EFI සිස්ටම් එකේ එලාම් කියවන්නේ කොහොමද..

මේ පිටුවෙන් අපි කතාකරන්නේ EFI (Electronic Fuel Injection) සිස්ටම් එකේ දෝෂ අඳුරගන්නේ කොහොමද කියලා…

මේ දෝෂ හඳුනාගැනීම ඉතා වැදගත්… ඒකට හේතුව තමයි වාහනයක EFI සිස්ටම් එකේ දෝෂ තියෙනවනම්, ඒ වාහනේ තෙල් හරියට වැඩකරන්නේ නැති වෙන්න පුළුවන්, වාහනේ අපිට ඕන හැටියට ස්පීඩ් කරන්න බැරි වෙන්න පුළුවන් එහෙමත් නැතිනම් වාහනේ ඇතැම් මිල අධික පාර්ට්ස් කැඩෙන්න පුළුවන්…. ඉතින් මේ හැමදේකින්ම වෙන්නේ ඔබේ පසුම්බියට තට්ටු වෙන එක… ඒ නිසා මේක කියවල ඔබේ වාහනයේ දෝෂ තිබේනම් අඳුනගන්න…

 

EFI සිස්ටම් එක කියන්නේ මොකක්ද?

EFI සිස්ටම් එක කියන්නේ මොකක්ද කියල ඇහුවොත් සරලව දෙන්න ඕන උත්තරේ තමයි වාහනේ එන්ජිම වැඩකරවන්න ඕන ඉන්ධන සැපයුම සහ දහනය පාලනය කරන කොම්පියුටරේ කියන එක… මේ කොම්පියුටර් එකට තනියම වැඩ කරන්න බැහැ…

ඉන්ධන සහ දහන සැපයුම හරි ආකාරයෙන් පාලනය කරන්න ඕන නම් වාහනයේ LOAD එක, අපි පාගන පෑගිල්ල, එන්ජිමේ උෂ්ණත්වය වගේ ගොඩක් දේවල් ගැන කොම්පියුටරේ දැන ගන්න ඕන… ඔන්න ඔය වගේ ඒවා කොම්පියුටරේ දැනගන්නේ Sensor (සෙන්සර් ) කියලා ජාතියකින්…

දැන් ඉතින් ඔය කියන සෙන්සර් වලින් කොම්පියුටරේ වාහනේ තත්වය ගැන දැනගත්තා කියමුකෝ.. කොහොමද ඉතින් කොම්පියුටරේ එන්ජිම පාලනය කරන්නේ..?

වෑල්ව්, මෝටර් වගේ ඒවා වලින් තමයි කොම්පියුටරේ එන්ජිමට ඕන විවිධ සැපයුම් පාලනය කරන්නේ… මිට අමතරව දෝෂ එලියට බලාගන්න විදියකුත් EFI සිස්ටම් එකේ තියෙනවා… ගොඩක් වෙලාවට මේක පෝර්ට් එකක් හැටියට හෝ ඉන්ඩිකේටර් ලයිට් විදියට බලාගන්න පුළුවන්…

ඉතින් ඔය කොම්පියුටර් එකයි, සෙන්සර් ටිකයි, වෑල්ව් ටිකයි, දෝෂ එලියට පෙන්නන ගැජට් එකටයි තමයි EFI සිස්ටම් එක කියන්නේ.

<Sketch Of an EFI system>

 

EFI සිස්ටම් එකක වැරදි අපිට බලාගන්න පුලුවන්ද?

ඕනෑම EFI සිස්ටම් එකක් හොයාගන්න දෝෂ එළියෙන් බලාගන්න ලේසි විදියක් දීල තියෙනවා..සමහර වාහන වල නම් ඒ දෝෂ පෙන්නන්නේ ලයිට් වලින්… සමහර වාහන වල මේකටම හැදුව ඉන්ටර්ෆේස් එකක් තමා තියෙන්නේ, පෝර්ට් එකක් කියලත් කියනවා….

EFI සිස්ටම් එකක් තියෙන ඕනෑම වාහනයක ගොඩක් වෙලාවට දෝෂ එලියට පෙන්නන ගැජට් එක තමා On Borad Diagnostic පෝර්ට් එක… ගොඩක් දෙනා මේකට කියන්නේ ස්කෑනර් පෝර්ට් එක කියලා… මේ OBD පෝර්ට් එක වාහනේක සවි කරන්නේ EFI සිස්ටම් එකේ තියෙන දෝෂ ඉතාම පහසුවෙන් බලාගන්නම තමයි… දැනට තියෙන වාහන වල ප්‍රධාන වර්ග දෙකකට අයිති OBD පෝට් බලාගන්න පුළුවන්….

  • 1980 අවුරුද්දේ ඉඳල 1996 විතර වෙනකල් ගොඩක් වාහන වල තියෙන OBD පෝර්ට් එක “OBD-1” පොර්ට් කියල තමයි හඳුන්වන්නේ….
  • 1996 න් පස්සේ එන වාහන ඔක්කොගෙම වගේ තියෙන OBD පොර්ට් එකට “OBD-2” කියල කියනවා….

මේ පොර්ට් දෙකෙන්ම කරන්නේ EFI සිස්ටම් එකේ වැරදි ටික එලියට පෙන්නලා දෙන එක තමයි… නමුත් “OBD-1” පෝර්ට් එකට වඩා “OBD-2” පෝර්ට් එකකින් වඩාත් නිවැරදිව සහ වඩාත් විස්වාසවන්ත විදියට වැඩි වැරදි ප්‍රමාණයක් බලාගන්න පුළුවන්…

ඇත්තටම මේ OBD පෝර්ට් වලින් පෙන්වන්නේ මොනවද…? කොහොමද OBD පෝර්ට් එකකින් EFI සිස්ටම් එකේ වැරදි පෙන්නන්නේ…?

OBD1 පොර්ට් එකක්
OBD2 පෝර්ට් එකක පිටත පෙනුම

OBD පෝර්ට් වලින් පෙන්වන්නේ මොනවද…?

EFI සිස්ටම් එක හරියටම අඳුරගමු පොස්ට් එකේදී අපි ගොඩක් සෙන්සර් ගැන කතා කළා මතක ඇති… ඉතින් මේ සෙන්සර් වල අගයන් හැම තිස්සෙම EFI සිස්ටම් එකේ කම්පියුටරෙන් කියවනවා… එහෙම කියවද්දී අපි හිතමු එක පාරට සෙන්සරයක් වැඩ කරන්නේ නැතුව ගියා කියල, එහෙම නැත්තන් සෙන්සර් එකෙන් එන්න ඕන අගයට වඩා වෙනස් අගයක් එක පාරට පෙන්නන්න පටන් ගත්ත කියල…

අන්න ඔය වගේ වෙලාවලදී EFI සිස්ටම් එකේ කම්පියුටරෙන් OBD පෝර්ට් එකට ඒ හොයාගත්ත වැරැද්ද දන්වනවා… මේක දන්වන්නේ Diagnostic Code (ඩයැග්නෝස්ටික් කෝඩ්) එකක් විදියට… එත් එක්කම ගොඩක් වෙලාවට ඩෑෂ්බෝඩ් එකේ එන්ජින් එලාම් එකකුත් පෙන්වනවා… මෙහෙම පෙන්නද්දී අපිට පුළුවන් OBD පෝර්ට් එක හා එන්ජින් එලාම් එක මගින් වැරැද්ද (ඩයැග්නෝස්ටික් කෝඩ්) මොකද්ද කියලා හොයා ගන්න…

ඊට පස්සේ වාහනේ මැනුවල් එක බැලුවම ඒ ඩයැග්නෝස්ටික් කෝඩ් එකට අදාල දෝෂය, වගේම හදාගන්න කරන්න ඕන දේ ගැනත් අදහසක් ගන්න පුළුවන්…

<Animated diagram which shows A fault, signal to EFI, and how its displayed>

(දැන් සමහර අය කියන්න පුළුවන් OBD කියන්නේ පෝර්ට් එකක් නෙමේ ඩයග්නොස්ටික් කරන සිස්ටම් එකට කියල… ඇත්තටම OBD කියන්නේ ඩයග්නොස්ටික් කරන සිස්ටම් එකට තමයි… හැබැයි සාමාන්‍ය කතාවේදී වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ OBD-1 සිස්ටම් එක නම් එකේ ඩයග්නෝස්ටික් පෝර්ට් එකට OBD-1 පෝර්ට් කියල කියනවා, OBD-2 නම් ඩයග්නෝස්ටික් පෝර්ට් එකට OBD-2 පෝර්ට් කියල කියනවා…. එහෙම දැනගත්තත් ඇති ඉතින්… හැබැයි මේ OBD වල ඇත්තම කතන්දරේ ඉතිහාසෙත් එක්කම දැනගෙන ඉන්න එක සමහර වෙලාවලදී වැදගත් වෙන්න පුළුවන්… ඒ හින්ද OBD ගැන ලොකු දැනුමක් නැති අයත් තියන දැනුමේ ප්‍රශ්න තියෙන අයත් කියවන්නම ඕන පෝස්ට් එකක් මෙන්න මෙතන දාල තියෙනවා…. සියල්ලෝම කියවත්වා…)

 

හැබැයි EFI සිස්ටම් තියෙන හැම වාහනේකම OBD පෝර්ට් නැහැ… තමන්ගේම ක්‍රම වලට ඩයග්නොස්ටික් පෙන්වන වාහන නිෂ්පාදකයෝ කීප දෙනෙකුත් ඉන්නවා… මේ ලිපිය දිගටම කියෙව්වොත් ඒ අය ගැනත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්…

 

ස්කෑනර් එකක් ගහමුද….

OBD-2 පෝර්ට් එකෙන් දෝෂ කියවද්දී සාමාන්‍යෙන් ස්කෑනර් එකක් පාවිච්චි කරනවා… හොඳ ගරාජ් එකකින් සේවය ලබාගෙන තියෙනවානම් OBD-2 පෝර්ට් එකට ගහන මේ ස්කෑනර් එක ඔයාල දැකල ඇති… ඉතින් මේ OBD ස්කෑනර් ගත්තම විවිධාකාරයේ ඒවා වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන්… සමහර මිල අඩු සරල ස්කෑනර් වලින් පෙන්නන්නේ ඩයැග්නෝස්ටික් කෝඩ් එක විතරයි… සමහර මිලෙන් වැඩි ඇඩ්වාන්ස්ඩ් ස්කෑනර් වලින් ඩයැග්නෝස්ටික් කෝඩ් එක වගේම සමහර සෙන්සර් වල අගයන් පවා බලාගන්න පුළුවන්…

තවත් වැදගත් දෙයක් තමා මේ ඕනෑම ස්කෑනර් එකක් ඕනෑම වාහනේකට ගහන්න බෑ… ස්කෑනර් එක සපෝර්ට් කරන වාහන වර්ග ලිස්ට් එක සාමාන්‍යෙන් ස්කෑනර් එකේ මැනුවල් එකේ දක්වලා තියෙනවා….

ඉතින් මේ ස්කෑනර් එකක් පාවිච්චි කරලා EFI සිස්ටම් එකේ දෝෂය හොයාගන්න එක ඇත්තටම ලොකු වැඩක් නෙමේ… කරන්න තියෙන්නේ වාහනේට සපෝර්ට් කරන ස්කෑනර් එක හොයාගන්න එකයි, ඒ ස්කෑනර් එක පාවිච්චි කරන විදිය හරියට දැනගන්න එකයි විතරයි…

බහුලව පාවිච්චි වෙන හොඳ ස්කෑනර් ටිකක් ගැන විස්තරයි ඒවා හරියට පාවිච්චි කරන විදිය ගැනයි ලියවෙච්චි පෝස්ට් එකක් මෙතනින් බලාගන්න පුළුවන්… වාහන පිස්සුව තදටම තියෙනවා නම් විතරක් ගොඩක් වාහන සපෝර්ට් කරන ස්කෑනර් එකක් අරන් තියා ගත්තට වරදක් නැහැ, හැබැයි එහෙම එකක් නෑ කියල ලොකු ප්‍රශ්නෙකුත් නැහැ….

වෙළඳපොලේ දකින්න ලැබෙන OBD2 ස්කෑනර් කීපයක්

ස්කෑනර් එකක් නැතුව ඩයැග්නෝස්ටික් කෝඩ් බලන්න පුලුවන්ද….

පරික්ෂා කරන වාහනේ තියෙන්නේ OBD-2 පෝර්ට් එකක් නම් විතරයි ස්කෑනර් එකක් පාවිච්චි කරලා හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන්… OBD-1 පෝර්ට් වලට සාමාන්‍යෙන් ස්කෑනර් ගහන්නේ නැහැ… නමුත් ඔයාල සමහර වෙලාවට දැකල ඇති OBD-1 ස්කෑනර් කියල ජාතියක් විකුනන්න තියෙනවා… නමුත් ගොඩක් නිෂ්පාදකයෝ එයාලගේ වාහන රෙපෙයාර් මැනුවල් එකේ OBD-1 පෝර්ට් කියවන්න ස්කෑනර් පාවිච්චිය අනුමත කරලා නැහැ… ඒක නිසා වාහනේ තියෙන්නේ OBD-1 පෝර්ට් එකක් නම් මැනුවලි ඩයැග්නෝස්ටික් කෝඩ් එක කියවන එක තමයි හොඳම විදිය හැටියට කියන්න පුළුවන්….

හැබැයි මේ OBD-1 පෝර්ට් එකකින් ඩයැග්නෝස්ටික් කෝඩ් කියවන විදිය වාහන නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස්කම් තියෙනවා… නමුත් මුලධර්මය එකයි…

සමහර වාහන වර්ග වල OBD-2 පෝර්ට් එක පවා මැනුවලි කියවන්න පුළුවන් (උදා: ටොයෝටා වාහන)… ඒක නිසා ස්කෑනර් එකක් නැතුව OBD පෝර්ට් කියවන්න දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියල ඔයාලට තේරෙනවා ඇති… ඉතින් දැන් අපි බලමු බහුලව ලංකාවේ දකින්න ලැබෙන වාහන වර්ග කීපයක මැනුවලි ඩයැග්නෝස්ටික් කෝඩ් කියවන්නේ කොහොමද කියල….

 

මැනුවලි EFI සිස්ටම් චෙක් එකක් කරන්න කලින් බලන්න ඕන දේවල්…

මුලින්ම බලන්න ඕන බැටරි වෝල්ටේජ් එක 11V ට වඩා වැඩියෙන් තියෙනවද කියල… වොල්ට්මිටර් එකක් පාවිච්චි කරලා මේක හොයාගන්න පුළුවන්…

මැනුවල් වාහනයක් නම් ගියර් එක නියුට්‍රල් එකේ තියෙන්න ඕන… ඔටෝ නම් පාකින් දාල තියෙන්න ඕන….

එන්ජින් එක සාමාන්‍ය උෂ්ණත්වයට හීට් වෙලා තියෙන්නත් ඕන… ස්ටාර්ට් වෙන්නේ නැති වාහනයක් නම් මේක කරන්න බෑ, ඒ නිසා ස්ටාර්ට් වෙන්නේ නැත්නම් මේක අවශ්‍ය නැහැ ….

ඔය ටික හරියට සිද්ද වෙනවා නම් අපිටම ගෙදරදීම EFI සිස්ටම් එලාම් චෙක් එකක් කරගන්න පුළුවන්… මින් පස්සේ කරන්න ඕන දේවල් හා කියවන්න ඕන විදිය වාහනෙන් වාහනේට පොඩි වෙනස්කම් තියෙනවා… ඒ නිසා අපි බලමු බහුලව පාවිච්චි වෙන වාහන කාණ්ඩ කීපයක EFI සිස්ටම් එලාම් චෙක් එකක් කරගන්න හැටි….

OBD-1 පෝර්ට් තියෙන ටොයෝටා වාහන

OBD-2 පෝර්ට් තියෙන ටොයෝටා වාහන

නිසාන් (Nissan) 1984 සිට1996 දක්වා වාහන (පැට්‍රොල්)

නිසාන් (Nissan) 1998න් පසු වාහන OBD-2 (පැට්‍රොල්)