ඔක්කොටම කලින් ස්පාර්ක් ප්ලග් කියන්නේ මොකක්ද කියල නොදන්නා යට කෙටියෙන් විස්තර කරලා ඉන්න ඕනි… ඔබ දන්නවා ඇති වාහනයක එන්ජිම කරකැවෙන්නේ එහි තියෙන පිස්ටන් ඉහල පහල යෑමෙන් බව… මේ පිස්ටන් ඉහල පහල යවන්න අධික බලයක් ඕනි… ඒ බලය ගන්නේ මෙන්න මෙහෙමයි… පිස්ටන් එක ඉහලට යෑම නිසා පිස්ටන් එක තියෙන කුටීරය ඇතුලේ පිස්ටන් එකට උඩින් අධික ලෙස ඉන්ධන සහ වාතය පීඩනයකට ලක්වෙනවා… මේ පීඩනයට ලක්වෙන මිශ්‍රණයට ස්පාර්ක් එකක් නැතිනම් ඉතා කුඩා ගිනි පුලිඟුවක් ලබා දෙනවා.. එතකොට මිශ්‍රණය ඉතා අධික ශක්තියක් පිටකරමින් දහනය වෙනවා… ඒ ශක්තියෙන් තමයි පිස්ටන් එක පහලට අධික බලයකින් තල්ලු වෙන්නේ… ඉතින් මේ ස්පාර්ක් එක දෙන්නේ ස්පාර්ක් ප්ලග් එකෙන්… ස්පාර්ක් ප්ලග් එක තියෙන්නේ පිස්ටන් එක තියෙන කුටීරයේ පිස්ටන් එකට උඩින්… පහත රූපය බලන්න…

ස්පාර්ක් ප්ලග් එක තියෙන්නේ කොතනද? ටොයෝටා වාහනයක (1992-1996) ස්පාර්ක් ප්ලග් එක තියෙන තැන පහත රූපයෙන් පෙන්වල තියෙනවා… ඔබට පේනවා එන්ජින් එකේ හෙඩ් එකේ කළු පැහැති කොටු හැඩැති කොපුවකට ටිකක් මහත වයර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා… එවැනි ඒවා හතරක් පේන්න තියෙනවා.. ඔන්න ඔය කොපුව ගැලෙව්වාම අඟලක් වගේ විශ්කම්භයක් තියෙන කුහරයක් ඔබට පෙනේවි… ඒ කොපුව ගලවන්න නම් කොපුවයි වයර් එකයි සම්බන්ධ වෙනතැන ඇඟිලි දෙකෙන් අල්ලලා උඩට එකපාරටම අදින්න ඕන.. පහත රූපය බලන්න…
දැන් අපි කලින් කිව්ව කුහරය ඔබට පෙනේවි..පහත රූපය බලන්න…. ගලවපු කොපුවයි.. කුහරයයි පෙන්නලා තියෙනවා..ඔන්න ඔය කුහරය ඇතුලේ තමයි ස්පාර්ක් ප්ලග් එක තියෙන්නේ..
පහත රූපය බලන්න… ස්පාර්ක් ප්ලග් එකේ නට් එක වගේ තියෙන කොටස කුහරය ඇතුලේ තියෙන හැටි බලන්න… ඔන්න ඔය නට් එක හැඩති කොටසින් තමයි අපි ස්පාර්ක් ප්ලග් එක ගලවන්නේ..

ඒක ගලවන්න නම් විශේෂ ටූල් එකක් ඕන කරනවා… පහත රූපයේ තියෙන්නේ ඒ ටූල් එක.. මේක බොක්ස් ස්පැනර් කෑල්ලක් වගේම තමයි හැබැයි බොක්ස් කෑල්ලකට වඩා දිගයි….සයිස් එක මි.මි. 14….. මෙන්න මේ විදියට ඒ ටූල් එක කුහරය ඇතුලට දාල ස්පාර්ක් ප්ලග් එකේ නට් එක හැඩති කොටසට සෙට් කරගෙන සාමාන්‍ය බෝල්ට් එකක් ගලවනවා වගේ ගලවන එක… එහෙම ගලවලා ටූල් එකත් එක්කම ස්පාර්ක් ප්ලග් එක එලියට ගන්න….
දැන් අපි ස්පාර්ක් ප්ලග් එක තියෙන තැනයි ගලවන විදියයි ඉගෙනගත්තා… ඊට පස්සේ කරන්න තියෙන්නේ ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් වෙනවද කියලා පරීක්ෂාකරන එක…ඒකට ඕන කරනවා ලොකු ක්‍රොකඩයිල් ක්ලිප් දෙකකුයි … මි.මි. 10ක් වත් ඝනකම තියෙන වයර් කෑල්ලකුයි ..එක වයර් කෑල්ලක දිග අඩි 4ක් විතර වෙන්න ඕන… කොහොමරි වෙන්න ඕන මේකයි… වයර් කෑල්ල දෙපැත්තට ක්‍රොකඩයිල් ක්ලිප් දෙක සවි කරන්න… පහත රූපය බලන්න…

මුලින්ම කරන්න ඕන ස්පාර්ක් ප්ලග් හතරේම කොපු 4 ගලවලා එන්ජිමේ පැත්තකින් තබන එක… ඊට පස්සේ අපි පරීක්ෂා කරන ප්ලග් එක ගලවලා එලියට ගන්න ඕන… එහෙම එලියට ගත්තට පස්සේ ඒ ප්ලග් එකට අදාළ කොපුව ප්ලග් එකට සවිකරන්න.. පහත රූපයේ වගේ…
ඉන්පසුව ඔබ සවිකරගත් ක්‍රොකඩයිල් ක්ලිප් සහිත වයර් එකේ එක පැත්තක ක්ලිප් එක ස්පාර්ක් ප්ලග් එකේ ලෝහ කොටසට හොඳින් ස්පර්ශ වන සේ සවි කරන්න.. පහත රූප බලන්න…
දැන් ඔය ස්පාර්ක් ප්ලග් එක එන්ජිමේ හෙඩ් එක මත තබන්න…
වයර් එකේ අනිත් පැත්තේ ක්‍රොකඩයිල් ක්ලිප් එක වාහනයේ රින අග්‍රයට සවිවන සේ තබන්න… පහත රූපය බලන්න…

දැන් ඔබ තවත් කෙනෙක්ට කියලා යතුර කරකවලා වාහනය ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් කරන්න කිව්වට ස්ටාර්ට් වෙන්නේ නෑ.. එන්ජිම ක්‍රෑන්ක් වෙනවා විතරයි.. මොකද අපි ප්ලග් වල කොපු ගැලෙව්ව නිසා ප්ලග් වලට විදුලිය එන්නේ නැහැ.. ඇරත් එක ප්ලග් එකක් කොපුවට සවිකරලා ව්ලියෙයි තියෙන්නෙත්….ඉතින් එහෙම එන්ජිම ක්‍රෑන්ක් වෙනකොට බලන්න අපි පරීක්ෂා කරන ස්පාර්ක් ප්ලග් එකෙන් කුඩා විදුලි පුලිඟු යනවද කියලා… පහත රූපයේ වගේ…
ඔය විදියටම අනිත් ප්ලග් 3ත් පරීක්ෂා කරන්න…
එහෙම ඔක්කොගෙම විදුලි පුලිඟු යනවානම් ප්ලග් 4 වැඩ කරනවා…. ඔබ මතක තබාගන්න මෙහිදී අපි පරීක්ෂා කරන්නේ ප්ලග් 4 වැඩ කරනවද කියල විතරයි ඒ කියන්නේ 4ම ස්පාර්ක් වෙනවද කියලා විතරයි….. ප්ලග් 4 හරි වෙලාවට (ටයිමින්ග්) ස්පාර්ක් වෙනවද කියලා බලන්න මේ පරීක්ෂාවෙන් බැහැ… ඒක අපි පසුවට කතා කරමු…