EFI එලාම් බලන හැටි – නිසාන් (Nissan) 1984 සිට1996 දක්වා වාහන (පැට්‍රොල්)

නිසාන් කියන්නේ අපේ රටේ ඉතාම ජනප්‍රිය වෙච්ච වාහන වර්ගයක්.. ඒ නිසා නිසාන් වාහනයක EFI සිස්ටම් එකේ දෝෂ හොයාගන්න හැටි දැනගෙන ඉන්න එක හුඟ දෙනෙක්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්… හැබැයි නිසාන් වාහන මුල කාලේ OBD-1 වගේ ස්ටෑන්ඩර්ඩ් ක්‍රම වලට යනවට වඩා ඩයග්නොස්ටික් සඳහා පාවිච්චි කරන්න පෙලබිලා තියෙන්නේ ඔවුන්ටම විශේෂිත වෙච්ච ක්‍රම… ඉතින් 1984 සිට1996 දක්වා හැදුනු නිසාන් වාහන වලත් EFI සිස්ටම් එකේ දෝෂ පෙන්වන්නේ ඔවුන්ගේම අමුතුම ක්‍රමයකටයි…

මේ ක්‍රමයේදී OBD වල වගේ පෝර්ට් එකක් පාවිච්චි වෙන්නේ නැහැ… ඒ වෙනුවට මේ වාහනවල ECU එක කෙලින්ම බලාගන්න පුළුවන් තැනක හයි කරලා තියෙනවා.. මේ ECU එක ගත්තොත් එකේ ස්ටේටස් එක පෙන්වන ඉන්ඩිකේටර් ලයිට් වගේම විවිධ ඩයග්නොස්ටික් මෝඩ් වලට දාන්න පුළුවන් ස්විච් එකක් පවා තියෙනවා… සමහර නිසාන් වාහන වල ඔය ECU එකේ ඉන්ඩිකේටර් ලයිට් දෙකක් හයි කරලා තියෙනවා රතු හා කොළ පාටින්… හැබැයි සමහර ඒවායේ තියෙන්නේ එකයි, රතු පාට එකක් විතරයි… මෙන්න මේ ක්‍රම දෙකේදී ඩයග්නොස්ටික් කරන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා…

ඉතින් අපි දැන් බලමු 1984 සිට1996 දක්වා නිසාන් වාහන වල ECU එක ඩයග්නොස්ටික් කරන්නේ කොහොමද හා කලින් කිව්ව LED එකේ හා දෙකේ සිස්ටම් වල බලන විදියේ වෙනස්කම මොකද්ද කියලත්….

 

1984-1990 දක්වා වාහන (Duel Led System)

1984-1990 වෙනකල් හැදුනු වාහනවල තියෙන්නේ LED බල්බ දෙකක් මගින් දෝෂ පෙන්වන ක්‍රමයක්… මේකට ඒගොල්ලෝ කියන්නේ duel LED system කියලයි… අපි බලමු මේ වර්ගයේ වාහනයක ECU එකේ දෝෂ හොයන්න ක්‍රමය මොකද්ද කියල….

පළවෙනියට ECU එක හොයාගන්න ඕන… මොකද එකේ තමයි ඔය LED දෙක හයි කරලා තියෙන්නේ… මේ වාහනවල ECU එක සාමාන්‍යෙන් තියෙන්නේ ඉස්සරහ පැසෙන්ජෙර් සීට් එක යට… සමහර විට පැසෙන්ජෙර් සීට් එක ගලවන්න වෙන්න පුළුවන් මේ උපාංගය හරියට දැකබලා ගන්න… ඊළඟට ECU එකේ ආරක්ෂාවට තියෙන ප්ලාස්ටික් කවරයක් තියෙනවා, ඉස්කුරුප්පු ඇන වලින් හයි කරපු… අන්න ඒකත් ගලවන්න ඕන… ඔහොම ගැලෙව්වම ECU එකේ පැත්තක තියෙන රතු හා කොළ පාට LED බල්බ් දෙකක් බලාගන්න පුළුවන් වෙයි… එතනම විවිධ ඩයග්නොස්ටික් මෝඩ් වලට දාන මෝඩ් සිලෙක්ටර් එකකුත් තියෙනවා… පල්ලෙහා රූප වලින් ඔය ECU එකේ නියම පිහිටීම ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වේවි….

<images for nissan ECU Location><Closeup of Nissan ECU>

ECU එක හොයාගත්තම ඊළඟට කරන්න තියෙන්නේ තමන්ට අවශ්‍ය “ඩයග්නොස්ටික් මෝඩ්” එකට දාගන්න එකයි… මේ ඩුවල් LED සිස්ටම් එක පාවිච්චි කරන වාහනයක් ඩයග්නොස්ටික් මෝඩ් 5ක් සපෝර්ට් කරනවා… එක එක මෝඩ් එකේදී විවිධ මොඩියුල් වල දෝෂයන් විවිධ නිරවද්‍යතා වලින් පෙන්වනවා… හැම ඩයග්නොස්ටික් මෝඩ් එකක් ගැනම මේ ලිපියේ පහලින් කතා කරනවා අපි… එතකොට හරියටම “ඩයග්නොස්ටික් මෝඩ්” කියන්නේ මොකද්ද කියලා හොඳ අවබෝධයක් ඒවි… මෙතැනදී අපි බලමු ECU එක ඩයග්නොස්ටික් මෝඩ් එකට දාගන්නේ කොහොමද කියල….

  • ඉග්නිෂන් ඔන් කරන්න ඕන….
  • ඊට පස්සේ ෆ්ලැට් ඉස්කුරුප්පු නියනක් අරගෙන මෝඩ් සිලෙක්ටර් ස්විච් එක සම්පුර්ණයෙන්ම දක්ෂිණාවර්තව කරකවන්න ඕන නවතිනකල්…
  • එහෙම කලාම ECU එකේ රතු හා කොළ LED දෙකම නිවී නිවී පත්තු වෙන්න පටන් ගන්නවා… මෙහෙම බ්ලින්ක් වේවි මේ ලයිට් දෙක 1 ඉඳන් 5 වෙනකල් ඉලක්කම් පෙන්නන්න පටන් ගන්නවා… ඒ කියන්නේ එක ළඟ එක පාරක් බ්ලින්ක් වෙනවා 1 පෙන්නන්න ඊට පස්සේ ටිකක් ඉඳල දෙපාරක් බ්ලින්ක් වෙලා 2 පෙන්වනවා, ඊළඟට ආයෙත් ටිකක් වෙලා ඉඳල 3 පාරක් බ්ලින්ක් වෙනවා 3 පෙන්වන්න… ඔහොම 1 ඉඳල 5 ට යනකල් ඉලක්කම් පෙන්න පෙන්න ඉන්නවා… අපිට කරන්න තියෙන්නේ අපිට යන්න ඕන මෝඩ් එකේ අංකෙ පෙන්නපු ගමන් මෝඩ් සිලෙක්ටර් ස්විච් එක නැවතත් සම්පුර්ණයෙන් වමට කරකවන එකයි…
  • උදාහරණයක් හැටියට මෝඩ් 3 ට යන්න ඕන නම් පළවෙනියට සම්පුර්ණයෙන් දකුණට කරකවලා LED දෙකම එක ළඟ 3 වතාවක් බ්ලින්ක් වෙනකල් ඉඳලා එහෙම වෙච්ච ගමන් නැවතත් වමට සම්පුර්ණයෙන් කරකවන එකයි… පල්ලෙහා රූප සටහන වලින් ඕක කරන හැටි ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වේවි….
මෝඩ් සිලෙක්ටර් ස්විච් එක සම්පුර්ණයෙන් දකුණට කැරකුවම මෝඩ් සේරම පෙන්වන විදිය
මෝඩ් 4 ට දාගන්න හැටි

 

 

 

 

 

 

 

 

 

ඔහොම කරකවලා අදාළ මෝඩ් එකට දාගන්න දැනගත්තට මේ මෝඩ් වලින් කරන්නේ මොකද්ද කියල අපි තාම දන්නේ නෑනේ… දැන් අපි බලමු මේ එක එක මෝඩ් වලදී කරන දේවල් හා විශේෂත්වයන්….

 

Mode 1

මේක තමා වාහනේ default mode එක… ඒ කියන්නේ වාහනේ සාමාන්‍ය දුවන තත්වයේ තියෙද්දී පවතින්නේ මේ මෝඩ් එකේ, එහෙමත් නැත්නම් වෙන කිසිම මෝඩ් එකක නැති වෙලාවේ වාහනේ පවතින්නේ මේ මෝඩ් එකේ…

එහෙම බැලුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඩයග්නොස්ටික් මෝඩ් එකක් නෙමේ නේද කියලත්… නමුත් මේ කාණ්ඩයේ නිසාන් වාහනවල සාමාන්‍ය දුවන වෙලාවේදී උනත් යම්කිසි දෝෂ ප්‍රමාණයක් පෙන්වන්නන පුළුවන් විදියට තමයි හදල තියෙන්නේ… එක හින්දා මේක ඩයග්නොස්ටික් මෝඩ් එකක් කියල අරගන්න එකේ වරදක් නෑ…

ඉග්නිෂන් ඔන් කරද්දී ECU එක ඔටෝමැටිකලි මේ මෝඩ් එකට එනවා… වෙන මෝඩ් එකකට දාල තිබිල ඉග්නිෂන් ඕෆ් කරලා ඔන් කලත් එන්නේ මේ මෝඩ් එකට… අන්න ඒ හින්දා තමයි මේ මෝඩ් එකට වාහනේ default mode එක එහෙමත් නැත්නම් සාමාන්‍ය තත්වයේ තියෙද්දී පවතින මෝඩ් එක කියල කියන්නේ…..

මේ මෝඩ් එකෙන් දෝෂයක් බලාගන්න නම් වාහනේ එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන්න ඕන… එහෙම ඔන් එකේ තියෙද්දී ECU එකේ LED බල්බ මගින් ස්ටේට් 3ක් පෙන්වනවා….

 

කොළ පාට LED එක විතරක් බ්ලින්ක් වෙන අවස්ථාව

මේකෙන් කියන්නේ වාහනේ කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි දෙකට බය වෙන්න එපා කියලයි….

කොළ හා රතු LED දෙකම එක දිගට පත්තු වෙලා තියෙන, එහෙම නැත්නම් දෙකම නිමිලා තියෙන අවස්ථා

මෙහෙම වෙනවා නම් වැරදි දෙකක් ගැන ඉඟි කරනවා… එක්කෝ වාහනේ Open Loop ගිහින්… ඒ කියන්නේ ECU එකට සෙන්සර් වලින් ප්‍රතිචාර හම්බ වෙන පාත් එකේ ලොකු ප්‍රශ්නයක් වෙලා වැඩ කරන්නේ නෑ කියන එක… එහෙම නැත්නම් ඔක්සිජන් සෙන්සර් එකේ අව්ලක් තියෙනවා කියන එක….

කොළ හා රතු LED දෙකම බ්ලින්ක් වෙන අවස්ථාව

මේකෙන් කියන්නේ වාහනේ Closed Loop, ඒ කියන්නේ ECU එකට සෙන්සර් වලින් කිසි ප්‍රශ්නයක් නැතිව ෆීඩ්බැක් එක එනවා… ඔක්සිජන් සෙන්සර් එකත් අව්ලක් නැතුව වැඩ… නමුත් වෙන මොකක් හරි සෙන්සර් එකක හෝ ECU එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමා මේ විදියට LED දෙකම බ්ලින්ක් වෙලා කියාපාන්නේ… එත් මේ මෝඩ් එකේදී තියන ප්‍රශ්නේ ගැන වෙන විස්තරයක් කියන්නේ නැහැ… එතකොට වෙනත් මෝඩ් එකකට ගිහින් ප්‍රශ්නය තියෙන තැන හරියට හඳුනාගන්න වෙනවා….

 

Mode 2:

මේකෙදිත් වාහනේ ස්ටාර්ට් කරලා තියෙන්න ඕන… මෝඩ් එකට දාගන්නේ කලින් කිව විදියටම තමයි… මේකෙදිත් LED බල්බ මගින් ස්ටේට් 3ක් පෙන්වනවා…

 

කොළ හා රතු LED දෙකම එක දිගට පත්තු වෙලා තියෙන, එහෙම නැත්නම් දෙකම නිමිලා තියෙන අවස්ථා

මෙහෙම වෙනවා නම් ඒ කියන්නේ වාහනේ Open Loop ගිහින්…. එහෙම නැත්නම් ECU එකට සෙන්සර් වලින් සිග්නල් එන්නේ නැහැ…

කොළ බල්බය බ්ලින්ක් වෙන, රතු බල්බය පත්තු වෙලාම තියෙන අවස්ථාව…

මේකෙන් කියවෙන්නේ එන්ජිමේ වාතය හා ඉන්ධන මිශ්‍රණයේ වාත ප්‍රමාණය තියෙන්න ඕනා ගානට වඩා වැඩියි කියන එකයි… එහෙම නැත්තන් Lean mixture එකක් තියෙනවා කියන එක….

කොළ බල්බය බ්ලින්ක් වෙන, රතු බල්බය නිවිලා තියෙන අවස්ථාව…

මේකෙන් කියවෙන්නේ එන්ජිමේ වාතය හා ඉන්ධන මිශ්‍රණයේ ඉන්ධන ප්‍රමාණය තියෙන්න ඕනා ගානට වඩා වැඩියි කියන එකයි… එහෙම නැත්තන් Rich mixture එකක් තියෙනවා කියන එක….

කොළ හා රතු බල්බ දෙකම එකට බ්ලින්ක් වෙන අවස්ථාව…

මෙහෙම වෙනවා නම් ඒකෙන් කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ, ගැටළුවක් කරගන්න එපා කියන එකයි….

 

Mode 3:

මේක තමයි තියෙන මෝඩ් වලින් වැදගත්ම එක… ECU එක විසින් Error Code, නැත්තන් DTC (Diagnostic Trouble Code) පෙන්වන්නේ මේ මෝඩ් එකේ තියෙද්දී තමා… මෝඩ් එකට දාගන්නේ කලින් කිව විදියටම මෝඩ් සිලෙක්ටර් ස්විච් එක සම්පුර්ණයෙන් දකුණට කරකවල 3 පෙනවනකල් ඉඳල ආයේ වමට කරකවිම මගිනුයි…

DTC එක පෙන්වද්දී රතු LED එකෙන් DTC එකේ 10 ස්ථානය හා කොළ LED එකෙන් 1 ස්ථානය පෙන්වනවා… බ්ලින්ක් වෙන වාර ගාන ගණන් කරලා කෝඩ් එකේ අංකය හොයාගන්න පුළුවන්…

උදාහරණයක් හැටියට 24 කියන කෝඩ් එක පෙන්වද්දී රතු LED එක දෙපාරක් එක ළඟ බ්ලින්ක් වෙනවා… පොඩි විරාමයකට පස්සේ කොළ පාට LED එක 4 පාරක් බ්ලින්ක් වෙනවා… පහල පින්තූර මගින් ඔය බ්ලින්ක් වීම වෙන්නේ කොහොමද කියල හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වේවි…. මේ ක්‍රමයෙන් එක DTC එකකට වඩා වැඩියෙනුත් පෙන්වන්න හැකියාව තියෙනවා… එක කෝඩ් එකක් පෙන්නුවට පස්සේ ටික වෙලාවක් ඉඳලා දෙවැනි කෝඩ් එක රතු හා කොළ LED වලින් කලින් වගේම පෙන්වන එක තමයි එතැනදී කරන්නේ… පල්ලෙහා රූපෙන් කෝඩ් දෙකක් පෙන්වන හැටි පෙන්නලා තියෙනවා… පොඩ්ඩක් පුරුදු උනාම කෝඩ් එක කියව ගන්න එක අමාරු දෙයක් නෙමේ…

ෆ්ලෑෂ් කෝඩ් 24 පෙන්වන හැටි
ෆ්ලෑෂ් කෝඩ් 24 හා 13 එකට පෙන්වන හැටි

 

 

 

 

 

 

 

 

 

Mode 4:

මේ මෝඩ් එක පාවිච්චි වෙන්නේ ත්‍රොටල් ප්ලේට් ස්විච් එකෙයි, ස්ටාර්ටර් ස්විච් එකෙයි, වෙහිකල් ස්පීඩ් ස්විච් එකෙයි ස්ටේටස් එක බලාගන්න… මොනවාද මේ ස්විච් කියල දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති… මේ ස්විච් ගැන විස්තරයක් EFI සිස්ටම් එක හඳුනාගමු කියන ලිපියේ සවිස්තරාත්මකව දක්වල තියෙනවා…

ත්‍රොටල් ප්ලේට් ස්විච් එකයි, ස්ටාර්ටර් ස්විච් එකයි ඇක්ටිවේට් වෙලා වෙලා තියෙන වෙලාවක ඒ ස්විච් වල ස්ටේට් එක වෙනස් උනොත් රතු පාට LED එක බ්ලින්ක් වෙන්න ගන්නවා මේ මෝඩ් එකේදී… එතකොට කාටහරි හිතුනොත් මේ ස්විච් වල ප්‍රශ්නයක්ද කියල කරන්න තියෙන්නේ මේ මෝඩ් එකට දාල රතු LED එක බ්ලින්ක් වෙනවද බලන එක තමයි….

වෙහිකල් ස්පීඩ් ස්විච් එකේ ස්ටේට් එක බලන්නේ කොළ පාට LED එකෙන්… හරියට වැඩ කරනවා නම් මේ වෙහිකල් ස්පීඩ් ස්විච් එක වාහනේ 19Km/h වලින් යද්දී ඕෆ් වෙලා තියෙන්න ඕන… වෙහිකල් ස්පීඩ් ස්විච් එක ඕෆ් නම් කොලපාට LED එකත් ඕෆ් වෙලා තියෙනවා… වාහනය 19Km/h ට වඩා වැඩියෙන් යද්දී වෙහිකල් ස්පීඩ් ස්විච් එක ඔන් වෙලා තියෙන්න ඕන… ඒක බලාගන්න පුළුවන් කොළ LED එක පත්තු වෙලා නම්… සරලව කිවොත් වෙහිකල් ස්පීඩ් ස්විච් එක ඔන් නම් කොලපාට LED එක ඔන්, ඕෆ් නම් ඕෆ්…..

 

Mode 5:

මේ මෝඩ් එක තමයි ක්‍රෑන්ක්ශාෆ්ට් ඇන්ගල් සෙන්සර් එකයි, ඉග්නිෂන් සිග්නල් එකයි, මාස් එයාර්ෆ්ලෝ සිග්නල් එකයි ඩයැග්නොස්ටික් කරන මෝඩ් එක…

ඔය මෝඩ් ටික තමයි 1984-1990 දක්වා හැදුනු නිසාන් වාහන වල තියෙන්නේ… සමකාලීන සිස්ටම් එකක් වෙච්ච OBD-1 එක්ක සංසන්දනය කලාම නම් මේක ටිකක් කරදකාරි ක්‍රමයක් වගේ පේන්න ඉඩ තියෙනවා… එත් ඉතින් ඕව හදල තියෙන්නේ ඔහොම තමයි….

තවත් දැනගෙන ඉන්න ඕන වැදගත් දෙයක් තමයි මේ වාහනව ECU එකේ ස්ටේට් එක ක්ලියර් කරන හැටි… දැන් මොකක් හරි DTC එකක් පෙන්නන්න ගත්තම ඒ කෝඩ් එක ECU එකේ රැම් එකේ ගබඩා වෙනවා… අපි වැරැද්ද නිවැරදි කළා කියලා නිකම්ම ඒ කෝඩ් එක ක්ලියර් වෙලා යන්නේ නැහැ… අපිම ගිහින් ඒ ඇවිල්ල තියෙන DTC එක ක්ලියර් කරලා දාන්න ඕන… මේක කරන්නේ ඉග්නිෂන් ඕන එකේ තියෙද්දී ඩයැග්නොස්ටික් මෝඩ් 3 ඉඳලා 4 ට යන එක මගිනුයි… ඩයැග්නොස්ටික් මෝඩ් වලට යන්නේ කලින් කිව්ව විදියටම තමා… එහෙම නැත්තන් වාහනේ බැටරි එක පැය 24ක් ගලවලා තියන්න ඕනා… එතකොටත් ECU එකේ ගබඩා වෙලා තියෙන DTC එක ක්ලියර් වෙලා යනවා….

කලින් කිව්වා වගේ මේක මෝඩ් ගොඩක් තියෙන කරදරකාරී ක්‍රමයක් නිසාමද කොහෙද 1990න් පස්සේ නිසාන් මේ ක්‍රමය අතහැරලා LED එකක් විතරක් තියෙන වඩාත් සරල ක්‍රමයකට මාරු උනා….

 

1991-1996 දක්වා වාහන (single LED system)

මේ කාණ්ඩයේ නිසාන් වාහනවල තියෙන්නේ එක රතු පාට LED එකක් විතරක් තියෙන ECU එකක්… මේ LED එක එන්ජින් එලාම් එකත් එක්ක එකටම එක විදියටම බ්ලින්ක් වෙනවා… ඒ නිසා LED එකෙන් වගේම එන්ජින් එලාම් ලයිට් එකෙනුත් මේ ක්‍රමයේදී ස්ටේට් එක බලාගන්න පුළුවන්…. අනික් ප්‍රධාන වාසිය උනේ මේ ක්‍රමයේ තියෙන්නේ මෝඩ් දෙකක් විතරක් වීම… දැන් අපි බලමු මේ ක්‍රමය පාවිච්චි කරලා ඩයැග්නොස්ටික් කරන්නේ කොහොමද කියලා…

 

Normal මෝඩ්:

මේක Duel LED System එකේ Mode-1 වලට සම්පුර්ණයෙන්ම සමානයි… වාහනය සාමාන්‍ය අවස්ථාවේ පවතිද්දී තියෙන්නේ මේ මෝඩ් එකේ තමයි… මේ මෝඩ් එකේ වාහනය ස්ටාර්ට් කරලා තියෙනකොට මොකක් හරි වැරැද්දක් තිබ්බොත් එන්ජින් එලාම් ලයිට් එක හා ECU එකේ රතු LED එක එක දිගට පත්තු වෙලා තියෙනවා… ඉතින් මේක දැන් තියෙන වාහනවල වැරද්දක් තිබ්බොත් ස්ටාර්ට් කලාම එන්ජින් එලාම් පත්තු වෙන අවස්ථාවම තමයි… නමුත් නිසාන් මේක මෝඩ් එකක් වශයෙන් හඳුන්වනවා…

මේ කාණ්ඩයේ සමහර වාහනවල මේ මෝඩ් එකේ තියෙද්දී ECU එකේ LED හා එන්ජින් එලාම් එක එකට පත්තු වෙන්නේ නැහැ… ECU එකේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් විතරයි ECU එකේ රතු එලිය පත්තු වෙන්නේ… නැත්නම් එන්ජින් එලාම් එක විතරයි…

 

Self Diagnostic Mode (සෙල්ෆ් ඩයැග්නොස්ටික් මෝඩ්)

මේ මෝඩ් එක තමයි ඇත්තටම DTC පෙන්වන මෝඩ් එක… මේ මෝඩ් එකට යන්න පහත පියවර අනුගමනය කරන්න වෙනවා…

ඉග්නිෂන් ඔන් කරන්න….
සම්පුර්නයෙන් මෝඩ් සිලෙක්ටර් ස්විච් එක දක්ෂිනාවර්තව කරකවන්න…
තප්පර දෙකක් ඉඳලා නැවතත් මෝඩ් සිලෙක්ටර් ස්විච් එක වාමාවර්තව සම්පුර්ණයෙන් කරකවන්න…
දැන් ඔබ ඉන්නේ සෙල්ෆ් ඩයැග්නොස්ටික් මෝඩ් එකේ….

මෙහෙම සෙල්ෆ් ඩයැග්නොස්ටික් මෝඩ් එකට ගියාම EFI සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් රතු LED එක නිවී නිවී දැල්විලා DTC එක එහෙම නැත්තන් වැරැද්දට අදාළ කෝඩ් එක පෙන්වන්න පටන් ගන්නවා…

මේකෙදි දිග කාල අන්තර වලින් බ්ලින්ක් වේවි පෙන්වන්නේ 10 ස්ථානය.. කොට කාල අන්තර වලින් බ්ලින්ක් වේවි 1 ස්ථානය පෙන්වනවා… වඩාත් නිවැරදිව කිව්වොත් තප්පර 0.6 ඔන් වෙලා තප්පර 0.6 ඕෆ් වෙලා බ්ලින්ක් වේවි තමයි 10 ස්ථානය පෙන්වන්නේ… තප්පර 0.3 ඔන් වෙලා තප්පර 0.3 ඕෆ් වෙලා බ්ලින්ක් වේවි තමයි 1 ස්ථානය පෙන්වන්නේ… ඔය වෙලාවල් වල බ්ලින්ක් වෙච්ච් වාර ගණන අරගෙන DTC එක නිර්ණය කරගන්න පුළුවන්…

  • උදාහරණයක් හැටියට 24 කියන කෝඩ් එක පෙන්වද්දී, 2 කියන්නේ 10 ස්ථානය 4 තමයි 1 ස්ථානය…
  • 2 පෙන්වද්දී – තප්පර 0.6 ඔන් වෙලා තප්පර 0.6 ඕෆ් දෙපාරක් වෙනවා
  • ඊට පස්සේ විරාමයක් තියෙනවා…
  • 4 පෙන්වද්දී තප්පර 0.3 ඔන් වෙලා තප්පර 0.3 ඕෆ් හතර පාරක් වෙනවා…

 

පල්ලෙහා රූප වලින් ඔය සංසිද්ධිය හොඳට වටහා ගන්න පුළුවන්…

<need correct timing, for nissan single LED system>

මේ මෝඩ් එකේ තියෙද්දී DTC වලට අමතරව ඔක්සිජන් සෙන්සර් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියල බලන්නත් පුළුවන්… කරන්නේ මෙහෙමයි…

  • ඔය මෝඩ් එකේ තියෙද්දී වාහනය ස්ටාර්ට් කරන්න ඕන…. එළඟට ECU එකේ LED එක දිහා බලන්න ඕන…
  • රතු LED එක දිගටම පත්තු වෙලා තියෙනවා නම් Rich Mixture එකක් තියෙන්නේ, එහෙම නැත්නම් වාත තෙල් මිශ්‍රණයේ තෙල් ප්‍රමාණය වැඩියි….
  • රතු LED එක දිගටම නිවිලා නම් Lean Mixture එකක් තියෙන්නේ, එහෙම නැත්නම් වාත තෙල් මිශ්‍රණයේ වායු ප්‍රමාණය වැඩියි….
  • එන්ජිමේ වායු හා තෙල් මිශ්‍රණය හරියටම තියෙනවා නම් රතු LED එක තප්පර දෙකෙන් දෙකට බ්ලින්ක් වෙනවා… ඒ කියන්නේ රතු LED එක බ්ලින්ක් වෙනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්….

 

කලින් Duel LED System එකේ වගේම මේකෙත් DTC එක ECU එකේ රැම් එකෙන් මකලා දාන්න ක්‍රමයක් පෙන්වලා තියෙනවා.. අපි වාහනේ ගැටලුවට පිලියමක් යෙදුවට පස්සේ ECU එකේ ගබඩා වෙලා තියෙන කෝඩ් එක මේ ක්‍රමයෙන් මකලා දාන්න ඕන… කරන්න ක්‍රම දෙකක් තියෙනවා…

එන්ජිම ස්ටාර්ට් කරලා තියෙද්දී මෝඩ් 2 එකේ ඉඳලා මෝඩ් 1 එකට යන එක එක ක්‍රමයක්..

සම්පුර්ණයෙන් දකුණට කරකවලා තප්පර දෙකක් ඉඳල ආයෙත් වමට කැරකුවම මෝඩ් 2 එකට යනවා…

එහෙම තියෙද්දී ආයෙත් සම්පුර්ණයෙන් දකුණට කරකවලා තප්පර දෙකක් ඉඳල ආයෙත් වමට කැරකුවම මෝඩ් 1 එකට එනවා…..ඔහොම කලාම DTC එක ECU එකෙන් මැකිලා යනවා…

අනිත් ක්‍රමය තමයි බැටරි එක පැය 24ක් ගලවලා තියෙන එක.. එතකොටත් මේ DTC එක මකලා දාන්න පුළුවන්…

ඔය විදියට තමයි 1996 වෙනකල් නිසාන් වාහනවල එගොල්ලොන්ගේම ක්‍රමයට ඩයැග්නොස්ටික් සිද්ද කලේ… මේ අවුරුද්දෙන් පස්සේ නිසාන් තීරණය කළා ස්ටෑන්ඩර්ඩ් ක්‍රම වලට මාරු වෙන්න… මේ වෙද්දී OBD-2 ඇවිල්ල තිබ්බ හින්ද ඔවුන් කෙලින්ම OBD-2 තමන්ගේ වාහන වලට යොදවන්න පටන් ගත්තා… ඒ නිසා 1998න් පස්සේ බහුතරයක් වාහනවල අපිට ස්ටෑන්ඩඩ් OBD-2 ඩයැග්නොස්ටික් සිස්ටම් දැකගන්න පුළුවන්…..