MAP සෙන්සරය කියන්නේ මොකක්ද? ඒකෙන් වාහනයට වෙන්නේ මොනවාද?

MAP කියලා කියන්නේ Manifold Absolute Pressure කියන එකේ කෙටි යෙදුමයි… පල්ලෙහායින් පෙන්නන්නේ MAP සෙන්සර් එක තියන තැන හා සමීප රූපයක්…

MAP සෙන්සර් එක තියෙන තැන
MAP සෙන්සර් එකේ සමීප රූපයක්

අපි දන්නවා ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ තියෙන්නේ සාමාන්‍ය වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක් කියලා… ඒකට හේතුව එන්ජිමෙන් වාතය ඉන්ධන දහනයට ඇදලා ගන්න එක… එතකොට මේ ඇදලා ගන්න වාතය එන්ජිමට එන්නේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකෙන්.. ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට වාතය එන්නේ ත්‍රොටල් බොඩි එකෙන් ත්‍රොටල් බොඩි එකට වාතය එන්නේ එයාර් ෆිල්ටරය හරහා…පහත රූපය බලන්නකෝ…

එයාර් ෆිල්ටර් එකෙන් ත්‍රොට්ල් බොඩි එක හරහා ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට වාතය ඇතුළුවන ආකාරය

එතකොට මෙහෙම දෙයක් වෙනවා.. ත්‍රොටල් බොඩි එක හරහා ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට වාතය එන එක පාලනය කරන්නේ අපි.. ඒ ඇක්සලරේටරය පාගල… ඇක්සලරේටරය පෑගුවම වෙන්නේ ඔන්න ඔය ත්‍රොටල් බොඩි එකේ තියෙන පියන ඇරෙන එක…අත ඇරියම වැහෙන එක…පහත රූපය බලන්නකෝ…

.

මෙහෙම දෙයක් වෙනවා එන්ජිමට හොඳ බලයක් දෙන්න ඕන නම් ඉන්ධන සහ වාතය වැඩිපුර සැපයෙන්න ඕනා… එතකොට අපිට වාතය නම් දෙන්න පුළුවන් එන්ජිමට ඇක්සලරේටරය පාගලා.. එතකොට මේ වෙලාවේදී  ඉන්ධන කොහොමද වැඩිපුර එවන්නේ ? මෙන්න මේක කරන්නේ ECU එක නැතිනම් Electronic Controlling Unit එකෙන්… මේකට ECU එක දැනගන්න ඕන අපි ඇක්සලරේටරය පාගලා කියලා… ඒ විතරක් මදි පාගන ප්‍රමාණය කොච්චරද කියලත් දැනගන්න ඕන… මෙන්න මේකට තමයි අපිට MAP සෙන්සරය ඕන වෙන්නේ…

MAP සෙන්සරයෙන් කරන්නේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ තියෙන පීඩනය මැනලා ECU එකට ලබා දෙන එක… ඒක වෙන්නේ මෙන්න මෙහෙම…

ඉහත රූපයේ පෙනෙන පරිදි ඇදෙන පටලයක් තියෙනවා MAP සෙන්සර් එකේ… ඔන්න ඔය ඇදෙන පටලයේ එක පැත්තක් ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට බටයකින් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ… අනික් පැත්ත MAP සෙන්සර් එක ඇතුලේ සීල් කරපු රික්තකයක් තමයි තියෙන්නේ… 

ඉතින් ඔය පටලය සාමාන්‍ය අවස්ථාවේ ඒ කියන්නේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ පීඩනය අඩු අවස්ථාවේ පහත රූපයේ පරිදි තියෙනවා කියලා හිතමු… දැන් අපි ඇක්සලරේටරය පාගනකොට ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ ඇතුලත පීඩනය වැඩි වෙනවා.. එතකොට ඔය පටලය ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට සම්බන්ධ පැත්තෙන් රික්තකය තියෙන පැත්තට ඇදෙනවා.. පහත රූපය බලන්නකෝ…

ඉතින් ඔය පටලය ඇදෙන ප්‍රමාණය අනුව එහි ප්‍රතිරෝධය වෙනස් වෙනවා.. ඉතින් ඔන්න ඔය ප්‍රතිරෝධ වෙනසින් තමයි ECU එක විසින් ඔය පටලය හරහා කරන්ට් එකක් යවලා voltage සිග්නල් එකක් ලබාගන්නේ….

ඉතින් ඔබට තේරෙනවා ඇති අපි ඇක්සලරේටරය පාගන ප්‍රමාණය අනුව ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ ඇතුලත පීඩනය වෙනස් වෙනවා කියලා… ඉතින් ඔය ඇතුලත පීඩනය වෙනස් වෙන සෑම විටම ඔන්න ඔය පටලයත් ඇදෙන ප්‍රමාණය වෙනස් වෙනවා කියලා ඔබට තේරෙන්න ඕන… ඒ වගේම ඒ පටලය ඇදෙන ප්‍රමාණය වෙනස් වෙන සෑම අවස්ථාවකදීම ECU එකට පටලය ඔස්සේ ලැබෙන voltage එකත් වෙනස්වෙනවා කියලා ඔබට තේරෙන්න ඕන… ඉතින් ඒ වෙනස් වීම අනුව ECU එක පෙට්‍රල් අවශ්‍ය පරිදි පාලනය කරනවා කියන එක දැන් ඔබට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන…