A/C එකේ රෙෆ්රිජෙරන්ට් පරික්ෂාව

වායු සමීකරණය එහෙමත් නැත්තන් A/C එක කියන්නේ වාහනේක අනිවාර්යෙන් තියෙන අංගයක්… 1933 වගේ ඈත අතීතයේ ඉඳලම තමයි වාහනවලට ඒසී හයි කරන්න පටන් අරන් තියෙන්නේ… මේ උපාංගය අමුතුවෙන් හඳුන්වා දෙන්නවත් ප්‍රයෝජන විස්තර කරන්නවත් ඕන නැහැනේ… ඕන කෙනෙක් දන්නවා ඒසී නැතුව වාහනේක යනකොට තියෙන අමාරුකම්….

A/C  එකකින් කරන්නේ වාතය සීතල කරන එක විතරක්ම නෙමෙයි… වාතයේ ජලවාෂ්ප ප්‍රමාණයත් අඩු කරනවා… ඇත්තටම A/C එකක් වැඩ කරන්නේ කොහොමද?…. කොහොමද A/C එකෙන් වාතය සීතල කරන්නේ….

ඕනෑම A/C එකක් වැඩ කරන්නේ එක ප්‍රධාන මුලධර්මයක් උඩ… ඒ තමයි “යම් ද්‍රවයක් වාෂ්ප වෙද්දී එකේ උෂ්ණත්වය අඩු වෙනවා” කියන එක… ඉතින් ඕනෑම A/C එකක තියෙනවා වාෂ්ප වෙන ද්‍රවයක්… මෙන්න මේ ද්‍රවයට කියන්නේ “Refrigerent” (රෙෆ්රිජෙරන්ට්) කියල… A/C එකේදී මේ ද්‍රවය මුලින්ම කම්ප්රෙසර් එකක් මගින් සම්පීඩනය කරනවා…. ඊට පස්සේ මේ රෙෆ්රිජෙරන්ට් එක නිදහසේ වාෂ්ප වෙන්න අරිනවා… මෙහෙම වාෂ්ප වෙන්නේ A/C එකේ නල ඇතුලේමයි… ඔහොම වාෂ්ප වෙනකොට අර ද්‍රවය සීතල වායුවක් බවට පත් වෙනවා… ඔන්න ඔය සීතල වායුව තමයි A/C එකේ නල සිසිල් කරන්නේ… ඒ නල හරහා සාමාන්‍ය වාතය යවලා සීත සුළං ලබාගන්න අපිට පුළුවන්… ඊට පස්සේ අර වායුවක් වෙච්ච රෙෆ්රිජෙරන්ට් එක නැවත කම්ප්‍රෙසර් එක මගින් සම්පීඩනය කරලා ද්‍රවයක් කරනවා… මේ ද්‍රවය නැවතත් අර නල ඇතුලේ වාෂ්ප කරවලා ඒ නල සීතල කරගන්න එක තමයි නැවත නැවතත් A/C එකක සිද්ද වෙන්නේ… ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති රෙෆ්රිජෙරන්ට් එක A/C එක ඇතුලේ නාලවල කැරකි කැරකි වාතය සිසිල් කිරීමේ කාර්යය කරන බව….

මේ ලිපියෙන් අපි අද ගොඩක්ම කතාකරන්නේ ඔන්න ඔය A/C රෙෆ්රිජෙරන්ට් එක ගැනයි… A/C සිස්ටම් එකේ රෙෆ්රිජෙරන්ට් හරිම තත්වයෙන් නිවැරදි ප්‍රමාණයට තියෙන එක හරිම වැදගත්… A/C එකේ බට වල ලීක් එකක් තිබිල ඔය රෙෆ්රිජෙරන්ට් ලීක් වෙන්න ගත්තොත් එහෙම වාහනේ හරියට කුල් වෙන්නේ නැතුව යනවා… එහෙමත් නැතිනම් කූල් එක අඩුයි… ගෑස් එක සම්පූර්ණයෙන්ම නැති උනොත් A/C ඔන් කරන්නත් හොඳ නැහැ .. ඊට හේතුව, එළියේ තියෙන දූවිලි සහිත වාතය ලීක් උන තැනින් බට පද්ධතිය ඇතුලට ගිහින් කොම්ප්‍රෙසර් එක හරහා යනකොට කොම්ප්‍රෙසර් එකේ පෙති සීරීම… ඒ නිසා නියමිත සර්විස් එකේ A/C රිෆ්රෙජර්න්ට් නියමිත පරිදි තියෙනවද කියල බැලීම ඉතා වැදගත්… අන්තිමට බලපු දවසේ ඉඳල කිලෝමීටර් 20000ක් හෝ මාස 12ක් ගියාට පස්සේ එන රේගියුලර් සර්විස් වලදී මේ ඒසී රිෆ්රෙජර්න්ට් පරික්ෂාව කරන්න ඕන…

ඒසී රෙෆ්රිජෙරන්ට් පරික්ෂාව කරන්න ක්‍රම දෙකක් තියෙනවා… පලවෙනි ක්‍රමය ගොඩක්ම අදාල වෙන්නේ අලුත් වාහනවලට… පලවෙනි ක්‍රමයට බලන්න බැරි පරණ වාහන වලට අපි තවත් ක්‍රමයක් කියල දෙනවා… දැන් බලමු A/C රෙෆ්රිජෙරන්ට් පරික්ෂා කරන ක්‍රම දෙක….

 

පළමුවන ක්‍රමය…

අලුත් වාහනවල සහ බහුතරයක් පරණ වාහනවල A/C බට ලයින් වීදුරු වලින් හදපු මූඩියක් වගේ තැනක් තියෙනවා… මේක තියෙන්නේ බටේ ඇතුලේ ගලාගෙන යන දේවල් බලන්න තමයි… මේක ගොඩක් වෙලාවට තියෙන්නේ බට පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන කෑන් එකක් වැනි යමක මූඩිය වගේ… තේරෙන්නේ නැතිනම් පහත රූපය බලන්නකෝ… ඔන්න ඔය කෑන් එකට කියන්නේ රිසීවර් / ඩ්‍රයර් කියලා (Receiver/ Drier)… ඔන්න ඔය වීදුරුවට කියන්නේ සයිට් ග්ලාස් (Sight Glass) කියලා …

සයිට් ග්ලාස් එක තියෙන තැන
සයිට් ග්ලාස් එක ලඟට පේන හැටි

වාහනය ස්ටාර්ට් කරලා A/C එක දාන්න කලින් වීදුරුව දිහා බලන්න.. ඔබට පෙනේවි වීදුරුවෙන් බටය ඇතුලේ කිසි දෙයක් නැති බව… දැන් A/C එක දාන්න… දාපු ගමන් වීදුරුව දිහා බලාගෙන ඉන්න..

A/C එක දැම්ම ටික වෙලාවකින් පේන්න ගන්නවා කුඩා පෙන බුබුළු එහෙමත් නැතිනම් කිරි පාට සබන් පෙන වගේ දෙයක් ගලාගෙන යන්න පටන් ගන්නවා… A/C සිස්ටම් එකේ රිෆ්රෙජරන්ට් හරි ගානට තියෙනවා නම් ටික වෙලාවකින් මේ කුඩා පෙන බුබුළු නැතිවෙලා යන්න ඕන, කිසිම දෙයක් ගලාගෙන යන්නේ නැතුව තියෙන්න ඕන…

එහෙම නැතුව අර පොඩි පෙන බුබුළු දිගටම පෙනෙන්නට තියෙනවා නම් ඒ කියන්නේ ඔබගේ වාහනයේ A/C සිස්ටම් එකේ රිෆ්රෙජරන්ට් අවශ්‍ය ප්‍රමාණයට නෑ කියන එක.. සමහර විට ලීක් එකක් වෙන්නත් පුළුවන්… ඒ නිසා ඉක්මනින් A/C සර්විස් තැනකට අරන් යන්න…

එහෙමත් නැතුව A/C දැම්මට පස්සේ මොනම වෙලාවකවත් පෙන බුබුළු පෙනෙන්නේ නැතිනම් ඒ කියන්නේ A/C සිස්ටම් එකේ රිෆ්රජරන්ට් ගෑස් එක ඇත්තෙම නෑ කියන එක.. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගෑස් එක ලීක් වෙලා.. එහෙම වෙලා නම් A/C දන්නේ නැතුව ඉතා ඉක්මනින් A/C සර්විස් කරන තැනකට අරන් යන්න…

 

දෙවන ක්‍රමය…

දැන් අපි බලමු ඔය සයිට් ග්ලාස් එක නැති වාහන වල මේක චෙක් කරන්නේ කොහොමද කියලා… සයිට් ග්ලාස් එක නැති වාහන ටිකක් පරණ වාහන වෙන්න ඕනි.. මෙහිදී අපි මුලින්ම හොයාගන්න ඕනි A/C බට ලයින් එක… A/C කොම්ප්රෙසර් එකට සම්බන්ධ වෙලා තියෙන බට දෙක තමයි ඔන්න ඔය කියන බට ලයින් එක.. ඒ නිසා කොම්ප්‍රෙසර් එක හොයාගෙන ඒ බට හොයාගන්න… ඊට පස්සේ ඔය බට දිගේ හොඳින් බලාගෙන යනකොට ඔබට හොයාගන්න පුළුවනි කෑන් එකක හැඩය තියෙන එකක් හරහා බටය යන බව… කලින් කිව්වා වගේ මේක තමයි අර රිසීවර්/ඩ්‍රයර් එක… සමහරවිට ඕක වාහනයේ චැසි තහඩුවකින් වැහිලා තියෙන්න පුළුවනි… ඒ නිසා පරෙස්සමෙන් බලල එක හොයාගන්න… පල්ලෙහා රූපේ තියෙනවා ඕක…

A/C ටියුබ් තියෙන තැන්
A/C ටියුබ් එකක සමීප රුපයක්
A/C ටියුබ් එකක් තියෙන තැනක්
වෙනත් A/C ටියුබ් එකක සමීප රුපයක්

මේ රිසීවර්/ඩ්‍රයර් එක හරහා බටය පැති දෙකකට යනවා…. එක පැත්තක් තමයි කන්ඩෙන්සර් එක තියෙන පැත්ත… A/C කන්ඩෙන්සර් එක දන්නේ නැතිනම් දැනට හිතන්න රේඩියේටර් එක වගේ එකක් තියෙනවා අන්න ඒක… රේඩියේටර් එක තියෙන හරියෙම තමයි තියෙන්නේ… අන්න ඒ පැත්තට යන බටය මතක තබාගන්න..

දැන් වාහනය ස්ටාර්ට් කරලා A/C ඔන් කරන්න… ඊට පස්සේ අර හොයාගත්ත රිසීවර්/ඩ්‍රයර් එක හරහා කන්ඩෙන්සර් එක පැත්තට යන බටය ( අපි මේකට කන්ඩෙන්සර් ලයින් එක කියමු) එක අතකිනුත් සහ රිසීවර්/ඩ්‍රයර් එක හරහා අනෙක් පැත්තට යන බටය ( අපි මේකට එක්ස්පෑන්ෂන් ලයින් එක කියමු) අනෙක් අතිනුත් තදින් අල්ලා බලන්න රස්නේද සීතලද කියලා… ඒ අනුව,

  1. ඉහත කිව්ව බට දෙකම එකම විදියට සීතල වෙනවා නම් ඒ කියන්නේ A/C සිස්ටම් එක හරියට වැඩ කරනවා කියන එකයි… රිෆ්රෙජරන්ට් ලෙවල් එක හරියට තිබේ…
  2. එක්ස්පෑන්ෂන් ලයින් එක කන්ඩෙන්සර් ලයින් එකට වඩා සීතලනම් ඒ කියන්නේ රිෆ්රෙජරන්ට් ලෙවල් එක තියෙන්න ඕන ප්‍රමාණයටත් වඩා වැඩියි… A/C සර්විස් කරන තැනකට අරන් ගිහින් නියමිත රිෆ්රෙජරන්ට් ප්‍රමාණය පවතින සේ ලෙවල් එක එජස්ට් කරගන්න..
  3. කන්ඩෙන්සර් ලයින් එක, එක්ස්පෑන්ෂන් ලයින් එකට වඩා සීතලයි නම් ඒ කියන්නේ රිෆ්රෙජරන්ට් ලෙවල් එක තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩුයි කියන එක… වහාම A/C සර්විස් කරන තැනකට අරන් ගිහින් ලීක් තියේනම් ඒවත් හදලා නැවත රීෆිල් කරගන්න…