MAF සෙන්සරය පරීක්ෂා කරමු…

MAF  සෙන්සර් එහෙම නැත්තන් “මාස් එයාෆ්ලෝ සෙන්සර්” කියන්නේ වාහනයක දකින්න ලැබෙන ඉතා වැදගත් සෙන්සරයක්… මේ සෙන්සරය සාමාන්‍යෙන් තියෙන්නේ “එයාර් ෆිල්ටර්” එක හා “ඉන්ටේක් මනිෆෝල්ඩ්” එක අතරේ… තරමක් ප්‍රමාණයෙන් ලොකු සෙන්සර් එකක් හැටියට මේක බලාගන්න පුළුවන්…

MAF සෙන්සර් එකෙන් කරන්නේ එන්ජිමට ඇතුලුවෙන වාත පරිමාව එහෙම නැත්තන් එයාර් ෆ්ලෝ (Air flow)  එක මනින එක… මැනලා EFI සිස්ටම් එකට දන්වන එක… තව ඒ වාතයේ උෂ්ණත්වය හා පීඩනය වගේ දේවලුත් ඇතැම් අවස්ථා වල මේ සෙන්සර් එකෙන්ම මනිනවා..

MAF සෙන්සර් එකෙන් ගන්න, එන්ජිමට ඇතුළු වෙන වාත පරිමාවේ අගය EFI සිස්ටම් එකට ගොඩක් වැදගත්… මොකද ඔය අගය මත තමයි පිස්ටන් එකට ඉන්ජෙක්ට් කරන්න ඕන ඉන්ධන ප්‍රමාණය පවා තීරණය වෙන්නේ… තව ඔටෝ ගියර් වාහනයක ගියර් ශිෆ්ට් වෙන්න ඕන වෙලාව පවා තීරනය කරන්න සමහර නිෂ්පාදකයෝ මේ MAF සෙන්සර් එකේ අගය පාවිච්චි කරනවා…

දැන් ඔයාලට තේරෙන්න ඇති MAF සෙන්සර් එක වාහනේකට කොච්චර වැදගත් සෙන්සර් එකක්ද කියල… හැබැයි ලෝකේ අනික් හැමදේම වගේ මේ MAF සෙන්සර් උනත් කැඩිලා බිඳිලා යනවා… හරියට වැඩ කරන්නේ නැතුව යනවා… මේ ලිපියෙන් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ හරියට වැඩ කරන්නේ නැති MAF සෙන්සර් එකක් පරික්ෂා කරන ආකාරය ගැනයි…

පහත දේවල් ඔබට ඔබගේ වාහනයේ දකින්න තියෙනවානම් ඔබගේ MAF සෙන්සරය පරීක්ෂා කර එය නිවැරදිව වැඩ කරනවාද කියල සොයා බැලීම වැදගත්…

  • එන්ජිමේ බලය අඩු ගතියක් දැනෙනවානම්
  • එන්ජිම දෙදරනවානම් විශේෂයෙන් අයිඩ්ලින්ග් අවස්තාවේදී
  • ඇක්සලරේට් කරද්දී එන්ජිම අද්දනවානම් එහෙමත් නැතිනම් එන්ජිම නවතින්න බලනවානම්
  • ඩ්‍රයිව් කරනකොට අමුත්තක් දැනෙනවානම්…
  • වාහනය ස්ටාර්ට් වෙන්නේ නැතිනම්
  • ඉහත දේවල් වලින් එකක් හෝ කිහිපයක් එන්න EFI එලාම් එකක් පෙන්නනවානම්

ඔබ මතක තබා ගන්න ඕන MAF සෙන්සරය  හරියට ක්‍රියා කරද්දීත් ඉහත දේවල් වෙන්න පුළුවන් කියලා.. ඊට හේතුව වෙනත් යමක් වෙන්නත් පුළුවනි.. හරියට ෆුවල් පොම්පයේ, ෆුවල් ප්‍රෙෂර් රේගියුලේටර් එකේ, එහෙමත් නැතිනම් වැකුම් සිස්ටම් එකේ දෝෂයක් නිසා වෙන්නත් පුළුවන්…

 

MAF සෙන්සරය වැඩ කරන්නේ කොහොමද…?

කලින් කිව්වා වගේ MAF සෙන්සරය එහෙමත් නැතිනම් Mass Air Flow සෙන්සරය තියෙන්නේ එයාර් ෆිල්ටරයෙන් වාතය කොපමණ ප්‍රමාණයක් එන්ජිමට එනවාද කියල මැන බැලීමටයි…

අපගේ “තනියම සර්විස් කරමු” වෙබ් පිටු මාලාව කියවූ ඔබ දැනටමත් දන්නවා ඇති එයාර් ෆිල්ටරය ඔබගේ වාහනයේ කොතනද තියෙන්නේ කියලා… ඒ වගේම ත්‍රොට්ල් බොඩි එකත් කොතනද තියෙන්නේ කියල මේ වෙනකොට දැනගෙන ඉන්න ඕන… දන්නේ නැතිනම් පහත රූපය බලන්න

<image showing maf sensor>

එයාර් ෆිල්ටරය සහ ත්‍රොට්ල් බොඩි එක යා වෙන ලොකු රබර් බටය ඔබට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන්න ඕන… ඔන්න ඔය රබර් බටයේ බලන්න සෙන්සරයක් සවි වෙලා තියෙනවද කියල… ඒ සෙන්සරයට වයර් සම්බන්ධවෙන කනෙක්ටරයකුත් තියෙනවා ඔබට හොයාගන්න පුළුවන් වෙන්න ඕන… ඔන්න ඕකට තමයි MAF සෙන්සර් කියලා කියන්නේ… මෙහිදී ඔබ මතක තියාගන්න ඕන EFI තියෙන පැරණි වාහනවල මේ සෙන්සරය නැති බව… ටොයෝටා නම් MAF සෙන්සරය වසර 2000න් පස්සේ ආපු වාහනවල තමයි ගොඩක් දකින්න ලැබෙන්නේ…

MAF සෙන්සරය ඒ හරහා යන වාතය මනින්නේ කොහොමද කියල කෙටියෙන් කියන්නයි යන්නේ… ඔය MAF සෙන්සරයේ තියෙනවා එයාර් ෆිල්ටර් බටය සයිස් එකටම සෙට් වෙන වළල්ලක් එහෙමත් නැතිනම් සිලින්ඩරයක් .. ඔන්න ඔය වළල්ලෙන්/ සිලින්ඩරයෙන් තමයි සෙන්සර් එක ෆිල්ටර් බටයට සෙට් වෙන්නේ.. පහත රූපය බලන්නකෝ…

<image of MAF sensor inside>

ඔය වලල්ලේ මැද කම්බියක් එහෙමත් නැතිනම් පටලයක් ( ඇතැම් වාහනවල) තියෙනවා… ඔන්න ඔය පටලය හෝ කම්බිය එක්තරා උෂ්ණත්වයකට රත්වෙලයි තියෙන්නේ… එහෙම රත් කරන්නේ ඒ හරහා විද්‍යුත් ධාරාවක් ECU එකෙන් යවලයි…  දැන් ඔය රත් වෙලා තියෙන කම්බිය හෝ පටලය ඒ හරහා වාතය වේගයෙන් ගමන් කරනකොට නිවෙන්න පටන් ගන්නවා.. එහෙම නිවෙනකොට කම්බියේ අඩු වෙන උෂ්ණත්වය අඩුවීම නිසා කම්බියේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා.. මේ වෙනස්වීම නිසා කම්බියේ වෝල්ටීයතාවය වෙනස් වෙනවා… ඒ වෝල්ටීයතාවය තමයි ECU එක කියවන්නේ…  ඉතින් වෙනස්වෙන වෝල්ටීයතාවය අනුව ECU එක දන්නවා කොපමණ වාතය ප්‍රමාණයක් ඒ මොහොතේදී MAF සෙන්සරය හරහා එන්ජිමට යනවද කියලා….

 

පරීක්ෂා කිරීමට අවශ්‍ය දේවල්…

digital මල්ටිමීටරයක්

 

ඉහත කී ආකාරයට ECU එක සහ MAF සෙන්සරය වැඩ කරන්න නම් ECU එකයි MAF සෙන්සරයයි අතර මෙන්න මේ වයර් තියෙන්න ඕන…

  • කම්බිය හෝ පටලය රත් කරවීමට ECU එකේ සිට එන සප්ලයි වයර් එක.. මෙහිදී අපි පරීක්ෂා කරන්නේ ECU එකේ ඉඳල සප්ලයි එක සෙන්සර් එක පැත්තට එනවද කියලා…
  • ඉහත දෙකටම අවශ්‍ය වන ග්‍රවුන්ඩ් වයර් එක….මෙහිදී අපි පරීක්ෂා කරන්නේ ග්‍රවුන්ඩ් වයර් එක කැඩිලාද කියලා…
  • කම්බියේ වෙනස්වන වෝල්ටීයතාවය ECU එකට ලබාදෙන වයර් එක.. අපි මේකට කියන්නේ සිග්නල් වයර් එක කියලා…මෙහිදී අපි පරීක්ෂා කරන්නේ MAF සෙන්සරයේ රත්වන කම්බිය/පටලය නිවැරදි තත්වයෙන් තියෙනවද කියලා…

ඉහත වයර් සෙන්සරයට සම්බන්ධ වෙන්නේ අපි කලින් කිව්ව සෙන්සරයට සම්බන්ධ වෙලා තියෙන වයර් කනෙක්ටර් එක හරහා..ඉතින් මේ කනෙක්ටර් එක මුලින්ම ගලවලා ඉන්න ඕන ඉහත දේවල් පරීක්ෂා කරන්න….

එක එක වාහන වාදිලිවල මේ කනෙක්ටර් එක වෙනස් ඉතින් ඔබ මෙහිදී ඉතා හොඳින් පරීක්ෂාකර බලල එක ගලවන විදිය අත පත ගාල හොයාගන්න එක වැදගත්… ඇඟේ හයියට ගලවන්න ගිහින් කනෙක්ටරය කඩාගත්තොත් වෙන්නේ ලොකු පාඩුවක්….. පුලුවන්නම් ඉන්ටෙර්නෙට් එකේ වීඩියෝ වල වෙබ් පිටුවල හොයලා බලන්න ඔබේ වාහනයේ මාදිලියට අදාළ MAF සෙන්සර් කනෙක්ටරය ගලවන්නේ කෙසේද කියල.. ඇතැම්විට තියෙන්න පුළුවනි….පහත රූපය බලන්න

<How to remove MAF sensor connector>

ඉතින් මේ කනෙක්ටරය ගැලෙව්වට පස්සේ බලන්න ඒක උණු වෙලා තියෙනවද? බුරුල් වෙලා තිබ්බද කියල… එකත් වැදගත්… දැන් ඔබ සෙන්සරය පැත්තේ තියෙන කනෙක්ටර් කොටසේ  පින් දිහා බලන්න.. ඉහත කිව්ව වයර් වලට අදාළ පින් ඔබගේ වාහනයේ මැනුවල් එකේ දිහා බලලා හොයාගන්න… මැනුවල් එක නැතිනම් ඔබගේ වාහනයේ මාදිලියට අදාළ MAF සෙන්සරයේ විස්තර ඉන්ටෙර්නෙට් එකෙන් බලල හොයාගන්න වෙනවා…

ECU එකේ ඉඳල එන සප්ලයි වයර් එක චෙක් කරන්නේ මෙන්න මෙහෙම.. මුලින්ම ඔබ මල්ටිමීටරය වෝල්ට් මනින මෝඩ් එකට දාගන්න ඕන… දැන් මල්ටිමීටරයේ රතු ටර්මිනල් ECU එකේ ඉඳල එන අපි ගලවපු කනෙක්ටර කොටසේ ඇති සිදුරු වලින් සප්ලයි සිදුරට සම්බන්ධ කරන්න… කළු ටර්මිනල් එක ග්‍රවුන්ඩ් සිදුරට සම්බන්ධ කරන්න… පහත රූපය බලන්න….

<>

මෙහිදී ඔබ වගබලාගන්න ඕන මල්ටිමීටරයේ ටර්මිනල් හරියට අර කිව්වා කනේක්ටරයේ ඒ ඒ වයර් එකට අදාළ සිදුර හරහා ඒ ඒ වයර් එකට සම්බන්ධ වී තියෙනවද කියල….

දැන් ඔබ වාහනයේ ඉග්නිෂන් ඔන් කරන්න… එතකොට මල්ටිමීටරයෙන් 10V  – 13V අතර අගයයක් පෙන්නන්න ඕන… එහෙම නැතිනම් ECU එක පැත්තේ වයර් එකේ හෝ ECU එකේ දෝෂයක්….

ග්‍රවුන්ඩ් වයර් එක පරීක්ෂා කරන්නේ මෙන්න මෙහෙම… ග්‍රවුන්ඩ් වයර් එකට අදාළ අපි සෙන්සරයෙන් ගලවපු කනෙක්ටර් කොටසේ ඇති සිදුරට මල්ටිමීටරයේ කළු ටර්මිනල් එක ඇතුළුකරන්න.. මෙහිදී ඔබ වගබලාගන්න ඕන මල්ටිමීටරයේ ටර්මිනල් එක හරියට අර කිව්ව කනේක්ටරයේ ඒ වයර් එකට අදාළ සිදුර හරහා ඒ වයර් එකට සම්බන්ධ වී තියෙනවද කියල…. දැන් ඔබ මල්ටිමීටරයේ රතු ටර්මිනල් එක බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ කරන්න… එවිට ඔබට 10V – 13V අතර අගයයක් පෙන්නන්න ඕන. නැතිනම් ඒ ග්‍රවුන්ඩ් වයර් එකේ කොහෙහරි තැනකින් කැඩිලා…

සෙන්සරයේ කම්බිය/පටලය කැඩිලාද කියලා පරීක්ෂා කරන්නේ මෙන්න මෙහෙම… සෙන්සරය පැත්තේ තියෙන කනේක්ටරයේ සිග්නල් පින් එක හොයාගන්න… කලින් කිව්වවගේ මැනුවල් එක මාර්ගයෙන් හෝ ඉන්ටෙර්නෙට් එකේ හොයල තමයි මේක හොයාගන්න වෙන්නේ… දැන් ඔබ මල්ටිමීටරයේ Ohm එහෙමත් නැතිනම් ප්‍රතිරෝධය පෙන්නන මෝඩ් එකට දමන්න… දැන් අර කිව්ව සිග්නල් පින් එකට මල්ටිමීටරයේ එක ටර්මිනල් එකක් සවිකරන්න.. පින් එක නිසා ඔබට කුඩා ක්‍රොකඩයිල් ක්ලිප් එකක් මාර්ගයෙන් තමයි ටර්මිනල් එකයි පින් එකයි සම්බන්ධ කරන්නේ වෙන්නේ පහත රූපය බලන්න…

ඊට පස්සේ මල්ටිමීටරයේ අනෙක් ටර්මිනල් එක ග්‍රවුන්ඩ් කරන්න…

දැන් ඔබට මල්ටිමීටරයේ පෙන්වන ප්‍රතිරෝධය බින්දුවක් විය යුතුයි… එහෙම නැතිනම් සෙන්සරයේ දෝෂයක්…