MAP සෙන්සර් එක බලන හැටි

MAP සෙන්සර් එහෙමත් නැතිනම් Manifold Absolute Pressure සෙන්සර් එකෙන් කරන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ඇතුලත පීඩනය ECU එකට ලබා දීමයි… ඇක්සලරේටර් එක පාගන්නේ නැති වෙලාවට එන්ජිම ක්‍රියාත්මක වෙලා තියෙද්දී ඉන්ටේක් මැනිෆොල්ඩ් එකේ ඇතුලේ තියෙන්නේ අවපීඩනයක්… ඊට හේතුව එන්ජිමේ පිස්ටන් වලට ඉතා වේගයෙන් වාතය මැනිෆෝල්ඩ් එකේ සිට ඇදගැනීමයි…

එතකොට මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට වාතය එන්නේ කොහෙන්ද? ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට වාතය එන්නේ එයාර් ෆිල්ටරය හා සම්බන්ධ වෙලා තියෙන බට පද්ධතිය හරහා… ත්‍රොට්ල් බොඩි එක ඔය දෙක අතර තියෙනවා… පහත රූපය බලන්න….ත්‍රොට්ල් ෆ්ලැපර් එක යාන්තම් ඇරිලා තියෙනවා ඇක්සලරේටර් එක පාගන්නේ නැති වෙලාවට…පහත රූපය බලන්න….

ත්‍රොටල් බොඩි එක තියෙන තැන
ඇක්සලරේටර් එක පාගනකොට ඇරෙන පෙත්ත

ඉතින් ඔන්න ඔය ෆ්ලැපර් එක යාන්තමින් ඇරිලා තියෙන ටිකෙන් තමයි ඇක්සලරේටර් එක පාගන්නේ නැති වෙලාවට එයාර් ෆිල්ටර් බටයෙන් එයාර් එන්නේ මැනිෆෝල්ඩ් එක ඇතුලට…මේ අවස්ථාවට ඒ කියන්නේ එන්ජිම ක්‍රියාත්මකවෙලා අපි ඇක්සලරේටර් එක පාගන්නේ නැති වෙලාවට අපි කියන්නේ අයිඩ්ලින්ග්( Idling) කියලා… ඔබ අහලත් ඇති…

අපි ඇක්සලරේටර් එක පාගනකොට ඉන්ටේක් මැනිෆොල්ඩ් එකේ ඇතුලත පීඩනය වැඩි වෙනවා..ඒකට හේතුව තමයි ඇක්සලරේටර් එක පාගනකොට ත්‍රොට්ල් ෆ්ලැපර් එක ඇරෙනවා.. එතකොට වැඩි වායු ප්‍රමාණයක් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ඇතුලට එන්න පුළුවන්.. මේ නිසා අවපීඩනය අඩු වෙනවා… ඒ කියන්නේ පීඩනය වැඩිවෙනවා… ඉතින් මේ පීඩනය අඩු වැඩි වෙන එක සෙන්ස් කරන්නේ MAP සෙන්සර් එකෙන්…

MAP සෙන්සර් එක ECU එකට සම්බන්ධ වෙලා තියෙන නිසා එහෙම අඩු වැඩි වෙන පීඩනය ECU දැනගන්නවා MAP සෙන්සරය හරහා… ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ඇතුලත පීඩනය අඩු වැඩි වීම වෙන්න පුළුවන් අපි ඇක්සලරේටර් එක පාගනකොට, එහෙමත් නැතිනම් වැකුම් බටයක් බුරුල් වෙලා තියෙනකොට, එහෙමත් නැතිනම් පවර් ස්ටියරින්ග් පොම්පයක් සහිත වාහනයක නම් අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට… මේ හැම අවස්ථාවකම එන්ජිමට එන වාතය වාහනයට අවශ්‍ය පරිදි අඩු වැඩි වෙනවා.. නමුත් වාතය විතරක් අඩු වැඩි වෙලා මදි… එහෙම වාතය අඩු වැඩි වෙන හැම වෙලාවකම එත් එක්කම එන්ජිමට එන ඉන්ධනත් අඩු වැඩි වෙන්න ඕන… අන්න ඒ දේ කරන්නේ ECU එක ඉන්ජෙක්ටර් හරහා… ඉතින් එහෙම වාතය අඩු වැඩි වෙද්දී ඒ මොහොතේම MAP සෙන්සරය හරහා වාතය අඩු වැඩි වීම ECU එක දැනගෙන ඒ වෙලාවේම ඉන්ධනත් අඩු වැඩි කරනවා… ඉතින් මේ නිසා තමයි අපිට MAP සෙන්සර් එක වාහනයකට අත්‍යාවශ්‍ය වෙන්නේ…

 

දැන් අපි බලමු MAP සෙන්සර් එක පරීක්ෂා කරන්නේ කොහොමද කියලා…

මුලින්ම ඔබ දැනගන්න ඕන MAP සෙන්සර් එක කොතනද තියෙන්නේ කියලා… ඔබ හොඳට බලන්න ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට කුඩා වැකුම් බටයකින් හෝ කෙලින්ම හෝ සම්බන්ධ වෙලා තියෙනවද කියලා කළු පැහැති ප්ලාස්ටික් සෙන්සරයක්… ඒ සෙන්සරයට වයර් කනෙක්ටරයකුත් වැදිලා තියෙනවා ඔබට හොයාගන්න පුළුවන් වෙයි..

MAP සෙන්සර් එක තියෙන තැන
MAP සෙන්සර් එකේ සමීප රූපයක්

MAP සෙන්සරය පරීක්ෂා කරන්න ඕන කරනවා මල්ටිමීටරයක්… ඒත් එක්කම ඔබගේ වාහනයේ මැනුවල් එකත් ඕනි… අපි මෙහිදී කරන්නේ සෙන්සරය, ECU එක හා සම්බන්ධ වන අග්‍ර දෙක අතර වෝල්ටීයතාවය, ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ඇතුලත පීඩනය අපි දන්නා අවස්තාවලදී මැනුවල් එකේ පෙන්වන නිවැරදි අගයට සමානද නැද්ද යන්න බැලීමයි… මෙහිදී ඔබට දැනගන්න වෙනවා ECU එකත් පිහිටන තැන… ඒකත් ඔබගේ වාහනයේ මැනුවල් එකේ පැහැදිලිව දක්වලා තියෙනවා.. ගොඩක් වාහනවල ECU එක තියෙන්නේ සෙන්ටර් කොන්සෝල් එක ගලෙව්වාම ඒක අස්සේ… තවත් සමහර වාහනවල ග්ලව් කොම්පාර්ට්මන්ට් එක ගැලෙව්වාම එක අස්සේ… තවත් සමහර වාහනවල (Nissan ඇතැම් මාදිලිවල) දකුණු පැත්තේ සීට් එක යට ECU එක පිහිටලා තියෙනවා….

ටොයෝටා වාහනයක ECU එක තියෙන තැන
ECU එකේ සමීප රූපයක්

මේ ECU එකට තමයි සෙන්සර් වල වයර් ඔක්කොම සම්බන්ධවෙන්නේ… ඒ වයර් ECU එකට සම්බන්ධවෙන කනෙක්ටරය පිට පැත්තෙන් අපිට කූරක් ආධාරයෙන් ඒ ඒ වයර් එකේ වෝල්ටීයතාවය මනින්න පුළුවනි…පහත රූපය බලන්න….

වයර් ඇවිල්ල ECU එකට වදින තැන්. මේ තැන් වල තියෙන ලෝහ කොටසට මල්ටිමිටර් එකේ අග්‍රය තියලා වෝල්ටේජ් එක මනින්න ඕන

ඉතින් අපි කරන්න යන්නෙත් අන්න ඒ විදියට MAP සෙන්සරයට අදාළ වයර් දෙක හොයාගෙන ඒ වයර් දෙක අතර වෝල්ටීයතාවය, ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ ඇතුලේ පීඩනය අපි දන්නා අගයන්වලදී මනින එකයි…

MAP සෙන්සරයේ ඉඳල ECU එකට එන්නේ වයර් දෙකයි… එකක් ග්‍රවුන්ඩ් වයර් එක අනික සිග්නල් වයර් එක… මෙන්න මේ වයර් දෙක ECU එකේ කනෙක්ටරයේ කොතෙනටද වදින්නේ කියලා හොයාගන්න ඕනි මුලින්ම… මැනුවල් එකේ පෙන්නලා තියෙනවා හරියටම.. එහෙම නැතිනම් වයර් එකේ පාටින් තමයි හොයාගන්න වෙන්නේ.. MAP සෙන්සර් එක ලඟින් වයර් දෙකේ පාට හොයාගෙන ඒ පාටට සමාන පාට ඇති වයර් දෙක ECU එකේ කනේක්ටරයට වදින තැන හොයාගන්න….

පහල රූපේ තියෙන්නේ මැනුවල් එකේ ඔය පින් දෙක පෙන්නලා තියෙන හැටි…

MAP සෙන්සර් එකේ වයර් ECU එකට සම්බන්ධ වෙන තැන් දෙක මැනුවල් එකේ පෙන්නලා තියෙන හැටි

දැන් ඔබ දන්නවා වයර් දෙක… ඉන් ග්‍රවුන්ඩ් වයර් එක සම්බන්ධ වන ECU එකේ කනේක්ටරයේ තැනට කුඩා කම්බියක් නැතිනම් හැට්ට කට්ටක් ගසා ඒකට ක්‍රොකඩයිල් ක්ලිප් එකක් මාර්ගයෙන් මල්ටිමීටරයේ ඍන අග්‍රය සවි කරන්න… ප්ලස් වයර් එක වදින තැනටද එසේම මල්ටිමීටරයේ ධන අග්‍රය සවිකරන්න… එහෙමත් නැතිනම් මල්ටිමීටරයේ ලෝහ කූරු දෙක අදාළ වයර් සම්බන්ධ වෙන තැන් වලට ගහන්න… පහත රූපය බලන්නකෝ…

මේ විදියට මල්ටිමිටර් එකේ අග්‍ර දෙක තියල වෝල්ටීයතාවය මැනගන්න

දැන් ඉග්නිෂන් ඔන් කරන්න.. ( යතුර  ON කියන තැනට කරකවන්න)  දැන් කරන්න තියෙන්නේ අපි දන්නා පීඩනයක් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට ලබාදීල MAP සෙන්සරය විසින් ලබාදෙන අගය මල්ටිමීටරයෙන් කියවාගනීමයි… මේ සඳහා මල්ටිමීටරය වෝල්ට් මෝඩ් එකට දමන්න…

අපි දන්නා ලේසිම පීඩනය තමයි වායුගෝලීය පීඩනය… එක ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකට ලබාදෙන්න නම් ත්‍රොට්ල් ෆ්ලැපර් එක සම්පුර්ණයෙන්ම ඇරෙන්න ඕනි…ඒ නිසා ඇක්සලරේටර් එක සම්පුර්ණයෙන්ම යටට පාගන්න.. එහෙම පාගද්දී බලන්න මල්ටිමීටරයේ වෝල්ටීයතාවය කීයද කියලා….

දැන් ඒ පෙන්නන අගය ලියාගන්න.. අනිත් ගන්න පුළුවන් අවස්ථා තමයි ඔබ වාහනය ස්ටාර්ට් කරලා ඒ ඒ RPM වලදී MAP සෙන්සර් එකේ වෝල්ටීයතාවයන් .. සාමාන්‍යයෙන් ඔබේ මැනුවල් එකේ තියෙනවා ඒ ඒ RPM වලදී MAP සෙන්සරයේ වෝල්ටීයතාවයන් මොනවාද කියලා… අන්න ඒ RPM අගයයක් තෝරාගෙන එන්ජිම අයිඩ්ල් එකේ තියෙද්දී ඇක්සලරේටර් එක පාගන්න ඒ RPM එක එනකන්… ඊට පස්සේ ඒ වෙලාවේ මල්ටිමීටරයේ පෙන්නන වෝල්ටීයතාවය ලියාගන්න… මේ විදියටම අනෙකුත් RPM වලදී එන වෝල්ටීයතාවයන් ලියාගන්න…

දැන් ඔබ පරීක්ෂා කිරීමට අවශ්‍ය කියවීම් ලබාගෙන ඉවරයි… දැන් කරන්න තියෙන්නේ ඒ ලියාගත්ත අගයයන් මැනුවල් එකේ ඒ ඒ අදාළ අගයයන් වලට සමානද කියලා බලන එක… මෙහිදී ඔබ දැනගන්න ඕන එක අගයකට සමාන නොවෙන්න පුළුවන්… උදාහරණයකට අපි ගත්තොත් සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ එන්ජින් එක ඉග්නිෂන් ඔන් විතරක් තියෙද්දී අපිට මල්ටිමීටරයේ පෙන්නුවේ වෝල්ට් 4.5ක් නම්… මැනුවල් එකේ තියෙන්නේ වෝල්ට් 3.5 සහ 5.5 අතර අගයක් විය යුතුයි කියලානම්… ඒ කියන්නේ ඔබගේ MAP සෙන්සරය හරි අගය ලබාදීලා කියන එකයි… මේ විදියට අනික් අවස්ථා වලදී ලබාගත්ත අගයයන් මැනුවල් එකේ තිබියයුත් අගයයන් එක්ක සංසන්දනය කරන්න….

මැන්නම තියෙන්න ඕන වෝල්ටේජ් එක මැනුවල් එකේ පෙන්නලා තියෙන හැටි

දැන් ඔබ MAP සෙන්සරය පරීක්ෂා කරලා ඉවරයි…