වාහනේ ලේසියෙන්ම විකුණගන්න මේ දේවල් හරියට කරන්න

වාහනයක් ගත්ත ගමන් අපි හැම කෙනෙක්ම වගේ ඒකට දක්වන්නේ පුදුම ආදරයක්… මුල් දවස් වල නින්ද යන්නෙත් වාහනේ ගැන හිත හිත…

හැබැයි ටික කාලයක් යනකොට වාහනේට අපි ආදරේ උනත් අපි අතින් වාහනේට දක්වන්න ඕන සැලකිල්ල නැති වෙලා යනවා… එහෙමත් නැතිනම් සැලකිල්ලක් දිගටම දැක්වුවත්, කරන්න ඕන දේවල් නොදැන නිරපරාදේ මහන්සි වෙනවා…

ඉතින් අපි මේ පිටුවෙන් ඔබට කියන්න යන්නේ ඔබේ වාහනය කවදාහරි තවත් කෙනෙකුට විකුණනකොට, ඔබේ වාහනයේ වටිනාකම උපරිමයෙන්ම තියාගන්න ඕන නම් ඔබ විසින් පිළිපැදිය යුතු දේවල් මොනවද කියන එක… අන්න ඒ දේවල් හරියට කලොත් ගත්ත ගානටත් වඩා වැඩියෙන් ඔබේ වාහනේ විකුණගන්න පුළුවන් වෙයි….
ඉතින් අපි බලමු මොනවද අපි කරන්න ඕන සැලකිලි කියල..

 

වාහනය එලවනකොට මෙන්න මේ දේවල් නොකර ඉන්න…

වාහනය එලවන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්… සමහරු හෙමින් එලවනවා.. සමහරු සාමාන්‍ය වේගයකින් එලවනවා… තවත් සමහරු ඉතා වේගයෙන් එලවන්න පුරුදු වෙලා ඉන්නවා… මේ හැම එලවන ස්ටයිල් එකක්ම දරාගන්න පුළුවන් වෙන විදියට තමයි වාහනය හදල තියෙන්නේ…

හැබැයි අපි මෙන්න මේ දේවල් කලොත් වාහනේ වැදගත් පාර්ට්ස් ඉක්මනින් ගෙවෙන්න ගන්නවා.. ඒවා මාරු කරන්න අධික වියදමක් දරන්න වෙනවා.. කවදාහරි පාර්ට්ස් හදන්නේ නැති කාලෙට හොයාගන්නත් අමාරු වෙනවා…

  • වංගු ගන්නකොට එන අධික වේගයෙන්ම වංගු ගන්න එපා… තිරිංග යොදල වේගය පැයට කිමි 20 – 40 අතර ගානකට ගන්න… බ්රේක් ගෙවුනට කිසි ප්‍රශ්නයක් නෑ.. වැඩිම උනොත් බ්‍රේක් පෑඩ් දාන්න වෙයි ඉක්මනට.. එකට කමක් නෑ… ඒක හොඳයි ස්ටියරින් පාර්ට්ස් දානවට වැඩිය… අනික බ්‍රේක් පෑඩ් වාහනෙන් වාහනේට වෙනස් වෙන්නේ නැහැ.. ඉතින් කවදාහරි වාහනයේ ස්ටියරින් පාර්ට්ස් හොයාගන්න බැරි උනත්, බ්‍රේක් පෑඩ් නම් කඩේ ගන්න තියෙනවා….
  • ඔබ දැකල ඇති ඔටෝගියර් වාහනවල තියෙනවා 2 සහ L කියලා පොසිෂන් 2ක්… අලුත් වාහන වලනම් B කියන පොසිෂන් එක…මෙන්න මේ පොසිෂන් භාවිතා කරන්නේ වාහනේ පල්ලමක යනකොට වේගය පාලනය කරගන්න.. මෙකෙන් වෙන්නේ අඩු ගියර් එකකට වැටෙන එක…
    සමහරු පුරුදු වෙලා ඉන්නවා බ්‍රේක් නොගහ වාහනේ වේගේ අඩු කරන්න මේ ගියර් පාවිච්චි කරන්න… එහෙම කරන එකෙන් වෙන්නේ ගියර් බොක්ස් එක ඉක්මනට ගෙවෙන එක… පුළුවන් හැම වෙලාවකටම බ්‍රේක් කරන්න… ගොඩක් ලොකු පල්ලමක් නම් හෝ වේගය එකවරම තමන්ට පාලනය කරන්න ඕන නම් පමණක් වගේ ඔය ගියර් පොසිෂන් භාවිතා කරන්න… ගියර් බොක්ස් එක මාරු කරනවට වඩා බ්‍රේක් පෑඩ් මාරු කරන එක ලේසියි.

 

හැම විටම හොඳ මාර්ගයක ගමන් කරන්න…

අපි ගොඩ දෙනෙක් ඉන්ධන ඉතිරි කරගන්න පාර කොච්චර කැඩුනත් කමක් නෑ කියල ෂෝර්ට් කට් පාරවල් වල යනවා…. දුර ගමනක් ගියත් කෙටිම මාර්ගය තමයි තෝර ගන්නේ යන්න.. පාර කැඩිලද කියන එක ගැන අපි එච්චර වද වෙන්නේ නැහැ… මෙන්න මේ පුරුද්ද අපි පුළුවන් තරම් අඩු කරගන්න ඕන…

මොකද කැඩිච්ච පාරක යනවා කියන්නේ වාහනයේ සස්පෙන්ෂන් ( ෂොක්ඇබ්සෝබර්, බුෂ් වැනි පාර්ට්ස් ) ඉතා ඉක්මනින් ගෙවෙනවා… මේවා ඉතා මිල අධිකයි.. ඔරිජිනල් ෂොක්ස් 4ම දාන්න ලක්ෂ 1.5ක් වගේ යනවා… ඔරිජිනල් බුෂ් ද මිලෙන් අධිකයි… අනිත් එක තමයි කැඩිච්ච පාරවල් වල යනකොට ගැස්සෙන ගැස්සිල්ල… එකිනෙකට සවි වී ඇති වාහනයේ ඇතුලත කොටස් අතර පරතරය වැඩි වෙලා, කාලයක් යනකොට වාහනයේ ඇතුලේ කොටස් වලින් සද්ද එන්න පටන් ගන්නවා…මේවා හදන්න හරිම අමාරුයි… හරියට හදන තැන් ඇත්තෙම නැති තරම්.. ඒ නිසා හැම තිස්සෙම එදිනෙදා ගමනට වේවා දුර ගමනට වේවා හැකි හැම ආකාරයෙන්ම හොඳ පාරක් තෝරාගන්න…

 

වාහනය පාර්ක් කරනවිට මෙන්න මේ දේවල් වලින් පුළුවන් තරම් වලකින්න….

පුළුවන් තරම් තද අව්ව තියෙන තැන්වල පාර්ක් කිරීමෙන් වලකින්න… ලංකාව කියන්නේ සමකයට ආසන්න රටක්.. හිරු එලිය ඉතාමත් සැරයි… ඒ වගේම අධික රස්නෙයි…ඒ නිසා කාලයක් යනකොට වාහනවල ප්ලාස්ටික් සහ රබර් වලින් හදල තියෙන කොටස් ඉක්මනින් සවුත්තු වෙනවා.. සවුත්තු වෙනවා කිව්වේ ඒ කොටස්වල ප්ලාස්ටික් හෝ රබර් ගතියෙන් බලාපොරොත්තු වෙන කාර්යය කෙරෙන්නේ නැතිව යනවා… ඒ නිසා පුළුවන් තරම් වාහනය අව්වේ කර වෙන්න පාර්ක් කරන්න එපා..

දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් පාර්ක් කලාම විතරද කරවෙන්නේ.. එහෙමනම් අපි අව්වේ කොච්චරනම් එලවනවද එතකොට කර වෙන්නේ නැද්ද කියල… අව්වේ එලවනකොට කර වෙන්නේ නැත්තේ වාහනය වේගයෙන් ගමන් කරද්දී ඒ හරහා වදින හුලං ධාරා නිසා…ඔබට වාහනය අව්වේ තියන්න උනොත් කරන්න ඕන හොඳම දේ තමයි සන් රිෆ්ලෙක්ටර් බෝර්ඩ් එකක් වින්ඩ්ස්ක්‍රීන් එකට දාන එක..

ඔබට තද අව්වක වාහනය පාර්ක් කරන්න උනොත් කරන්න ඕන අනිත් දේ තමයි දොර වීදුරු හතරම පොඩ්ඩක් පාත් කරලා තියන එක සෙන්ටිමීටර් 1 – 2 වගේ.. පහත රූපයෙන් පෙන්නන විදියට…. එකෙන් වෙන්නේ ඇතුලට හුලං ධාරා ඇවිත් අධික රස්නය අඩු කිරීම…හැබැයි ඉතින් මේක කරන්න වෙන්නේ ආරක්‍ෂිත තැනක විතරයි.. හොරෙකුට තේරුනොත් දොර වීදුරු පොඩ්ඩක් ඇරිලා කියල ඒ ටිකම ඇති වැඩ පටන් ගන්න…

කිරි සහිත ගස් යට වාහනය පාර්ක් කරන්න එපා… කොහොමත් අපි දන්නවනේ පොල් ගස් වගේ ගෙඩි වැටෙන ගස් යට නවත්වන්නේ නෑ කියලා … අන්න ඒ වගේ කිරි සහිත ගස් යටත් වාහනේ නතර කරන්න එපා… විශේෂයෙන් අඹ ගහක කිරි වැටුනොත් ඔරිජිනල් පේන්ට් එක සවුත්තු වෙනවා… කට් ඇන්ඩ් පොලිෂ් කලත් මාර්ක් එක යන්නේ නෑ…
ඒ වගේම තමයි කුරුල්ලන්ගේ වසුරු… විශේෂයෙන්ම කාක්කන්ගේ වසුරු වැටුනම පේන්ට් එක පිච්චිලා යනවා… බල්ලෙක් මුත්‍රා කලත් වෙන්නේ ඔය දේම තමයි…කට් ඇන්ඩ් පොලිෂ් කලත් මාර්ක් එක යන්නේ නෑ.. ඒ නිසා වසුරු වැටිලා තිබ්බ දැක්කොත් ඉක්මනින්ම වතුර දාල හෝදන්න… ඒ නිසා ඔයවගේ දේකදි උදව්වට පොඩි වතුර බෝතලයක් හැමතිස්සෙම වාහනයේ තියාගන්න…

 

වාහනයේ සියලුම සර්විස්, අලුත් වැඩියා සහ පාර්ට්ස් මාරු කිරිම් වල වාර්ථා එකතු කරන්න…

අලුතෙන් වාහනයක් ගන්නකොට ඒක පාවිච්චි කරපු එකක් නම් අපි අනිවාර්යයෙන්ම ඒකෙ අල ගිය මුල ගිය තැන් හොයනවා.. හරි විස්තරයක් හොයාගන්න බැරි උනොත් සමහරු සැකේ තියන් දෙගිඩියාවෙන් තමයි ඒ වාහනේ ගන්න බලන්නේ… සමහරු ගන්නෙත් නැති වෙන්න පුළුවනි… ඉතින් අපිට පුළුවනි නම් වාහනයේ සියලුම විස්තර ෆයිල් එකක දාල එකතු කරන්න අන්න ඒක වාහනය ගන්න කෙනාට ලොකු පහසුවක් වෙනවා…
දැන් මොනවද ඔය ෆයිල් එකේ දාන්නේ?

  • සියලුම සර්විස් බිල් සහ වාර්තා ( මේවා සර්විස් ස්ටේෂන් එකෙන් දෙනවා.. දෙන්නේ නැතිනම් ඉල්ලගන්න.. )
  • සියලුම රෙපෙයාර් බිල් සහ වාර්තා ( මේවා සර්විස් ස්ටේෂන් එකෙන් දෙනවා.. දෙන්නේ නැතිනම් ඉල්ලගන්න.. )
  • වසරකට වරක් ලැබෙන දුම් වාර්තාව… (දැන් ගොඩක් අය මේක ඉල්ලනවා මීටරේ කරකවලද කියල හොයා ගන්න)
  • ස්පෙයාර් පාර්ට්ස් වල බිල් ( අලුත් ටයර්, බැටරි වල බිල් ද ඇතුළුව)

 

ඔබගේ වාහනය හෝදනකොට මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න…

වාහනයක් අඩුම ගානේ සතියකට පාරක්වත් හෝදන එක වටිනවා.. මොකද මඩ දුවිලි නිසා වාහනයේ පේන්ට් එක ටිකෙන් ටික සවුත්තු වෙන්න පුළුවනි… ඊට අමතරව ඔබ වාහනය හෝදනවිට පහත දේවල් ගැන සැලකිලිමත් වන්න..

අතුල්ලන්න කලින් වාහනය හොඳට වතුරෙන් හෝදන්න.. මේකෙන් වෙන්නේ මඩ දුවිලි තට්ටු හොඳට පෙඟෙන එක.. එහෙම උනේ නැතිනම් අපි අතුල්ලනකොට පේන්ට් එක යන්තමින් සීරෙනවා…

සබන් හෝ සැර cleaner වෙනුවට ෂැම්පු වැනි සොෆ්ට් detergent එකක් පාවිච්චි කරන්න…

සමහර අය ඉන්ටීරියර් ක්ලිනර් (Interior Cleaner) යොදලා වාහනේ ඇතුල හෝදන්න පුරුදු වෙලා ඉන්නවා… මෙහෙම කරන්නේ වැඩි හොඳට… එත් මේ ඉන්ටීරියර් ක්ලිනර් පාවිච්චිය පරිස්සමින් කරන්න ඕන දෙයක්… මොකද වෙළඳපොලේ තියෙන සමහර ඉන්ටීරියර් ක්ලිනර් ගොඩක් සැරයි… කෙමිකල් වල සංයුතිය තියෙන්න ඕන ප්‍රමාන වලට වඩා ගොඩක් වැඩියි… සමහර ඒවායේ තියෙන්නේ බාල වර්ගයේ සැර කෙමිකල්… ඒවාට පුළුවන් වාහනේ ඇතුලේ ප්ලාස්ටික් කොටස් වල මතුපිට දියකරලා දාන්න… තව පැල්ලම් ඇතිකරන්නත් පුළුවන්… ඒවා ආයේ හදන්න බැහැ… එතකොට වෙන්නේ වැඩි හොඳ කරන්න ගිහින් තියෙන ටිකත් නැතිකරගන්න තමයි…

ඒ හින්ද ඉන්ටීරියර් ක්ලිනර් එකක් තෝරාගන්න කලින් හොඳටම හොයන්න… ගාන වැඩිඋනත් හොඳම බ්‍රෑන්ඩ් එකකින් මිලදී ගන්න… පොඩි ගානක් ඉතුරුකරගන්න ගිහින් ජිවිත කාලෙටම පසුතැවෙන තීරණ ගන්න එපා..

බොනට් එක ඇරලා එන්ජිමේ මුහුණතට වතුර ප්‍රෙෂර් කරලා හෝදන්න එපා.. එකෙන් වෙන්නේ ඒ හරියේ තියෙන ඉතා වැදගත් ඉලෙක්ට්‍රිකල් වයරින්, කනෙක්ටර් සහ සෙන්සර් සවුත්තු වෙන එක…

හැබැයි එන්ජිම ඇතුල ගොඩක් ජරා වෙලා නම් මොකද කරන්නේ…?

කරන්න තියෙන හොඳම දේ තමයි” හයි ප්‍රෙෂර් කම්ප්රෙෂර්” එකකට සම්බන්ධ වෙච්ච “එයා ගන්” එකක් එන්ජිමට අල්ලන එක… ටයර් කඩවල හා සර්විස් ස්ටේෂන් වල මේ භාණ්ඩේ තියෙනවා ඔයාල දැකල ඇති… මේකෙන් කරන්නේ වාතය සම්පීඩනය කරලා “එයා ගන්” එක හරහා ලොකු පීඩනයක් එක්ක එලියට විදින එක… මේක හැබැයි කරගන්න වෙන්නේ ටයර් කඩේකට හරි සර්විස් ස්ටේෂන් එකකට හරි ගිහිල්ලම තමයි…

 

ඔබගේ වාහනයේ අලුත්වැඩියා සඳහා විස්වාසවන්ත තැනක් සොයාගන්න…

ඉස්සර වගේ නෙවෙයි දැන් හරියට වැඩක් කරන ගරාජ් එකක් හොයාගන්න හරි අමාරුයි… සමහර රෙපෙයාර් හදන්න දන්නේ නැහැ..සමහර රෙපෙයාර් හදන්න බැරිව වටේ ගිහින් ශේප් වෙලා වෙන එකක් පෙන්නලා හැදුව කියල අන්දනවා…ඒ මදිවට එක්කෝ වාහනේ හදල එලියට ගන්නකොට සමහර කෑලි හයි කරන්න අමතක වෙලා.. පාර්ට් එක වැඩිය කවුරුත් දන්නේ නැති, ගැලෙව්වා කියල හොයාගන්නත් බැරි එකක්නම් වැඩේ දීල…. මේ හැම දේකින්ම වෙන්නේ වාහනයේ වටිනාකම බහින එක…නිකන් නම් කමක් නෑ.. අපේ පසුම්බියටත් හොඳටම තට්ටු වෙලා.. ඉතින් අපි කියන්නේ හොඳට හොයල බලල අහල කරලා රෙපෙයාර් කරන්න හොඳ තැනක් හොයාගන්න…