ස්ටාටර් මෝටරේ පරික්ශා කරන හැටි

ස්ටාටර් මෝටරේ ගිහින්ද දන්නෑ……….!!!!!!!!!!!!!!!

ඕක තමයි වාහනයක් ස්ටාර්ට් වෙන්නේ නැති උනාම ගොඩක් දෙනෙක් මුලින්ම කියන වාක්‍යය… සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමේ, පළපුරුදු ගරාජ් බාස්ල පවා ස්ටාර්ට් නොවන වාහනයක් දැකපු ගමන් ඔහොම කියනවා ඔබ අහල ඇති…

ඇත්තටම මොකද්ද මේ ස්ටාටර් මෝටරේ කියන්නේ… වාහනයක් පනගන්වෙන්න, එහෙම නැත්තන් “ස්ටාර්ට්” වෙන්න මේ ස්ටාර්ටර් මෝටරේ තියෙන වැදගත්කම මොකද්ද….

වාහන එන්ජිමක් ඇතුලේ පිස්ටන් තියෙනවා කියල ඔයාල දන්නවා ඇති… දන්නේ නැත්තන් අහල හරි ඇති… වාහනය ධාවනය කරන්න බලය ඕනනේ… ඔන්න ඔය බලය ගන්න පිස්ටන් තියෙන සිලින්ඩර් ඇතුලේ ඉන්ධන හා වායු මිශ්‍රණයක් සම්පීඩනය කරලා දහනය කරවනවා… ඒ දහනයේදී පිපිරීමක් වගේ අධික ශක්තියක් ඇතිවෙනවා… ඒ ශක්තිය තමයි වාහනය ධාවනයට ඕන බලය උත්පාදනය කරන්නේ… එත් එක්කම ඒ දහනයෙන් එන බලයෙන්ම ඊළඟ වටයේදී ඉන්ධන හා වායු මිශ්‍රණය සම්පීඩනය කරන්න ඕන බලයත් එන්ජිම ලබා ගන්නවා… ඒ කියන්නේ මුලින් ස්ටාර්ට් කරලා දුන්නම පිටින් බලයක් නැතිව එන්ජිමට තනියෙන් දුවන්න පුළුවන්….

හැබැයි මේක වැඩ කරන්න නම් පලවෙනි වටයේදී පිස්ටන් ටික සම්පීඩනය කරලා දෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන… එහෙමත් නැත්තන් එන්ජිමේ ක්‍රෑන්ක් පුලිය මුලින්ම කරකවල දෙන්න යම්කිසි කෙනෙක් ඉන්න ඕන… පලවෙනි පාර කරකවල දුන්නට පස්සේ ඉන්ධන දහනයෙන් එන ශක්තියෙන් එන්ජිමට තනියෙන් දුවන්න පුළුවන්…

පලවෙනි පාර ක්‍රෑන්ක් පුලිය කරකවන වැඩේ කරන්න වාහනවල ටිකක් බලසම්පන්න මෝටර් එකක් හයි කරලා තියෙනවා… යතුර දාල ස්ටාර්ට් කරද්දී වෙන්නේ මේ මෝටර් එකට බැටරි එක සම්බන්ධ කරන එකයි…

මෙන්න මේ පලවෙනියට එන්ජිම ස්ටාර්ට් කරලා දෙන මෝටරේ තමයි ඔබ කව්රුත් දන්න විදියට “ස්ටාටර් මෝටර්” එක ලෙස හඳුන්වන්නේ…

දැන් ස්ටාටර් මෝටර් එක වැඩ කරන්නේ නැතුව ගියොත් මොකෝ වෙන්නේ…..?

වෙන්නේ ඉතින් හරිම සරලව එන්ජිමේ පලවෙනි වටය කැරකෙන්නේ නැති එක… පලවෙනි වටය නැති උනාම එන්ජිම කොහොමත් ස්ටාර්ට් කරන්න බැහැනේ… එතකොට ස්ටාටර් මෝටර් එක කැඩුණු වාහනයක් කියන්නේ කොහොමවත් පනගන්වන්න බැරි, අක්‍රිය වෙච්ච යකඩ ගොඩක් විතරයි…

වාහනයක් ස්ටාර්ට් වෙන්නේ නැති උන ගමන් ගොඩ දෙනෙක් සැක කරන ප්‍රධාන වින්දිතයෙක් තමයි ස්ටාටර් මෝටර් එක… නමුත් ඔබ දන්නවා වාහනයක් ස්ටාර්ට් නොවෙන්න හේතු ගොඩක් තියෙනවා කියල… ඉතින් අපි කොහොමද හරියටම ප්‍රශ්නේ ස්ටාටර් මොටරේද කියල දැනගන්නේ…

වෙන දේ සරලයි වගේ පෙනුනට ස්ටාටර් මෝටරේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියල බලා ගන්න එක නම් ටිකක් සංකීර්ණ කාරණාවක්…

මෙතනදී මෝටරේ “ground circuitry”, “relay circuirty” එක වගේම බැටරි එකේ ඉඳලා ස්ටාටර් මෝටරේට යන පාත් එකත් හරියට බලා ගන්න වෙනවා… වැඩේ හරියට දැනගත්තම ලොකු දේකුත් නෙමේ… මේ ලිපිය අපි වෙන් කරන්නේ සම්පුර්ණයෙන්ම ස්ටාටර් මෝටර් එකක් ගෙදරදීම පරික්ෂා කරගන්න විදිය ඔබට කියලා දෙන්නයි…

මුලින්ම අපි බලමු ස්ටාටර් මෝටරේ වාහනේ ඇතුලේ එක එක උපාංග වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියල… පල්ලෙහා රූපේ හොඳට බලන්න… යටින් අපි ඔය රූපේ හොඳට පැහැදිලි කරනවා….

ඉහත රූපයේ ඔබට පේනවා ඇති මෙන්න මේ දේවල්,

1. ස්ටාටර් මෝටරය

වාහනය එන්ජිමෙන් දුවන්න නම් මුලින්ම එන්ජිම කරකවලා දහන කුටීරය ඇතුලේ තියෙන ඉන්ධන සහ වාතය තෙරපීමකට ලක් කරන්න ඕන.. එහෙම තෙරපුමට ලක්වෙද්දී ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් වෙලා ඉන්ධන දහනය වෙන්න පටන් ගන්නවා.. එතනින් පිටවෙන බලයෙන් තමයි එන්ජිම නැවත ඉන්ධන තෙරපුමට ලක් කරන අවස්ථාවට කරවලා ගන්නේ… ඊට අමතරව අපි ගියර් එක දැම්මොත් වාහනය ගමන් කරන්නෙත් ඔන්න ඔය බලයෙන්… ඉතින් ඔබට තේරෙනවා ඇති ස්ටාටර් මෝටරය අවශ්‍ය වෙන්නේ එන්ජිම මුල් වරට කරකවන්න පමණයි කියල… ඒ නිසානේ අපි යතුර දාල “START” කියන තැනට යතුර කරකවලා එන්ජිම ස්ටාර්ට් උනාට පස්සේ අර යතුර ඉබේම “START”  කියන තැනින් “ON” කියන තැනට ආපසු එන්නේ…

 

2. ස්ටාටර් ස්විච් එක (Starter switch)

ස්ටාටර් ස්විච් එකට තමයි අපි කවුරුත් වාහනයේ යතුර දාන්නේ… ඕකේ තියෙනවා යතුර දාලා කරකවද්දී නවතින තැන් හතරක්…ඒවා තමයි “LOCK”, “AC”, “ON” සහ “START”.

“LOCK” එකෙන් තමයි ස්ටියරින්ග් වීල් එක ලොක් කරන්නේ… “AC” කියන්නේ රේඩියෝව වගේ අමතර උපාංග ඔන් කරන තැන… “ON” එකේදී වෙන්නේ වාහනයේ තියෙන විද්‍යුත් උපාංග ( ලයිට්, ECU එක, වයිපර්  වගේ ඒවා) ඔන් කරන තැන… “START” කියන්නේ ස්ටාටර් මෝටරය ඔන් කරන තැන… පහත රූපය බලන්නකෝ…

3.බැටරිය (Battery)

බැටරියෙන් තමයි ස්ටාටර් මෝටරය කරකවන්න අවශ්‍ය විදුලිය දෙන්නේ… මේකෙදී ඔබට පේනවා ඇති බැටරියයි ස්ටාටර් මෝටරයයි වෙනම පරිපථයකින් සම්බන්ධ වෙලා තියෙනවා කියල.. ඊට අමතරව ස්ටාටර් ස්විච් එකයි නියුට්‍රල් සේෆ්ටි ස්විච් එකයි, බැටරියයි වෙනම පරිපථයකින් සම්බන්ධ වෙලා තියෙනවා කියල.. ඔන්න ඔය පරිපථ දෙක ස්ටාටර් රිලේ (Stater Relay) එකකින් වෙන් වෙලා තියෙනවා කියලත් ඔබට පේනවා ඇති…

 

4.නියුට්‍රල් සේෆ්ටි ස්විච් (Neutral Safety Switch0) ඔටෝ ගියර් වාහනවල පමණි 

මොකක්ද මේ නියුට්‍රල් සේෆ්ටි ස්විච් කියන්නේ…? ඕක තියෙන්නේ කොතනද…? ඔය නියුට්‍රල් සේෆ්ටි ස්විච් එක කරන්නේ ඔටෝ ගියර් පද්ධතියේ තියෙන P, D, R සහ L වැනි ගියර් ස්ථානවලින් එකකට  අපි ගියර් ලීවර් එකෙන් දාල තියෙනකොට ඒ ගියර් ස්ථානයේම පවත්වාගෙන තබා ගැනීම…නියුට්‍රල් සේෆ්ටි ස්විච් එක තියෙන්නේ ගියර් බොක්ස් එකේ .. ගියර් ලීවර් එක තියෙන්නේ වාහනය ඇතුලේ කියල අපි දන්නවනේ… ඉතින් මේ ගියර් ලීවර් එකයි නියුට්‍රල් සේෆ්ටි ස්විච් එකයි කේබල් එකක් හෝ ශාෆ්ට් එකක්  අධාරයෙන් සම්බන්ධවෙලා තියෙනවා… ඔන්න ඔය ලීවරයෙන් තමයි අපි ගියර් ලීවරය ඒ ඒ ගියර් වලට දාද්දී නියුට්‍රල් සේෆ්ටි ස්විච් එකත් ඊට ඒ ඒ ගියර් වලට මාරුකරවන්නේ.. පහත රූපය බලන්නකෝ…

නියුට්‍රල් සේෆ්ටි ස්විච් එක තියෙන තැන
ගියර් ලීවර් එක

උදාහරණයක් හැටියට අපි D කියන ස්ථානයට ගියර් ලීවර් එක දැම්ම කියමු… එතකොට D ස්ථානයේම ගියර් බොක්ස් එක පවත්වාගන්නේ  නියුට්‍රල් සේෆ්ටි ස්විච් එකෙන්… ඊට පස්සේ අපි P කියන ස්ථානයට දැම්මම අපි ගියර් ලීවර් එකෙන් වෙනත් ස්ථානයකට දානකන් ඔන්න ඔය P කියන ස්ථානයේ ගියර් බොක්ස් එක පවත්වාගන්නේ නියුට්‍රල් සේෆ්ටි ස්විච් එකෙන්…

මේකෙදි තව දෙයක් වෙනවා… නියුට්‍රල් සේෆ්ටි ස්විච් එක ECU එකට කියනවා ගියර් එක තියෙන තැන… ඒ තියෙන තැන එතකොට ECU එක දන්නවා… ඔටෝ ගියර් වාහනයක P සහ N ස්ථානවලදී විතරයි එන්ජිම ස්ටාර්ට් වෙන්නේ නැතිනම් වෙනත් ස්ථානයකදී ස්ටාර්ට් උනොත් ඒක ගියර් බොක්ස් එකට වගේම අපිටත් අනාරක්ෂිත දෙයක්.. ඒ නිසා ECU එක P සහ N ස්ථාන වලදී විතරයි ස්පාර්ක් ප්ලග් එකට සිග්නල් එවන්නේ… අනෙක් ස්ථානවලදී ස්පාර්ක් ප්ලග් ස්පාර්ක් වෙන්නේ නැති නිසා ස්ටාර්ට් වෙන්නේ නැහැ… අපි කියන්න ඔන්න ඔය දේ ඔබට දැනටමත් වෙලා ඇති…ඉතින් ඔන්න ඔය කාරණය නිසා තමයි “නියුට්‍රල් සේෆ්ටි ස්විච්” එහෙමත් නැතිනම් “Neutral Safety Switch”  කියල කියන්නේ….

 

5.සෙකියුරිටි එලාර්ම් රිලේ (Security Alarm Relay)

සෙකියුරිටි එලාර්ම් රිලේ එක තියෙන්නේ ඔබගේ වාහනයේ සෙකියුරිටි සිස්ටම් එකක් තියෙනවානම් පමණයි… සෙකියුරිටි සිස්ටම් එකකින් කරන්නේ ඔබගේ වාහනයේ යතුර හැර වෙනත් යතුරක් භාවිතා කොට වාහනය පණගන්වන එක වලක්වීමයි… ඉහත රූපයේ ඔබට හොඳින්ම පේනවා ඇති එලාම් රිලේ (ALARM RELAY) එක නිසා  සාමාන්‍ය අවස්තාවේදී අපි වාහනයේ නොවන යතුරකින් ස්ටාර්ට් කරපුවාම (යතුර ඉග්නිෂන් ස්විච් එකට දාලා “START” කියන තැනට කැරකෙව්වාට) එලාම් රිලේ එකේ ස්විච් එක “OFF” වෙලා තියෙන බව…එහෙම “OFF” වීම නිසා ඔබට දැන් තේරෙන්න ඕන “STARTER RELAY ” එකට කරන්ට් එක යන්නේ නැති බව… වාහනයේ යතුරෙන් ස්ටාර්ට් කරපුවාම මොකද වෙන්නේ ? මේකෙදී ඔබට පෙන්වා ඇති “ALARM CONTROL MODULE ” කියල එකක්… ඔන්න ඕකෙන් වෙන්නේ ඔබගේ වාහනයේ යතුර බ්ලූටූත් තාක්ෂණයෙන් අඳුරගන්න එක… එහෙම අඳුරගෙන එලාර්ම් රිලේ එකේ කොයිල් එක හරහා කුඩා කරන්ට් එකක් යවන එක.. ඔන්න ඔය කුඩා කරන්ට් එක නිසා එලාර්ම් රිලේ එක හරහා යන ඉග්නිෂන් ස්විච් එකේ වයර් එකට අදාළ ස්විච් එක “ON ” වෙනවා…

 

6.ක්ලච් පෙඩල් පොසිෂන් ස්විච් (Clutch Pedal Position Switch) මැනුවල් වාහනවල පමණි

මොකක්ද මේ ක්ලච් පෙඩල් පොසිෂන් ස්විච් එක කියලා කියන්නේ ? මේකට ක්ලච් පෙඩල් පොසිෂන් සෙන්සර් කියලත් කියනවා…ඔය ස්විච් එකෙන් තමයි ක්ලච් එක අපි පාගගෙන ඉන්නවද එහෙමත් නැතිනම් ක්ලච් එක රිලීස් කරලද කියලා ECU එකට කියන්නේ…එහෙම කියන්න හේතුව තමයි එකක් ECU එකට පුළුවන් ක්ලච් එක පාගගෙන ඉන්නවනම් අපි දහනය වෙන ඉන්ධන අඩු කරන්න… මොකද ක්ලච් එක පාගගෙන ඉන්නකොට වාහනයට එන්ජිමෙන් බලයක් එන්නේ නැහැනේ…අනිත් හේතුව තමයි අපි ක්ලච් එක පාගන අතහරිනකොට අපිට දැනෙන්නේ නැතිවෙන්න ගියර් මාරුවෙන්න නම් ECU එක ක්ලච් එක පාගගෙන ඉන්නවද එහෙමත් නැතිනම් අතහැරලද කියල දනගෙන්න ඉන්න ඕන…

එතකොට  වාහනවල ඔන්න ඔය නිසා වාහනය ස්ටාර්ට් කරන්න නම් ක්ලච් එක පාගාගෙන ඉන්න වෙනවා… ඉතින් ඔන්න ඔය නිසා තමයි මැනුවල් වාහනයක ස්ටාර්ට් ස්විච් එක හරහා ඔන්න ඔය කියන ක්ලච් පෙඩල් පොසිෂන් ස්විච් එකත් සවිකරලා තියෙන්නේ…

 

7. ස්ටාටර් රිලේ  (Starter Relay)

ස්ටාටර් රිලේ එකෙන් කරන්නේ ලොකු කරන්ට් එකක් ගන්න ස්ටාටර් මෝටරය ඔන්න ඔය ස්ටාටර් මෝටරය ON/OFF කරන ස්ටාටර් ස්විච් එකෙන් වෙන් කරන එක.. එකට හේතුව තමයි ස්ටාටර් ස්විච් එක හරහා ස්ටාටර් මෝටරය ගන්න කරන්ට් එක ගියොත් ඉක්මනින්ම එක පිච්චිලා යන එක… 

 

8. ස්ටාටර් සොලෙනොයිඩ් (Starter Relay Solenoid)

මේකත් ස්ටාටර් රිලේ එක වගේම තමයි…  වෙනසකට තියෙන්නේ මේකේ කොයිල් එක සාමාන්‍ය රිලේ එකක කොයිල් එකකට වඩා ගොඩක් ලොකුයි… අනිත් එක තමයි ස්ටාටර් සොලෙනොයිඩ් රිලේ එක තියෙන්නේ ස්ටාටර් මොටරයේම කෑල්ලක් හැටියට… ඔය ස්ටාටර් සොලෙනොයිඩ් එකෙන් තමයි ඇත්තටම ස්ටාටර් මෝටරය හරහා යන කරන්ට් එක ON/OFF කරන්නේ… හැබැයි ඔබට මතක ඇති කලින් අපි කිව්වා ස්ටාටර් රිලේ එක තමයි ස්ටාටර් මොටරයේ කරන්ට් එක ON/OFF කරන්නේ කියල..ඒක ඒ වෙලාවේ කිව්වට හරියටම වෙන්නේ මෙහෙමයි…

අපි යතුර දාල “START” කරනකොට ස්ටාටර් රිලේ එකේ කොයිල් එක හරහා කරන්ට් එකක් යනවා… ඔන්න ඒ යන කොයිල් එකේ කරන්ට් එක නිසා කොයිල් එකේ කාන්දම් බලයක් ඇතිවෙලා එකේ ඇතුලේ තියෙන ස්විච් එක “ON” වෙනවා… 

ඉතින් ඔය ස්විච් එක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ස්ටාටර් සොලෙනොයිඩ් එකට අන්න එතකොට ස්ටාටර් සොලෙනොයිඩ් එකේ අර ලොකු කොයිල් එක හරහා කරන්ට් එකක් යන්න පටන් ගන්නවා… 

දැන් ස්ටාටර් සොලෙනොයිඩ් එකේ කොයිල් එක හරහා යන කරන්ට් එකෙන් කොයිල් එකේ ඇතිවන කාන්දම් බලයෙන් ස්ටාටර් මෝටරයට කරන්ට් එක එන වයර් එකේ ස්විච් එක “ON” වෙනවා… පහත රූපය  බලන්නකෝ…

උඩින් විස්තර කරපු ටික තේරුණා නම් දැන් ඔබට ස්ටාටර් මෝටරේ වැඩ කරන හැටි ගැන හොඳ අවබෝධයක් තියෙනවා… ඉතින් ඕක කැඩිලා නම් චෙක් කරගන්නේ කොහොමද…

ඇත්තටම ස්ටාටර් මෝටර් එකක් පරික්ෂා කරද්දී කරන්නේ උඩ අපි කිව්ව පරිපථයේ හැම මුලික උපාංගයක්ම හරියට වැඩ කරනවද කියල බලන එකයි… මෙතැනදී උපාංග අතරේ වයරින් එක හරියට තියෙනවද කියලත් බලන්න ඕන…

ඉතින් අපි බලමු මේ විදියට බලන්න ඕන දේවල් කොනක ඉඳල…

 

ප්‍රධාන රිලේ 3 පරික්ෂා කරන්න

ඔබට පේනවා ඇති ඉහත පරිපථයේ රිලේ තුනක් තියෙනවා.. එකක් ස්ටාර්ට් ස්විච් එක ළඟ, අනික එන්ජින් එක ළඟ තියෙන රිලේ පැනල් එක ළඟ, අනිත් එක තමයි ස්ටාටර් සොලෙනොයිඩ් එක.. ඔය හැම එකක්ම රිලේ එකක් නිසා.. සාමාන්‍යයෙන් රිලේ එකක් චෙක් කරන විදියටම ඔන්න ඔය කිව්වා රිලේ තුනත් චෙක් කරන්න.. රිලේ චෙක් කරන විදිය මෙන්න මේ පිටුවේ කියල තියෙනවා…

 

ස්ටාටර් සොලනොයිඩ් එකේ වයරින් එක පරික්ෂා කරන්න

ස්ටාටර් රිලේ එකට සම්බන්ධ වයරින්ග් එක චෙක් නොකලාට කමක් නැහැ.. මොකද ගොඩක් වාහනවල ස්ටාටර් රිලේ එක තියෙන්නේ රිලේ පැනල් එකේ.. සාමාන්‍යයෙන් රිලේ පැනල එකේ තියෙන වයරින් ගැලවෙන්නේ නැහැ ලෙසියකට…

හැබැයි ස්ටාටර් සොලෙනොයිඩ් එකේ වයරින්ග් එක නම් චෙක් කරන්න ඔබගේ වාහනය ස්ටාර්ට් වෙන්නේ නැතිනම්…. ස්ටාටර් සොලෙනොයිඩ් එකේ වයරින්ග් එක ගොඩක් වාහනවල ඉහත රූපයේ වගේම තමයි…නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙන්න ඕන නිසා හොඳම වැඩේ තමයි ඔබගේ වාහනයේ ස්ටාටර් සොලෙනොයිඩ් එකට එන වයරින්ග් එක කොහොමද තියෙන්නේ කියල වාහනයේ මැනුවල් එක භාවිතයෙන් බලාගන්න එක… මේ පිටුව කියවල ඔබ යමක් තෙරුම්ගත්තානම් ඔබගේ වාහනයේ තියෙන විදිය කොහොමද කියල තේරුම්ගන්න එක ගොඩක් ලේසිවෙයි…

 

ස්ටාටර් ස්විච් එකේ රිලේ එක පරික්ෂා කරන්න

තවත් පොඩි රිලේ එකක් තියෙනවා ස්ටාර්ට් ස්විච් එකේ.. ඔන්න ඔය රිලේ එක තියෙන්නේ ස්ටාර්ට් ස්විච් එක ඇතුලේ… ඉතින් ඕක සමහර වාහනවල එළියේ තියෙන්නත් පුළුවනි… ඉතින් මැනුවල් එක බලල එහෙම රිලේ එකක් තියෙනවද කියල හොයාගෙන තියෙන තැනත් හොයාගෙන චෙක් කරන්න…

 

ෆියුස් ගිහින්ද බලන්න

ඊළඟට වැදගත්ම දේ තමයි ඔන්න ඔය ස්ටාටර් මෝටරයට අදාළ පරිපථයේ තියෙන ෆියුස් ටික චෙක් කරන එක… අපි පෙන්නලා තියෙන රූපයේත් ෆියුස් එකක් තියෙනවා ඒක තියෙන්නේ බැටරියේ ධන අග්‍රයයි ස්ටාටර් සොලෙනොයිඩ් එකයි අතර…තව ෆියුස් එකක් තියෙනවා ස්ටාටර් ස්විච් එකේ රිලේ එකයි නියුට්‍රල් සේෆ්ටි ස්විච් එක හෝ ක්ලච් පොසිෂන් සෙන්සර් එකයි අතර….