වැකුම් හෝස් (Vacumm Horse) වල ලීක් බැලීම

වැකුම් (Vacumm) කියන්නේ සිංහලෙන් රික්තකය කියන එකට… එහෙම බැලුවම වැකුම් හෝස් කියන්නේ “රික්තකයක් තියෙන හෝස්” කියන එක වෙන්න ඕන… ඒ කියන්නේ වාහනේ කොහේහරි රික්තකයක් තියෙනවද…?

ඇත්තටම වාහනේක එහෙම රික්තක නැහැ… එත් වාහනේක තියෙනවා එක උපාංගයක් එළියේ පීඩනයට වඩා අඩු පීඩනයක් තියෙන… අන්න ඒ උපාංගයට සම්බන්ධ වෙච්ච බට ටිකක් තියෙනවා… ඒ බට වල පීඩනයත් එළියේ පීඩනයට සාපේක්ෂව අඩුයි… රික්තකයක්ම නොවුනත් අඩු පීඩනයක් තියෙන මෙන්න මේ බට වලට තමයි වැකුම් හෝස් කියන්නේ… එත් මොකද්ද මේ අඩු පීඩනයක තියෙන ඔය බට සම්බන්ධ වෙන උපාංගය…?

එන්ජිමක එළියෙන් පේන වැදගත් කොටස් කියන ලිපිය කියෙව්වනම් “Intake Manifold” කියන උපාංගය ඔබට මතක ඇති… එළියෙන් එන වාතය එයාර් ෆිල්ටර් එක හරහා ගේන ලොකු මහත බටේ ඇවිල්ල හයි වෙන්නේ මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට තමයි… එත් එක්කම එන්ජිම ඇතුලේ සිලින්ඩර් වල තියෙන වාතය ඇතුලට ගන්න වෑල්ව් ටික හයි වෙලා තියෙන්නෙත් මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකටම තමයි… ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගැන සේරම විස්තර මෙන්න මේ ලිපියෙන් බලාගන්න පුළුවන්…

ඉතින් එන්ජිමක් වැඩ කරද්දී දහන ක්‍රියාවලිය සඳහා සිලින්ඩර් වලින් වාතය ඇතුලට අදිනවා… මෙහෙම අදින්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ඇතුලේ තියෙන වාතය තමයි…

දිගටම මෙහෙම ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ වාතය සිලින්ඩර් වලින් ඇද ඇද ඉන්න හින්දා එන්ජිම ස්ටාර්ට් වෙලා තියෙන හැම මොහොතකම ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ඇතුලේ පීඩනය එළියේ පීඩනයට වඩා අඩුයි… ඔන්න ඔය අඩු පීඩනය එන්ජිමේ සමහර වැඩ වලට ඉතාම ප්‍රයෝජනවත්… එන්ජිමේ සමහර උපාංග තියෙනවා තමන්ගේ වැඩේට අඩු පීඩනයක් ඕන කරන…

අන්න ඒ වගේ උපාංග වලට ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ඉඳලා බට හයි කරලා තියෙනවා… ඒ බට වලින් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ අඩු පීඩනය අදාළ උපාංගයට ලබා ගන්න පුළුවන්… මෙන්න මේ බට වලට තමයි අපි අද මුල ඉඳලා කතා කරපු “වැකුම් හෝස්” කියල කියන්නේ…

“වැකුම් හෝස්” නැත්තන් “වැකුම් බට” සාමාන්‍යෙන් හදන්නේ රබර් වලින්… ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට හා සමහර වෙලාවට ත්‍රොටල් බොඩි එකටත් මේ බට සම්බන්ධ වෙලා තියෙනවා…

එන්ජිම ඇතුලේ අධික රස්නේ නිසා හෝ කාලයක් එක්ක පරණ වීම හින්දා මේ බට වල කඩතොලු එන්න පුළුවන්… එහෙම නැත්තන් ලූස්‌ කනෙක්ෂන් තියෙන්නත් පුළුවන්… රබර් වලින් හදල තියෙන හින්ද පරණ වෙලා ගල් වෙලා පුපුරන්නත් පුළුවන්… ඔන්න ඔය හේතු හින්දා අන්තිමට මාරු කරපු දවසේ ඉඳල කිලෝමීටර් 20000කින් පස්සේ හෝ මාස 12 කට පස්සේ ඉඳල එන සර්විස් වල ඔය වැකුම් හෝස් පරික්ෂා කරගන්න එක වටිනවා… මේකෙදි අපි වැකුම් බට වල කඩතොළු තියනවාද කියල බලන්න ඕන… ලූස් කනෙක්ෂන් තියෙනවද කියල බලන්නත් ඕන…

 

අවශ්‍ය ද්‍රව්‍ය…

මොකුත් නෑ….
බට හොඳද කියල නිකන් ඇස් දෙකන් බලන්න තියෙන්නේ… ලූස් කනෙක්ෂන් අතින් අල්ලලා හොල්ලල බැලුවම ඇති…

 

වැකුම් බට හොයාගන්න…

පරික්ෂා කරන්න කලින් තමන්ගේ එන්ජිමේ තියෙන වැකුම් බට ටික හොයාගන්න ඕන… වැකුම් බට බොහොමයක් තියෙන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට සම්බන්ධ වෙලා… ඒ වගේම ත්‍රොටල් බොඩි එකටත් සමහර වැකුම් බට හයි වෙනවා… ඒ හින්දා පළවෙනියට ඉන්ටේක් මනිෆෝල්ඩ් එක හා ත්‍රොටල් බොඩි එක හොයාගෙන ඉන්න… හොයන හැටි දන්නේ නැත්තන් එන්ජිමක එලියට පේන කොටස් අඳුරගන්න එක ගැන ලියවිච්ච මේ ලිපිය කියවල ඉන්න… වාහන කීපයක වැකුම් හෝස් තියෙන හැටි පහල රූප වලින් පෙන්නලා තියෙනවා…

ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ළඟ දැකිය හැකි වැකුම් බට
ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ළඟ දැකිය හැකි වැකුම් බට
ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ළඟ දැකිය හැකි වැකුම් බට
ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ළඟ දැකිය හැකි වැකුම් බට
ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ළඟ දැකිය හැකි වැකුම් බට
වාහනේ යට පැත්තේ දැකිය හැකි වැකුම් බට කිහිපයක්

වැකුම් බට පරික්ෂා කරන්න…

ඉන්ටේක් මනිෆෝල්ඩ් එක හා ත්‍රොටල් බොඩි එක හොයාගත්තම කරන්න තියෙන දේ සරලයි… ඔය දෙකට සම්බන්ධ වෙලා තියෙන හැම රබර් බටයක්ම හොඳට පරික්ෂා කරන එක තමයි කරන්න තියෙන්නේ…
මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමා වැකුම් බට තියෙන තැන් හා තියෙන ප්‍රමාණයන් වාහන මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් බව… ඒ හින්ද හරියට දන්නේ නැත්නම් ඉන්ටේක් මනිෆෝල්ඩ් එක හා ත්‍රොටල් බොඩි එකට සම්බන්ධ වෙලා තියෙන හැම රබර් බටයක්ම වැකුම් බටයක් විදියට සලකල පරික්ෂා කරන එක හොඳයි…

මේකෙදි බට වල පිපිරීම් තියෙනවද, බට ඝන වෙලාද බට සම්බන්ධ වෙන තැන් වල ලූස් කනෙක්ෂන් තියෙනවද කියල මේ පරික්ෂාවේදී අනිවාර්යෙන් බලන්න ඕන…

 

වැකුම් හෝස් එකින් එකේ කරන කාර්යයන් හා ඒවායේ නම් ගම් කතා කරන එක විස්තරාත්මකව කරන්න ඕන දෙයක්… එක අපි වෙනම ලිපියකින් කතා කරමු…