කාලයත් එක්ක අප්ඩේට් වෙන්න ඕන… එත් සමහර තැන් වල පාවිච්චි කරන්නේ දශක ගණන් පරණ චෙක්ලිස්ට්… සමහරු පාවිච්චි කරන චෙක්ලිස්ට් වැරදියි, කෑලි අඩුයි…. ඔය වගේ තැනකින් සර්විස් එක කලොත් එහෙම වාහනේට අබ සරණයි…

වැදගත්ම කාරණය තමයි තමන්ට ලැබෙන ආත්ම තෘප්තිය… නිවාඩු දවසක පිස්සු නටන්නේ නැතුව මේ වගේ වැඩක් කරලා හම්බවෙන සතුටට මිලක් කියන්න බැහැ… තමන්ම සර්විස් කරපු වාහනේ නැගල යද්දී, තමන්ගේ සර්විස් එකෙන් පස්සේ වාහනේ පෆොමන්ස් වැඩිවෙලා කියල තේරෙද්දී, කොයිතරම් නම් සතුටක් හිතට දැනෙයිද… හොඳට පුරුදු උනාට පස්සේ යාලුවන්ගේ වාහන සර්විස් කරලා දීල අමතර ආදායමක් ගන්නත් පුළුවන්… වැඩේ නැගල ගියොත් තමන්ගේම සර්විස් ස්ටේෂන් එකක් උනත් දාගන්න පුළුවන් වෙයි…

 

ගෙදරදී වාහනයක් සර්විස් කරගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙයි… හැබැයි ලේසි වැඩකුත් නෙමෙයි… කරන්න ඕන දේවල් හරියටම දැනගෙන ඉන්න ඕන… දැන් අපි බලමු වැඩේට බහින්න ඕන කොහොමද කියල….

 

සර්විස් කරන හැටි…

සාමාන්‍යෙන් අන්තිම සර්විස් එකේ ඉඳල කිලෝමීටර් 5000ක් හෝ මාස 6ක් ගෙවෙන තැනදී වාහනය සර්විස් කරන්න ඕන… මේකට කියනවා “රෙගියුලර් සර්විස්” එක කියල…මේ සර්විස් වලදී හැම තිස්සෙම එකම දේ කරන්නේ නැහැ… මොකද සමහර දේවල් හැම සර්විස් එකේදිම පරික්ෂා කරන්න හෝ මාරු කරන්න ඕන නැති හින්ද…

උදාහරණයක් හැටියට එන්ජින් ඔයිල් හැම සර්විස් එකකදීම මාරු කරන්න ඕන.. එහෙම නැත්තන් කිලෝමීටර් 5000න් හෝ මාස 6න් 6ට මාරු කරන්න ඕන… එත් ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කිලෝමීටර් 10000න් 10000ට… නැත්තන් අව්රුද්දෙන් අව්රුද්දට… එහෙම නැත්තන් රෙගියුලර් සර්විස් එකක් ඇර එකක්… මේ වගේ ඒ කාරණාව අන්තිමට කරපු දවසේ ඉඳල ගිය කිලෝමීටර් ගාන හෝ ගෙවිච්ච කාලය අනුව සර්විස් එකකදී කරන්න ඕන දේවල් වෙනස් වෙනවා….

පල්ලෙහායින් තියෙන්නේ එහෙම සර්විස් එකකදී කරන්න ඕන දේවල් හා කරන්න ඕන වෙලාව තියෙන සම්පූර්ණ ලිස්ට් එක… මේකේ තියන කාරණා කලින් කිව්වා වගේ කාලය හෝ කිලෝමීටර් ගාන සම්පුර්ණ වෙලා නම් විතරයි කරන්න ඕන… හැම පොයින්ට් එකක්ම හොඳට විස්තර කරන්න ඕන හින්ද වෙනම ලිපි වල දාල තියෙනවා….

 

කාර්යයකිලෝමීටර්කාලය
එන්ජින් ඔයිල් මාරු කිරීම5000Km මාස 6
එයාර් ෆිල්ටර් සුද්ද කිරීම 5000Km මාස 6
ක්ලච් එකේ හයිඩ්රොලික් ෆ්ලුයිඩ් එක මාරු කිරීම (මැනුවල් නම් පමණි)10000km මාස 6
බ්රේක් පැඩල් හා පාකින් බ්රේක් පරික්ෂාව10000km මාස 6
පවර් ස්ටියරින් ෆ්ලුයිඩ් පරික්ෂාව 10000km මාස 6
ටයර් ප්‍රෙෂර් එක පරික්ෂා කිරීම10000km මාස 6
වෝටර් සේපරේටර් (Water Seperator) පරික්ෂා කිරීම (ඩීසල් නම් පමණි)10000km මාස 6
එන්ජින් ඔයිල් ෆිල්ටර් එක මාරු කිරීම10000km මාස 12
බැටරි එක චෙක් කිරීම 10000kmමාස 12
ටයිමින් බෙල්ට් මාරු කිරීම10000km-
ක්ලච් එක පරික්ෂා කිරීම (මැනුවල් නම් පමණි)10000km-
ඩිස්ක් බ්රේක් පෑඩ් පරික්ෂාව10000km-
බ්රේක් ෆ්ලුයිඩ් ලෙවල් පරික්ෂාව10000km-
ලයිට් සියල්ල පරික්ෂා කිරීම10000km-
වින්ඩ්ස්ක්‍රින් වයිපර් එක හා වොෂර් නොසල් එක පරික්ෂා කිරීම10000km-
ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් ලෙවල් එක පරික්ෂා කිරීම (ඔටෝ වාහනවල පමණි)20000Kmමාස 12
වැකුම් හෝස් (Vacumm Horse) වල ලීක් බැලීම20000Kmමාස 12
කුලන්ට් හෝස් (Coolant Horse) වල ලීක් බැලීම20000Kmමාස 12
ඔයිල් ලීක් පරික්ෂාව20000Kmමාස 12
ස්ටියරින් හා සස්පෙන්ෂන් පද්ධතිය පරික්ෂා කිරීම20000Kmමාස 12
A/C එකේ රෙෆ්රිජෙරන්ට් පරික්ෂාව20000Kmමාස 12
බෝල් ජොයින්ට් හා ඩ්‍රයිව් ශාෆ්ට් කවර පරික්ෂාව 20000Kmමාස 12
බ්රේක් සිස්ටම් එකේ පයිප්ලයින් හා හෝස් පරික්ෂාව 20000Kmමාස 12
ෆෑන් බෙල්ට් (Driving Belt) මාරු කිරීම 20000Kmඅවුරුදු 2
වෑල්ව් වල හිදැස් පරික්ෂා කිරීම (පෙට්රෝල් නම් පමණි)20000Kmඅවුරුදු 2
ෆුවල් ෆිල්ටර් එක මාරු කිරීම (ඩීසල් නම් පමණි)20000Kmඅවුරුදු 2
ඩ්‍රම් බ්රේක් පෑඩ් පරික්ෂාව20000Km-
ගියර් ඔයිල් මාරු කිරීම (ඔටෝ වාහනවල පමණි)20000Km-
එග්සෝස් පයිප් හා ඒවායේ සම්බන්ධතා පරික්ෂා කිරීම 20000Km-
ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් මාරු කිරීම30000Kmඅවුරුදු 2
කුලන්ට් එක මාරු කිරීම40000Kmඅවුරුදු 2
වෑල්ව් වල හිදැස් පරික්ෂා කිරීම (ඩීසල් නම් පමණි)40000Kmඅවුරුදු 2
ෆුවල් ලයින් පරික්ෂා කිරීම40000Kmඅවුරුදු 2
බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම40000Kmඅවුරුදු 2
එයාර් ෆිල්ටර් එක මාරු කිරීම40000Kmඅවුරුදු 4
ෆුවල් ෆිල්ටර් එක මාරු කිරීම (පෙට්රෝල් නම් පමණි)40000Kmඅවුරුදු 4
තෙල් ටැංකියේ කැප් එක පරික්ෂා කිරීම40000Km-
ගියර් ඔයිල් පරික්ෂා කිරීම (මැනුවල් නම් පමණි)40000Km-

 

ඔබේ ඊළඟ සර්විස් එකට චෙක්ලිස්ට් එකක් හැටියට ඕක පාවිච්චි කරන්න පුළුවන්… තාමත් සර්විස් ස්ටේෂන් යන්න හිතන් ඉන්නවා නං අඩුම ගානේ මේ ලිස්ට් එකේ තියෙන දේවල් කෙරිලද කියල හරි බලන්න….