දුර යන්න සිතුවාද සැඟවී හොරෙන්… බැලුවාද මේ දේවල් යන්නට කලින්….

අපි හැමෝම විනෝද ගමන් යන්න ගොඩක් ආසයි… හැමදාම එකම විදියට ගෙවෙන නීරස ඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා, ලස්සන මංමාවත් දිගේ, සොබා දහම රස විඳිමින් ගමන් යන්න කව්රුත් කැමතියි… ඒ වගේම විනෝද ගමනක දුර වැඩිවෙන තරමට ෆන් එකත් වැඩියි…. කරන්න පුළුවන් දේවලුත් වැඩියි…. ඒ නිසා හැමෝම බලන්නේ යන්න පුළුවන් උපරිම දුරකට තමන්ගේ ට්‍රිප් එක ප්ලෑන් කරගන්න තමයි….

මේ ට්‍රිප් එකක් වගේ දුර ගමනක් යද්දී ඔබට ලොකුවටම උදව් කරන නිහඬ සේවකයෙක් ඉන්නවා… ඒ තමයි ඔබේ වාහනය… විනෝද ගමන් විතරක් නෙමේ, වෙන ඕනෑම දුර ගමනක් යන්න අපිට උදව් කරන්නේ අපේ වාහන තමයි… සාමාන්‍ය පොඩි ගමනකට වඩා දුර ගමනක් යද්දී වාහනයේ තත්වය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන… මොකද දුර යද්දී එක දිගට පැය ගානක් වාහනය ක්‍රියාත්මක තත්වයේ තියෙන්නේ… වාහනේ කොටස් මත එන පීඩනය වැඩියි…. වෙනදට නොයන කඳු පල්ලම් වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්… රත් වෙන කොටස් උපරිමේටම රත් වෙන්න පුළුවන්… අධික සීතලේ, දරාගන්න බැරි රස්නේ හෝ මුරුගසන් වරුසා මැද්දේ පැය ගණන් එලවන්න වෙන්නත් පුළුවන්… දන්නැති පැත්තකට යන දුර ගමනකදී මොන වගේ දේවල් වලට මූන දෙන්න වෙයිද කියල කලින් කියන්න බැහැ…

ඔන්න ඔය හින්දා දුර ගමනකට වාහනේ කලින් සුදානම් කරන එක ඉතාම වැදගත්… දැන් කාලේ ගොඩක් අය ඉන්නේ කෙටි ගමන් වලට හුරු වෙලා… ඒ නිසා දුර ගමනකට වාහනේ ලෑස්තිය විශේෂයෙන් බලන්නේ නැහැ… සමහර අයට බලන්න කැමති උනත් බලන්න ඕන දේවල් දන්නේ නැහැ… අන්න ඒ හින්ද අපි මේ ලිපියෙන් දුර ගමනක් යන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕන දේවල් ටිකක් විස්තර කරන්න හිතුව…. ට්‍රිප් එකේ පළවෙනියටම ගරාජ් එකක් විසිට් කරන්න කැමති නැත්තන් මේ දේවල් බලල යන එක හොඳයි….

 

කුලන්ට් ලෙවල් එක බලන්න…

මෙතැනදී බලන්න ඕන කුලන්ට් ලෙවල් එක අඩු වෙලාද කියල… ලෙවල් එක කලින් තිබුන ගානට වඩා අඩු වෙලා නම් ගොඩක් වෙලාවට ඒ කුලන්ට් ලීක් එකක් නිසා වෙන්න පුළුවන්… කුලන්ට් ලීක් තියාගෙන දුර යන එක හරිම අවදානම් වැඩක්… මොකද දුර යනකොට වාහනය රත්වීමෙන් සහ ඇතුලත පීඩනය වැඩි වීමෙන් මේ ලීක් හරියෙන් කුලන්ට් එලියට යන්න පුළුවන්… එහෙම දිගටම ගියොත් අපි දන්නෙම නෑ එන්ජිම රත් වෙලා, සමහරවිට හෙඩ් ගෑස්කට් යන්නත් ඉඩ තියෙනවා…

බලන විදිය විස්තර ඇතුව මෙතනින් බලන්න…

 

එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්න…

මෙතැනදී බලන්නේ එන්ජින් ඔයිල් ලෙවල් එක අඩු වෙලාද කියල… මොකද එන්ජින් ඔයිල් ලෙවල් එක කලින් තිබුන ගානට වඩා අඩු වෙලානම් ගොඩක් වෙලාවට ඔයිල් ලීක් එකක් තියෙන්න පුළුවන් හින්ද..

එන්ජිමේ ඇතුලේ තියෙන කෑලි ඔක්කොම හිරවෙන්නේ නැතුව ක්‍රියා කරන්නේ එන්ජින් ඔයිල් එක නිසා.. දුර ගමනක්ම යන්න ඕන නෑ….. එන්ජින් ඔයිල් නැති උනොත්, එන්ජිමේ ඔක්කොම කෑලි ටික ක්ෂණයෙන් ගෙවිලා යනවා ආයේ ඒ එන්ජිම පාවිච්චි කරන්න බැරි වෙන්නම.. මේකට තමයි එන්ජිම සීස් වෙනවා කියන්නේ..

එන්ජිම සීස් කරගෙන අතරමග නවතින්න කැමති නැත්තන් අනිවාර්යෙන් මේක බලල යන්න… බලන විදිය විස්තර ඇතුව මෙතනින්….

 

ඔයිල් වල තත්වය බලන්න…

ඔයිල් ලෙවල් එක හරි උනාට ඔයිල් වල තත්වේ බාල වෙලා නම් එකෙන් කෙරෙන වැඩේ හරියට කෙරෙන්නේ නැහැ… ඒ නිසා දුර ගමනක කලින් ඔයිල් වල පාට හා ඝනත්වය බලන එක ගොඩක් වැදගත්… බලන්න ඕන විදිය මෙතන විස්තර ඇතුව කියනවා….

 

වින්ඩ්ස්ක්‍රින් වොෂර් ලෙවල් එක බලන්න…

වින්ඩ්ස්ක්‍රින් එක සෝදන කාර්යය කරන වින්ඩ්ස්ක්‍රින් වොෂර් ලෙවල් එක හරියට තියෙනවද කියල අනිවාර්යෙන් බලන්න… නැත්තන් රෑට එලවන්න අමාරු වෙයි…. බලන විදිය විස්තර ඇතුව මෙතනින්….

 

ටයර් හොඳින්ද බලන්න….

මේකෙදි ටයර් වල හුලන් ප්‍රමාණය බලන්න ඕන… මොකද හුලන් අඩුවෙන් දිව්වොත් ටයර් වැඩිපුර ගෙවෙන හින්ද…

තව කට්ට ගෙවිලද නැද්ද කියලත් බලන්නත් ඕන… කට්ට ගෙවිච්ච ටයර් දාගෙන දුවන එක පොලිසියෙන් අල්ලන්න පවා පුළුවන් වැරද්දක්…

කරන්න ඕන සේරම දේවල් විස්තර ඇතුව මෙතනින් බලන්න….

 

ලයිට් සේරම වැඩද බලන්න…

රෑ ගමනකදී ඉතාම වැදගත් වෙන දෙයක් මේ… හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, බ්රේක් ලයිට් වගේම ෆොග් ලයිට් පවා පත්තු වෙනවද බලන්න ඕන මේකෙදි… ඒ වගේම ලයිට් ස්විච් සේරමත් අව්ලක් නැතුව වැඩ කරනවද කියල බලන්න ඕන… ස්විච් සේරම දාල බලන්න ලයිට් ඔක්කොම පත්තු වෙනවද කියල…

පොලීසිය බලන් ඉන්නේ ඔබේ වාහනේ එක ලයිට් එකක් හරි වැඩ නොකරනකල් තමයි… ඔබෙන් පොඩි ආධාරයක් ඉල්ලගන්න….

 

ස්පෙයාර් වීල් එක හොඳයිද බලන්න…

ස්පෙයාර් වීල් එකක් තියෙන වාහනයක් නම් අනිවාර්යෙන් ඒකෙ තත්වය බලන්න ඕන.. මේකෙදි කලින් වගේම හුලන් තත්වය හා කට්ට ගෙවිලද කියල දෙකම බලාගන්න එක වැදගත්… මොකද හුලන් නැති ස්පෙයාර් වීල් එකක් කියන්නේ කිසිම ප්‍රයෝජනයක් තියෙන දෙයක් නෙමේ… ටයර් එල්ලගෙන, හුලන් ගහන්න ෂෙඩ් හොයාගෙන, බයිසිකල් වල කලබලෙන් යන අය ඔබ ඕනෑතරම් දැකල ඇති… ඒ ඔබ දකින්නේ මේ පරික්ෂාව දුර යන්න කලින් කරන්න කම්මැලි වෙච්ච උදවිය තමයි…

 

එන්ජින් බෙල්ට් හොඳද බලන්න….

එන්ජිමට සවි වෙච්ච විවිධ රබර් බෙල්ට් තියෙනවා…. ෆෑන් බෙල්ට් හෝ ඩ්‍රයිව් බෙල්ට්, ටයිමින් බෙල්ට් වගේ විවිධ නම් වලින් මේවා හඳුන්වනවා… දුර ගමනක් යන්න කලින් මේ බෙල්ට් වල තත්වය පොඩ්ඩක් බලාගෙන ඉන්න එක ගොඩක් වැදගත්…. හරියටම බලන විදිය ටිකක් සංකීර්ණ නිසා විස්තර ඇතුව වෙනම පොස්ට් එකක කියල තියෙනවා….

 

ලීක් මොනවහරි තියෙනවද බලන්න…

මේක කරන්න වාහනේ පිරිසිදු මතුපිටක පැයක් විතර නවත්තල තියන්න ඕන… ඊට පස්සේ වාහනේ එතනින් අයින් කරලා බලන්න ඕන මොනවම හරි දෙයක් යටින් ලීක් වෙලා තියෙනවද කියල… තෙල්, වතුර හෝ ඉන්ධන උනත් මේ විදියට ලීක් වෙලා තියෙන්න පුළුවන්… මොනවම හරි නොදන්නා ලීක් එකක් දැක්කොත් අනිවාර්යෙන් දුර ගමන යන්න කලින් ගරාජ් එකකින් චෙක් කරගන්න එක වටිනවා….

 

වයිපරේ හොඳද බලන්න…

වයිපරේ වටිනාකම තේරෙන්නේ මහ වැස්සක් මැද්දේ වයිපරේ වැඩ කරන්නේ නැතුව ගියාම තමයි… නොදන්න පැත්තක, මහා රෑක, අලි මාරු වෙන පාරක ඔය දේ සිද්ද උනොත් ඇතිවෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ… ඒ හින්ද පොඩි දෙයක් වගේ පෙනුනත් වයිපර් වැඩද කියල දුර යන්න කලින් බලන එක ගොඩක් වැදගත්…. මෙතැනදී වයිපර් බ්ලේඩ් එක ගෙවිලද කියලත් බලන්න ඕන….

 

හදිසි අවස්ථාවකට ලෑස්තිද බලන්න…

ඔය මොන දේවල් බලල ගියත් නොහිතන විදියේ හදිසි අවස්ථා වලට අපිට මුහුණ දෙන්න සිද්ද වෙනවා… අන්න එවෙලෙට ප්‍රයෝජනෙට ගන්න බඩු ටිකක් දුර යද්දී අරන් යන එක වටිනවා…

වාහනේ ජැක් එක, ෆ්ලෑෂ්ලයිට් එකක්, අඩ තියන්න පොඩි කොට කෑලි දෙකක්, ලොකු කුඩයක්, බැටරි චාර්ජ් කේබල් එකක්, ගිනි නිවන උපකරණයක් වගේ දේවල් මෙහෙම ගෙනිච්චොත් හොඳයි… කවදා හරි ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා…

ඔබේ වාහනය ටිකක් පරණ හෝ ලොකු එකක් නම් පොඩි ටුල් බොක්ස් එකකුත් ගෙනිච්චට පාඩු නෑ…

ඒ එක්කම වාහනේ යන අයගේ ප්‍රයෝජනෙට ෆස්ට් ඒඩ් බොක්ස් එකක් අරගෙන යන එකත් හොඳයි….

 

දුර ගමනක් යනකොට අපි ගොඩක් ලැස්ති වෙනවා… හැබැයි අපේ ගමන් සගයා වෙච්ච වාහනය එහෙම ලෑස්ති කරවන්නේ නැහැ… අපි ලෑස්ති වෙනවා වගේම අපේ වාහනේ ලෑස්ති කරන එක ඉතාම වැදගත් කියල මේ ලිපිය කියෝපු ඔයාලට තේරෙන්න ඇති… විනෝද වෙන්න යන ගමනක අතරමග නැවතිලා දුක් විඳින්න අපි කව්රුත් කැමති නෑනේ… ඒ නිසා ඊළඟ දුර ගමන යද්දී මේ ලිපියේ කරුණු එකක් දෙකක්වත් කරලා බලන්න උත්සහ කරන එක හොඳයි… යන ගමන සාර්ථක කරගන්න මේ ලිපියේ තියෙන කරුණු උදව්වක් උනා නම් අන්න ඒක තමා අපේ සතුට…